රිදීතිරයේ සඳවතිය චන්ද්‍රා කලුආරච්චි දිවි රඟමඬලින් බැසයයි | සිළුමිණ

රිදීතිරයේ සඳවතිය චන්ද්‍රා කලුආරච්චි දිවි රඟමඬලින් බැසයයි

වේදිකාවේ පුංචි තිරයේ මෙන් ම රිදී තිරයේ නිරන්තරයෙන් දස්කම් පෑ මහා රංගන පෞරුෂයක් පසුගිය දිනෙක සිය ජීවන රඟ මඬලෙන් සමුගත්තා ය. ඒ ප්‍රතිභාපූර්ණ රංගන විශිෂ්ටය... චන්ද්‍රා කලුආරච්චි ය. රංගන ක්ෂේත්‍රයේ සිටි ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පීන් අතළොස්ස අතරේ කැපී පෙනෙන රංගන ප්‍රතිභාවක් සතු ශිල්පිනියෙකි. මේ සටහන දශක හයකට ආසන්න ඇගේ රංගන දිවියට  කෘතගුණ සැලකීමක් වශයෙනි.

චන්ද්‍රා කලුආරච්චි නම් රංගන ශිල්පිනිය සුවහසක් කලා ලෝලීන් ප්‍රථමයෙන් දැන හඳුනාගන්නට වූයේ ගුවන් විදුලි ශිල්පිනියක ලෙසිනි. ගුවන් විදුලි ළමා පිටියේ නාට්‍ය හඬ කැවීම් ශිල්පිනියක ලෙස කලාවට පිවිසි ඇය එවකට අතිශය ජනප්‍රිය වූ ‘මුවන්පැලැස්ස’, ‘මොනරතැන්න’ ආදී ගුවන් විදුලි නාට්‍යයන්හි ප්‍රධාන භූමිකාවන්ට හඬ ඔස්සේ දායක වූවාය. එලෙස හඬ කවමින් කලාවට පිවිසි චන්ද්‍රා නම් යෞවනිය වැඩි කලක් යන්නට මත්තෙන් ප්‍රසිද්ධ වේදිකාවට පිවිසෙන්නේ ප්‍රවීණ නාට්‍යවේදී දයානන්ද ගුණවර්ධනයන්ගේ මැදිහත් වීමෙනි. ඒ ඇය රඟපෑ ‘රත්තරං පුතා’ වේදිකා නාට්‍යය දැකීමෙනි. එවකට වයස 18 ක් තරම් භද්‍ර යෞවනයේ සිටි චන්ද්‍රා වේදිකාව මත නිරූපණය කරන්නට වූයේ අවුරුදු 80 ක මැහැල්ලකගේ චරිතයකි. ඒ සුවිශේෂී රංගනයට ආසක්ත ව‍ූ දයානන්ද ගුණවර්ධන ඔහු නිර්මාණය කළ ‘බක්මහ අකුණු’ වේදිකා නාට්‍යයේ ‘පබුලිනා’ බාරදෙන්නට දෙවරක් නොසිතුවේ ය.

1964 වර්ෂයේ සිට චන්ද්‍රා කලුආරච්චි නම් රංගන ශිල්පිනිය වේදිකාවට නැතිවම බැරි විය. එතැන් පටන් දයානන්ද ගුණවර්ධන, සුගතපාල ද සිල්වා, හෙන්රි ජයසේන, ප්‍රේම රංජිත් තිලකරත්න, ආර්. ආර්. සමරකෝන්, නාමෙල් වීරමුණි, ධම්ම ජාගොඩ ආදී ක‍ිර්තිමත් අධ්‍යක්ෂකවරු සමඟ සම්බන්ධවීමට අවස්ථාව සැලසිණි.

වහලක් නැති ගෙයක්, අම්මයි අප්පයි, ලෙඩක් නැති ලෙඩෙක්, චරිත දෙකක්, රට බාරයි නුඹට පුතේ, කෝන්තරේ, අහසින් වැටුණු මිනිස්සු, ඉඩම, ගජමන් පුවත, මායාදේවි, බක්මහ අකුණු, ඉබි කට්ට, උමතුසන් වරුසාව, නරිබෑණා, මධුර ජවනිකා, හුණුවටයේ කතාව, කැලණි පාලම ආදී වශයෙන් වේදිකා නාට්‍ය 60 කට පමණ රංගනයෙන් එක් වූ චන්ද්‍රා රංගන ශිල්පිනියක ලෙස ප්‍රථමයෙන් ම සම්මානනීයත්වයට පත් වූයේ ‘ඉඩම’ වේදිකා නාට්‍යයේ රංගනය උදෙසා හොඳම නිළියට හිමි රාජ්‍ය සම්මානය දිනා ගනිමිනි. ඉන් අනතුරුව හොඳම නිළිය, හොඳම සහය නිළිය, කුසලතා සම්මාන ආදියෙන් ඇය කිහිප විටෙකම ඇගයීමට පත්වූවා ය.

