කිඹු­ලා­පි­ටියේ ගිනිකෙළිකරුවන්ට යූ ටියුබ් අනතුරක් | සිළුමිණ

කිඹු­ලා­පි­ටියේ ගිනිකෙළිකරුවන්ට යූ ටියුබ් අනතුරක්

 

මේ දින­වල කිඹු­ලා­පි­ටිය ගැන කවු­රුත් කතා­බහ කරන්නේ එහි ප්‍රසි­ද්ධි­ය­ට­පත් රතිඤ්ඤා සහ ගිනි කෙළි, මල් වෙඩි සම්බ­න්ධ­යෙන් නම් නොවේ. එම ප්‍රදේ­ශ­යේම මල්වෙ­ඩි­ල්ලක් දල්ව­න්නට ගොස් පාසල් සිසු­වෙකු මිය­යා­මත් එහි උණු­සුම පහව යන්නට මත්තෙන් කිඹු­ලා­පි­ටි­යේම පව­ත්වා­ගෙන යන රතිඤ්ඤා කම්හ­ලක ඇති වූ පිපි­රී­ම­කින් පිළි­ස්සුම් තුවාල ලබා එම කම්හලේ හිමි­කරු මිය යාමත් යන අවා­ස­නා­වන්ත පුවත් අස­න්නට ලැබී­මත් සම­ඟය.

 

ගිනි­කෙළි නිසා වස­ර­කට කිඹු­ලා­පි­ටිය ප්‍රදේ­ශ­යෙන් මරණ හය හතක්ම වාර්තා වන බව කියන්නේ එම ප්‍රදේ­ශයේ වැසි­යන්ය. මේ සට­හන ගිනි­කෙළි මැද ජීවි­ත­යත් මර­ණ­යත් අතර සට­නක යෙදෙ­මින් වෙඩි බෙහෙත් සමග තම දිවි­පෙ­වෙත සරි කර­ග­න්නට වෙහෙ­සෙන කිඹු­ලා­පි­ටියේ රතිඤ්ඤා නිප­ද­ව­න්නන් ගැනය. මේ ඔවුන්ගේ කතා­වය.

කිඹු­ලා­පි­ටිය ගම්මා­න­යට ඇතුළු වන්නෙ­කුගේ නෙත පළ­මුව ඇදී යන්නේ දස අත දක්නට ලැබෙන නානා­ප්‍ර­කාර සතුන්ගේ නම් යෙදූ රතිඤ්ඤා සහ ගිනි­කෙළි කර්මා­න්ත­ශාලා හා වෙළෙ­ඳ­සැ­ල්වල නාම පුවරු වෙතය. එක­කට එකක් නොදෙ­වෙනි සේ ඔවුන් තම ව්‍යාපාර පව­ත්­වා­ගෙන යන අයුරු බැලූ බැල්ම­ටම පෙනේ. සෑම නිවෙ­ස­කම බට්ටන් ,රති­ඤ්ඤා­වැල් මෙන්ම නිලා­කූ­රුද අලෙවි කර­න්නට එල්ලා ඇත්තේ තර­ගයට මෙනි.

‘ජන­හඬ‘රතිඤ්ඤා හා ගිනි­කෙළි කර්මාන්ත ශාලාව වසර ගණ­නක් තිස්සේ පාර­ම්ප­රි­කව පව­ත්වා­ගෙන එනු ලබ­න්නකි. එහි හිමි­කරු නිමල් කුමා­ර­වංශ ප්‍රනා­න්දුය. පළ­මුව ඔහු මෙම කර්මා­න්තය ගැන අප සමඟ කතා­බ­හට එක් වූයේය.

