ශිෂ්‍යත්ව විභාගයේ කඩයිමට ළං වූ සිසු­න්ටත් ශිෂ්‍යත්ව | සිළුමිණ

ශිෂ්‍යත්ව විභාගයේ කඩයිමට ළං වූ සිසු­න්ටත් ශිෂ්‍යත්ව

ශිෂ්‍යත්ව ලැබී­මට පෙර සෙයියු කිරි­යාමා හිමි­යන්ට වන්දනා කර­මින්
ශිෂ්‍යත්ව ලැබී­මට පෙර සෙයියු කිරි­යාමා හිමි­යන්ට වන්දනා කර­මින්

 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභා­ගයේ කඩ­යිම් ලකුණු ආස­න්න­ය­ටම පැමිණි දූ දරු­වන් 735 දෙන­කුට ජපන් ආධාර සහිත ශිෂ්‍යත්ව ප්‍රදා­නය කිරීම අද (10) කොළඹ බණ්ඩා­රනා­යක සම්ම­න්ත්‍රණ ශාලා­වේදී සිදු කෙරේ. මේ ලිපිය ඒ නිමි­ත්තෙනි.

 

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභා­ගය අපේ රටේ දරු­වන්ගේ කඩ­ඉම් විභා­ග­යක් වන්නා සේම තවත් දරු පිරි­ස­කට එය අධ්‍යා­ප­නය එපා කර­ව­න්නකි. ශිෂ්‍ය­ත්වය සමත් වන දරු දැරි­යන් ගැන බොහෝ දෙනා උදම් අනති. විවිධ සංගම්, සංවි­ධාන මෙන්ම රජ­යෙන්ද ඔවුන්ට ආධාර ලබා දීම් සිදු කෙරේ. තවත් සිසුන් මෙන්ම ඔවුන්ගේ මවු­පි­යන්ද ශිෂ්‍ය­ත්වය ගැන එත­රම් සැල­කි­ල්ලක් නොද­ක්වති. එම නිසා ඔවුන්ට ඒ ගැන දුක් වන්නට සිදු නොවේ. ඒ අතර කොළඹ සුපිරි පාසල් දරු දැරි­යෝද වෙති.

 

එහෙත් මේ විභා­ගය නිසා දැඩි සේ දුක් වන්නේත් සමා­ජයේ ඇස නොගැ­සෙ­න්නේත් විභා­ගය සමත් වන්නට අවශ්‍ය ලකුණු මට්ට­මට ලකු­ණක් හෝ දෙකක් අඩු­වෙන් ලබා ගත් දරු දැරි­යන්ය.

ඔවුහු බොහෝ සේ දුක්වෙති. කිසි­වෙක් ඔවුන් ගැන සොයා නොබ­ලති.

ඒ කිසි­ව­කුගේ ඇස නොගැ­සුණු මේ දරු දැරි­යන්ගේ අධ්‍යා­ප­නය නංවා ලන්නට මේ වන විට ශිෂ්‍යත්ව ක්‍රම­යක් අරඹා ඇත. ඒ මෙරට අස­රණ දූ දරු­වන් වෙනු­වෙන්ම ක්‍රියා­ත්මක කිරීම සඳහා ජපා­නයේ වැඩ වාසය කළ සෙයියු කිරි­යාමා මහ නාහි­මි­යන්ගේ මූලි­ක­ත්ව­යෙන් මෙරට ආරම්භ කරන ලද අගොන්ශු පද­නම විසිනි.

සෝම­සිරි අද්දර පති­ර­ණගේ

1993 වස­රේදී ඒ හිමි­යන්ගේ මූලි­ක­ත්ව­යෙන් ආරම්භ කරන ලද අගොන්ශු මිත්‍රත්ව පද­නම විසින් 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභා­ගයේ කඩ­යිම් ලකුණු ආස­න්න­ය­ටම පැමිණි දූ දරු­වන් 735 දෙන­කුට ශිෂ්‍යත්ව ප්‍රදා­නය කිරීම අද (10) කොළඹ බණ්ඩා­නා­යක සම්ම­න්ත්‍රණ ශාලා­වේදී සිදු කෙරෙන්නේ 27 වැනි වතා­ව­ටය. එම නිසා අපි ඒ ගැන එහි අධ්‍යක්ෂ ජන­රාල් සෝම­සිරි අද්දර පති­ර­ණගේ මහතා හමු වී කරුණු විම­සීමු.