චන්ද්‍රා කලුආරච්චි නම් රංගන ශිල්පිනිය බිහි වීමේදී ඇයට කිසිවකු විශේෂයෙන් උදව් නොකළ නමුත් දයානන්ද ගුණවර්ධන හමුව ඇයට සුවිශේෂී වන්නට ඇත. ‘බක්මහ අකුණ’, නාට්‍යයේ ‘පබුලිනා’ ලෙස චන්ද්‍රා දැක්වූ ඒ ප්‍රතිභාව නිසාම ‘බක්මහ දීගේ’ නමින් එය සිනමාවට නැගෙද්දී ද ‘පබුලිනා’ ලෙස දයානන්දගේ තෝරා ගත්තේ ද චන්ද්‍රා ය.

‘බක්මහ දීගේ’ සමඟ චන්ද්‍රාගේ සිනමා ප්‍රවිශිෂ්ටය එසේ සිදුවූ අතර එතැන් සිට මියෙන තුරා ම ඇය රිදී තීරයේ විවිධ චරිත මවා පෑවාය. දහසක් සිතිවිලි, වැලිකතර, මාතර ආච්චි, තරංගා, සිරිල් මල්ලී, සෙලීනාගේ වලව්ව, සිහසුන, වසන්තයේ දවසක්, අතුරු මිතුරු, තුංමංහන්දිය, ඉරමැදියම, පාර දිගේ, ලක්සෙට කොඩිය, හිම කතර, ගැහැනු ළමයි, ආරාධනා, බොරදිය පොකුණ, හත්දින්නක් තරු, නිසල ගිර, සෙයිලම, කොළඹ සන්නිය, පවුරු වළලු, යුවතිපති, උප්පලවන්නා ආදී චිත්‍රපට සිය ගණනක් ඇගේ රංගනයෙන් වර්ණවත් විය.

වේදිකාවෙන් සිනමාවෙන් ඔපමට්ටම් වූ චන්ද්‍රා කලුආරච්චි නම් රංගන ශිල්පිනිය පුංචි තිරයට එබිකම් කරන්නේ මෙරට නිර්මාණය වූ ප්‍රථම ටෙලිනාට්‍යය දිමුතු මුතු සමඟිනි. එහි මුදලාලිගේ බිරින්දෑට ජීවය දුන්නේ චන්ද්‍රා ය. වේදිකාවට පිවිස‍ිමේදී දයානන්ද ගුණවර්ධනයන් අත දුන්නා සේ සිනමාවට ජී.ඩී.එල්. පෙරේරා මඟ පෙන්වූයේ යම් සේ ද එලෙසම චන්ද්‍රා හට පුංචි තිරයට මංපෙත් විවර වන්නේ ප්‍රවීණ චිත්‍රපට ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ ඩී.ඩී. නිහාල්සිංහයන් වෙතිනි. ආරම්භයේ සිටම ප්‍රවීණයන්ගේ අත හිත දීම ඇයට කලා ලොවේ මෙතරම් දුරක් එන්නටත්; ශක්තිමත්ව පැවැතෙන්නටත් හේතුවන්නට ඇති. ජී.ඩී.එල්. පෙරේරාගේ සිට ඩී.බී. නිහාල්සිංහ, ටයි‍ටස් තොටවත්ත, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, මහගම සේකර, සුනිල් ආරියරත්න, එච්.ඩී‍‍. ප්‍රේමරත්න, ධර්මසේන පතිරාජ, විජය ධර්ම ශ්‍රී ආදී වූ කලා ලොවේ ජ්‍යෙෂ්ඨ කීර්තිමත් සම්මානිත නිර්මාණකරුවන්ගේ සිට නව පරපු‍ෙර ප්‍රසන්න විතානගේ, සත්‍යජිත් මාඉටිපේ, සුනිල් කොස්තා වැනි තරුණ නිර්මාණකරුවන් දක්වා ඇගේ රංගන දායකත්වය විහිදුණි.

