කොස්ගොඩ සුජීගේ රහස් ඝාත­කයා වූ ආමි රුවන් කොටු­වුණු හැටි | Page 3 | සිළුමිණ

කොස්ගොඩ සුජීගේ රහස් ඝාත­කයා වූ ආමි රුවන් කොටු­වුණු හැටි

කුණේ බලය වෙනු­වෙන් ඇණ­කො­ටා­ගත් ප්‍රබල පාතාල අප­රා­ධ­ක­රු­වන් දෙදෙ­නෙක් වන්නේ මාක­ඳුරේ මධුෂ් සහ කොස්ගොඩ සුජීය. මේ දෙදෙනාම එල්.ටී.ටී.ඊ. යේ හිටපු සාමා­ජි­ක­යි­න්ගෙන් මෙන්ම හමු­දා­වෙන් පලා­විත් සිටි සෙබළුන්ගෙන් වැඩ ගත්හ. කළු­ත­රදී බන්ධ­නා­ගාර බස් රථ­ය­කට එල්ල­ කළ ප්‍රහා­රය, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශයේ විම­ර්ශන අංශයේ ස්ථානා­ධි­ප­ති­ව­ර­යාව සිටි පොලිස් පරී­ක්ෂක නියෝ­මාල් රංග­ජීව මහ­තාට පිළි­ය­න්ද­ලදී ප්‍රහා­රය සඳහා මධුෂ් යොද­වන්නේ හමු­දා­වෙන් පලා­විත් සිටින කුලී ඝාත­ක­යන් ය.

දකුණේ පාතාල සටන පැව­තුණේ මධුෂ් සහ සුජී අත­රය. මධුෂ් මෙන්ම සුජීද හිටපු එල්.ටී.ටී.ඊ. සාමා­ජි­ක­යෙ­කුගේ සහය සිය කල්ලි­යට යොදා ගත්තේය. සුජීගේ කල්ලියේ එදා සිටි ප්‍රධාන රහස් වෙඩි­ක්කරු එල්.ටී.ටී.ඊ. සාමා­ජි­ක­යෙකි. නමින් කෙනඩි නොහොත් බුම්මාය. ඔහු කොටි නායක වේලු­පිල්ලේ ප්‍රභා­ක­රන්ගේ සමීප ආර­ක්ෂක බළ­කාය වන චාල්ස් ඇන්තනී බල­කායේ වෙඩි­ක්ක­රු­වෙකි. බුම්මා සුජීගේ අව­ශ්‍ය­තා­ව මත ඝාතන රැසක්ම සිදු කළේය. ඩුබායි පැන සිටින කොස්ගොඩ සුජී බුම්මාව හසු­ර­වනු ලැබුවේ ඔහුගේ සමී­ප­තම මිත්‍ර­යෙක් වූ මයි­කල් හරහා ය. මයි­කල් නමැත්තා කලක් හමුදා කෝප්‍රල්වර­යෙකු ලෙස සේවය කර හමු­දා­වෙන් පලා ආ පුද්ග­ල­යෙකි. ඔහුත් දැන් ඉන්නේ ඩුබායිවලය. අන­තු­රුව මත්ද්‍රව්‍ය ජාවා­ර­මට සම්බ­න්ධ­ වන බුම්මා හෙළි­ද­රවු වීමත් සමග ඉන්දි­යා­වට පැන යන්නේය. මේ වන­ විට ඔහු ඉන්දි­යාවේ සිට කොළ­ඹට මත්කුඩු බෙදා හරින ප්‍රධාන නියෝ­ජි­ත­යෙකි.