‘‘මේ කර්මා­න්තය මට උරුම වුණේ මගේ පර­ම්ප­රා­වෙන්. දැන් අවු­රුදු හැටක විතර කාල­යක සිට අපේ පවුලේ අය මේ කර්මා­න්තයේ යෙදෙ­නවා. මමත් මෙයට එක්වෙලා දැන් වසර තිහක් පමණ වෙනවා. අපේ තාත්ත­ලාගේ කාලෙදි අපිට නිෂ්පා­දන බල­ප­ත්‍රය කියලා කොළ කෑල්ලක් පම­ණයි තිබුණේ. හරිම නිද­හසේ විවෘත වෙළෙඳ පොළේ අමු­ද්‍රව්‍ය ලබා ගෙන රතිඤ්ඤා නිෂ්පා­ද­නය කර­න්නට ඉඩ පහ­සු­කම් තිබුණා. කොහොම වුණත් 1971 කැරැ­ල්ලෙන් පසුව විවෘත වෙළෙ­ඳ­පොළේ අමු­ද්‍රව්‍ය ලබා ගන්න තහ­න­මක් පැන­වුණා. අපේ බල­ප­ත්‍ර­ව­ලට යම්යම් නීති­රීති ප්‍රමා­ණ­යක් ඇතු­ළත් වුණා. ඉන් පසුව ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ මැදි­හ­ත්වී­මෙන් බල­ප­ත්‍ර­ව­ලට යම් කිසි අමු­ද්‍රව්‍ය ප්‍රමා­ණ­යක් නිකුත් කළා. එය තමයි දිගින් දිග­ටම වස­රක් පාසා අපි අලුත් කර­මින් ලබා­ගෙන මේ කර්මා­න්තය කර­ගෙන යන්නේ. කර්මා­න්තයේ ප්‍රමා­ණය අනුව අදාළ නිල­ධා­රින් පැමිණ තක්සේ­රු­වක් කරලා තමයි අවශ්‍ය වෙඩි බෙහෙත් ප්‍රමාණ නිකුත් කරන්නේ. එයින් තමයි අපි අපේ නිෂ්පා­දන සිදු කරන්නේ. මේ දව­ස්වල නම් රතිඤ්ඤා, ගිනි­කෙළි නිෂ්පා­ද­නය කෙරෙ­නවා අඩුයි. මොකද රති­ඤ්ඤා­ව­ලට අව්ව අව­ශ්‍ය­මයි. වැසි සහිත කාල­ගු­ණ­යක එය නිප­ද­වීම අසී­රුයි.

ඒ කාලෙ මේ ගම­ටම තිබුණේ බල­පත්‍ර තිස්ප­හක් හත­ළි­හක් පමණ ප්‍රමා­ණ­යක්. ඒත් අද වන විට බල­පත්‍ර තියෙන අය දෙසී­ය­කට ආස­න්නව ඉන්නවා. අනෙක ඒ කාලෙ බල­ප­ත්‍ර­යක් නිකුත් කළේ ඉඩ­කඩ බලලා. අවම වශ­යෙන් අක්කර දෙක තුනක් තිබිය යුතුයි. නමුත් දැන් දේශ­පා­ල­නය නිසා පොඩි මිනි­ස්සුන්ට ජීවත් වෙන්න ඕන කියලා පර්චස් හත­ළි­හක ප්‍රමා­ණ­ය­ටත් බල­පත්‍ර දෙන්න පට­න් අ­රන්. අද වන විට මුළු කිඹු­ලා­පි­ටි­යේම දකින්න තිබෙන්නේ රතිඤ්ඤා කර්මා­න්ත­යෙන් යැපෙන ජීවිත තමයි.“ ඔහු පව­සන්නේ කිඹුලාපිටියේ ජන­තා­වගේ ජීවිත රතිඤ්ඤා කර්මා­න්තය හා බද්ධ වී ඇති අන්ද­මයි.

‘‘අද වෙන­දට වඩා රති­ඤ්ඤා­ව­ලට සෑහෙන ඉල්ලු­මක් සමා­ජයේ තිබෙ­නවා. මේ නිසා කිඹු­ලා­පි­ටියේ හැම­තැ­නම වගේ රතිඤ්ඤා විවිධ ලෙස නිපද වෙනවා. ඒ අතර බට්ටො, මල් වෙඩි වර්ගද ෂෙල්, මිනි ෂෙල් ලෙස නිපද වෙනවා. මේවා භාවි­ත­යට ගන්නා පාරි­භෝ­ගි­ක­යන් අනි­වා­ර්ය­යෙන්ම මේවායේ තිබෙන උප­දෙස් කියවා බලන්න ඕන. ඒත් ඔවුන් එහෙම නොක­රන බව තමයි පෙනෙන්නේ.“ ඔහු පව­සයි.

