
ඔට්ටු ඇල්ලීම පටන් ගන්නට ඇත්තේ දෙපාර්ශ්වයක් අතර තරගයක් ඇති වූ මුල්ම අවස්ථාවේදී වන්නට පුළුවන. මේ වන විට ඔට්ටු කෙළිය කොයි තරගයටත් ආදේශ වී ඇත. ඒ ඔට්ටු අතරින් ඡන්ද ඔට්ටු විශේෂය. මේ ගතවෙන්නේ ඡන්ද ඔට්ටුකරුවන්ගේ කාලය ය.
ජනාධිපතිවරණයට ඇත්තේ හරියටම දින හයකි. දැන් ඡන්ද ඔට්ටුකරුවන් සක්‍රීය ය. ඡන්දය මූලිකව සිදු වන ඔට්ටු ඇල්ලීම් අංක එකට පත් වී ඇත්තේ රත්නපුරය බව කා අතරත් ප්‍රසිද්ධ රහසකි. ඊට හේතුව මැණික් ඇතුළු ව්‍යාපාරවල නියැළී විශාල පිරිසක් ප්‍රදේශයේ ජීවත් වීමය. රත්නපුරයේ ඡන්ද ඔට්ටු ඉතිහාසය පිළිබඳ තොරතුරු සොයාබැලීමේ දි හෙළි වුණු කරුණු රැසකි.
මුල් යුගයේ ඡන්ද ඔට්ටුවක් යනු තම දේශපාලන පක්ෂය හා අපේක්ෂකයන් දිරිමත් කිරීමේ හා ඔහුට සහාය දීම පිණිස විරුද්ධ දේශපාලනික අදහස් දරන්නවුන් තම පක්ෂයට නතු කරගැනීමේ අපේක්ෂාවෙන් සිදු කළ ඒවාය. එවැනි ඔට්ටු අතර ප්‍රකට මෙන්ම අප්‍රකට සිද්ධීන් ද එමටය.
වර්ෂ 1977 පැවති රජය පරාජය වීමෙන් පසුව නිවිතිගල ප්‍රදේශයේ එක්තරා පක්ෂයකට ළැදි ප්රභූවරයෙකු විසින් නැවත කවදා හෝ තමන් ප්‍රිය කළ දේශපාලන පක්ෂය බලයට පත් වන තුරු තමාගේ රැවුල නොකපන බවට තනිව ම ඔට්ටුවක් ඇල්ලුවේ ය. ඒ අනුව ඔහුගේ රැවුල කැපීම සිදු වූයේ 1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ නායකත්වය යටතේ පොදු පෙරමුණු රජය බිහි වීමෙන් පසුවය. එකල එම පුවතට ජනමාධ්‍ය ඔස්සේ ද විශාල ප්‍රචාරයක් ලැබිණි. තවත් අවස්ථාවල මැතිවරණ පිළිබඳ ඔට්ටු වශයෙන් මධුවිත, භෝජන සංග්‍රහ, රස කැවිලි ආදිය හුවමාරු විය. එසේම විවිධ දඬුවම් වලට යටත්වීම් ද ඒ අතර දක්නට ලැබිණි.
තමා ඔට්ටු අල්ලන අපේක්ෂකයා පරාජය ට පත්වූ විටෙක තීරණය කර ගත් දුරක් බඩගාගෙන යෑම, අමුඩය ගසාගෙන දීවීම, හාවුන් ගෙම්බන් පනින සේ කතිකා කරගත් දුරක් පැනගෙන යෑම වැනි ඉතා සරල උපහාසාත්මක ක්‍රියාකාරකම් සිදු විය. අද වන විට ඡන්ද ඔට්ටු ඇල්ලීම මහා පරිමාණ සූදුවක් බවට පත් වී තිබේ.
රත්නපුරේ ඡන්ද ඔට්ටුකරුවන් සුපිරි විදිහට ම මට්ටු වූ කතා පුවත් රැසක් ම පසුගිය 2015 ජනාධිපතිවරණය අවසන් වූ වහාම පැතිර ගියේය. මැතිවරණයකදී ඇල්ලු වැඩි ම වටිනාකමක් සහිත ඔට්ටු ඇල්ලීමක් වාර්තා වූයේ එහිදීය. ඊට හේතුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය පෙනි පෙනී ජනපති සටන ආරම්භ වීමය. ආරම්භක අවස්ථාවේ සිට ම පැවති විශ්වාසය වූයේ මහින්ද රාජපක්ෂ මහතා දිනන බවය.
