ගම්පහ වැසි­යන්ගේ සේස­තම සුන් කළ මහා තැන්පතු කොල්ලය | සිළුමිණ

ගම්පහ වැසි­යන්ගේ සේස­තම සුන් කළ මහා තැන්පතු කොල්ලය

“අවු­රුදු ගණන් දුක් විඳලා හම්බ කරපු සේස­තම හොරා කෑවා... දැන් අපට ලෙඩට දුකට බේතක් ගන්න­වත් සල්ලි නෑ“ අයෙක් එසේ පව­සද්දී තව­කෙක් “මහ­ත්තයෝ අපි බුල­ත්විට... ලොත­රැයි විකු­ණලා දවසේ කීයක් හරි හම්බ කරලා දාපු සොච්ච­මත් මේ තක්ක­ඩියා කෑවා..“

ගම්පහ ප්‍රදේ­ශයේ කලෙක සිටම වූ මූල්‍ය වංචා­ව­කින් පීඩා විඳින ගනු­දෙ­නු­ක­රු­වන් පිරි­සක් නඟන මැසි­වි­ල්ලකි ඒ. ගම්පහ දිස්ත්‍රික් සණස සංග­මයේ සභා­පති, ගම්පහ නාග­රික සණස සංග­මයේ උප­ස­භා­පති මෙන්ම ගම්පහ සංව­ර්ධන සමා­ගමේ සභා­පති ලෙස වැජ­ඹුණු නීති­ඥ­යකු ද වන ලලිත ජය­සූ­රිය එකී මූල්‍ය වංචාවේ ප්‍රධාන සැක­ක­රුයි.

ඔහු, පසු­ගිය 17 වැනිදා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට ලැබුණු පැමි­ණිලි අනුව අත්අ­ඩං­ගු­වට පත් වී මේ වන විට රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරනු ලැබ සිටී.

දිවු­ල­පි­ටිය, මැද­ග­ම්පි­ටියේ පදිං­චි­ක­රු­වකු වන හැට­හය හැවි­රිදි නානා­ය­ක්කාර ජය­සූ­රිය අප්පු­හා­මි­ලාගේ ලලිත ජය­සූ­රිය පෙර සඳ­හන් කළ තන­තුරු දර­මින් කර ඇතැයි කියන වංචාවේ මූල්‍ය­මය වටි­නා­කම කෝටි 500කට ආසන්න බව සැල වේ.

පසු­ගිය දිනෙක අප ගම්පහ ප්‍රදේ­ශයේ කළ සංචා­ර­ය­කදී එකී වංචා­වට හසු වී කර­කි­යා­ගත නොහැ­කිව සිටින දහ­සක් පමණ වන ගනු­දෙ­නු­ක­රු­වන් එක් වී පිහි­ටු­වා­ගත් ගම්පහ දිස්ත්‍රික් සණස තැන්ප­ත්ක­රු­වන්ගේ සංග­මයේ සභා­ප­ති­ව­රයා වන සුනිල් ප්‍රේම­සිරි පැවැ­සුවේ මෙවැ­න්නකි.

“ගම්පහ දිස්ත්‍රික් සණස සංග­මය කියන්නෙ ශ්‍රේෂ්ඨ ආය­ත­න­යක්. මිනිස්සු පුදුම විශ්වා­ස­යක් ඇති කර­ගෙන හිටිය තැනක්. තැන්ප­ත්ක­රුවෝ තුන්ද­හ­ස­කට වැඩිය හිටියා. මේ දිස්ත්‍රි­ක්ක­යේම තියෙන කුඩා සණස සමිති ඇතුළු බොහො­ම­යක් සමිති, සංගම් විශාල මුදල් ප්‍රමා­ණ­යක් තැන්පත් කරලා තිබුණේ මෙතැන. මං හිතන්නෙ මේ වංචා­වට හසු­වෙලා ඉන්න ප්‍රමා­ණය දහස් ගානක්. දහ, පහ­ළො­ස්දාහ දාපු මිනිස්සු කොච්ච­රද කියන්න බෑ. බැංකුවේ කෝටි 400කට වැඩි වත්ක­මක් තිබුණා. ජ්‍යෙෂ්ඨ පුර­වැ­සි­යන්ට 15%ක පොලි­යක් දෙනවා කියපු නිසා මාත් මීට අවු­රුදු හත­ර­කට පමණ පෙර සිට ලක්ෂ 29ක් දක්වා වරි­න්වර තැන්පත් කළා. මාසෙට පොලිය 20000ක් විතර හම්බ වුණා. ඒකෙන් තමයි ගෙදර විය­දම කළේ. පොලිය ගන්න පහු­ගිය අප්‍රේල් 11 වැනිදා ආවාම කළ­ම­නා­කාර තුමිය කීවා, 'අනේ මහ­ත්තයා බැංකුව පාඩු­වෙලා... බැංකුව වහලා. සල්ලි දෙන්න විදි­හක් නෑ' කීවා. මං දෙලෝ රත් වුණා. එදා ඉඳන් මේකේ තැන්ප­ත්ක­රු­වන් අසරණ වුණා.