බුම්මාව පාතාල අප­රාධ අංශ සහ පොලී­සි­යට නිරා­ව­ර­ණය වන විට කොස්ගොඩ සුජී සැඟ­වුණු අලුත් වෙඩි­ක්ක­රු­වෙකු සොයා ගත්තේය. ඒ මයි­කල්ගේ සහය ඇති­වය. ඔහු රුවන් කුමාර නොහොත් ආමි කුමා­රය. හමු­දා­වෙන් පලාවිත් සිටින ඔහු කෝප්‍ර­ල්ව­ර­යෙකි. විසිනව හැවිරිදි වියැති මෙම කොප්‍ර­ල්ව­ර­යාව මයි­කල් දැන හඳු­නා­ගන්නේ ඔහුද හමුදා සේවයේ නිර­තව සිටි­ය­දීය. එකල මයි­කල්ද කෝප්‍ර­ල්ව­ර­යෙකි. මයි­කල් හමු­දා­වෙන් පලා ­ගොස් පාතා­ල­යට වැටු­ණද කෝප්‍රල් රුවන් කුමාර සමග පැවැති හිත­ව­ත්කම දිග­ටම පව­ත්වා­ගෙන ගියේය. ඒ දුර­ක­ත­නය ඔස්සේය.

රුවන් කුමා­රගේ නම හමු­දා­වෙන් පලා ගිය සෙබළ ලැයි­ස්තු­වට ඇතු­ළත් වන්නේ 2018 වස­රේදී ය. ඒ ඔහු මඩ­ක­ල­පුව කඳ­වුරේ සේවයේ නිර­තව සිටි සිට කොළඹ එන අතරතුර බස් රථ­ය­කදී හමුවී හිතව­ත්ක­මක් පා අනි­යම් ඇසු­ර­කට මුල­පිරූ පොලො­න්න­රුවේ කාන්තා­වක් නිසාය. ඇය කටු­නා­යක නිද­හස් වෙළඳ කලා­පයේ සේවි­කා­වකි. විවා­හක කාන්තා­වක් වූ ඇයට දරු­වන්ද සිටි­යේය. එහෙත් ඒ අනි­යම් ඇසු­රට විවා­හය හෝ දරු­වන් බාධා­වක් නොවීය. දෙදෙනා අතර ඇසුර දුර­දිග ගිය එකක් වූයේය. ඇගේ කීමට පිටු­පා­න්නට නොහැකි තර­මට ඔහු ඇයට වශීවී සිටි­යේය. නිවා­ඩු­වට සූරි­ය­වැව මහගෙදර යනවා වෙනු­වට ඔහු ඇය සොයා යන්නේ කටු­නා­ය­කට ය. හමු­දා­වෙන් පලා ­ගිය සෙබ­ළෙක් බවට ඔහු පත්වන්නේ එසේ නිවා­ඩු­ව­කට ඇය සොයා පැමිණ නැව­තත් සේව­යට වාර්තා නොකළ බැවිනි. නිවා­ඩුව අව­සන් වූ පසු නැව­තත් සේව­යට යන්නට ඔහුට ඉඩ නොලැ­බෙන්නේ ඇගේ පෙරැ­ත්තට ය.

එතැන් සිට මේ යුව­ළගේ නවා­තැන්පොළ බවට පත්වන්නේ සීදූව පැත්තේ බෝඩිම් කාම­ර­යකි. බෝඩි­මක් කීවාට එය කුකුළු කොටු­වක් බඳුය. රුව­න්ටද ජීව­ත්ව­න්නට සිදු­වූයේ කලා­පයේ ඇගලුම් කම්හලේ ජුකී මැෂින් පාගා ඇය හම්බ­ ක­රන තුට්ටු දෙකෙනි. ඔහු මේ ගැන කියන්නේ මයි­කල්ට ය. රුවන්ට උදව් කර­න්නට මයි­කල් ඉදි­රි­ප­ත් වන්නේ එක පයින්ම ය. ඒ ඔහු අනා­ගත ආයෝ­ජ­න­යක් බව දැන සිටි බැවිනි.