“ ගොඩක් වෙලා­වට රතිඤ්ඤා, මල්වෙඩි පත්තු කරන්න ගිහින් අන­තු­රට ලක්වෙන්නේ, කර්මාන්තශාලා හා සේව­ක­යන් අන­තු­රට ලක් වෙන්නෙ නොසැ­ල­කිල්ල නිසයි. මේ අමු­ද්‍රව්‍ය ගබඩා කරන්න ඕන ඈත ඈත. එය පිළි­ප­දින්නෙ නෑ. සම­හරු අමු­ද්‍රව්‍ය කන්ටේ­න­ර්වල ගබඩා කර තිබෙ­නවා. මේ නිසා සෑම වස­ර­කම වටිනා ජීවිත හයක් හතක් නොසැ­ල­කිල්ල නිසා අහිමි වෙනවා. රතිඤ්ඤා , මල් වෙඩි ලබා ගැනීමේ දී වග­කිව යුතු ආය­ත­න­ය­කින් වගේම ප්‍රමි­ති­ගත තැන­කින් ලබා ගන්න පාරි­භෝ­ගි­ක­යාත් වග­බලා ගත යුතුයි.‘ඔහු පව­සයි.

එස්. කුමාර මහතා ද රතිඤ්ඤා කර්මාන්ත ශාලා­වක කළ­ම­නාක­රු­වෙකි. ඔහු පව­සන අන්ද­මට මෙම රතිඤ්ඤා කර්මා­න්තය කිඹු­ලා­පි­ටියේ ආරම්භ කර ඇත්තේ සූර්යා සහ මුවා යන වෙළෙඳ නාම­යෙන් රතිඤ්ඤා නිප­ද­ව­න්නට මූලික අඩි­තා­ලම දැමූ කේ. ඒමිස් පෙරේ­රාය. විදේ­ශීය මිතු­රෙ­කු­ගෙන් ලැබුණු වට්ටෝ­රු­වක් අත්හදා බැලී­මෙන් ලංකාවේ රතිඤ්ඤා නිෂ්පා­ද­නය කළ බවත් එහි මූලික පරී­ක්ෂණ අත්හදා බැලීම් වතුර යට සිදු වූ බව­ටත් පැරැ­න්නන් පව­සන බව කුමාර මහතා පව­සයි . ඒමිස් පෙරේ­රා­ගෙන් රතිඤ්ඤා නිප­ද­වීම ගැන උගත් බොහෝ දෙනා පසු­ක­ලක තම­න්ගේම රතිඤ්ඤා නිෂ්පා­දන තම නිවෙ­ස්වල ආරම්භ කිරී­මත් සමඟ කිඹු­ලා­පි­ටිය ගමේ හැම­දෙ­නාම පාහේ රතිඤ්ඤා නිෂ්පා­ද­ක­යන් හෝ ඊට සහාය වන්නන් බවට පත් වී තිබේ.

‘‘අපි අපේ කර්මාන්ත පව­ත්වා­ගෙන යන්නේ යම් කිසි නීති­රීති මාලා­ව­කට යට­ත්වයි. හුඟක් වෙලා­වට ගෙව­ල්වල හැරුණු විට කර්මා­න්ත­යක් ලෙස රතිඤ්ඤා නිප­ද­වන ස්ථාන­වල සේවය කරන්නේ දෙමළ සහ උඩහ පළා­ත්ව­ලින් ආ පිරිස්. මේ අය අතර බීඩි, සිග­රට් බොන්න හුරු වූ අයත් ඉන්නවා. එ්නිසා ඔවුන් බොන බීඩි­යක් සිග­රට් ගින්දර ටිකක් වැටු­ණොත් කර්මාන්තශාලා­වම ගිනි අර­ගෙන මහා විනා­ශ­යක් වෙන්න පුළු­වන්. එනිසා අපි බීඩි සිග­රට් බොන සේව­ක­යන්ට ඒවා පානය කරන්න වෙනම තැන් සකසා දී තිබෙ­නවා. සති­ය­කට දෙව­තා­වක් පමණ ඔවුන් දැනු­ම්වත් කිරීම සිදු කර­නවා. මම දන්නා තර­මින් මේ කර්මා­න්තයේ නියැ­ලෙන කිසිම රතිඤ්ඤා නිෂ්පා­ද­ක­යෙක් අන­තු­රක් වෙයි කියලා හීනෙ­කි­න්වත් බලා­පො­රොත්තු වෙන්නේ නැහැ. මොකද අපිට තිබෙන සේස­තම විනාශ වී යන නිසා. ඒ නිසා ව්‍යාපා­රි­කයා පරි­ස්සම් වෙනවා. කවුරු වුණත් මෙයට පුරුදු වුණාම බය ඇරෙ­නවා. ‘‘