එමෙන්ම ඇයට ප්‍රවීණ සිනමාකරුවන් ගැන තිබූ ආඩම්බරය, යටහත්පහත්කම සේම නවක නිර්මාණකරුවන් ගැන තිබුණේ ද විශාල ගෞරවයකි. බොහෝ දෙනෙකු නව පරපුර හෙළා දකිමින් කතා කරන විට චන්ද්‍රා කලුආරච්චි ඔවුන් ගැන පැවසුවේ ප්‍රශංසා මුඛයෙනි. නව පරපුර විවේචනය කරමින් කෙනෙහෙළිකම් දක්වනු වෙනුවට ඔවුන් අගය කරන්නට තරම් ඇය නිහතමානී වූවාය.

“අලුත් ප‍රපුර හරි දක්ෂයි. එයාලට චරිත අවබෝධ කරදෙන්නට; චරිත අභ්‍යන්තරය විග්‍රහ කරදෙන්නට තිබෙන දැනුම්වත්කම පුදුමාකාරයි. අපිටත් ඉගෙන ගන්න දේවල් තියෙනවා.”

නව පරපුර සතු හැකියාව හා නිර්මාණාත්මක බව පිළිබඳ චන්ද්‍රා දැරුවේ එවන් මතයකි.

දිමුතු මුතු ටෙලිනාට්‍යයෙන් ඇරැඹි ‍රූපවාහිනී ආගමනය ද සැබැවින් ම විසිතුරු ය. මවකගේ ගීතය, අසල්වැසියෝ, එක ඉත්තක මල්, බුමුතුරුණු, දූ දරුවෝ, විලම්භීත, නොනගතයක නිමාව, විශ්වාන්තර, පිටගම්කාරයෝ, සිත නිවන කතා, බැද්දෙගෙදර, ස්වර්ණ තිසරාවි, අවිඳු අඳුර, රෝද හතරේ මනමාලයා ආදී ලෙස ටෙලි නිර්මාණ සියයක් පමණ ඇගේ රංගනයෙන් ඔපවත්වී ඇත.

බොහෝ විට චන්ද්‍රාගේ රංගනය ගත් විට රිදී තිරියේත් පුංචි තිරයේත් ඔබට ඔබට හුරු පුරුදු කටකාර බවින් පිරුණු වාග් විලාශ සැර පරුෂ නිරූපණයන් ය. සෙ‍ලීනාගේ වලව්ව චිත්‍රපටයේ ඇය දියණියන් දෙදෙනකු හදා වඩා ගන්නට අපමණ වෙහෙස වන කසිප්පු වෙළෙන්දියකි. ‘නිසලගිර’හි හිරබත් කන; හිරගෙදර ආදිපත්‍ය පැතිරවූ ගණන්කාර හිරකාරියකි. ඇගේ රංගනය පිළිබඳ විමසීමේදී කටකාර, සැරපරුෂ චරිත තුළ වුවත් තිබුණේ අපූරු ප්‍රතිභාවකි; එසේ ම විවිධත්වයකි. උත්පලවණ්නා චිත්‍රපටයේ මෙහෙණින් වහන්සේලාට සාත්තු සප්පායම් කරන අට සිල් රකින සුමනාවතී චරිතය ඇගේ රංගනය වෙනත් මානයකට රැගෙන ගිය චරිතයකි. ‘ලක්සෙට කොඩිය’ ඇගේ රංගන දිවිය අමතක නොවන පෙළහැර පෑ තවත් අමතක නොවන වෙනස්ම චරිතයකි.

“මම කවදාවත් තරුවක් වුණේ නැහැ. මට හුඟක් වෙලාවට ලැබුණේ කටකාර සැරපරුෂ චරිත. අම්මගෙ චරිතය මට හුඟක් නිරූපණය කරන්නට ලැබුණා. හැබැයි ඒ අම්මා නිර්මාණයෙන් නිර්මාණයට වෙනස් වෙමින් විවිධත්වයක් ඇති කරන්නට මට හැකිවුණා. ඒ නිසා මට කවදාවත් රඟපෑමේදී ඒකාකාරිත්වයක් දැනිලා නැහැ.”

වරක් චන්ද්‍රා රූපවාහිනී වැඩසටහනක එසේ පවසා තිබුණි. ඇය රඟපෑ කිසිදු චරිතයක තාත්විකත්වය අබිබවා රංගනය ඉස්මතුවූ බවක් අප දැක නැත. ඒ තරමටම ඇය චරිතයට සාධාරණය ඉටු කළා ය. චරිත නිරූපණය සැබෑවක් ලෙස දැනෙන තරමට ම තාත්වික වන්නට ඈ සතු දක්ෂතාව ව්‍යුත්පත්තිය මෙන්ම වේදිකාවේ ලැබූ පන්නරය ද හේතුවන්නට ඇත. ඇගේ රංගන විලාසය සැබැවින් ම නවක රංගන ශිල්පීන්ට අත්පොතක් බඳු ය.