මුල් කාලයේ මෛත්‍රීපාල සිරිසේන මහතාට පක්ෂපාතී ව ඔට්ටුවක් ඇල්ලීමට කෙනෙකු සොයාගැනීම කළුනික සොයාගැනීමක් වැනි අපහසු දෙයක් විය. නමුත් රත්නපුර කේන්ද්‍ර කොටගනිමින් එහි පවතින දේශපාලන තත්ත්වය මත පදනම් ව එසේ වූවා විය හැකිය. මහින්දවාදී ඔට්ටුකරුවන් රුපියල් දහස් ගණනින් නොව කෝටි ගණනින් ඇල්ලූ මුදල් ඔට්ටු ඡන්දය ළංවෙත්ම දෙගුණ තෙගුණ කළේය. රුපියල් කෝටි ගණන් වටිනා සැප වාහන නිවාස ඇතුළු දේපළ විශාල ප්‍රමාණයක් එම ඔට්ටු ගොඩේ පිරී තිබිණි. මෙය සෙල්ලමට හෝ විනෝදය ට අල්ලන ඔට්ටු නොවේ.
එහෙත් මැතිවරණ ව්‍යාපාරය ටිකෙන් ටික ඉදිරියට යද්දී තත්ත්වය ක්‍රමයෙන් වෙනස් වන අයුරු දුටුවේ රත්නපුරයෙන් බැහැර පළාත්වල විසුවෝය. එයින් ප්‍රයොජනය ගත් ඔවුහු තැරැව්කාරයන් මඟින් තම මුදල් වාහන ඔට්ටු ඇල්ලීමට රත්නපුරයට එවීමට කටයුතු කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස රත්නපුරේ ඡන්ද ඔට්ටු පරාජය පත් උදවිය දැකගත හැකි වූයේ මාස ගණනකට පසුවය.
රත්නපුරේ සමහර ව්‍යාපාරිකයෝ 2015 ජනාධිපතිවරණයෙන් රුපියල් කෝටි ගණනක් පරාජය වූහ. තවත් අය තමන් සතු සුඛෝපභෝගී වාහන සහ ඉඩකඩම් පරාජයට පත් කරගත්හ. එහෙත් ඉන් පාඩම් ඉගෙනගත් බවක් පෙනෙන්නට නැත.
මේ ඡන්දයේදීත් එම ඔට්ටුකරුවන් සක්‍රීය ය. මේ වන විටත් පාර්ශ්ව දෙකක් හෝ ඊට වඩා වැඩි පිරිසක් අයත් වන පරිදි ඡන්ද ඔට්ටු ඇල්ලීම් සිදු වෙමින් ඇත. වාහන ගෘහ භාණ්ඩ ඉඩම් හා මුදල් දෙගුණ තෙගුණ කරම්න් ඔවුහු ඔට්ටු අල්ලති. දැන් රත්නපුරේ ඔට්ටුකරුවන් සම්බන්ධීකරණය කරන සංවිධායකවරුන් කිහිප දෙනෙකුම දැකිය හැකිය. මේ සංවිධායකවරුන් ඔට්ටුකරුවන් සොය යෑමේ ආයාසකර මෙහෙයුමක නිරතව සිටිනු පෙනේ. එය ගියවර තරම් පහසු නොවන බව ඔවුන්ගේ කතා බහෙන් පෙනේ.
මේ වන විට සමඟම ඔට්ටුවල සංයුතිය හා ඔට්ටු ඇල්ලීම සිදු වන ක්‍රමය වෙනස් කරගැනීමට ද ඔවුහු සමත් ව සිටිති. වටිනා ඔට්ටු අල්ලන ඔට්ටුකරුවන් ඔට්ටු අල්ලන්නේ වඩාත් අප්‍රකටවය. එය පිටට පෙනෙන්නේ මිතුරන් අතරේ සිදු වන ගනුදෙනුවක් ලෙසය. මේ ඔට්ටු ඛාණ්ඩයේ දී සුඛෝපභෝගී වාහන, නිවාස, ව්‍යාපාරික ස්ථාන හා වටිනාකම අධික ඉඩම් ඔට්ටුකරුවෝ පරදු තබති. රහසිගතව ලැබෙන ඉතාම විශ්වාසනීය තොරතුරු අනුව පසුගිය වර්ෂවලට සාපේක්ෂව මේ ඔට්ටු ප්‍රමාණ මේ වන විටත් පවතින්නේ ඉතාම පහළ අගයක ය. දැනට වාර්තා වන පරිදි මාර්ග බලපත්‍ර සමඟ බස් රථ දෙකක් ඔට්ටුකරුවන් දෙදෙනෙකු විසින් පරදුවට තබා ඇත. එමෙන්ම තවත් තැනක සුඛෝපභෝගී වාහන දෙකක් පරදුවේය. එක් වාහනයක් රුපියල් ලක්ෂ 150කට වැඩිය.
