හෙළ ගී රැජනට ආයු රක්ඛන්තු ආ වඩා ! | සිළුමිණ

හෙළ ගී රැජනට ආයු රක්ඛන්තු ආ වඩා !

ලාංකේය චිත්‍රපට පසුබිම් ගීත  ක්ෂේත්‍රයට සේම සමස්ත ගීත  ක්ෂේත්‍රයටම ලතා වල්පොල නම් වූ ගීත කෝකිලාව තිළිණ කළ ගීත දහස් ගණනකි. ඒ වෙනුවෙන් ඈ  මෙරටදී හිමි කරගත් සම්මාන ද අති මහත්ය.

ලාංකේය ගීත ක්ෂේත්‍රයේ කිරුළ හිමි රාජිනිය ඇයයි. මෙ රට සුවහසක් ශ්‍රාවකයන් අදටත් සිය මනමෝහනීය හඬින් ආනන්දයට පත් කරන ගීත කෝකිලාව ද ඇයයි. මෙරට ගීත ක්ෂේත්‍රෙය් දශක හතකුත් ඉක්මවා ගිය කාලයක ගී ගයන්නේ නම් ඒ ද කලාශූරී ලතා වල්පොළ පමණක්ම විය හැකිය.

1933 නොවැම්බර් 11 වන දා ජෝසප් ලීනස් ප්‍රනාන්දුට හා එලිසබෙත් මියුරියල් යුවළට ලැබෙන තෙවැනි දරුවා වූයේ ඇයය. උප්පැන්නයට අනුව ඇගේ නම මාතරගේ රීටා ජෙනිවි ප්‍රනාන්දු විය.

කුඩා ජෙනිවි සිය පාසල් අධ්‍යාපනය අරඹනුයේ ගල්කිස්ස පල්ලියේ පාසලිනි. ඇය කුඩා කල පටන්ම පල්ලියේ ගීතිකා කණ්ඩායමේ නිත්‍ය සාමාජිකාවක් වූවාය. ගී රැජනක වීම දක්වා වූ ගමන් මඟේ මූලික අඩිතාලම වැටුණේ එතැනිනි. දේවස්ථානයේ ගී ගයමින් සිටි ජෙනිවි ට සිය පවුලේ හිතවතකුගේ මාර්ගයෙන් ගුවන් විදුලියේ ගීත ගයන්නට සම්බන්ධ අවස්ථාව ලැබෙයි. ජෙනිවිට ගුවන් විදුලි අත්වැල් ගායනයෙන් පසු තනිවම ගීයක් ගායනා කිරීමට ද අවස්ථාව උදා වෙයි. දහතුන් හැවිරිදි දැරිවියක වූ ඇය සරත් විමලවීර රචනා කළ ‘කඳුළු දෙනෙතේ වෑහෙනා’ නම් ගීතය වින්සන් ද අල්විස් සමග ගායනා කළාය. පසු කලෙක ලතා මෙරට චිත්‍රපට පසුබිම් ගායන ක්ෂේත්‍රයේ පුරෝගාමී සලකුණක් වුව ද මුල් යුගයේ ඈ ග්‍රැමෆෝන් තැටිවලට ගී ගැයූ ගායිකාවක වූවාය. එම ගීත එවකට ගීත ශ්‍රාවකයන් අතර අවධානයට පාත්‍ර වන්න තරම් නැවුම්, ආකර්ෂණීය හඬ පෞරුෂයක් ඈ සතු විය. ඒ වන විට ජනප්‍රිය ගායිකාවක ලෙස ජනගත වී සිටි චිත්‍රා සෝමපාල, රුක්මණී දේවි, කෝකිල දේවි වීරතුංග, කේ. කේ. රාජලක්ෂ්මී, කරුණා දේවි, වසන්තා සන්දනායක, චිත්‍රලේඛා, ජී. ඇස්. බී. රාණි, වැනි ගායිකාවන්ගේ හඬින් වෙන් වූ ගීතමය ලීලාවක් ලතා සතු විය.

එකල දෙමළ හා හින්දි තනුවලට ගි ගැයුණු කාලයේ නවමු තනුවලට ගී ගැයීමේ වාසනාව ඇය සතු විය.

