විසි දෙදෙ­නකු මරා ගැල­වු­ණත් ජුල­ම්පි­ටිය අම­රේ මෙදා පාර ගස් | Page 2 | සිළුමිණ

විසි දෙදෙ­නකු මරා ගැල­වු­ණත් ජුල­ම්පි­ටිය අම­රේ මෙදා පාර ගස්

ගීගන ගමගේ අම­ර­සේන හෙවත් ජුල­ම්පි­ටිය අමරේ කුප්‍ර­ක­ටව සිටියේ දේශ­පා­ලන දඩ බල්ලා ලෙසිනි. දේශ­පා­ලන ආශි­ර්වා­ද­යෙන් වල­ස්මුල්ල, මිද්දෙ­ණිය, තංගල්ල, වීර­කැ­ටිය, ගල්හේ­න්ගොඩ, තණ­ම­ල්විල ආදී දකුණේ ගම්මා­න­වල වැසි­යන් භිෂ­ණ­යෙන් මුස­පත් කර­මින් මිනිස් ඝාතන , මංකො­ල්කෑම් සහ ස්ත්‍රී දූෂ­ණ­වල නිර­තව සිටි අම­රේට වැඩ වර­දින්නේ 2012 වසරේ ජුනි 15 වැනිදා කටු­වන හැඩි­වත්තේ පින්න­ම­ණ්ඩියේ ගෙව­ත්තක පැවැති ජනතා විමුක්කි පෙර­මුණේ දේශ­පා­ලන රැස්වීම් භුමි­ය­කට කඩා වැදී කළ වෙඩි තැබී­මත් සම­ඟිනි.

ටී 56 අවි­යක් කරේ දමා­ගෙන යතුරු පැදි­ය­කින් එම රැස්වීම් භුමි­යට කඩා වදින ජුල­ම්පි­ටියේ අමරේ ඉවක් බවක් නැතිව ජවිපෙ ආධා­ර­ක­රු­වන්ට වෙඩි තබන්නේ පිස්සු බල්ලෙකු ලෙසිනි. කටු­වන තල්වත්තේ ගම්බාරේ ගෙදර පදිං­චිව සිටි එදි­රි­මා­න්නගේ මාලනී (50) සහ කටු­වන හැඩි­වත්තේ කීරි­පි­ටිය ගෙදර ජය­සේ­කර පට­බැ­ඳිගේ නිමන්ත ග්‍රේෂන් (18) යන ජවිපෙ ආධා­ර­ක­රු­වන් දෙදෙනා අමරේ විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහා­ර­ව­ලින් මිය යන විට කටු­වන මැඩි­වත්තේ පදිං­චිව සිටි ප්‍රදීප් සාරංග (26) බර­ප­තළ තුවාල ලැබු­වේය.

එම ප්‍රහා­රය ජුල­ම්පි­ටිය අම­රේ­ගෙන් එල්ල වන්නේ ජනතා විමුක්ති පෙර­මුණ විසින් ඔහු දැඩිව විවේ­ච­නය කර­මින් සිටින මොහො­ත­ක­දීය. ඒ වන විටත් ජුල­ම්පි­ටිය අම­රේට එරෙ­හිව මිනිස් ඝාතන 22ක් , ස්ත්‍රී දුෂණ 11ක් සහ කොල්ල­කෑම් 13ක් එල්ල වී තිබු­ණද ඒ කිසි­වක ජුල­ම්පි­ටිය අම­රේගේ නම පොලිස් පොත්වල නොලි­යැ­වෙන්නේ ඔහුට එකල පැවැති දේශ­පා­ලන හයියේ තරම කියා­පා­මිනි. යුද හමුදා ඇඳු­මට සමාන ඇදු­ම­කින් සැරසී ටී 56 අවි­යක් කරේ දමා­ගෙන යතුරු පැදි­ය­කින් කටු­වන පැත්තේ ඔහු එකල මහා දවා­ලයේ පවා සැරි සැරුවේ දේශ­පා­ලන ආශි­ර්වා­ද­යෙන් පෝෂ­ණය වූ නිසාය. කටු­වන පොලී­සිය ඉදි­රි­පි­ටින් අමරේ ටී 56 අවිය කරේ දමා­ගෙන යන විට පොලිස් නිල­ධා­රීන් අහක බලා ගන්නේ ඔවුන්ද අස­ර­ණව සිටි බැවිනි.