සම­හර ගනු­දෙ­නු­ක­රු­වන් අද වන විට මිය­ගි­හින්. ඒ අයගේ මරණ සහ­තික අරන් ආවත් මේ අය සල්ලි දුන්නෙ නෑ... මෙයාලා මුලින්ම ගත්තෙ මිය­ගිය අයගේ ගිණු­ම්වල මුදල්. පස්සෙ ජ්‍යෙෂ්ඨ පුර­වැ­සියෝ අල්ල­ගෙන ඒ අයගේ සල්ලි ටිකත් හොරා කෑවා. මං වග­කී­මෙන් කිය­නවා, ලලිත් ජය­සූ­රිය මුළු පවු­ලම නඩත්තු කළේ මේකෙන්. ඔහුගේ පුත්තු දෙන්නෙක් ඉන්නෙ ඇමෙ­රි­කාවේ. මෙහි අධ්‍යක්ෂ මණ්ඩ­ලයේ එක් නිල­ධා­රි­යෙක් අනූ­නව වතා­වක් රට යවලා තියෙන බවට ආරං­චියි. අපි කියන්නෙ මෙවැනි දුක්ඛ­දො­ම­න­ස්ස­යන් නිසා අසා­ධා­ර­ණ­යට ලක් වන ජනයා දිහා රජ­යෙන් මෙන්ම වග­කි­ව­යු­ත්තන් බැලිය යුතුයි. මෙහෙම බැංකු, සමිති සමා­ගම් බිඳ වැටෙ­නවා නම් ජන­තා­වට අත්වන ඉර­ණම කුමක් ද? එම නිසා කිසි­යම් හෝ වග­කි­ව­යු­ත්තෙක් මීට මැදි­හත් වෙලා අපට සහ­න­යක් අරන් දෙන්න... ඒක පිනක්... ඒ වගේම මෙවැනි වංචා­කා­ර­යන්ට දැඩි දඬු­වම් දිය යුතු­මයි...“

රැකි­යා­වන්හි නිර­තව ජීවි­තයේ සැඳැ සමය විශ්‍රාම සුව­යෙන් ගෙවන බොහෝ දෙනා ලෙඩට දුකට අවැසි බෙහෙත් ටික ගෙන තිබු­ණේද ලැබුණු පොලි­යෙනි. එහෙත් ඔවු­නට අද අත් වී තිබෙන්නෙ ඛේද­නීය ඉර­ණ­මකි. එදි­නෙදා කුලි­යක් කර­මින් කඩල ගොට්ටක්, බුල­ත්වි­ටක්, කජු පැක­ට්ටු­වක් විකු­ණ­මින් හෝ ත්‍රිරෝද රථ­යක් කුලී කර­මින් ජීවි­තය ගැට­ග­සා­ගත් බොහෝ දෙනෙ­කුද ගමේ නග­රයේ මෙවැනි සණස සංග­ම්වල ගනු­දෙ­නු­ක­රු­වන්ය. ඔවුන් එදි­නෙදා ලැබෙන සොච්ච­මෙන් කොට­සක් ආයෝ­ජ­නය කරන්නෙ ඉදිරි බලා­පො­රොත්තු ගොන්නක් කර­පි­න්නා­ගෙ­නයි. එහෙත් ගම්පහ දිස්ත්‍රික් නාග­රික සණස සංග­මයේ තැන්පත් කළ­වුන්ට අද යන-එනමං නැත්තෙ සිදු වී තිබෙන වංචාවේ බැරෑ­රු­ම්කම නිසාය.