‘ජය හඬ‘රතිඤ්ඤා නිෂ්පා­ද­නයේ හිමි­කරු ජය­ති­ලක මහතා ය. ඔහු අන­තුරු ඇති­වන තවත් අව­කා­ශ­යක් ගැන කිය­න්නේය.

‘අලුත් තාක්ෂ­ණය මේ රටේ සෑම ක්ෂේත්‍ර­ය­ක­ටම පැමිණ තිබෙ­නවා. රතිඤ්ඤා, මල්වෙ­ඩි­ල­ටත් ඒ විදි­හයි. සම­හරු මේවා අත්හදා බලන්න ඈඳා ගන්න ගිහින් නොහි­තපු විදිහේ අන­තු­රු­ව­ලට ලක්වෙලා සම­හර විට ජීවි­ත­යත් නැති කර ගන්නවා. හුඟක් වෙලා­වට අන්ත­ර්ජා­ලය, යූ ටියුබ්,ෆේස් බුක් හරහා ඔවුන් දැනුම සොයා යනවා. කොළ­ඹින් විවිධ කෙමි­කල් ගෙනැ­විත් මේ ද්‍රව්‍ය සමඟ කල­වම් කරලා විවිධ දේ හද­නවා. අත්හදා බැලීම් කර­නවා. එනිසා මේවා ගැන, නව තාක්ෂ­ණය ගැන අපිව රජ­යෙන් හෝ වග­කිව යුතු ආය­තන මඟින් දැනු­ම්වත් කර­නවා නම් හොඳයි. මොකද මෙය දියුණු කරන්න පුළු­වන් කර්මා­න්ත­යක්. එත් අවා­ස­නා­ව­කට මේ කර්මා­න්තය දව­සින් දවස අගා­ධ­යට යනවා.

දැන් ටොපි­යක් වුණත් හැදෙන්නේ නව තාක්ෂ­ණික උප­ක­රණ භාවි­ත­යෙන්. ඒත් අපි තව­මත් අතේ තමයි රතිඤ්ඤා බම්බුව රෝල් කිරීමේ සිට වෙඩි බෙහෙත් පුරවා නුල් යොදා අව­සා­නයේ වැලේ ගැට ගැසීම දක්වා සිදු කරන්නේ. අපි කියන්නේ නව තාක්ෂ­ණ­යත් මේ කර්මා­න්ත­යට ලබා දුන්නොත් මෙය මීට වඩා ප්‍රමි­ති­යෙන් යුතුව අන­තුරු අවම කර­ගෙන දියුණු කරන්න පුළු­වන් කිය­ලයි මම හිතන්නේ. ‘ජය­ති­ලක මහතා පව­සයි.

රතිඤ්ඤා සඳහා මේ වන විට යොදා ගන්නා අමු­ද්‍රව්‍ය පිළි­බඳ මෙම නිෂ්පා­ද­ක­යින්ගේ සිත් වල සතු­ටක් නොමැත. මන්ද රතිඤ්ඤා සඳහා අමු­ද්‍රව්‍ය නිය­මිත ප්‍රමි­ති­යෙන් යුතුව ලැබෙන විට අන­තුරු අවම කර­ගෙන උසස් ප්‍රමි­ති­යෙන් යුතුව රතිඤ්ඤා සහ මල්වෙඩි මෙන්ම ඒ ආශ්‍රිත වෙනත් නිෂ්පා­දන ද කළ හැකි බව ඔවුන්ගේ අද­හ­සය.

