අද ඇහෙන ගීත අඳෝනා වගෙයි | සිළුමිණ

අද ඇහෙන ගීත අඳෝනා වගෙයි

1960 දශකයේ මුල් භාගයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සේවයට එක්වුණු ඔහු එහි සංගීත සහ පර්යේෂණ අංශයේ වැඩසටහන් අධ්‍යක්ෂකවරයා විය. ශ්‍රී ලාංකේය සංගීතයට අතිමහත් සේවාවක් කළ සුවිශේෂ චරිතයක් ලෙස ආචාර්ය දයාරත්න රණතුංගයන් හැඳින්විය හැකියි. අද අප අතර නැති ලංකාවේ පළමු සංගීත මහාචාර්යවරිය වන අමරා රණතුංග ඔහුගේ දයාබර බිරිඳයි. අත්වැල ගිලිහී වසරක් පිරෙන කළ, මේ ඔහු හා රසඳුන කළ සංවාදයකි.

ලාංකේය සංගීතයට යම් දෙයක් කරන්නට හැකිවීම ගැන මට තිබෙන්නේ විශාල සතුටක්

දීර්ඝ කාලයක් පුද්ගලික දිවිය වගේම සංගීත දිවිය තුළත් අපි දෙදෙනා හිටියේ එකටමයි. ඒ නිසා ඒ අඩුව පුරවන්න මා මියෙන තුරුම බැරිවෙයි.

ලංකාවේ සංගීතයට කළ සේවය වෙනුවෙන් ඉන්දියාවේ දිල්ලි විශ්ව විද්‍යාලයේ උපකුලපති අතින් මටත් අමරාටත් භරතමිත්‍ර සම්මානය ලැබුණා. එය මට විශාල ඇගයීමක්

 ඔබේ දයාබර බිරිඳ මහාචාර්ය අමරා රණතුංග මහත්මිය වියෝවී වසරකුත් ගතවුණා. ඒ අඩුව ඔබට අද දැනෙන්නේ කොහොමද?

එය නම් වචනයෙන් විස්තර කරන්න බැරිතරම් අඩුවක්. පසුගියදා අපි දානයක් දී පින් පැනවුවා ඇය වෙනුවෙන්. දීර්ඝ කාලයක් පුද්ගලික දිවිය වගේම සංගීත දිවිය තුළත් අපි දෙදෙනා හිටියේ එකටමයි. ඒ නිසා ඒ අඩුව පුරවන්න මා මියෙන තුරුම බැරිවෙයි. ඇය ලංකාවේ පළමු සංගීත මහාචාර්යවරිය වුණත් බොහෝම සංවේදී සරල ගති පැවතුම් ඇත්තියක් වුණා. ඇගේ හඬ අපිට අසන්නට නොහැකි වුණත් ඇගේ ගීත අප දෙදෙනාගේ දියණිය වන රූපශිකා රණතුංග විසින් ගායනා කරනවා. ඒ නිසා අමරාගේ ගීතවලට ප්‍රිය කරන රසිකයිනට යම් සාධාරණයක් ඇයගේ ගායනයෙන් සිදුවෙයි.

ඔබේ වර්තමාන කලා කටයුතු ගැන කතා කළොත්?

මේ දවස්වල මම ලියපු පොත් තුනක් එළිදක්වන්න සූදානම් වෙනවා. පොත් 2 ක් දැනටමත් මුද්‍රණය කරලා තිබෙන්නේ. ඉතිරි පොත දැනට මුද්‍රණයේ පවතිනවා. එහි වැඩ අවසන්වූ වහාම පොත් ත්‍රිත්වයම පොඩි උත්සවක් තියලා වෙළඳපොළට නිකුත් කරන්නයි හිතාගෙන ඉන්නේ.

එම පොත් සංගීතය ආශ්‍රිතව ලියැවුණු ඒවාද ?