මේ දිස්ත්‍රික් සංගම් බැංකුවේ ලක්ෂ පහක මුද­ලක් තැන්පත් කළ ත්‍රිරෝද රථ රියැ­දු­රෙකු වන කඩ­වත ජගත්ට අද අත් වී තිබෙන අභා­ග්‍ය­ස­ම්පන්න ඉර­ණම ගැන පැවැසූ කතාව මෙසේය.

“මගේ බිරි­යගේ ඉඩම් කෑල්ලක් තිබිලා විකු­ණලා හම්බ වුණ ලක්ෂ පහක් තැන්පත් කළා අවු­රු­ද්දක කාලෙ­කට. ගිය අට­වැනි මාසෙ සල්ලි ගන්න තිබුණේ. ඒ අරන් මල්ලිගේ විවා­හෝ­ත්ස­ව­යට ලක්ෂ තුනක් දෙන්න හිටියේ. සල්ලි ගන්න ආවම බැංකුව වහලා. මල්ලිගේ මඟු­ලට සියල්ල සූදා­නම් කරලා තිබුණේ. අන්ති­මට සල්ලි දුන්නෙ හම්බ කරන් කාපු ත්‍රිවිල් එක උකස් කරලා. අද මට හයර් දුවන්න ත්‍රිවිල් එක­කුත් නෑ. මේ වෙච්ච දෙයින් රස්සා­වත් නැතිව මගේ දරු පවුල නඩත්තු කර­ග­න්නත් බැරු­වයි ඉන්නෙ... අපි පත් වෙලා තියෙන දුක්මුසු තත්ත්වය රටේ නාය­ක­තු­මා­ට­වත් පෙනෙ­නවා නම්.... අපිට සාධා­ර­ණ­යක් කරන්න...“

මෙරට ගම්ද­න­ව්වල ජන­යාට හදි­සි­ය­කට අත­මා­රු­වක් කර­ගන්නා සේ ඉතාම සර­ලව මූල්‍ය ගනු­දෙනු කිරී­මට ගමේ තිබෙන විශ්ව­ස­නීය සහ සර­ලම ආය­ත­න­යක් ලෙස සණස ප්‍රක­ටව තිබේ. 1906 සක­සු­රු­වම් හා ණය ගනු­දෙනු සමූ­ප­කාර සමි­තිය ලෙස ආරම්භ වූ එම සමි­ති­ව­ලට 1978 දී පී. ඒ. කිරි­ව­න්දෙ­ණිය මහ­තාගේ සංක­ල්ප­යක් මත සණස නාමය එක් විණි.

රට­පුරා පැතිරි තිබෙන අට­ද­හ­සක් පමණ වන සණස සමිති ඉතාම විනි­වි­ද­භා­ව­යෙන් සහ විශ්වා­ස­ය­කින් ගනු­දෙ­නු­ක­රු­වන් සමඟ කට­යුතු කරද්දී අත­ළො­ස්සක් වූ සමිති කිහි­ප­යක නිල­ධා­රින්ගේ ක්‍රියා­ක­ලා­පය නිසා සමස්ත සණස සමිති ව්‍යාපා­ර­ය­ටම මරු පහ­රක් වැදි තිබේ. පසු­ගිය කාලයේ මහත් ආන්දෝ­ල­න­යක් වූ විගොඩ, මහ­ර­ගම වත්තේගෙ­දර, නාවාන, කොලො­න්නාව, ගොත­ටුව සමි­ති­ව­ල­ටත් වඩා කෝටි සිය ගණ­නක මූල්‍ය වංචා­වක් සිදු වී ඇති බවට සැල වන ගම්පහ සණස මූල්‍ය වංචාව සුළු-පටු වංචා­වක් නොවන බව මේ වන විට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු විම­ර්ශ­න­ව­ලින් හෙළි වෙමින් තිබේ.

