ආණ්ඩුවේ රෝහල්වලට යන්න පුළුවන් ද? රෝහලකට ගිහිල්ලා ඉන්න හිතෙනවා ද? මේ එදා ජනතාව අතර පැවැති කතාබහ ය. රජයේ රෝහල්වල එදා පැවැති එම අප්‍රසන්න තත්ත්වය, හතු පිපෙන්නා සේ පෞද්ගලික රෝහල් බිහි වීමට හේතු පාදක විය. කොපමණ මුල්‍ය අපහසුතා පැවැතියත් ආණ්ඩුවේ රෝහල්වල එදා පැවැති එම අයහපත් තත්ත්වය හේතුවෙන් බොහෝ දෙනා පෞද්ගලික රෝහල් කරා පිය නැඟූහ.
නමුත් අද තත්ත්වය ඊට ඉඳුරාම වෙනස් ය. රෝහල් ශීඝ්‍රයෙන් නවීකරණය වී තිබේ. පෞද්ගලික රෝහල් තත්ත්වයටම රජයේ රෝහල් සංවර්ධනය වී තිබේ. භෞතික හා මානව සම්පත් සංවර්ධනය හේතුවෙන් රජයේ රෝහල් අද ඉදිරියට පැමිණ තිබේ.
එදා කොළඹින් පමණක් කරගන්නට හැකි වී තිබු පරික්ෂණ අද ගමට ද ගොස් තිබේ. එදා කෙළඹට පමණක් සීමා වී තිබු විශේෂඥ වෛද්‍ය සේවය ගමේ රෝහලට ද ගෙන ගොස් තිබේ. එම ශීඝ්‍ර වර්ධනය ඇති වූවේ 2015න් පසුවය. දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යධුරයේ වැඩබාරගැනීමෙන් පසුව ගත් නිර්භීත තීරණ සහ ක්‍රියාමාර්ග එයට හේතු සාධක විය. ඒ අනුව රෝහල් ගොඩනැගිලි ඉදි වීම මෙන්ම නවීන වෛද්‍ය උපකරණ ගෙන්වීමේ ක්‍රියාවලියේ ශීඝ්‍ර වර්ධනයක් සිදු වී තිබේ.
ජීව වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජනප්‍රිය කරුණාරත්න මහතා ප්‍රකාශ කරන අන්දමට වෛද්‍ය උපකරණ ගෙන්වීම ගත් කළ ඉතිහාසයේ වැඩිම වෛද්‍ය උපකරණ ප්‍රමාණයක් ගෙන්වා ඇත්තේ මෑත කාලයේ දීය.
ශරීර අභ්‍යන්තරය පරික්ෂා කරන MRI යන්ත්‍ර 2015 ට පෙර තිබුණේ කෙළඹ ජාතික රෝහලේ සහ මහනුවර රෝහලේ පමණකි. එසේම පෞද්ගලික රෝහලකින් MRI පරීක්ෂණයක් කර ගැනීම සඳහා විශාල මුදලක් වැය කිරීමට රෝගියාට සිදු විය. නමුත් අද වන විට එම යන්ත්‍ර සංඛ්‍යාව 10 දක්වා ඉහළ නංවමින් දිවයිනේ ග්‍රාමීය රෝහල්වලට ද එම සේවා ලබාදීමට පියවර ගෙන ඇත. වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා යටතේ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල, යාපනය මහරෝහල, රාගම ශික්ෂණ රෝහල, බදුල්ල මහ රෝහල හා රත්නපුර මහ රෝහල වෙත ද MRI යන්ත්‍ර ගෙන්වා ලබා දුන්නේය. මීට අමතරව මහනුවර, කළුබෝවිල (දකුණු කොළඹ ශික්ෂණ) රෝහල හා හම්බන්තොට රෝහල සඳහා MRI යන්ත්‍ර ගෙන්විමට අදාළ ඇණවුම් බාරදී ඇත. තවත් MRI යන්ත්‍ර 7ක් ගෙන්වීමට ටෙන්ඩර් කැඳවා තිබේ.
සී.ටි ස්කෑන් (CT Scanner) යන්ත්‍ර ද 5ක් මේ වන විට ගෙන්වා තිබේ. එම යන්ත්‍ර මාතලේ, මන්නාරම, වතුපිටිවල, ගම්පහ, කල්මුණේ යන රෝහල්වලට ලබාදීමට කටයුතු යොදා ඇත. තවත් සී.ටි ස්කෑන් යන්ත්‍ර 12ක් ගෙන ඒම සඳහා ටෙන්ඩර් කැඳවා ඇත.
