මෙය සීතා ගේ කතාව වුණත් සමස්ත ගැහැනුන් වෙනුවෙන් කළ නිර්මාණයක් | සිළුමිණ

මෙය සීතා ගේ කතාව වුණත් සමස්ත ගැහැනුන් වෙනුවෙන් කළ නිර්මාණයක්

ලාංකේය නර්තන කලාවේ විවිධ මාන සොයා යෑමේ නිසඟ දක්ෂතාවක් දැක්වූ චන්දන වික්‍රමසිංහ මෙරට මෙන්ම ජාත්‍යන්තර නර්තන වේදිකාවේද ඇගැයීම් පැසසුම් ලැබීමට සමත් වූ පෙරැළිකාර චරිතයකි. මින් දෙවසරකට පෙර ඔහු නිර්මාණය කළ ‘ස්‌ටෝරි ඔෆ් සීතා‘ හෙවත් "සීතාගේ කතාව" මුද්‍රා නාට්‍යය ද මේ වන විට ජාත්‍යන්තර අවධානයට ලක් ව ඇත. පසු ගිය දිනෙක සීතාගේ කතාව රැගෙන සීතා උපන් ආයෝධ්‍යාවට යන්න චන්දනට අවස්ථාව ලැබෙන්නේද එම පිළිගැනීමේ තවත් ප්‍රතිඵලයක් ලෙසයි.‌ අයෝධ්‍යාවේ වේදිකා ගත කළ සීතා ගේ කතාව මහත්

ආදරයෙන් හා ගෞරවයෙන් වැළැඳගත් එරට ප්‍රේක්ෂකයින් චන්දනට සිය ප්‍රණාමය පුද කරන්නේ සම්මානයකිනි.

ඒ මතකය පිළිබඳ චන්දන වික්‍රමසිංහ සමග කළ පිළිසඳරේ මතු සටහනින් දැක්‌වේ.

සීතාගේ කතාව ඔස්සේ රාමායණයට ඔබ අලුත් අර්ථකථනයක් දෙනවා?

සීතා ගේ කතාවට මුලාශ්‍රය වුණෙත් වාල්මිකිගේ රාමායණයමයි. මගේ හැඟීමට අනුව රාමායණය ලියැවී තිබෙන්නේ පුරුෂාධිපත්‍ය රජයන හින්දු සමාජය තුළ ගැහැනිය පල්ලෙහාට දමමිනුයි. නමුත් මම අසම්මතවාදී විදිහට දේවල් කතා කරන මිනිහෙක්. ඒ නිසා බය නැතිව මම සීතාගේ කතාව කළා. මේ නිර්මාණය පුරාවට මම සිතාව සලකන්නේ දේවත්වයෙන්.

 

මෙවැනි මුද්‍රා නාටකයක් පළමු වතාවටයි නිර්මාණය වෙන්නේ?

ඔව්. ඉන්දුනීසියාවේ, තායිලන්ත‍යේ, ඉන්දියා‍වේ, අරුන්දති නිත්තිගේද, වාසුගීගේද ඇතුළු කොහෙත් දකින්න ලැබෙන්නේ වාල්මිකිගේ රාමායණයේ පිටපත ඇසුරෙන් නිර්මාණය වූ මුද්‍ර නාටක. මුද්‍ර නාට්‍යයක් ලොව පුරා ගෙන යෑමත්, ජාත්‍යන්තරය ජය ගැනීමත් පහසු නැහැ. සාමාන්‍යයෙන් මෙවැනි නිර්මාණයක් ලෝක වේදිකාවේ කිරීමත් හරිම අවදානම්. විශේෂයෙන්ම රාමායණය ලියැවුණු ඉන්දියාව වගේ රටක. නමුත් මේ වන විට සීතා ගේ කතාව අපි ජාත්‍යන්තර වේදිකා හතරක වේදිකා ගත කළා. ඒ හැම ප්‍රදර්ශනයක්ම සාර්ථකයි. ගිය මාසේ දිල්ලි සහ ලක්නව් නුවර පැවැති අන්තර් ජාතික රාමායණ උලෙළට (International Ramayana Festival) මේ මුද්‍ර නාට්‍ය වේදිකා ගත කරන්න එරට සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයෙන් ආරාධනා ලැබුණා. එම උලෙළේ දී සීතා ගේ කතාව නැරැඹු උත්තර් ප්‍රදේශ් මහ ඇමැතිවරයා සීතාගේ කතාවට කොතරම් වශී වුණා දැයි කිව්වොත් “සීතාට වුණු ඇත්ත කතාව කතා කළේ ඔබලා විතරයි ඒ නිසා ඇවිත් මේක අපේ ප්‍රජාවට පෙන්වන්න කියමින් ඔහු මට ආරාධනා කළා. ඒ අනුවයි සීතාගේ කාතාව පසුගිය 25,26 අයෝධ්‍යාවේ වේදිකා ගත කෙරුණේ. චිත්‍රසේන මහත්තයලා, රවී සර් ලා කළාට පස්සේ සීතා ගේ කතාව තමයි මෑත කාලීනව ලංකාවෙන් අන්තර්ජාතික වේදිකාවට තේරුණු එකම මුද්‍රා නාටකය.