“මමත් නිළියක් විදියට ගමනක් එද්දී මට දැනුණේ ඇත්තටම අම්මගෙ රංගනය විශාල පරාසයක් තුළ විහිදී ඇති බවක්. වෙනත් විදියට කිව්වොත් එය අධ්‍යයනයක් වගෙයි. ඒ තරමටම ඇය චරිතයේ ජීවත් වුණා.” එක්තරා රූපවාහිනී වැඩසටහනකට චන්ද්‍රා කලුආරච්චිගේ එකම දියණිය අමා විජේසේකර මවගේ රංගනය ගැන පවසා සිටියේ එලෙසිනි.

“හුඟක් අය හිතන්නේ අම්මා හරිම සැර කෙනෙක් කියලයි. ඒ ඇය රඟපාන චරිත දිහා බලලා දෙන විනිශ්චයයි. ඒත් ඇත්තටම අපේ ගෙදර වස අම්මා නෙවෙයි තාත්තා. අම්මා හරිම සාමාන්‍යයි. එයා නිළියක් කියලා කවදාවත් අපට දැනිල නැහැ. අපිට ආදරය, රැකවරණය ඕනෑ හැම මොහොතකම මල්ලිත්, මමත් ළඟ අම්මා හිටියා. අපි හතර දෙනා ඉන්නේ හරියට යාළුවො වගෙයි. අම්මත් එක්ක හැමදේම අපට කියන්න පුළුවන්. මගේ හොඳම යාළුවා වුණේ මගේ අම්මායි.”

සැබෑ ජීවිතයේ ඇගේ නිරහංකාර බව ගැන අමා කියා සිටියේ එලෙසිනි.

ප්‍රවීණ සංගීතවේදී ජනප්‍රිය ගායක ලක්ෂ්මන් විජේසේකර චන්ද්‍රා කලුආරච්චිගේ ආදරණීය සැමියායි. සංගීත විද්‍යාලයේ දී දැන හඳුනාගත් ප්‍රේමය විවාහයකින් කෙළවරවී අමා- විහඟ දූ දරුවන් සමඟ සුන්දර පවුල් අත්දැකීමක් විඳගනිමින් ජීවිතයෙන් සමුගන්නා තුරුම ඒ ආදරය, මිහිර අපමණව විඳ ගන්නට චන්ද්‍රා වාසනාවන්ත වූවාය. දියණිය අමා විවාහ වී සිටින්නේ ප්‍රවීණ මාධ්‍යවේදී නිමල් කැටපෙ ආරච්චි සමඟ ය. විහඟ පුතුණුවන් ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය හදාරා පෞද්ගලික අංශයේ රැකියාවක නිරත වෙයි. කලාව නිසාම හඳුනාගත් ලක්ෂ්මන් - චන්ද්‍රා තුළ තිබුණේ පුදුමාකාර බැඳීමකි. ඒ බැඳීම අමා - විහඟ දූ දරුවන් නිසා තවත් ශක්තිමත් විය; ආදරණීය විය. ලක්ෂ්මන්, අමා, විහඟ සමඟ සෙනෙහෙ පිරුණු කලාපුරේ කැදැල්ලේ චන්ද්‍රා සොඳුරු දිවියක් ගත කළාය. ඇගේ සැදෑ සමය බොහෝ විට ගතවූයේ පොත්පත් සහ ආගමික කටයුතු ඇසුරේ ය.