‘‘ 5 ශ්‍රේණියේ කඩ­ඉම් ලකුණු ආස­න්න­ය­ටම පැමිණි මේ දරු­වන් වෙනු­වෙන් ශිෂ්‍යත්ව ක්‍රම­යක් ආරම්භ කෙළේ 1993 වස­රේදී. ඒ සඳහා මුල් වුණේ 1986 වස­රේදී ජපා­නයේ අගොන්ශු විහා­රයේ හිටපු මහ නායක සෙයියු කිරි­යාමා මහ නා හිමි­යන්ගේ මෙර­ටට වැඩම කිරී­මයි. උන් වහ­න්සේගේ එම ගම­නේදී භාෂා පරි­ව­ර්තක ලෙස කට­යුතු කෙළේ මමයි. එහිදී උන් වහන්සේ සමඟ මෙර­ටට වැඩම කළ 140ක් පමණ වූ පිරිසේ මම භාෂා පරි­ව­ර්තක ලෙසින් ලබා දුන් සහාය නිසා උන් වහන්සේ මට ජපා­න­යට පැමි­ණෙන ලෙස ආරා­ධනා කළා. ඒ අනුව මම අවස්ථා කිහි­ප­ය­කදී ජපා­න­යට ගොස් උන් වහන්සේ හමුවී මෙරට දරු දැරි­යන් ගැන සාකච්ඡා කළා. එහි ප්‍රති­ඵ­ල­යක් ලෙස උන් වහන්සේ මට පෞද්ග­ලි­කව මුදල් ලබා දෙන්නට කට­යුතු කළත් මම ඒ සඳහා කැමැති වුණේ නැහැ. ඒ වෙනු­වෙන් මම පැව­සුවේ හැකි­නම් දරු­වන් වෙනු­වෙන් යම් වැඩ සට­හ­නක් එහෙ­මත් නැත්නම් ශිෂ්‍යත්ව ක්‍රම­යක් ආරම්භ කරන ලෙසයි. එමෙන්ම එහි විග­ණන කට­යුතු ජපා­නය විසින් කළ යුතු බවත් මම පැව­සුවා. මුලින් අක­මැති වුවත් එම විග­ණන කට­යුතු සිදු කර­න්නට ඔවුන් එකඟ වුණා.

නැවත වරක් උන් වහන්සේ 1992 වසරේ මෙර­ටට වැඩම කළා. ඒ අව­ස්ථාවේ උන් වහ­න්සේට මල්වතු මහා විහා­ර­යෙන් කීර්ති ශ්‍රී සාම­දූත නායක පද­විය පිරි­නැ­මුවා. ඒ උන් වහන්සේ ලෝකයේ සාමය උදෙසා කට­යුතු කර­මින් සිටි නිසයි. ඒ වන විට මෙරට පැවැති බෙදු­ම්වාදී යුද්ධය සම්බ­න්ධ­යෙන් උන් වහන්සේ සාමය අග­ය­මින් කට­යුතු කළා. ලංකා­වට පම­ණක් නෙමෙයි උන් වහන්සේ ප්‍රංශය, ජර්ම­නිය වැනි රට­ව­ලට පවා වැඩම කර එම රට­වල සාමය උදා කිරී­මට අවශ්‍ය පිය­වර ගත්තා.

උන් වහ­න්සේගේ 1992 වසරේ මෙරට සංචා­ර­යත් සමඟ ශ්‍රී ලංකා අගොන්ශු මිත්‍රත්ව පද­නම ආරම්භ කළා. එහි විග­ණන කට­යුතු මගේ ඇරි­යු­මින් ජපා­නය විසින්ම සිදු කළා.