‘‘දැන් දැන් අපිට ලැබෙන වෙඩි ලුණු ආදිය ගැන නම් සතුටු වෙන්න බැහැ. පසු­ගිය පාස්කු ප්‍රහා­ර­යෙන් පස්සේ අපිට ලැබෙන බේත් ද්‍රව්‍ය­යත් සීමා කරලා තිබෙ­නවා. කිලෝ පන­හක් හම්බ වුණ අමු­ද්‍රව්‍ය දැන් ලැබෙන්නේ කිලෝ විසි­ප­හක් වගේ ප්‍රමා­ණ­යක්. ඒ වගේම දැන් පිට­ර­ටින් ගෙන්වන අමු­ද්‍ර­ව්‍යත් ප්‍රමි­ති­යක් නැති පාටයි. එහෙම වුණාම අපේ නිෂ්පා­ද­නත් බාල වෙනවා. විවිධ අන­තුරු සිදු වෙනවා. මොකද එක එක රට­ව­ලින් ගෙන්වන අමු­ද්‍ර­ව්‍ය­වල ප්‍රමි­ති­යත් වෙනස් නිසා. මෙය තව­මත් දෑතේ කර්මා­න්ත­යක්. ඉතින් ඒ අමු­ද්‍රව්‍ය අඩු­වෙන් කල­වම් කරන්න ඕනද වැඩි­යෙන් කල­වම් කරන්න ඕන ද කියලා අපි දන්නේ නැහැ. ඒ ගැන වග­කිව යුත්තෙ­කුත් නැහැ. අපි අපේ දැනුම අනුව මෙය කර­ගෙන යනවා.

මුල් කාලයේ දී ඊශ්‍රා­ය­ල­යෙන් ලැබුණු වෙඩි ලුණු උසස් ප්‍රමි­ති­යෙන් තිබුණු බව පෙනුණා. අපේ නිෂ්පා­ද­නත් හොඳට කළා. එත් දැන් නම් ඉන්දි­යා­වෙන් චීන­යෙන් ගෙන්වන අමු­ද්‍රව්‍ය ගැන සතුටු වෙන්න බැහැ. අනෙක මේ ද්‍රව්‍ය ප්‍රමි­ති­යෙන් යුතු ද යන්න සොයා බැලී­මට අපිට ලැබ් නැහැ. රජ­යෙන් ලබා දෙන දෙයින් අපි අපේ ව්‍යාපා­රය කර­නවා. මොකද අපි මේවා ප්‍රති­ක්ෂේප කළොත් අපේ ව්‍යාපාර බිඳ වැටෙ­නවා. රතිඤ්ඤා අවශ්‍ය වන කාල පසු­වෙ­නවා. අද පාරි­භෝ­ගි­ක­ය­න්ටත් ඕනෙ රතිඤ්ඤා කරලේ හරි බට්ටාගේ හරි සද්දෙ විත­රයි. ඔවුන් ඉල්ලන්නේ සද්දෙන් පිපි­රෙන්න ඕන කිය­ලයි. ඉතින් සද්දෙ විත­රක් බලල බැහැ. මෙය යම් ප්‍රමි­ති­ය­කින් යුතුව සිදු විය යුතුයි. අනෙක රතිඤ්ඤා කර­ලක් වගේම ෂෙල් වගේ දේවල් පුපු­රු­වන්න දරු­වන්ට කිසි­සේත්ම ලබා නොදිය යුතුයි. පසුගිය දා මේ ප්‍ර ෙද්ශයේම දරුවෙක් මියගියෙත්, මේ වගේ ම වගකීමකින් තොරව කටයුතු කළ නිසයි. මේ ගැන තවමත් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. වැඩි­හි­ටි­යන් වුණත් බීම­තින් මේ දේවල් පුපු­රු­වන් නොයා යුතුයි. ෂෙල් වගේ මල් වෙඩි බිම වළලා පත්තු කරන්න උප­දෙස් දීලා තිබෙ­නවා. අනෙක එය අලෙවි කරන අය අදාළ පාරි­භෝ­ගි­ක­යාගේ නිවෙ­ස­ටම පැමිණ එය ක්‍රියා­ත්මක කරන්න කට­යුතු කර­නවා. ඒ ගැන මේවා මිල දී ගන්නා පාරි­භෝ­ගි­ක­යන් දැනු­ම්වත් විය යුතුයි.‘‘ඔවුහු පව­සති.