රුවන් කුමාර නියෝ­ජ­නය කළේ ගැමු­ණු­හේවා බළ­කා­යයි. දක්ෂ වෙඩි­ක්ක­රු­වෙකු වූ රුවන් කුමාර 2017 වස­රේදී ඉන්දි­යා­වට යැවෙන්නේ කැලෑ සටන් පුහු­ණු­ව­කට ය. එම පුහු­ණු­වට හමුදා බළකා සිය­ල්ල­න්ගෙන්ම තොරා ගැනෙන්නේ අටදෙනෙක් පමණි. රුවන්ට ඒ අව­ස්ථාව ලැබෙන්නේ ඔහු වැඩ්ඩෙක් වූ නිසාය. ඒ බව මයි­කල්ද දැන සිටි බැවින් ඔහු රුවන් කුමා­රව අත හැරියේ නැත. මයි­කල් රුවන්ට අනි­යම් බිරිය සමඟ ජීවත් වීමට ජා - ඇල පැත්තෙන් නිව­සක් පවා කුලියට ගෙන දුන්නේය. එම නිවසේ කුලිය පම­ණක් නොව, වියහිය­ද­මට මුදල් පවා රුවන්ගේ බැංකු ගිණු­මට බැර කළේය. මයි­කල් මේ සියල්ල මෙහෙ­ය­වනු ලැබුවේ ඩුබායි සිටය. ඒ කොස්ගොඩ සුජීගේ උප­දෙස් අනුව ය. කොස්ගොඩ සුජීද ඉඳහිට රුවන්ට දුර­ක­තන ඇම­තු­මක් ගෙන දුක සැප විම­ස­න්න­ටද අම­තක නොක­ළේය. ඒ රුවන්ව දපනේ දාගෙන ඔහු­ගෙන් වැඩ ගනි­මිනි. කොස්ගොඩ සුජීගේ අබි­ර­හස් වෙඩි­ක්ක­රු­වෙක් බවට රුවන් පත්වන්නේ ඒ අයු­රිනි. කොස්ගොඩ සුජී ඔහු­ගෙන් බොහෝ වැඩ ගත්තේය. ඒ පොලී­සි­යට පවා සුජීගේ ඒ අලුත් වෙඩි­ක්කරු කවු­රු­න්දැයි සිතා ගන්නට පවා ඉඩක් නොත­බ­මිනි.

පාතාල මර්දන පොලිස් කණ්ඩා­යම්වලට මෙන්ම විශේෂ පොලිස් අංශ ගණ­නා­ව­ක­ටම වහන් වෙමින් සුජීගේ අණට මිනිස් ඝාතනවල නිර­තව සිටි රුවන්ව කොටු­කර ගැනී­මට හැකි­යාව ලැබෙන්නේ නුගේ­ගොඩ කොට්ඨා­ස ­භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී ලක්සිරි ගීතාල්ට ලද තොර­තු­ර­කිනි. ඊට මග පෑදෙන්නේ පසු­ගිය ජූලි 28 වෙනිදා නුගේ­ගොඩ ජම්බු­ග­ස්මුල්ලේ සිදු­වුණු වෙඩි තැබීම ය. එම වෙඩි තැබී­මෙන් අව­න්හල් හිමි­ක­රු­වෙක් ඝාත­නය වන අතර ඔහුගේ මිතුරා තුවාල ලැබීය. එම ඝාත­නයේ සැකය එල්ල­වන්නේ ජම්බු­ගස්මුල්ලේ බබී නමැති මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වෙ­කුට ය. මත්ද්‍රව්‍ය ජාවා­රම සම්බ­න්ධ­යෙන් ඇති­ වුණු ආර­වු­ලක් එම ඝාත­න­යට මුල්වී ඇතැයි පොලී­සි­යට පෙනී ගියේය. බබීත් ඝාත­නය වූ ව්‍යාපා­රි­ක­යාත් මත්ද්‍රව්‍ය ජාවා­රමේ නිර­තව සිට ඇත්තේද එකට ය. ඒ කොස්ගොඩ සුජීගේ බඩුය. එම ව්‍යාපා­රි­ක­යාගේ ඝාත­න­යෙන් පැය 24 ක් ගත­ව­න්නට මත්තෙන් බබී රටින් පැන්නේය. ඔහු නත­ර­වන්නේ ඩුබායි ගොසිනි. බබීත් දැන් සිටින්නේ කොස්ගොඩ සුජීගේ ළඟය. එදා ඩුබායි ගිය දව­සේම ව්‍යාපා­රි­ක­යාගේ ඝාත­නයේ සතුට බබී විසින් සම­රන්නේ කොස්ගොඩ සුජී සම­ගිනි.