ශිෂ්‍ය­ත්වය සම­ත්වී­මට ආසන්න ලකුණු ගත් දරු­දැ­රි­යන් අපි සොයා ගත්තේ දන්නා අඳු­නන අය හරහා, නමුත් එය සාර්ථක ක්‍රම­යක් නොවන බව අපි තේරුම් ගත්තා. එම නිසා අධ්‍යක්ෂ මණ්ඩ­ල­යක් පත් කර­ගෙන අපි එහි කට­යුතු කළා. ඒ අනුව ප්‍රාදේ­ශීය ලේකම් කාර්යාල මට්ට­මින් එම තේරීම් සිදු කර­න්නට අප කට­යුතු කළා. ඒ හර­හායි අද වන විට ශිෂ්‍ය­ත්ව­ලාභී සිසු දරු දැරි­යන් තේරීම් සිදු කරන්නේ. ඒ පැහැ­දිලි නිශ්චිත ක්‍රම­වේ­ද­ය­කට අනු­වයි. හඳුනා ගත් සිසු දරු දැරි­යන් ශිෂ්‍යත්ව ලබා­දී­මට තරම් අඩු අදා­යම් ලාභී­න්දැයි සොයා බැලීම පිණිස දිස්ත්‍රික් සම්බ­න්ධි­කා­ර­ක­ව­රුන් අප පත් කර තිබෙ­නවා. ඒ අනුව සොයා බලා සුදු­ස්සන්ට පම­ණක් ශිෂ්‍යත්ව ලබා දීමට කට­යුතු කර­නවා. ‘‘

ඇත්තෙන්ම කුඩා දරු දැරි­යන්ගේ ඒ වාස­නාව උදෙසා ලබා දෙන මේ ශිෂ්‍යත්ව ක්‍රමය එම සිසුන්ගේ අධ්‍යා­ප­න­යට ලබා දෙන මහඟු වූ රුකු­ලක්ව ඇත. ආර­ම්භ­යේදී එක් වස­රක් සඳහා පම­ණක් මේ ශිෂ්‍යත්ව ලබා දුන්නද එම සිසුවා හෝ සිසු­විය අධ්‍යා­ප­නික වැඩ කට­යුතු නිසි පරිදි කර ගෙන යන්නේ නම් විශ්ව­වි­ද්‍යාල අධ්‍යා­ප­නය දක්වාම ශිෂ්‍ය­ත්වය ලබා දීමට කට­යුතු කෙරේ. එසේ අධ්‍යා­ප­නය ලැබූ අඩු ආදා­ය­ම්ලාභී සිසු දරු­වන් 8 දෙනකු මේ වන විට වෛද්‍ය­ව­රුන් බවට පත්ව ඇත.

මේ වන විට අගොන්ශු පද­නම විසින් වාර්ෂි­කව ලබා දී ඇති ශිෂ්‍යත්ව සංඛ්‍යාව 15110කි. මේ වසරේ ලබා දෙන ශිෂ්‍යත්ව 735ද සම­ඟින් එම සංඛ්‍යාව 15845ක් දක්වා ඉහළ යනු ඇත.

පසු­ගිය වසරේ දැරි­ය­කට තිළිණ ප්‍රදා­නය කළ අව­ස්ථාව

සියලු දරු දැරි­යන්ට වස­රක කාල­ය­කට අවශ්‍ය වන අභ්‍යාස පොත් පත් සිය­ල්ලම සියලු පාසල් උප­ක­රණ පාසල් බෑග් සපත්තු ජෝඩු දෙකක් හා නිල ඇදුම් 3ක්ද මල­ල­සේ­කර ශබ්ද කෝෂ­යක්ද හිමි වන අතර පවු­ල­ටම සරි­ලන වියළි සලාක මල්ලක් මාස­යක කාල­යක් සඳහා සැප­යෙනු ඇත. එය සාමාන්‍ය අය­කුට ඔස­වා­ගත හැකි නොවන පාර්ස­ල­යකි.

මේ උදා­ර­තර කාර්යය සිදු කිරී­මට දාය­ක­ත්වය ලබා දුන් කිරි­යාමා හිමි­යන් වසර දෙකට පෙරදී අප­වත් වූ නමුත් උන් වහ­න්සේගේ දාය­ක­ත්වය මත සිදු කර­ගෙන ආ මේ අධ්‍යා­පන සත්කා­රය දිගින් දිග­ටම සිදු කර­ගෙන යන්නට කට­යුතු කර ඇත.