ගෙයි මුල්ලක බැඳ තැබිය යුතු දඩ බල්ලා ලිහා දැමීමේ පල විපාක අද­ටත් එකී දේශ­පා­ල­න­ඥ­යන්ගේ පස්සෙන් එන්නේ එම බල්ලා පෝෂ­ණය කරනු ලැබුවේ ඔවුන් වන බැවිනි. එම නරු­මයා වරක් සුදු වෑන් රථ­ය­කින් පැහැර ගනු ලබන්නේ ආර­ක්ෂක අංශ­ය­කින් යැයි කියා­ගත් පිරි­සක් විසිනි. එහෙත් ඒ අයට ජුල­ම්පි­ටය අම­රේව නොඑන ගමන් යව­න්නට ඉඩක් නොවීය. සිදු වන්නේ අත­ර­මඟ ඔහු අත­හැර යන්න­ටය. කටු­වන ජවිපෙ රැස්වීම් භුමි­යට කඩා වැදී අහිං­සක ජීවිත දෙකක් බිලි ගන්නේ සුදු­වෑන් රථ­යෙන් රවු­මක් ගසා දිවි ගල­වා­ගෙන පැමිණ සති දෙකක් ඉක්ම යන්නට මත්තෙනි.

එව­රත් ජුල­ම්පි­ටියේ අමරේ උත්සහ දරන්නේ දේශ­පා­ලන ආශි­ර්වා­ද­යෙන් එම ද්විත්ව ඝාත­න­යෙන් ගැල­වෙ­න්න­ටය. එහෙත් ඊට ඉඩක් නොලැ­බෙන්නේ ජනතා විමුක්ති පෙර­මුණ සිය සග­යන්ට තැබූ වෙඩි ප්‍රහා­ර­යට එරෙ­හිව රටේ දැවැන්ත හඬක් නග­මින් සිටි බැවිනි. ඒ නිසාම ජුල­ම්පි­ටය අම­රේට තව­දු­ර­ටත් රැක­ව­ර­ණ­යක් ලබා­දී­මට දේශ­පා­ලන අධි­කා­රි­යට ඉඩක් නොවීය. නීතී­ඥ­යෙකු මාර්ග­යෙන් තංගල්ල මහා­ධි­ක­ර­ණ­යට ඔහුට භාර­වෙ­න්නට සිදු වන්නේ එබැ­විනි. ඒ එම ද්විත්ව ඝාත­න­යෙන් දින පහ­කට පසු­වය.

තංගල්ල මහා­ධි­ක­ර­ණයේ විනි­සු­රු­ව­රයා ලෙස එව­කට සේවයේ නිර­තව සිටියේ චන්ද්‍ර­සේන රාජ­පක්ෂ මහ­තාය. ජුල­ම්පි­ටියේ අමරේ අධි­ක­ර­ණ­යට භාර­වී­මෙන් පසු පොලී­සි­යට දැඩි වාග් ප්‍රහා­ර­යක් එල්ල විය. ඒ විවිධ අප­රාධ සම්බ­න්ධ­යෙන් විවෘත වරෙන්තු 100කට වැඩි ප්‍රමා­ණ­යක් තිබි­ය­දීත් ජුල­ම්පි­ටිය අම­රෙට එරෙ­හිව ඒ වන තුරුත් පොලී­සිය නීතිය ක්‍රියා­ත්මක නොකි­රීම ගැනය.