සීතා උපන් ගමෙන් ඔබේ සීතාට ලැබුණේ මොන වගේ පිළිගැනීමක්ද?

ඉන්දියාව පුරාම හිසේ කෙස් ගාණට මම නටලා තියෙනවා. නමුත් පළමු වතාවටයි ලංකාවේ කෙනකුට ආරාධනා කරන්නේ රාමා සීතා ගේ කතාව අයෝධ්‍යාවේ පෙන්වන්න. මහ ඇමැතිවරයා අයෝධ්‍යාවට එන්න කියද්දි මගේ ඇඟ හීතල වුණා ලක්නව්, දිල්ලි අපේ කතාව පිළි ගත්තට අයෝධ්‍යාව අපේ සීතාව පිළිගනීවිද කියලා. නමුත් වාල්මිකිගේ අදහසට එහා ගොස් ගැහැනුන්ට අපහස, පරිබව කරන්නේ ඇයි දැයි මම ඉස්මතු කළ කාරණය, හා අප සීතාට අගතියක් නොකළ බව ඒ ප්‍රජාව අවබෝධ කර ගෙන ඒ වෙනුවෙන් සම්මානයකින් පවා මට උපහාර පුදමින් කළ ඒ ඇගැයීම කොතරම් භාග්‍යයක්ද.

 

රාවණා දුෂ්ටයා කොට සලකන ඉන්දියාවේ රාවණාගේ චරිතම ඔබ ඉස්මතු කළේ කොහොමද?

රාවණා ගේ රණකාමීත්වය, වීණා වාදනයට හා නර්තනයට ඔහුගේ තිබූ දක්ෂතාව සහ ඔහු සතු ඉහළ ඥානය මා මේ මුද්‍රා නාට්‍ය තුළ ඉස්මතු කළා. බැලේ එකේම රාවණා නිරූපණය වෙන්නේ අවස්ථා දෙකකයි. ඒ, ඔහු ගැහැනුන්ට ගෞරව කළ, පලියට පලිය ගන්න ගෙනාව සීතා වගේ රූමත් ගැහැනියක් දිහා ඇස් කොනකින්වත් නොබලා තම බිරිය හා සියලු කම් සැප ආදරයෙන් විඳි අවස්ථාව සහා රාවණා ගේ පතිනි භක්තිය හා රාමාගේ සැකය පිළිබද සීතා දෝලනය වන අවස්ථාවයි. රාවණා පිළිබඳ පැහැදීමක් නොතිබුණු ඉන්දියාවේම රාවණාට අත්පුඩි ගස්සන්න මගේ දේහධාරී රාවණා ගේ නර්තනයට හැකි වුණා.

 

නර්තනයේ නව මානයන් සොයා යමින් ඔබ කරන මේ උත්සාහයට මෙරට නිසි ඇගැයීමක් තිබෙනවාද?

‘නර්තන මාෆියාව‘ කාලයක් තිස්සේම මේක වහන්න හැදුවා. නමුත් දැන් ඒ ඇගැයීම තියෙනවා. ඒ වෙනුවෙන්, විද්‍යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය මට නොසෑහෙන්න උදව් කළා. මාධ්‍යයෙන් එවැනි සහායක් නොලැබෙන්න මට එළියට එන්න ලැබෙන්නේ නැහැ. අද මම බොහොම තෘප්තිමත්ව වැඩ කරනවා. මට ඉන්නේ මාසේ හොඳ වේතනයක් ලබන වෘත්තීය මට්ටමේ නර්තන ශිල්පීන් 40 ගෙන් යුතු කණ්ඩායමක්. අපි සමඟ පාසල් දරුවෝ දහස් ගණනක් ඉන්නවා. නමුත් රට යන ටිකට් එකකටවත් මේ ආයතනයෙන් ඒ කිසිම දරුවකුගෙන් රුපියල්කවත් ගන්නේ නැහැ. එයට අවශ්‍ය අනුග්‍රාහක දායකත්වය විවිධ සමාගම්, කෙසේ හෝ පවතින රජයන්, රජයේ ආයතන, බහු ජාතික සමාගම් හා විදෙස් රටවලිනුත් මට නොඅඩුව ලැබෙනවා.

 

චිත්‍රපට නර්තන අධ්‍යක්ෂණයට සමු දුන්නේයම් කලකිරීමකින්ද? 