වංචාවේ මූලි­කයා වන ලලිත ජය­සූ­රිය විසින් සිදු කර ඇත්තේ ඔහු විසින් සභා­ප­ති­ත්වය දැරු ගම්පහ දිස්ත්‍රික් සණස සංග­මයේ සහ උප­ස­භා­ප­ති­ත්වය දැරු ගම්පහ නගර සණස සංග­මයේ මුදල් අයථා ලෙස ඔහුගේ සභා­ප­ති­ත්ව­යෙන් සහ ඥාති හිතෛ­ෂින්ගේ එක­තු­ව­කින් පිහි­ටු­වා­ගත් ගම්පහ සංව­ර්ධන සමා­ග­මට (GDC) පොම්ප කර­මින් කෝටි ගණ­නක වංචා­වක් සිදු කිරී­මයි. එකී වංචා­වෙන් ලලිත බන්ධ­නා­ගා­රයේ ගත­ක­රද්දී අස­රණ මිනි­සුන්ට ලක්ෂ ගණ­න­කට අත්වූ ඉර­ණ­මට වන්දි ගෙව­න්නට සිදු වී ඇත්තෙ හූල්ල­මිනි. ඇතැ­මෙකු කෝටි ගණ­නින් මුදල් තැන්පත් කර ඇත.

අප ගම්පහ දිස්ත්‍රික් සණස බැංකු පරි­ශ්‍ර­යට ගොස් සිටි­ය­දීත් තැන්ප­ත්ක­රුවෝ බොහෝ දෙනෙක් පැමි­ණෙන්නෙ තැන්පත් කළ මුද­ලින් කිසි­යම් ප්‍රමා­ණ­යක් හෝ රැගෙන යෑම­ටයි. අත්වා­රු­ව­කින් පැමිණ සිටි රත්නා­වලි මහ­ත්මිය,

“මගේ කකුලේ ඔප­රේ­ෂන් එකක් කරන්න තියෙ­නවා. දවස ගාණේ ඇවිත් මගේ සල්ලි ඉල්ලුවා. දෙන්නෙ නෑ. දැන් අපට මේවා කියන්න තියෙන්නෙ මාධ්‍ය විත­රයි. කවු­රු­හරි වග­කි­ව­යු­ත්තෙක් අපට සහ­න­යක් සලසා දුන්නොත් ලොකු පිනක්... ඔප­රේ­ෂන් එක ඉක්ම­න­ටම කර­ගන්න බැරි වුණොත් මට සද­හ­ටම ඇවි­දින්න බැරි වෙන තත්ත්ව­යක් තියෙන්නෙ.“

තවත් ලක්ෂ ගණ­නක මුද­ලක් තැන්පත් කළ රජයේ රැකි­යා­වක නියු­තුව විශ්‍රා­මික නිමල් කරු­ණා­ති­ලක මහතා ලලිත ප්‍රමුඛ වංචා­කා­ර­යන් මුද­ල්ව­ලට කළ-කී දෑ ගැන කියන්නෙ, “මෙයාලා අපේ සල්ලි නික­රුණේ නාස්ති කළා. විදේශ සංචාර අවු­රු­ද්ද­කට හතර පස් සැරේ ගිහින්. මං කියන්නෙ ලලිත ජය­සූ­රිය විත­රක් නොවෙයි, මීට වග­කි­ව­යුතු සියලු දෙනාම අත්අ­ඩං­ගු­වට ගෙන අපට සාධා­ර­ණ­යක් කර­දෙන ලෙසයි... මෙයාලා අපේ මුද­ල්ව­ලින් නොයෙක් විදි­හට වංචා කළා. ව්‍යාපෘ­ති­ව­ලට කියලා අඩු මුද­ලට ඉඩම් අරන්. හැබැයි මෙතැන පොත්වල ලියැ­විලා තියෙන්නෙ විශාල මිල ගණන්. ඒවා වෙන්දේසි කරන්න ගියාම විශාල මිල ගණන් කිය­නවා. ඒ කියන්නෙ රුපි­යල් සියය වටි­නා­ක­මක් තියෙන එක රුපි­යල් දාහක් වගේ... මිනිස්සු ගන්නෙ නෑ. ඒ මදි­වට කාමර දහ­ය­කට ප්ලෑන් පාස් කරන් කඩ කාමර 15ක් විතර හදලා. ඒවත් විකු­ණලා සල්ලි අරන්... ඒත් දැන් සල්ලි­ව­ලට වෙච්ච දෙයක් නෑ.“