සංගීතය විතරක් නෙමෙයි විවිධ දේවල් අඩංගු වෙනවා. මගේ සංගීත දිවිය තුළ සිදුවුණු විශේෂ සිදුවීම්, මේ දිගු කාල සීමාව තුළ ඇසුරු කළ පුද්ගලයින් පිළිබඳව වගේ දේවල් පවා මෙයට ඇතුළත් වෙනවා. මා මුලින්ම ගුවන් විදුලියට සම්බන්ධ වෙන්නේ 1960 දශකයේදී ජ්‍යෙෂ්ඨ නිෂ්පාදකයෙකු ලෙසයි. පසුව වැඩසටහන් සහ පර්යේෂණ අධ්‍යක්ෂක ලෙස පත්වුණා. ඒ සිංහල ,දෙමළ සහ ඉංග්‍රීසි යන අංශ තුනේම ප්‍රධානියා ලෙසයි. මා ආ දවසේම තමයි කරුණාරත්න අබේසේකර මහතා ගුවන් විදුලියෙන් ඉවත්ව ගියේත්. ඒ කාල සීමාව තුළ ගුවන් විදුලියේ විශාල වැඩ කොටසක් මා විසින් සිදු කළා. නවක ගායකයින්ට, ගී පද රචකයින්ට, සංගීත ශිල්පීන්ට වගේ විශාල පිරිසකට ක්ෂේත්‍රයට එන්න අතහිත දුන්නා. සුනිල් ශාන්ත වැනි දැවැන්ත පුද්ගලයින් ගුවන් විදුලියට එන්න අකමැති වෙලා හිටියේ ඒ කාලේ. මම මැදිහත් වෙලා තමයි එතුමන්ව ගුවන් විදුලියට රැගෙන ආවේ. තාගෝර් තුමා පවා ඒ කාලේ අපිට හමුවුණා. මේ වගේ තවත් බොහෝ විශේෂිත සිදුවීම් ඇතුළත් අපූරු පොත් තුනක් තමයි මේ. අනික ලංකාවේ සංගීත චිකිත්සාව ගැනත් මුලින්ම පොතක් ලිව්වේ මමයි.

කුමක්ද සංගීත චිකිත්සාව කියන්නේ?

එය කෙටියෙන් විග්‍රහ කරන්න අමාරුයි. නමුත් චිකිත්සාව යනු භාවනාවක් වැනියි. එය හරියට කළොත් මනස වගේම ජීවිතය පවා හරි ආකාරයෙන් පවත්වාගත හැකියි. වැරදියට කළොත් මනස විකෘතිය පවා ඇතිවෙන්න පුළුවන්. මට ශිෂ්‍යත්වයක් ලැබිලා ලන්ඩන් බී. බී. සී. වගේ තැන්වල යන්න අවස්ථාව ලැබුණා. එහිදී ලන්ඩන් පට්නි කියන රෝහලේ මෙම සංගීත චිකිත්සාව කරනවා මම දැක්කා. එයින් ලෙඩ පවා සුව කළ හැකියි.

සංගීත චිකිත්සාව යනු දැනගෙන කළ යුතු දෙයක්ද ?

අනිවාර්යයෙන්ම ඔව්. අපි පන්සලට ගිහින් ගාථා රචනාවක් ලෙස කියාගෙන යන්නේ නැහැ. පුළුවන් ලෙස ගායනාවක් වගේ තමයි එය කියන්නේ. තාගෝර්තුමා කියනවා ගීතය වචනයට යටත් නොවන වග. එය නාදාත්මක සංකල්පයක් මිස වචන නොවේ. නාදයෙන් පුළුවන් මනසේ විවිධ ස්වාභාවයන් ඇතිකරන්න. උදේට රේඩියෝ නාලිකාවලින් ඇසෙන පිරිත්වල තිබෙන්නේ ඔය චිකිත්සාවයි. එය ඇසූ විට හිත පුදුම විදිහට නිවෙනවා.