ඔට්ටු ඇල්ලීමේ සංයුතිය ද සංකීර්ණ වී තිබේ. බුකි වගේමය. ඒ වටා වැඩි ඔට්ටුකරුවෝ පිරිසක් එක් වී සිටිති. රත්නපුරයේ කුඩා ව්‍යාපාරිකයන්ට රුපියල් දහස, දෙදහස, පන්දහස වැනි ඔට්ටු දැමිය හැකි සේ සංයුතිය විසිරී ඇත. එදා පක්ෂ දිනන බවට ඇල්ලූ ඔට්ටුව අද වන විට අපේක්ෂකයන් ලබාගන්නා ඡන්ද ප්‍රමාණය දක්වා වෙනස් වී තිබේ. පරදින අපේක්ෂකයා ලබාගන්නා ඡන්ද ප්‍රමාණයත් ඡන්ද ප්‍රතිශතයත් එක් ඔට්ටුවක නිමිත්තකි.
ඒඔට්ටු ඇල්ලීම වෙනුවෙන්ම විශේෂ පත්‍රිකා මුද්‍රණය කිරීමට ඔට්ටු සංවිධායකයන් කටයුතු කර ඇත. ඒ අනුව එක් එක් අපේක්ෂකයා කොට්ඨාස ආසන හා දිස්ත්‍රික් මට්ටමින් ලබාගන්නා ඡන්ද ප්‍රමාණයන් දක්වා ඔට්ටු ඇල්ලීමේ අවකාශය පුළුල් වී තිබේ. ලංකාවේ ම ආසන හා දිස්ත්‍රික් මට්ටමේ ඉකුත් මැතිවරණ වලදී ලැබූ ඡන්ද ප්‍රමාණයන් ආශ්‍රිතව ආසන හෝ දිස්ත්‍රික් තුන බැගින් නම් කර අපේක්ෂකයන් එකී දිස්ත්‍රික්ක තුළ ලබා ගන්නා වැඩිම ඡන්ද ගණනට අනුව දිනුම තීරණය කිරීමේ ඡන්ද ඔට්ටු ද දැකිය හැකිය. මේ ඔට්ටුවක් රුපියල් දෙදහසේ සිට ඇල්ලිය හැකිය. ජයග්‍රහණය කරන්නාට දිනුම ලැබෙන්නේ ලක්ෂ ගණන්වලිනි. හරියටම රේස් දානවා වගේය. එහෙත් වෙනදා තරම් සක්‍රීයව මේ ඔට්ටු කෙළියට තවමත් මිනිසුන් පැමිණ නැති බව කියන්නේ ඔට්ටු සංවිධායකයන්ම ය.
“මේ වන විට මැතිවරණයේ හැසිරීම එක් පාර්ශ්වයකට වාසි සහගතව ක්‍රියාත්මක වෙන බව රත්නපුරේ කට්ටිය විශ්වාස කරනවා. ඒ නිසා අනෙක් පක්ෂවල ජයග්‍රහණය පිළිබඳ එතරම් විශ්වාසයක් ඔට්ටු අල්ලන අයට නෑ. ඒත් ඉතිහාසයේ ගොඩක් මැතිවරණ මුල් වකවානුවේ තිබුණෙ මේ විදිහට තමයි. අන්තිම මෙහොතෙ හිතපු නැති විදිහට වෙනස් වෙනවා. ඒ වෙනස ගොඩක් දකින්නෙ රත්නපුරේන් එළියෙ ඉන්න අය. ඔවුන් ඔට්ටු අල්ලන්නම රත්නපුරේ එනවා. ඒ අයගෙ තැරැව්කාරයො එවනවා. අපිට නම් හිතෙන්නෙ මේ තියෙන්නෙ කරට කර යන මැතිවරණ තරගයක්. ඕනෑම වේලාවක ඒ තත්ත්වය වෙනස් විය හැකියි. ඉදිරි දවස් කීපය ඇතුළෙ ඡන්ද ඔට්ටු කරුවන්ට හොඳ අවස්ථාවක් උදා වේවි.”
ලබන සතිය වන විට මැතිවරණය නිමා වනු ඇත. බොහෝ දෙනෙක් තමන් දහදිය මහන්සියෙන් උපයාගත් දේපළ ව්‍යසනයට ලක් කරගනු ඇත. ඔට්ටුකරුවන් කවුරු පැරදුණත් දිනුවත් දිනුම්ය. කවුරු පැරදුණත් දිනුවත් දේශපාලකයන්ද දිනුම්ය. ඔට්ටු තැබුවත් නොතැබුවත් හැමදාම පරදින්නේ පොදු ජනතාවය.