ග්‍රැමෆෝන් ගීත මෙන්ම සුසිල් ප්‍රේමරත්නයන්ගේ හමුව ද රීටා ජෙනිවි ගේ ජීවිතය සුවිශේෂී සන්ධිස්ථානයකි. රීටා ජෙනිවි ‘ලතා’ ලෙස පරිවර්තනය කළේ සුසිල් ප්‍රේමරත්න විසිනි. ඇයට අනුව නම් එය දෙවියන් වහන්සේගේ කැමැත්තය. ඇගේ හඬ සුසිල් ප්‍රේමරත්නයන් හට ඉන්දියාවේ ලතා මංගේෂ්කාර්ගේ හඬට සමාන විය. එනිසා ප්‍රේමරත්නයන් ජෙනිවි ආමන්ත්‍රණය කර ඇත්තේ ලතා කියාය.. ගුවන් විදුලි සංස්ථාවේ ගීතයක් ප්‍රචාරය කිරීමේදී සුසිල් ප්‍රේමරත්න සමඟ රීටා ජෙනිවි ප්‍රනාන්දු යන නම දිග වැඩි වූ නිසා ද ජෙනිවි ලතා ප්‍රනාන්දු වූවාය.. එතැන සිට හැමෝටම ජෙනිවි, ලතා විය. ගෙදර අය පවා ඇයට ආමන්ත්‍රණය කළේ ‘ලතා’ යනුවෙනි. නමුත් එම්. එස්. ප්‍රනාන්දු කලාකරුවා හැමදාමත් ඇය ඇමතුවේ ‘ජෙනී’ නමිනි.

ලතාගේ සංගීත ගමනේ සුවිශාල ශක්තිය වූයේ ඇගේ මෑණියන්ය. සිය දියණියගේ සංගීත දිවිය වෙනුවෙන් ඇය සිය ජීවිතයට පවා කැප කළාය. වරක් සිය සැමියාට හොරා ගීත පටිගත කිරීමකට දියණිය මදුරාසියට රැගෙන ගොස් පැමිණි පසු ලතාගේ පියා ඔවුන් නිවෙසින් පිටමං කළේය.

ලතා චිත්‍රපට පසුබිම් ගායනයට පිවිසෙන්නේ 1953 වසරේදීය. ‘එදා රෑ’ චිත්‍රපටයට හර්බි සෙනෙවිරත්න සමඟ ‘තෑගි නම් කෝක වුණත් පිරියා’ නම් යුග ගීතය ගායනා කරමිනි. චිත්‍රපට ක්ෂේත්‍රයට ‘ලතා’ ගේ සම්ප්‍රාප්තිය එක්තරා ආකරයක විප්ලවීය වෙනසක් ඇති කළේය. ඒ වන විටත් දකුණූ ඉන්දීය ගායක ගායිකාවන් මෙරට සිනමාවේ තරග කරද්දි ලතා සිය අනන්‍යතාව ලාංකේය චිත්‍රපට පසුබිම් ගායනයේ තහවුරු කර ගත්තේ ස්වර සප්තකය හෝ ඉන්දියානු රාගධාරි සංගීතය පිළිබඳ කිසිදු න්‍යායික අධ්‍යයනයකින් හෝ පුහුණුවීමකින් තොරවය.

‘ප්‍රේම තරගය’ චිත්‍රපටයේ ‘හොඳ හොඳම වේය ලොව‘ ගීතය ධර්මදාස වල්පොල සමඟ ගායනා කිරීම ඇගේ චිත්‍රපට ගායන දිවියේ මෙන්ම පෞද්ගලික ජීවිතයේ ද එක්තරා සුවිශේෂ සන්ධිස්ථානයක් විය. ගීත කෝකිලාවට වාසනාව කැන්දූ ‘ලතා’ ට අනෙක් වාසනාව ගෙනෙන්නේ ‘වල්පොල’ නාමයයි. හියුගෝ ප්‍රනාන්දු ගේ යෝජනාවකට අනුව යසට ගැලපෙන ජෝඩුවක් ලෙස හැඳින්වූ ලතා - ධර්මදාස 1958 විවාහ වීම මෙන්ම චිත්‍රපට පසුබිම් ගීත ක්ෂේත්‍රයේ ලතා - ධර්මදාස යුගය ද එතැන් සිට ඇරැඹිණි.

“හොඳ හොඳම වේය ලොව

කිසිම තැනක නැහැ

නොහොඳ නරක දිනුවේ“

(හියුගෝ ප්‍රනාන්දු / ආර්. මුත්තුසාමි - චිත්‍රපටය - ප්‍රේම තරගය)

ඔය බැල්ම ඔය කැල්ම නිලුපුල් නෙතේ

(කරුණාරත්න අබේසේකර / ආර්. මුත්තුසාමි - චිත්‍රපටය - කුරුලු බැද්ද)

පෙම් මාලා ගොතා ගෙලේ පලඳන්නම්

ප්‍රේමේ මා හා ප්‍රේම සුදෝ . . .