අද ගුවන් විදුලි නාලිකාවලින් ඔය චිකිත්සාව හරියට කෙරෙනවාද?

එහි තිබෙන්නේ ජනප්‍රිය වීමේ චිකිත්සාවක්. තරුණ පරපුර නොමඟ යවන දේවල් මිස බුද්ධි ප්‍රබෝධයක් එයින් ඇතිවන්නේ නැහැ.

අද සුභාවිත ගීත බිහිවීමේ අඩුවක් තිබෙනවා. එයට කුමක්ද හේතුව?

අපි හොඳ ගීත දහස් ගණනක් බිහිකරලා තිබෙනවා. අලුත් ගීතත් සිදුකළා. නමුත් ඒවා ප්‍රචාරය වෙන්නේ නැහැ. පැරණි ගීතම තමයි ප්‍රචාරය කරන්නේ. මා ගුවන් විදුලියේ ඉහළම නිළයක් හොබවන විට නිසි ක්‍රමවේදයක් හැදුවා ප්‍රචාරය විය යුතු වාරයන් පවා. එහෙම කළේ අනිකුත් ශිල්පීන් ගැන හිතලායි. නවකයින් විශාල පිරිසකට හොඳ දෙයක් කරන්න මා බොහෝ උදව් කළා. නමුත් අද ඇහෙන ගීත අඳෝනා වගෙයි. අහන අයට වැරදි චිකිත්සාවක් තමයි එයින් ලැබෙන්නේ

ඔබේ සංගීත කටයුතු පෙර ලෙසම සිදුවෙනවාද?

කවුරුන්හෝ කිව්වොත් ගීතයකට තනුවක් යොදා දෙනවා. ඒ අතර ගෘහස්ථ ප්‍රසංග සඳහාත් තෝරා බේරාගෙන සහභාගී වෙනවා. විදෙස් ප්‍රසංග සඳහා වුණත් එහෙමයි.

ලංකාවේ කලාකරුවෙකු වීම ගැන ඔබ ඉන්නේ තෘප්තියෙන්ද ?

මට බොහෝ දෙනාගේ ආදරය ගෞරවය වගේම සම්මාන අැගැයීම් ලැබුණේ කලාකරුවකු වීම නිසයි. වැඩි කාලයක් ගතකළේ අපේ රටේ සංගීතයට සේවය කිරීමටයි. ඉන්දියාවේ දිල්ලි විශ්ව විද්‍යාලයේ උප කුලපති අතින් අපි දෙදෙනාටම භරත මිත්‍ර සම්මානය පවා ලැබුණා. තවත් සම්මාන ඉන්දියාවෙන් මට ලැබුණා, ලංකාවේ සංගීතයට කළ සේවය වෙනුවෙන්. ඉස්සර ගුවන් විදුලියේ වැඩ කරනවිට මාසයකට වරක් එහි ලොකු කුණු ගොඩක් එකතු කරනවා. මම එදාට ඉන්නේ කුණු ගොඩ ළඟයි. දිනක් එහි තිබී දෙකට කැඩුණු පරණ තැටියක් ගෙනැවිත් බොහෝ මහන්සි වෙලා ගම් දාලා හැදුවා. එහෙම රැකගත්තේ සුනිල් ශාන්තයන්ගේ ‘මිහිකත නළවාලා‘ ගීතයයි. ඒ ගීතය මම එදා රැකගත්තේ නැතිනම්, අදටත් එය අහන්නට ලැබෙන්නේ නැහැ. ලාංකේය සංගීතයට යම් දෙයක් කරන්නට හැකිවීම ගැන මට තිබෙන්නේ විශාල සතුටක්.අද මගේ ගීත මගේ පුතා සාරද රණතුංග සහ මගේ මුණුබුරා ඔෂාද් රණතුංගත් අපූරුවට ගායනා කරනවා. ඒ අය තමයි මගේ අනාගතය වෙන්නේ.

Comments