“සැක­ක­රුට එරෙ­හිව නඩු හත­රක් මහා­ධි­ක­ර­ණ­යේත් තිබෙ­නවා. තවත් අධි­ක­ර­ණ­වල නඩු තියෙ­නවා. විවෘත වරෙන්තු එක­සිය ගණ­නක් සැක­ක­රුට නිකුත් කළා. සැක­කරු අත්අ­ඩං­ගු­වට ගන්නා ලෙස පොලිසි කැඳවා මම නියෝග කළා. පොලිසි ඒ දේ කළේ නැහැ. එහෙම කළා නම් සැක­කරු අද මේ තත්ත්ව­යට පත් වෙන්නේ නැහැ. පොලි­සිය වග කියන්න ඕනේ සැක­කරු මේ තත්ත්ව­යට පත් වීම ගැන.“ මහා­ධි­ක­රණ විනි­සුරු චන්ද්‍ර­සේන රාජ­පක්ෂ මහතා එදා පොලී­සි­යට තදින්ම දොස් නඟන්නේ එසේය.

ජුල­ම්පි­ටියේ අම­රෙට ඇති සිය ගණ­නක් වරෙන්තු ගැන පොලිස් ලොක්කන්ගේ දෑස් ඇරෙන්නේ ද විනි­සු­රු­ව­රයා කී එම ප්‍රකා­ශය ජන­මා­ධ්‍ය­වල පොල්ගෙඩි අකු­රෙන් ලියැ­වෙන විටය. රට­පුරා වරෙ­න්තු­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගැනීමේ මෙහෙ­යුම් පවා පොලී­සිය ක්‍රියා­ත්මක කරන්නේ ඒත් එක්ක­මය. එහිදී හෙළි වන්නේ දහස් ගණ­නක් වරෙ­න්තු­ක­රු­වන් ඒ වන විටත් නිදැල්ලේ සිටින බවය.

ජුල­ම්පි­ටියේ අමරේ අධි­ක­ර­ණ­යට භාර­වී­මෙන් පසු තමාට ජීවිත තර්ජ­න­යක් ඇතැයි අධි­ක­ර­ණ­යට පව­ස­මින් නිසි ආර­ක්ෂා­වක්ද ඉල්ලා සිටියේ අහිං­සක චරි­ත­යක් රඟ­පා­මිනි. එම ද්විත්ව ඝාත­න­යට පෙර වරක් ඔහු වෙනත් නඩු­වත් සඳහා අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් විය. එහිදී විනි­සු­රු­ව­රයා අම­රෙට දැනුම් දී තිබෙන්නේ ඔහු සතුව ඇති ගිනි අවි භාර­දෙන ලෙසය.

“අධි­ක­ර­ණයේ ආර­ක්ෂාව ඉල්ලන ඕනෑම අයෙ­කුට ආර­ක්ෂාව ලබා දෙන්න ඕනෑ. මා කී දේවල් තමුන් කළේ නෑ. ටී-56 ගිනි අවි දෙක ගෙනැ­විත් බාර දුන්නේ නැහැ. ජීවිත ආර­ක්ෂාව ඉල්ලන නිසා මම ආර­ක්ෂාව සල­ස­නවා. තමුන්ට මරණ බය ඇති වෙලා තියෙ­නවා. වෙඩි තියලා මරාපු මනු­ෂ්‍ය­ය­න්ටත් ඒ බය ඇති වෙන්න ඇති. මේ වගේ දේව­ලින් ජාත්‍ය­න්තර වශ­යෙන් රට අප­කි­ර්ති­යට පත් වෙනවා. ආධාර නොලැබී යනවා.“ විනි­සුරු චන්ද්‍රෙස්න රාජ­පක්ෂ මහතා ඒ බව පව­සන්නේ එසේය.

එදා අධි­ක­ර­ණ­යට භාර වන ජුල­ම්පි­ටිය අම­රෙට නැව­තත් එළි­යට යන්නට ඉඩක් නොවීය. ඔහු සම්බ­න්ධ­යෙන් ඇති වන සමාජ විරෝ­ධය හේතු කොට­ගෙ­නම ඔහුට සිදු වන්නේ ඇප නැතිව දීර්ඝ කාල­යක් හිරේ රැඳෙ­න්න­ටය.