(බෙනඩික්ට් ප්‍රනාන්දු / ආර්. මුත්තුසාමි - චිත්‍රපටය - මාතලන්)

ජීවන ගංගා ඉවුරේ අපි

ඇවිද යමු ප්‍රියේ

පායන හිරුට හාදු දී

මල් පිපී තියේ

(කරුණාරත්න අබේසේකර / පී. එල්. ඒ. සෝමපාල - චිත්‍රපටය - ශ්‍රී 296)

ලතා - ධර්මදාස සුසංයෝගය සිනමාව එකලු කළ ස්වර්ණමය යුගයකි. විවාහයෙන් පසු ලතා - ධර්මදාස දරුවන් සිවු දෙනකුගේ මවුපියන් ලෙසින් ද අතිශය කාර්යබහුල වූහ. ධර්මදාස වෘත්තීයට අභිමානයකින් ගෞරව කළ නීතිගරුක, ආචාරශීලී පුද්ගලයෙකි. සැමියෙකු ලෙස ඔහු ගුණගරුකය, දරුවන්ට දැඩිව ආදරේ කළ තාත්තා කෙනක් විය.

1983 ධර්මදාස වල්පොළගේ වියෝවීම නිසා අහිමි වූ පිය සෙනෙහස ද, ආර්ථික දුෂ්කරතා ද, ඉන්න හිටින්නට නිවෙසක් නැතිකම යන දුෂ්කරතා සියල්ල ජය ගනිමින් ඈ ජීවිතය දිනන්නට ගත් උත්සාහයට හෙණයක් පාත් වූවා සේය. එතැන් සිට සියලු දුක් පීඩා, තනිකම, වගකීම් දරා ගෙන ගී ලොව රැජිනකසේම ධෛර්යවන්ත කාන්තාවක ලෙසින් ද ඇය වැඩි කල් නොගොස්ම කිරුළු පැලඳුවාය.

ප්‍රේමණීය හැඟුම් දනවන්නට ද ඈ තරම් සමත් තව කෙනකු නැතැයි යනුවෙන් සිතෙන තරමට ඒ හඬ ආදරණීය වනු අපට කිසි විටෙකත් නොඅසා සිටිය නොහැකිය. ජීවන ගංගාධරයේ, ආදරයේ රන් විමනේ වැනි ගීත නිතැතින්ම මතකයට නැඟේ. ලතා ග්‍රැමෆෝන් ගී , ගුවන් විදුලි ගී , චිත්‍රපට පසුබිම් ගී මෙන්ම කැසට් ගී සහ ටෙලි නාට්‍ය පසුබිම් ගායනයෙන්ද සිය අනන්‍යතාව තහවුරු කළාය.

මෙරට නව පරපුර දෙස ඇය බලන්නේ ඉතා ළෙන්ගතුවය. ඇගේ ගී ගයමින් ක්ෂේත්‍රයට පැමිණ නමක් හදාගන්නා අය මෙන්ම එළිමහන් ප්‍රසංගවල දී ඇගේම ගීත ගයා ඇයටත් වඩා ලොකු මුදලක් අය කරන ගායිනාවන් පිළිබඳ පවා කිසිදු තරහක් ඇයට නැත. ඒ සියල්ල් දෙස උපේක්ෂා සහගතව ඇය බලන්නීය. ඒ අනාගත පරපුරක් බිහි වීමට ඉඩ හසර සලසා දිය යුතු බවට ඇය දරන මතය නිසාය.

ලාංකේය චිත්‍රපට පසුබිම් ගීත ක්ෂේත්‍රයට සේම සමස්ත ගීත ක්ෂේත්‍රයටම ලතා වල්පොළ නම්වූ ගීත කෝකිලාව තිළිණ කළ ගීත දහස් ගණනකි. ඒ වෙනුවෙන් ඈ මෙරටදී හිමි කරගත් සම්මාන ද අති මහත්ය.

ආදරණීය මෑණියකු, මිත්තනියක, මී මිත්තණියක ලෙස ජීවිතේ සැඳෑ සමය ගෙවන ඇය ධර්මයටද ඉතා ළැදිව විවේකීව නිදහසේ කාලය ගෙවන්නීය. ඒ විවේකයේදී තම ගීයක් ඉඳ හිටද මුමුනමින් සියල්ල දෙස සතුටින් උපේක්ෂාවෙන් බලා හිඳිමින් ජීවිතය ගෙවන්නීය.

ඇය හෙට දිනයේ සිය දිවි ගමනේ අසූ හය වන වියට එළැඹෙන්නීය... ලාංකේය ගීත කෝකිලාවෙනී, ඔබට චිරං ජයතු!

ඡායාරූප - අන්තර්ජාලයෙන්

Comments