බබී ඩුබායි පැන සුජී සමග ජය­පැන් බොමින් සිටි­යදී ජම්බු­ගස් මුල්ලේ වෙඩි තැබීම ගැන පොලිස් කණ්ඩා­යම් කිහි­ප­යක්ම විම­ර්ශන පව­ත්ව­න්නට විය. වෙඩි තැබීම සිදු­වූයේ කොහු­වල පොලිස් බල ප්‍රදේ­ශයේ බැවින් වැඩි බරක් පැට­වෙන්නේ කොහු­වල පොලිස් ස්ථාන­ය­ටය. ඊට අම­ත­රව බස්නා­හිර පළාත් දකුණු දිසා නියෝජ්‍ය පොලි­ස්පති වසන්ත වික්‍ර­ම­සිංහ මහතා විසින් මිරි­හාන විශේෂ අප­රාධ මෙහෙ­යුම් ඒක­ක­ය­ටද විම­ර්ශනවලින් කොට­සක් පව­රනු ලැබීය. ඒ අතර නුගේ­ගොඩ කොට්ඨා­ස­ය ­භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි ලක්සිරි ගීතාල් මහතා විසින් කොට්ඨාස නීතිය බල­ගැ­න්වීමේ අංශ­ය­ටද වෙඩි­ක්ක­රු­වන් කොටු­කර ගැනීමේ වග­කීම පව­රනු ලැබීය. කොහු­වල පොලී­සියේ සහ මිරි­හාන විශේෂ අප­රාධ විම­ර්ශන ඒක­කය විසින් රටින් පලා ­ගිය බබීගේ සැල­සු­ම­කට අනුව එම ඝාත­නය සිදුවූ බව මෙන්ම ඊට අාධාර හා අනු­බල දුන් අය කවු­රු­න්දැයි හෙළි­ ක­ර ­ග­නි­මින් හය හත් දෙනෙක්ම වෙඩි තැබී­මට යොදා­ගත් ගිනි අවිය සමඟ අත්අ­ඩං­ගු­වට ගත්තද වෙඩි­ක්ක­රුව හඳුනා ගැනීම එත­රම් පහසු කට­යු­ත්තක් නොවීය. හෙළි­වන්නේ වෙඩි­ක්ක­රුවා දකුණේ සිට පැමිණි කොස්ගොඩ සුජීගේ ගෝල­යෙකු බව පමණි.

නීතිය බල­ගැ­න්වීමේ ඒක­ක­යට පැව­රෙන්නේ එම අබිර­හස් වෙඩි­ක්කරු හඳුනා ගන්න­ටය. එම ඒක­කයේ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක රන්ජන් කුමාර එම කට­යුත්ත භාර­දෙන්නේ පොලිස් කොස්තා­පල් මංජුල (449740) ටය. කාල­යක් දකුණේ පොලිස් ස්ථාන කිහි­ප­ය­කම සේවයේ නිර­තව සිටි මංජු­ලට දකුණේ අප­රා­ධ­ක­රු­වන් ගැන තිබුණේ හොඳ අව­බෝ­ධ­යකි. කොස්තා­පල් හේරත් (74923) සමග ඔහු මාස­යක් දෙකක්ම දකුණේ කරක් ගැසුවේ ය. විවිධ වෙස්ගෙන කොස්ගොඩ සුජීගේ රාජ­ධා­නිය පිහිටි අහුං­ගල්ල, කොස්ගොඩ, ඇල්පි­ටිය, බල­පි­ටිය සහ ඌර­ග­ස්ම­න්හං­දිය පැත්තේ සැරි­සැ­රූහ. මංජුල සහ හේරත්ගේ මහ­න්සිය වතුරේ ගසා­ගෙන නොගි­යේය. කොස්ගොඩ සුජීගේ අබි­ර­හස් වෙඩි­ක්ක­රු­වාව ඔවුහු හඳුනා­ගත්හ. ඒ වෙන කිසි­වෙක් නොව, ආමි රුවන්ය. ජම්බු­ග­ස්මුල්ලේ වෙඩි­තැ­බීම වන තුරුම ඔහු­ රැඳී සිට ඇත්තේ අහුං­ගල්ලේ සහ ඇල්පි­ටිය පැත්තේ ය. ඇල්පි­ටියේ ඔහු නවා­තැන් ගෙන සිටියේ කෝටි­පති කුරුඳු ව්‍යපා­රි­ක­යෙ­කුගේ නිව­සක ය. එම නිවසේ ඔහුට නවා­තැන් සපයා දී ඇත්තේ මයි­කල් ය. කෑම බීම ඇතුළු සිය­ලුම පහ­සු­කම්ද සහි­ත­වය. මංජු­ල­ටත් හේර­ත්ටත් දැන­ග­න්නට ලැබෙන්නේ ඒ වන විටත් ඔහු එම නිව­සින්ද පලා­ ගොස් වල­ස්මුල්ල පැත්තේ ගැව­සෙ­මින් සිටින බවකි.