හිරේ හිටි­යත් ගෙදර හිටි­යත් අම­රෙට වෙන­සක් නොවීය. තංගල්ල බන්ධ­නා­ගා­රය ඔහුට රජ මාලි­ගා­වක් විය. සියලු සැප පහ­සු­කම් ඔහුට අඩු­වක් නැතිව හිමි විය. දේශ­පා­ල­න­ඥ­යන් ඔහුගේ සුව දුක් විම­සී­ම­ටද හොර රහසේ බන්ධ­නා­ගා­ර­යට පවා රිංගු­වේය. බන්ධ­නා­ගර නිල­ධා­රීන් පවා සිටියේ ජුල­ම්පි­ටිය අමරේ කියන ඕනෑම දෙයක් කිරී­මට සූදා­න­මිනි. ඒ ඔහු තරහා කර­ග­ත­හොත් 2002 වස­රේදී මෙන් සිර­ක­රු­වන්ගේ කැරැ­ල්ලක් ඇති­වේවි යැයි ඇති වූ බිය නිසාද නැති නම් දේශ­පා­ලන උද­හ­සට ලක්වේ­වි­යැයි කියාද යන්න දැන සිටියේ එව­කට තංගල්ල බන්ධ­නා­ගා­රයේ සේවයේ නිර­තව සිටි ලොක්කෝ කිහිප දෙනාය.

තංගල්ල බන්ධ­නා­ගා­රයේ සිර­කරු කැරැල්ල 2002 ජුනි මාසයේ අග සිදු­වූ­වකි. අවි ගබඩා පවා බිද සිර­ක­රුවෝ සන්න­ද්ධව සිටි­යහ. මහා විනා­ශ­ය­කට මුල පිරෙ­මින් තිබුණු කැරැල්ල මැඬ­ලී­මට එදා ඉදි­රි­පත් වන්නේ එව­ක­ටද විපක්ෂ නාය­ක­ව­ර­යාව සිටි මහින්ද රාජ­පක්ෂ මහ­තාය. ඒ 2002 ජූලි 01 වැනිදා ඔහු තංගල්ල බන්ධ­නා­ගා­ර­යට යමිනි. එදා ඔහු තංගල්ල බන්ධ­නා­ගා­රයේ ගේට්ටුව අස­ලට ගොස් සුවි­ශේෂි පුද්ග­ල­යෙකු අම­තනු ලැබු­වේය.

“අමරේ මම ඇවිත් ඉන්නේ, බය නැතුව එළි­යට එන්න" යැයි කිය­මිනි.

කට­හ­ඬින් ඒ කවු­දැයි හඳු­නා­ගත් අමරේ එළි­යට ආවේ ය. සිර­කරු කැරැ­ල්ලට ඒත් එක්කම නැව­තීමේ තිත තැබෙන්නේ මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ අණට ඔහු කීක­රුවූ බැවිනි.