කිඹු­ලා­පි­ටිය පුරාම කුඩා කුඩා ගෙව­ල්වල ද මෙම රතිඤ්ඤා කර්මා­න්තයේ නියැ­ලෙ­න්නන් පරි­සක් ඇත. ඔවුන් රතිඤ්ඤා බම්බු එතීමේ සිට වෙඩි ‍ෙබහෙත් කල­වම් කොට බට්ටන් හැදීම, නිලා කූරු සැක­සීම ආදී කාර්ය­ය­න්වල නිරත වෙන අන්දම දක්නට ලැබේ. යොවුන් වියේ දරුවෝ ද මේවාට දාය­ක­ත්වය දෙති. ඔවුන්ට මේ හැකි­යාව ලැබෙන්නේ අත්දැ­කී­මෙනි.

ලිලී මාග­රට් වසර ගණ­නක සිට නිවෙ­සට මෙම අමු­ද්‍රව්‍ය ගෙනැ­විත් රතිඤ්ඤා හදා අදාළ කර්මා­න්ත­ක­රුට ලබාදී මුද­ලක් උප­යා­ගෙන දිවි­ගෙ­ව­න්නි­යකි.

‘‘අපි හරිම දුප්පත්. මේ විදි­හට රතිඤ්ඤා බ්ට්ටෝ හදලා තමයි අපි ජීවත් වෙන්නේ. ඉතාම සුළු­වෙන් තමයි එය කරන්නේ. ලයි­සන් තියෙන ව්‍යාපා­රි­ක­ය­න්ගෙන් අමු­ද්‍රව්‍ය අර‍ගෙන බට්ටෝ රතිඤ්ඤා හදලා ඔවුන්ට දීලා තමයි දවසේ විය­දම හොයා ගන්නෙ...“රතිඤ්ඤා කිඹු­ලා­පි­ටිය මිනි­ස්සුන්ගේ ජීවිත ජීවත් කර­වන්නේ ඒ ලෙසය.

කිඹු­ලා­පි­ටියේ නිෂ්පා­ද­නය වන රතිඤ්ඤා පිළි­බඳ නියා­ම­නය වන ආය­තන කිහි­ප­යකි. මේ කර්මා­න්ත­යට අවශ්‍ය අමු­ද්‍රව්‍ය ලබා දෙන්නේ ආර­ක්ෂක අමා­ත්‍යාං­ශය හර­හාය. ඒ පුපු­රණ ද්‍රව්‍ය පාලකවරයා ඔස්සේය. එසේම අදාළ දිස්ත්‍රි­ක්ක­ව­ලට අනු­යු­ක්තව කට­යුතු කරන පුපු­රණ ද්‍රව්‍ය සහ­කාර පාල­ක­වරු සිටිති. ඔවුහු වස­ර­කට වරක් ගොස් මෙම කර්මාන්ත පිළි­බඳ සොයා බලති. මෙම කර්මා­න්තය නියා­ම­නය වන ආකා­ර­යත් මෙයින් ඇති­වන අර්බුද පිළි­බ­ඳ­වත් අපි පුපු­රණ ද්‍රව්‍ය පාලක වී. විජේ­සිංහ මහ­තා­ගෙන් විම­සී­මට කට­යුතු කළෙමු.