ඒ අනුව වල­ස්මුල්ල පැත්තේ සැරි­ස­ර­මින් මංජුල හා හේරත් රුවන් ගැන තොර­තුරු සොය­න්නට ගත්හ. ඒ වන විට රුවන් සිටියේ වල­ස්මු­ල්ලෙන් පාන­දු­රට පලාවිත් ය. ඒ අතර ඔහු නුගේ­ගොඩ පැත්තේද සැරි­සැ­රුවේ ය. ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී ලක්සිරි ගීතාල්ට රුවන් ගැන ඉකුත් 02 දා තොර­තුරක් ලැබෙන්නේ මේ අතරතුරදී ය. ඒ රුවන් උඩ­හ­මුල්ලේ යම් තැනක රැඳී සිටින බවට ය. වහාම ක්‍රියා­ත්මක වූ ලක්සිරි ගීතාල් ඒ බව නීතිය බල­ගැ­න්වීමේ අංශයේ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක රන්ජන් කුමා­රට දැන්වීය. උප පොලිස් පරී­ක්ෂක ජය­ලත්, සැර­ය­න්ව­රුන් වන ගාමිණි (53724), කපිල (10810) සහ කොස්තා­ප­ල්ව­රුන් වන මංජුල (44974),කුමාර (39339), හේරත් (74923) සමග වහාම උඩ­හ­මු­ල්ලට යන ඔහු රුවන්ව බෙල්ලෙන්ම අල්ලා ගත්තේය.

කොස්ගොඩ සුජීගේ සැඟ­වුණු වෙඩි­ක්ක­රුවා එසේ කොටු­වන විට ජම්බු­ග­ස්මුල්ලේ ඝාත­නය පම­ණක් නොව, තවත් ඝාතන කිහි­ප­ය­කම අබි­ර­හස් විස­ඳෙ­න්නට ගත්තේ ය. ජම්බු­ග­ස්මුල්ලේ ඝාත­නය සිදු­වන්නේ සුජී­ගෙන් බබී කළ ඉල්ලී­ම­කට අනුවය. රුවන්ව සුජී රැගෙන එන්නේ අහුං­ග­ල්ලට ගොසිනි. ගිනි අවිය රැගෙන එන්නේ බබීගේ සුඛෝ­ප­භෝගී මෝටර් රථයේ සඟ­වා­ගෙ­නය. ඒ ජම්බු­ග­ස්මුල්ලේ වෙඩි තැබී­මට පෙර දින­යේදී ය. එදා ජම්බු­ග­ස්මුල්ලේ ප්‍රහා­ර­යට රුවන් යන්නේ බබී සම­ගිනි. යතුරුපැදිය පද­වන්නේ බබී ය. රුවන්ට ඉල­ක්කය පෙන්ව­න්නේද බබී ය. එදා රෑම රුවන් අහුං­ග­ල්ලට පැන ගත්තේය. ඒ බස් රථ­යක නැගීය. ඒ යන විට ඔහු වෙඩි තැබූ ගිනි අවි­යද රැගෙන ගියේය. එම අවිය මිරි­හාන විශේෂ අප­රාධ මෙහෙ­යුම් ඒක­කයේ නිල­ධා­රීන් සොයා ගන්නේ කොස්ගොඩ සුජීගේ ගෝල­යෙ­කුගේ නිව­ස­කිනි.