ජුල­ම්පි­ටියේ පින්න­කො­ර­ටුවේ පදිං­චිව සිටි ජුල­ම්පි­ටියෙ අමෙ­රෙගේ නම ඉදි­රි­යෙන් ලියැ­වෙන මිලේ­ච්ඡ­තම ඝාත­නය වන්නේ ජුල­ම්පි­ටිය අන්දි­රි­ස්වත්තේ පදිං­චිව සිටි ශ්‍රී ලංකා කාල තුවක්කු රෙජි­මේ­න්තුවේ සේවය කළ අබේ­ව­ර්ධන කංකා­නම්ගේ කීර්ති නැමැති සෙබළා 1998 වසරේ ජුනි 08 දා නිව­සට නුදු­රින් මහ­පා­රේදී මරා හිස කඳින් වෙන් කර මහ මඟ දැමී­මය. ඔහු එතැ­නින් සීමා වූයේ නැත. මළ ගෙද­ර­ටද පහු වැනිදා බොම්බ ගැසු­වේය. සිය පුතාගේ ඝාත­න­යට යුක්තිය ඉල්ලා ජුල­ම්පි­ටිය අම­රෙට එරෙ­හිව සාක්ෂි දුන් අබේ­ව­ර්ධන කම්කා­න­න්ලාගේ සිරි­සේන නම් එම හමුදා සෙබ­ළාගේ පියාද වෙඩි තබා මරා දැම්මේය. 2008 වසරේ පෙබ­ර­වාරි 24 වැනිදා ඔහුට වෙඩි තබා මරා දමන්නේ තමන්ට එරෙ­හිව සාක්ෂි දුන්නොත් මරා දමන බවට කල්තියා තර්ජ­නය කිරී­මෙන් අන­තු­රු­වය. එම වෙඩි තැබී­මෙන් එදා එම සෙබ­ළාගේ මවද තුවාල ලැබු­වාය. ඒ ඇය සදා­කා­ලික අබ්බ­ඝා­ත­ක­යෙකු බවට පත් කර­මිනි. අන­තු­රුව ඔවුන් ජීවත්වූ නිව­ස­ටද ගිනි තබා විනාශ කළද එකල ඒවාට නීතිය ක්‍රියා­ත්මක නොවීය.

ජුල­ම්පි­ටිය අම­රෙගේ අප­රාධ ලැයි­ස්තුව සුළු­පටු නැත. එය පොත් පිරෙන තරම්ය. රාජ­ප­ක්ෂගේ මංජුල ක්‍රිෂාන්ත (28) නැමැති තරු­ණ­යාගේ ඝාත­න­යද ඒ අතර ලියැ­වෙයි. 2005 වසරේ පෙබ­ර­වාරි 28 වැනිදා ඔහු ඝාත­නය කෙරෙන්නේ පැහැ­ර­ගෙන ගොසිනි. මුරු­වෙල වැව අස­ලදී මරා දමන එම තරු­ණ­යාගේ මළ සිරුර ගෙන­විත් දමන්නේ මිද්දෙ­ණිය බෝකැන්ද යාය­ටය. එම ඝාත­න­යද සඳ­හන් වන්නේ අම­රෙට එරෙ­හිව පොලිස් පොත්වල නොලි­යැ­වුණු අප­ර­ධ­යක් ලෙසිනි. ඔහු ජුල­ම්පි­ටිය පැත්තේ ඉඩම්ද අත්පත් කර ගත්තේ අහිං­සක ගොවීන් පන්නා දමාය. එසේ ඔහු බල­හ­ත්කා­ර­යෙන් අල්ලා­ගත්තේ යැයි කියැ­වෙන ඉඩම් ප්‍රමා­ණය අක්කර සිය ගණ­නකි. 2011 වස­රේදී ඔහු ජුල­ම්පි­ටිය පොල්කො­ර­ටුවේ නිව­සට පැන වෙඩි තබා නිවෙස් හිමි­යාව මරා දැම්මේය. එදා ඔහු ඒ තැබූ වෙඩි­ල්ලක් අවු­රුදු 9ක දරු­වෙ­කු­ටද වැදිණි.

2001 දී ජුල­ම්පි­ටිය පන්සල පාරේදී නිශාන්ත කුමාර නමැති තරු­ණ­ය­කුට වෙඩි තබා ඝාත­නය කිරී­මක් ද ජුල­ම්පි­ටිය අම­රෙගේ ඝාතන ලැයි­ස්තුවේ ලියැවී ඇත. අම­රෙගේ ඝාතන ලැයි­ස්තු­වද දිගය. පහ­ර­දීම් නිවෙස් සහ වාහන ගිනි­බත් කිරීමේ ලැයි­ස්තුව ඊටත් වඩා දිගය. ඉවක් බවක් නොමැ­තිව මිනී මර­මින් මේ තරම් අප­රාධ ගොන්නක් කර­න්නට ඔහුට ඉඩක් ලැබෙන්නේ වෙන කිසි­වක් නිසා නොව, දේශ­පා­ලන ආශි­ර්වා­දය නිසාය.