‘මේ කර්මා­න්ත­යට අවශ්‍ය අමු­ද්‍රව්‍ය අපි ලබා දෙන්නේ රාජ්‍ය ආර­ක්ෂක අමා­ත්‍යාං­ශය යටතේ රාජ්‍ය වාණිජ විවිධ නීති­ගත සංස්ථාව ඔස්සේයි. සාමා­න්‍ය­යෙන් මාස­ය­කට අමු­ද්‍රව්‍ය ‘පොටෑ­සි­යම් නයි­ට්ට්‍රේට්‘ කිලෝ හත­ළිස් දහ­සක් පමණ මෙර­ටට ගෙන්ව­නවා. මේ වන විට ඊශ්‍ර­යා­ල­යෙන් ආන­ය­නය කළ අමු­ද්‍රව්‍ය අපිට ගෙන්වන්න වී තිබෙන්නේ ඉන්දි­යා­වෙන්. මොකද ඊශ්‍රා­ය­ලයේ එම කර්මාන්තශාලාව පරි­සර ප්‍රශ්න­යක් නිසා මේ වන විට වසා දමා තිබෙ­නවා. එ්නිසා ඉන්දි­යා­වෙන් ගෙන එන අමු­ද්‍රව්‍ය ප්‍රමි­ති­යෙන් අඩුයි කියලා අපිට පැමි­ණිලි ලැබිලා නැහැ. මේ රතිඤ්ඤා කර්මා­න්ත­ශා­ලා­වල ප්‍රමි­තිය ගැන සොයා බලන්නේ එහි වට­පි­ටාව ගැන සොයා බලන්නේ අදාළ දිස්ත්‍රි­ක්කයේ කර්මා­න්ත­ශාලා ඉංජි­නේ­රු­ව­රයා විසින්. කර්මාන්ත ශාලාවේ හෝ අදාළ ඉඩ ප්‍රමා­ණයේ නිෂ්පා­ද­නය කරනු ලබන නිෂ්පා­දන ප්‍රමා­ණය මතයි අදාළ අනු­මැ­තිය හිමි වන්නේ. ඒ නිර්දේ­ශ­යන් මත තමයි අව­ස­ර­පත් ලබා දී තිබෙන්නේ. ගොඩ­ක්වෙ­ලා­වට මේ කර්මා­න්ත­ශා­ලා­වල අන­තුරු සිදු වන්නේ නොසැ­ල­කිල්ල නිසා බව වස­ර­කට සිදු වන අන­තු­රු­ව­ලින් පෙනී ගොස් තිබෙ­නවා. ඒවා වළක්වා ගැනී­මට මේ කර්මා­න්තයේ යෙදෙ­න්නන් කට­යුතු කළ යුතුයි. යම් හෙය­කින් අන­තු­රක් සිදු වුණු කර්මා­න්ත­ශා­ලා­වක් නැවත පටන් ගන්නා විට ඒ ගැන හොඳින් සොයා­බලා විම­ර්ශ­න­ය­කින් අන­තු­රුව තමයි නැවත බල­ප­ත්‍රය අපි ලබා දෙන්නේ. ‘‘පුපු­රන ද්‍රව්‍ය පාල­ක­ව­රයා පව­සයි.

මේ සියල්ල අතරේ කිඹු­ලා­පි­ටියේ ගම්වා­සීන් සතුටු වන දින­යක් ද උදා­වෙයි. එය නර­ඹ­න්නට අවට ගම්වා­සීන් ද ඇදී එන්නේ සතු­ටිනි. ඒ පල්ලියේ මංග­ල්‍යය යෙදෙන දින රාත්‍රි­යේ­දීය. මුළු කිඹු­ලා­පි­ටිය අහ­ස්ත­ල­යම පැය කිහි­ප­යක් පුරා නෙක නෙක පාටින් වර්ණ­වත් වන්නේ මල්වෙඩි වරු­සා­ව­න්ගෙන්ය. එයට ඉඩ දී පසෙ­කින් ඇති ගුව­න්තො­ටු­පළේ අහ­ස්යාත්‍රා ගමන් ද මද­කට නවතා දමන්නේ ඒ හෝරා කිහි­පයේ දිවිය පුරාම වෙඩි බෙහෙත් සමඟ දුක් විඳින ගම්වැ­සි­යන්ගේ සිත් තුළ පව­තින සතු­ට දෝරේ­ගලා යන්නට මල්වෙඩි දැල්ලෙන් අසි­රි­ම­ත් වන අහ­ස්ත­ල­යට ඉඩ දීය.

ජායා­රූප - රුවන් ද සිල්වා

Comments