ගම්පහ දිසාවේ තිබෙන 400ක් පමණ වන කුඩා සණස සමි­ති­ව­ලින් බොහො­ම­යක මුදල් තැන්පත් කර ඇත්තෙ මෙකී දිස්ත්‍රික් බැංකුව තුළයි. කෙසේ හෝ දහස් ගණ­නක් වන තැන්ප­ත්ක­රු­වන් චෝදනා කරන්නෙ දැනට බැංකුව පව­ත්වා­ගෙන යන ගොඩ­නැ­ගි­ල්ලද ලලිත ජය­සු­රිය ප්‍රමුඛ කණ්ඩා­යම උක­ස්කර ඇති බවයි.

ලලිත ජය­සූ­රි­යගේ වංචා­වෙන් ගම්පහ දිස්ත්‍රික් සණස සංග­මයේ තැන්ප­ත්ක­රු­වන් සේම ගම්පහ නාග­රික සණස සංග­මයේ ගනු­දෙ­නු­ක­රු­වන්ද වංචා­වට හසු වී ඇත. මේ වන විට නාග­රික සණසේ එම වංචාව රුපි­යල් කෝටි 72ක් බව එහි වත්මන් සභා­පති අජිත් පෙරේරා මහතා කීවේය.

ලලිත ජයසූරිය

“ඔය ලලිත ජය­සූ­රිය අද­ටත් මෙහි උප­ස­භා­ප­ති­ව­ර­යායි. 1960 තමයි මේ සණස ආරම්භ කරලා තියෙන්නෙ. එදා පත් වුණ සභා­පති පසු­ගිය මාර්තු 15 වැනිදා තමයි වෙනස් වුණේ. ඊට පස්සෙයි මාව පත් වුණේ. මං පත් වන විට මේ සණස ශාඛාවේ ද්‍රව­ශී­ල­තා­වක් නැහැ. එම නිසා තැන්ප­ත්ක­රු­වන්ට මුදල් දීමට හැකි­යා­වක් තිබුණේ නෑ. ගනු­දෙ­නු­ක­රුවෝ 2885ක් හිටියා. මං පත් වන විට කෝටි 93ක් තැන්ප­ත්ක­රු­වන්ට දෙන්න තිබුණා. මෙහි සල්ලි සම්පූ­ර්ණ­යෙන්ම ආයෝ­ජ­නය කර තිබුණේ ලලිත ජය­සූ­රි­යගේ සභා­ප­ති­ත්ව­යෙන් යුත් ගම්පහ සංව­ර්ධන සමා­ග­මෙයි. තැන්ප­ත්ක­රු­වන්ට දිය යුතු ප්‍රමා­ණය මම කෝටි 72ක් දක්වා අඩු­ක­ර­ගත්තා. ඒ සංව­ර්ධන සමා­ගමේ ඇතැම් දේපළ අත්පත් කර­ගෙන. අද වන විට අපට ලැබෙන්න තියෙන රුපි­යල් කෝටි 72න් 70ක්ම දිය යුත්තෙ සංව­ර්ධන සමා­ග­මයි. ඉතින් හිතන්න පුළු­වන්නෙ කර තිබෙන වංචාව. සණස ව්‍යව­ස්ථාව අනුව කාරක සභා­වට දෙන්න පුළු­වන් උප­රිම ණය ප්‍රමා­ණය රුපි­යල් ලක්ෂ දහ­යක් වගේ. ඒත් 2007 මේ සණ­සෙන් ජීඩීසී එකට පළ­මු­වැනි ණය ලෙස හාර­කෝටි අනූ­හ­ය­ල­ක්ෂ­යක් දීලා. ඒක විශාල නීති විරෝධි ගනු­දෙ­නු­වක්. එයත් හරි­හැටි නොගෙ­වද්දී තව තවත් ණය දීලා කෝටි ගණ­නින්.