ජම්බු­ග­ස්මුල්ලේ ඝාත­නය සිදු­වන විට රුවන් සැඟවී සිටින්නේ අහුං­ග­ල්ලේය. ඇල්පි­ටියේ කුරුඳු ව්‍යාපා­රි­ක­යාගේ නිවස රුවන්ගේ ආර­ක්ෂක නවා­තැන්පොළක් බවට පත්වන්නේ ජම්බු­ග­ස්මුල්ලේ ඝාත­න­යෙන් පසු­වය. වල­ස්මු­ල්ලට ඔහු පැන­ ගන්නේ ඇල්පි­ටිය අධි­ක­ර­ණයේ විභාග වන ඉඩම් නඩු­ව­කට පෙනී සිටී­මට මගී බස් රථ­ය­කින් ගමන් කර­මින් සිටි පුද්ග­ල­යෙ­කුට බස් රථ­යක් තුළ­දීම ඉකුත් සැත්තැ­ම්බර් 06 වෙනිදා වෙඩි තබා ඝාත­නය කිරී­මෙන් අන­තු­රුව ය. එම ඝාත­න­යත් සිදු­වන්නේ කොස්ගොඩ සුජීගේ සහ මයි­කල්ගේ කීමට ය. රංජිත් ජය­ව­ර්ධන නමැති හත­ලිස්එක් වියැති එම පුද්ග­ල­යාව ඝාත­නය වන්නේ කොස්ගොඩ සුජී­ගේත් මාක­ඳුරේ මධු­ෂ්ගේත් බල අර­ග­ලයේ ප්‍රති­ඵ­ල­යක් ලෙසිනි. එම ඝාත­නය වෙනු­වෙන් සත පහක මුද­ලක් රුවන්ට නොලැ­බු­ණත් ජම්බු­ග­ස්මුල්ලේ ඝාත­නය වෙනු­වෙන් ඔහුට බබී­ගෙන් ලැබෙන්නේ රුපි­යල් විසි දහ­සක් පමණි.

එහෙත් සුජීගේ ඉල්ලී­මට රුවන් අතින් සිදු­වන පළමු ඝාත­නය වෙනු­වෙන් නම් බැංකු ගිණු­මට රුපි­යල් ලක්ෂ­යක්ම බැරවී තිබුණි. ඉකුත් ජන­වාරි 15 වෙනිදා වත්තල හේකි­ත්තේදී මෝටර් රථ­ය­කට එල්ල­වුණු වෙඩි ප්‍රහා­ර­යක් හමුවේ ඝාත­නය වන්නේ කොළඹ ජම්පටා වීදිය හොල්ලා­ගෙන සිටි කුඩු සෙල්විගේ දිය­ණිය විවහා ගිවි­ස­ගෙන සිටි ස්ටීවන් රාජේ­න්ද්‍රන් සහ සෙල්විගේ වැඩි­ම­හල් පුත්‍රයා වන ශිරාන්ගේ බිරි­ඳගේ සහෝ­ද­රයා වන සුප්ප­යියා මදි­වා­නන් යන දෙදෙනා ය. එම ඝාත­නයේ සැකය එල්ල ­වන්නේ සෙල්වි සහ ඔහුගේ දරු­වන් සමඟ වෛර­යෙන් පසුවී බුම්මාටය. දැන් හෙළි­වන්නේ කොස්ගොඩ සුජීගේ එල්.ටී.ටී.ඊ. වෙඩි­ක්කරු වූ බුම්මා විසින් කොස්ගොඩ සුජීට කොන්ත්‍රා­ත්තු­වක් දෙමින් එම ප්‍රහා­රය එල්ල­කර ඇති බවය.

රුවන් සිය අනි­යම් බිරිය අත­හැර අහුං­ග­ල්ලට පනින්නේ ඒත් එක්කම ය. අහුං­ගල්ලේ සිට සුජීගේ මත්කුඩු ජාවා­ර­ම­ටද රුවන් සම්බන්ධ වී සිටියේ ය. සුජී ඩුබායි සිට රුව­න්ගෙන් හොඳ­ටම වැඩ ගත්තේ ය. ඇල්පි­ටියේ බස් රථ ඝාත­න­යෙන් පසු රුවන් සිටියේ හොඳ­හැටි හෙම්බත්ව ය. සුජී සූදා­නම්ව සිටියේ තවත් වැඩ කීප­යක් කර­ගෙන රුව­න්වත් ඩුබායි රටට පන්නා ගන්න­ටය.

 

Comments