“ඒ කාලේ මේ මිනිහා ගමේ සංගීත සංද­ර්ශන පැවැ­ත්වෙන කොට, හමුදා ඇඳු­මක් ඇඳ­ගෙන ටී 56 කරේ දාගෙන ස්ටේජ් එකට ගොඩ­වෙ­නවා. කරටි කැඩෙන්න බීලයි ඒ වේලා­වට එන්නේ. මිනි­හට ඒ වේලා­වට සින්දු කියන්න ඕනේ. ටී 56 පෙන්නා සංගීත කණ්ඩා­යම බිය ගන්නලා ඔහු සිංදු කියන්න ගන්නවා. අනෙක් අයට සිංදු කියන්න ඉඩ ලැබෙන්නේ මිනිහ සිංදු කියල ඇති වුණා­මයි. මිනි­හට තියෙන දේශ­පා­ලන හයිය නිසා පොලී­සි­යත් මිනි­හට විරු­ද්ධව මුකුත් කරන්න යන්නේ නැහැ. බීල ඉන්න වේලා­වට මිනිසා අමුම අමු තිරි­ස­නෙක්“ ඒ කතාව කියන්නේ හම්බ­න්තොට පැත්තේ සේවයේ නිර­තව සිටි උසස් පොලිස් නිල­ධා­රි­යෙකි.

තව­මත් පොලිස් සේවයේ නිර­තව සිටි එම නිල­ධා­රියා ජුල­ම්පි­ටියේ අමා­රෙව පාල­නය කිරී­මට ඔහුව අල්ලා හිරේ දාන්න කිහිප විටක්ම උත්සහ ගත්තෙකි. එහෙත් සිදු වන්නේ ඔහුව පැත්ත­කට විසි වී උස­ස්වීම් පවා අහි­මි­වී­මය. එම නිල­ධා­රි­යාගේ බාධාව ඉව­ත්වී­මත් සමඟ ජුල­ම්පි­ටියේ අමරේ දකි­න්නට ලැබෙන්නේ දේශ­පා­ලන වේදි­කා­ව­ල­දීය. ඔහු පෙනී සිටින්නේ මන්ත්‍රී ආර­ක්ෂ­ක­යෙකු ලෙසිනි. කටු­වන ජවිපෙ රැස්වී­මට වෙඩි තැබෙ­න්නේද එක­ලය.

එම ද්විත්ව ඝාත­න­යට බන්ධ­නා­ගා­ර­ගත වන ජුල­ම්පි­ටිය අම­රෙට වසර 28ක සිර­ද­ඬු­ව­මක්ද හිමි වන්නේ මොන­රා­ගල පැත්තේ පුද්ග­ල­යෙ­කුට පහ­රදී දේපො­ළ­ව­ලට හානි කිරී­ම­ක­ටය. 2011 වසරේ අප්‍රේල් 08 වෙනිදා හම්බෙ­ග­මු­වේදී පනා­මුල්ල පති­ර­ණගේ රංජිත් නැමැ­ත්තාට පහ­රදී ලක්ෂ ගණ­නක දේපොළ හානි කිරී­මට ජුල­ම්පි­ටිය අම­රෙට එරෙහි 2014 වසරේ දෙසැ­ම්බර් 12 වෙනිදා එම තීන්දුව ලබා­දෙන්නේ එකල මොන­රා­ගල මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­ර­යාව සිටි ගිහාන් කුල­තුංග මහ­තාය. ජුල­ම්පි­ටිය අම­රෙට එරෙ­හිව මර­ණිය දණ්ඩ­නය නියම වන්නේද ඔහු වසර 28 ක සිර­ද­ඬු­ව­මක් ලැබ සිටි­ය­දී­මය.

Comments