එවැනි ගනු­දෙ­නු­ව­ලදී මං දකින ලොකුම ‍අඩුපා­ඩුව වෙලා තියෙන්නෙ අපව නියා­ම­නය කරන සමූ­ප­කාර දෙපා­ර්ත­මේ­න්තු­වෙන්. යම් වැරැ­ද්දක් වෙනවා නම් ඒ වැරැද්ද අධී­ක්ෂ­ණය කොට වහා ඒ අය ඒ දේ නිවැ­රැදි කළ යුතුයි. 2007 ඉඳන් 2017 දක්වා ණය දීලා. ඒ සියල්ල විග­ණ­නය වුවත් වැරැද්ද නිවැ­රැදි කරලා නෑ. එසේම පිරිස් බල තක්සේ­රු­වත් කරලා නෑ. වැඩ කරන සේව­ක­යන් පවා අර­ගෙන තියෙන්නෙ සමූ­ප­කාර කොමි­ෂන් සභාවේ අනු­දැ­නු­ම­කින් තොර­වයි. මේ පුද්ග­ලයා බැංකු­වට උකස් කරලා තියෙන ඇතැම් දේපළ වෙනත් අයට විකු­ණලා. මේ වන විට අප­රාධ පරී­ක්ෂණ නිල­ධා­රින් අහිං­සක මිනි­සුන්ගේ ‍මුදල් වංචා කළ අප­රා­ධ­කා­ර­යන් නීතියේ රැහැ­නට කොටු කර­ගැ­නී­මට විශාල මෙහෙ­යක් කර­නවා. මං ඒ නිල­ධා­රින් කරන කාර්ය­භා­රය ඉතාම අගය කොට සල­ක­නවා..“

බැංකු ගනු­දෙ­නු­ක­රු­වන්ට පම­ණක් නොව ලලි­තගේ වංචා­වට හසුව ඇත්තෙ ගම්පහ සංව­ර්ධන සමා­ගම විසින් ගම්පහ සහ ඒ අවට ඉදි කළ මහා පරි­මාණ නිවාස සහ සාප්පු සංකීර්ණ ව්‍යාපෘති මඟින් නිවාස, කඩ කාමර මිලට ගත් අය ද එකී වංචා­වට ගොදුරු වී ඇත. ඇතැම් දෙනා නිවාස හෝ කඩ කාමර වාරික ක්‍රම­යට මිලදී ගෙන ඇත. එකී පුද්ග­ල­යන්ට ඊට අදාළ ඔප්පුව ලැබෙන්නේ සියලු වාරික ගෙවා දැමී­මෙන් පසු­වය. වාර්තා වන ආකා­ර­යට එකී පුද්ග­ල­යන්ගේ ඔප්පුද මේ වංචා­කා­ර­යන් වෙනත් සමා­ග­ම්ව­ලට උක­ස්කොට මුදල් ලබා­ගෙන ඇති බවකි.

රටේ සෑම දේශ­පා­ලන ව්‍යාපා­ර­ය­කම සාමා­ජි­ක­යන් සම­ඟම කුලු­ප­ගව සිටි­මින් ලලිත, තම­නගේ මුදල් කොල්ලකෑ බව පව­සන වංචා­වට හසුවූ තැන්ප­ත්ක­රුවෝ මේ වන විට ලලි­තට එරෙ­හිව මූල්‍ය අප­රාධ අංශයේ, අල්ලස් හා විම­ර්ශන කොමි­ෂන් සභාවේ මෙන්ම ගම්පහ පොලි­සි­ය­ටද පැමි­ණිලි රැසක්ම කර ඇත. ගම්පහ පොලිස් ස්ථානා­ධි­පති ලක්ෂ්මන් බණ්ඩාර කීවේ මේ වන විට පැමි­ණිලි සිය­ය­කට අධික ප්‍රමා­ණ­යක් ලැබී ඇති බවත්, ඒ සියලු පැමි­ණිලි අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට යොමු කරන බවයි. බොහෝ ගනු­දෙ­නු­ක­රු­ව­න්ගෙන් චෝදනා එල්ල වන්නෙ සණස හෙවත් සක­සු­රු­වම් සහ ණය ගනු­දෙනු සමූ­ප­කාර සමිති නියා­ම­නය කරන බස්නා­හිර පළාත් සමූ­ප­කාර සංව­ර්ධන දෙපා­ර්ත­මේ­න්තු­වෙන් මෙකී ආය­තන ගැන නිසි නියා­ම­න­යක් නොවූ බව­ටයි. සිදු වී තිබෙන වංචා ගැනත් ඔවු­නට එල්ලවී තිබෙන චෝදනා ගැනත් විම­සී­මක් කළේ බස්නා­හිර පළාත් සමූ­ප­කාර සංව­ර්ධන කොම­සා­රිස් රුවිනි විජේ­වි­ක්‍රම මහ­ත්මි­ය­ගෙනි.