ඇත්තටම කලකිරීමක් තිබෙනවා. චිත්‍රපට වෙනුවෙන් මගේ ජීවිතේ සෑහෙන කැප කළා නමුත් අර මං කලින් කියපු නර්තන මාෆියාව චිත්‍රපටවලත් දැන් පැතිරෙන්න පටන් අරන්. “චන්දන එනවා නම් නටන්න බැහැ“ කියන නැට්ටුවෙක් ඉන්නවා ලංකාවේ. ළඟදී චිත්‍රපටයක සින්දු දෙකක් කරලා මම ඉවත් වුණා පොඩි පොඩි ප්‍රශ්න නිසා. නමුත් මම වෙනුවට නොමිලයේ නර්තනයේ යෙදෙන්නත් සමහර ප්‍රවීණ උදවිය පෙළඹිලා. සම්මාන පිපාසෙන් නොමිලයේ නටන්න ලෑස්ති කට්ටියකුත් ඉන්නවා. චිත්‍රපට

සම්මානවලින් මම ලංකාවේ අංක එක. නමුත් ඒ නැට්ටුවන්ගේ මාෆියාවත් එක්ක වැඩ කරන්න සහ ඩිල් එක්ක නටන්න බැරි නිසා මම සිනමාවෙන් ඉවත් වුණා. කාටවත් අවශ්‍ය විදිහට මගේ ජීවිතේ තීරණය කරන්න මම ඉඩ දෙන්නේ නැහැ.

 

වසර ගණනක් ඔබ එක්තරා රියැලිටි වැඩසටහනකටම කොටු වී සිටින්නේ ඇයි?

මම පෙනී සිටින්නේ පුංචි ළමයි වෙනුවෙන් කරන තරඟයකට. අපි පුංචි අපේ කාලේ දක්ෂතා පෙන්වන්න මෙහෙම තරග තියා වේදිකාවක්වත් තිබුණේ නැහැ. අද ඒ අවස්ථා පුංචි දරුවන්ට ලැබිලා. එතැනදි මටත් විනිශ්චය මණ්ඩලයේ සිටින අනෙක් අයටත් පුළුවන් වුණා අපක්ෂපාතීව දක්ෂයින් පිරිසක් හඳුන්වා දෙන්න. ඒ ළමා රියැලිටි කලාව නිසා පාසල් තරගත් විචිත්‍ර වුණා. ඒ ළමා රියැලිටි කලාව අනුගමනය කරන්නත් ගොඩක් පිරිසක් පෙළඹූණා. මේ රියැලිටි වැඩසටහන ලංකාවේ දරුවන්ට හොඳ නර්තන පාසලක් වුණා සේම කිසිම ලොකු ආර්ථික වාසියක් නැතිව කෙරෙන සමාජ සේවයක්. යහපත් අරමුණක් ඇතිව කෙරන හොඳ දෙයක් නිසයි මම වසර ගණනක් තිස්සේ රැඳී ඉන්නේ. නමුත් ඉන් එහාට යන්නෙත් නැහැ එතැනින ඉවත් වුණු දවසක වෙන තරගෙකට යන්නෙත් නැහැ..

 

එකම දියණිය ඔබේ අඩිපාරේ යාවිද?

දැන් ඇය ‘සයිබර් සෙක්‍යුරිටි‘ යන විෂයයෙන් උපධිය හදාරමිනුයි ඉන්නේ. ඒ විෂයයට අමතරව කලාවට අවශ්‍ය දේවලුත් ඇය ඉගෙන ගන්නවා. උසස් අධ්‍යාපන කටයුතු අවසන් වූ පසු ඇය කලඑළි බහිවී. ඒ නර්තනයෙන් නෙමෙයි ඇය වෙනත් විදිහකට කලාවට ඒවී. ඇගේ ඒ මාධ්‍ය තුළ නර්තනය අනු විෂයයක් පමණයි.

 

වසර ගණනක් පුරාවට ගල් බොරලු මතින් ආ මාවත ගැන ඔබට මොනවද කියන්න තිබෙන්නේ?

මම අතිශයින් තෘප්තිමත්. දවසින් දවස මට හොඳ වෙනවා. වැඩ වැඩි වෙනවා. තව තවත් අවස්ථා ලැබෙනවා. ඉදිරියේදී තවත් දැවැන්ත මුද්‍රා නාටකයක් නිර්මාණය කරන්න ආයතනයක් හරහා මට අවස්ථාවක් ලැබී තිබෙනවා. ඒ ලැබුණු සහ ලැබෙන දේවල් එක්ක ජීවිතය පුරාවටම මම සතුටින්.

 

ඡායාරූපය ටෙනිසන් එදිරිසිංහ

Comments