කිරි­යාමා හිමි­යන්ගේ අද­හ­සක් පරිදි මේ සියලු ශිෂ්‍යත්ව ලබා දෙන්නේ සිංහල බෞද්ධ දරු­වන්ට පම­ණක් වන අතර මීට පෙර බදුල්ල, පින්න­වල, අම්පාර වැනි දුර බැහැර ප්‍රදේ­ශ­ව­ලද ශිෂ්‍යත්ව ප්‍රධාන උත්ස­වය පැවැත්වූ අතර මෙවර කොළ­ඹදී එය පැවැත්වේ. ඒ සඳහා මවු­පි­යන් දෙදෙ­නාම සමඟ පැමි­ණී­මට හා ආපසු යාමට අවශ්‍ය සියලු ප්‍රවා­හන කට­යුතු සැප­යී­ම­ටද කට­යුතු යොදා ඇත.

මෙවර ශිෂ්‍යත්ව ප්‍රදා­නෝ­ත්ස­වයේ ප්‍රධාන ආරා­ධි­තයා ලෙස සහ­භාගි වන්නේ කොළඹ අග­ර­ද­ගුරු අති උත්තම මැල්කම් කාදි­නල් රංජිත් හිමි­පා­ණෝය. එසේම සියම් මහ නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අනු­නා­යක ඕමාරේ කස්සප අනු නාහි­මි­යෝද ඒ සඳහා එක් වෙති.

ජපා­නය නියෝ­ජ­නය කර­මින් එම උත්ස­ව­යට සහ­භාගි වන්නේ අගොන්ශු නිකායේ ජ්‍යෙෂ්ඨ අනු­නා­යක තොයි­කෂු නකායි නා හිමි පුමුඛ දූත පිරි­සකි.

ශිෂ්‍යත්ව ලබා දුන් පසුව එම දරු දැරි­යන් අධ්‍යා­ප­න­යට නැඹුරු කර­වී­මත් ඒ සඳහා දිරි ගැන්වී­මත් පද­නම හරහා සිදු කෙරේ. එප­ම­ණක් නොව සර­සවි අධ්‍යා­ප­නය නිමා වන තුරුම ඔවුන්ගේ අධ්‍යා­පන අව­ශ්‍යතා සොයා බලන පද­නම විසින් මේ වන විට ශිෂ්‍ය­ත්ව­ලාභී සිසු දරු­වන්ට අම­ත­රව වෛද්‍ය විද්‍යාව හදා­රණ සිසු දරු දැරි­යන් 37 දෙන­කුට ඒ සඳහා අවශ්‍ය මිල අධික පත පොත රැසක් ද ලබා දී ඇත.

මේ සත්කා­ර­යට අම­ත­රව වෘත්තීය පුහුණු අධි­කා­රියේ මෙහෙ­ය­වීම මත මොර­වක පව­ත්වා­ගෙන යනු ලබන වෘත්තීය පුහුණු මධ්‍ය­ස්ථා­න­යට අවශ්‍ය සියලු ආම්පන්න ලබා දෙන්නේද අගොන්ශු මිත්‍රත්ව පද­නම මඟින් වීමද මෙහිලා පැව­සිය යුතුය. එය මාතර දිස්ත්‍රි­ක්කයේ ඇති හොඳම ගොඩ­නැ­ඟි­ලි­ව­ලින් එකක් බව­ටද පත්ව ඇත.

මේ වන විට දරු දැරි­යන් දස දහස් ගණ­න­කගේ නෙත පාද­න්නට ඇස යොමු­කළ ජපා­නයේ කිරි­යාමා හිමි­ය­න්ටත් ඒ වෙනු­වෙන් මෙරට සියලු සම්බ­න්ධී­ක­රණ කට­යුතු මෙහෙ­ය­ව­මින් තම කාලය ශ්‍රමය කැප­ක­රන සෝම­සිරි අද්දර පති­ර­ණගේ මහ­තා­ටත් සියලු දරු දැරි­යන්ගේ කෘත­ඥ­තාව හිමි විය යුතු පම­ණක් නොව රජයේ වෙනත් වග­කිව යුතු ආය­ත­නද එවන් දරු­වන් ගැන අව­ධා­නය යොමු කළ යුතුය.

 

සේයාරූ - සමන් ශ්‍රී වෙදගේ

Comments