“ලොකු වැරැ­ද්දක් වෙලා තියෙ­නවා... අපි ඒ ගැන මේ වන විට පොලි­සි­ය­ටත් පැමි­ණිලි කර තිබෙ­නවා. අපේ පැත්තෙන් විය යුතු සියලු දේම සිදු කර­නවා. ඒ වගේම ගනු­දෙ­නු­ක­රු­වන්ට සාධා­ර­ණ­යක් ඉටු කිරීම වෙනු­වෙන් අපට කරන්න පුළු­වන් උප­රිම කාර්ය­භා­රය සිදු කර­මින් සිටි­නවා...“ මෑත­කදී එකී තන­තු­රට පත් ඇය එසේ කීවත් පෙර සිටි නිල­ධා­රින් මේ මහා වංචාව දෙස ඇස් කන් යොමු නොකොට සිටි බවත් එහි කොට­ස්ක­රු­වන් වී ඇති බවත් පෙනෙ­න්නට තිබීම සැබෑ තත්ත්ව­යයි. එම නිසා කෙසේ හෝ මුදල් තැන්පත් කළ අයට සාධා­ර­ණ­යක් ඉටු කිරීම වෙනු­වෙන් සමූ­ප­කාර සංව­ර්ධන දෙපා­ර්ත­මේ­න්තුව කඩි­නම් වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක කළ යුතු­මය.

මූල්‍ය ආය­ත­න­ය­කින් ඔබ්බට ගොස් සණස යනු ගනු­දෙ­නු­ක­රු­වන්ගේ සුබ­සා­ධ­න­යට, දිළි­න්දන් නඟා සිටු­වී­මට සමාජ සත්කා­ර­යන් සිදු කර­මින් ගම්ද­න­ව්වල ජන­යා­ගෙන් ප්‍රශංසා ලබන ආය­ත­න­යකි. එහෙත් මෙවන් හොර තක්ක­ඩින් නිසා එකී සණස සමි­ති­ව­ලට ඉදි­රි­යේදී අත් වන්නෙ කුමන ඉර­ණ­මක්ද යන්න තිබෙන්නෙ ප්‍රහේ­ලි­කා­වකි. ගරු කට­යුතු තන­තු­රක් ලෙස සල­ක­මින් ස්වේච්ඡා­වෙන් සණස තන­තුරු හොබ­වන පුද්ග­ල­යන් අත­රට සට­ක­පට සොරුන් පැමි­ණීම මහත් අභා­ග්‍ය­යකි.

එම නිසා නිය­පො­ත්තෙන් කැඩී­මට තියෙද්දී පොරො­වෙන් කඩ­න්න­ටත් බැරි තත්ත්ව­යක් උදා වීමට පෙර වග­කි­ව­යු­ත්තන් උප­රී­මය සිදු කොට සණ­සට අත් වන අව­මා­න­යෙන් ගල­වා­ගැ­නී­මට වෙර දර­නවා සේම සමි­ති­වල සාමා­ජි­ක­යන්ද තමන්ගේ රුපි­යල හෝ ආයෝ­ජ­නය කරන සමිති, සංගම් පිළි­බඳ නිසි අව­ධා­න­ය­කින් පසු­වීම වැද­ගත්ම කරුණකි.

ඡායා­රූප - කැලුම් ලිය­නගේ

Comments