“මගේ රංගන ජීවිතය ගැන හීතල බලන විට මට විශාල සතුටක් දැනෙනවා. ඒක හරිම තෘප්තිමත් හැඟීමක්. මුල ඉඳලම මට දක්ෂ කීර්තිමත් අධ්‍යක්ෂකවරුන්ගේ නිර්මාණවලට එකතුවන්නට ලැබුණා. ඩී.ආර්. නානායක්කාර, දොන් සිරිසේන, දෙනවක හාමිනේ, මාලනී ෆොන්සේකා, අනෝජා වීරසිංහ, චම්පා ශ්‍රියාණි, ශ්‍රියාණි අම‍රසේන, ගීතා කුමාරසිංහ, ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම මේ හැම ප්‍රවීණ නළුවෙක්, නිළියක් සමඟම මට රඟපාන්නට ලැබුණා. රංගනයෙදි කවදාවත් ම මට මහන්සියක් කියල දැනුණෙ නැහැ. මම රඟපෑ හැම නිර්මාණයක්ම හැම චරිතයක් ම ගැන මට තියෙන්නේ ලොකු සතුටක්. දැන් ඉතින් අපි වියපත්. දැන්නම් ටිකක් මහන්සිය දැනෙනවා. 1964 ඉඳලා මෑතක් වෙනතුරුම කළේ ඉතින් රඟපෑම ම තමයි. දැන් නම් ඉතින් වැඩිපුරම කරන්නේ පොත්පත් කියවීමයි. කවදත් පොත්පත්වලට මගේ තිබුණේ පුදුමාකාර ඇල්මක්. ජීවිතයේ ආපස්සට හැරිලා බලද්දී අසතුටු‍ වෙන්න කිසිම දෙයක් නැහැ. හරිම ආදරණීය හැඟීමක් තියෙන්නේ.”

බොහෝ දෙනෙකුට කාලයත් සමඟ තමා නිරතවන වෘත්තිය පිළිබඳ දැනෙන්නේ අතෘප්තිකර; කළකිරුණු හැඟීමකි. එහෙත් චන්ද්‍රා දශක පහක් ඉක්මවූ තමා නිරත වූ රංගන ක්ෂේත්‍රය සිහිපත් කරන්නේ දැඩි ආදරයකිනි.

සැබැවින්ම චන්ද්‍රා කලුආරච්චිගේ රංගනයේ කිසිදු පලුද්දක් තිබුණේ නැත. හැම චරිතයක්ම සමාජයේ දකින්නට ඇති සැබෑ ලෙසටම ඇය නිරූපණය කළාය. එවන් හැකියාවන් ඇති රංගන ශිල්පීන් අපට සිටින්නේ අතළොස්සක් බව බොරුවක් නොවේ. බොහෝ නළුවන්, නිළියන් ඇඳගෙන රඟන විට චන්ද්‍රා වැන්නවුන් රංගනයේ නියැළුණා නොව හැසුරුණා ය. එනිසාම ඇගේ රංගනයේ දොසක් ඇදක් පලුද්දක් දක්නට නොතිබුණේ ය. ඇය තරුවක් ලෙස මතු නොවුණත් ජන හදවත්හි හද පත්ලෙහිම ගෞරව විරාජමානව නිදන්ව සිටියා ය. සම්මාන ඇගයීම්, කප්පරක් නොලැබුණාට ඈ ජනතා සම්මානයෙන් මිය යනතුරුම පිදුම් ලැබුමට වාසනාවන්ත වූවා ය. රංගන ශිල්පිනියකට කලාකාරියකට ඊට වඩා තවත් ගරු බුහුමන් කවරේද?

ජීවිතය වූකලී නිත්‍ය වූවක් නොවේ. මෙය තාවකාලික නවාතැන් පොළක් බඳු ය. කවදා කිනම් හෝ මොහොතක මේ නවාතැන් පොළෙන් අප නික්ම යා යුතු ය. සැබෑ දහම එයයි. සදාකාලික නොවූ ලෝකයක සදාකාලික කිසිවක්ම නැත. ජීවිතය... ආදරය.‍... බැඳීම්... නිලතල... මේ සියල්ල අප හැර දමා යා යුතුයි. අප මේ තාවකාලික නවාතැන් පොළින් නික්මුණ පසු ඉතිරිවන්නේ අප කළ හොඳක්ම මිස එක් කළ කිසිවක් නොවේ. ඒ නියත දහම තේරුම් ගෙන ගත කළ විට ජීවිතය සුන්දර ය.

සමීපතමයන්ගෙන් වියෝව ජීවත් වූවන්ට දරාගත නොහැකි දුකකි. එහෙත් ජීවත්වූ කාලයේ කලාවේ පෝෂණය උදෙසා කළ මෙහෙවර ගැන සිතීමෙන් ඒ සන්තාපය තරමකට දුරු කරගත හැකිය. චන්ද්‍රා කලුආරච්චි නම් වූ ඒ සුවිශේෂී ශිල්පිනිය එදා මෙදා තුර කලාව වෙනුවෙන් කළ ඒ උත්තරීතර සේවාව වෙනුවෙන් ඔබට ජනතා ප්‍රණාමය නිරතුරුවම හිමි වේ. ඔබට සුබට සුබ ගමන්!

ඡායාරූප - ලේක්හවුස් පුස්තකාලය

Comments