කොළඹ නයනාරෝග්‍ය ශාලාවට සීමා වූ අක්ෂි ශල්‍ය සැත්කම් මේ වන විට දිස්ත්‍රික් මහ රෝහල් දක්වා ව්‍යාප්ත වීමෙන් ජනතාවට මහත් සෙතක් උදා විය. එම සැත්කම් සඳහා රෝහල් ශල්‍යාගාර වෙත අවශ්‍ය අක්ෂි ශල්‍ය යන්ත්‍ර (Phaelo Machine) 44 ක් ඇණවුම් කර ඇති අතර ඉන් 29ක් මේ වන විට රෝහල්වල සවි කොට ශල්‍යකර්මද සිදු කරමින් තිබේ. එම අක්ෂි ශල්‍ය යන්ත්‍ර මඟින් ඇසේ සුදභාවය ඉවත් කර ජනතාවට පෙනීම ලබාදීමට මහත් සේවාවක් සපයනු ලබයි.
මේ වසරේ පමණක් අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් (Ultrasound Scan Machine) යන්ත්‍ර 10ක් රජයේ රෝහල් වෙත බෙදා හැරියේය. එන්ඩෝස්කොපි සිස්ටම් (Endoscopy system) 35ක් ගෙන්වා තිබෙන අතර ඇණවුම් කළ තවත් යන්ත්‍ර 12ක් මේ වසර අවසන් වීමට ප්‍රථම පැමිණීමට නියමිතය.
හයිපෙෂර් ස්ටෙලයිසර් (High Pressure Sterilizer) යන්ත්‍ර හෙවත් වෛද්‍ය උපකරණ ජීවානුහරණය යන්ත්‍ර 49ක් ගෙන්වා තිබෙන අතර, එම යන්ත්‍ර ද ඉදිරි දින කිහිපය තුළ අවශ්‍යතාව හා ප්‍රමුඛතාව මත වෛද්‍ය සැපයුම් අංශය මඟින් බෙදා හරිනු ඇත. එම උපකරණ පළාත් හා රේඛීය අමාත්‍යාංශය යටතේ පවතින රෝහල්වලට ද ලබාදීමට පියවර ගෙන ඇත.
එකෝ කාර්ඩියෝලොජිග්රැම් (Echocardiogram) හෙවත් හෘද රෝගීන්ගේ හෘද වස්තුව පරික්ෂා කිරීමට ගන්නා උපකරණ 15 ක් පසුගිය දින කිහිපයේ දි බෙදා හැරියේය.
ඇනස්තටික් මැෂින් (Anaesthetic machine) හෙවත් නිර්වින්දන යන්ත්‍ර 100ක් මෙම සතියේදී ලැබීමට නියමිත අතර අවශ්‍යතාව හා ප්‍රමුඛතාව මත එම යන්ත්‍ර ද බෙදා හරිනු ඇත.
වෙන්ටිලේටර් (ventilator) හෙවත් කෘතිම ස්වශන යන්ත්‍ර 200ක් ඇණවුම් කර ඇති අතර මේ මස අවසන් වීමට ප්‍රථම එම යන්ත්‍ර ද මෙරටට පැමිණෙන අතර පැමිණි විගස ඒවා රෝහල් වෙත බෙදා හැරීමට නියමිතය. ශල්‍යාගාරයන්හි භාවිතය සඳහා ඩයතමි මැෂින් (diathermy machines) 49ක් ගෙන්වා රෝහල් වෙත යොමු කර තිබේ.
තියටර් ටේබල් (Theater Table) හෙවත් රෝගියා ශල්‍යකර්මය භාජනය කිරීම සඳහා තබා තිබෙන මේස 100ක්ද තියටර් ලෑම්ප් (Theater Lamp) හෙවත් ශල්‍යාගාර විදුලි ලාම්පු 100ක් පමණ ද ගෙන්වා බෙදාහැරිමට ද නියමිතය.
මැමෝග්‍රැෆි මැෂින් (Mammography machines) හෙවත් පිළිකා රෝග හඳුනාගන්නා යන්ත්‍ර 5ක් ගෙන්වා මහරගම පිළිකා රෝහලට යොමු කර තිබේ.
වසර ගණනාවක සිට රෝහල්වල පැවැති උග්‍ර නවීන තාක්ෂණික යන්ත්‍ර හිඟය මඟහරවමින් මීට අමතරව මල්ටිපැරා මොනිටර් (Multipara Monitor) 1200ක් ඇණවුම් කර ඇති අතර එම යන්ත්‍ර ද මේ මස අවසන් වීමට පෙර ලැබීමට නියමිතය.
ඉහත සඳහන් කරන ලද්දේ මේ වසර තුළ මෙරටට ගෙන්වන ලද හා වසර අවසන් වීමට ප්‍රථම ගෙන්වීමට නියමිත උපකරණයන්ගේ විස්තරය. 2015 සිට මේ දක්වා ගෙන්වා රෝහල්වල සවි කරන ලද උපකරණ ලැයිස්තුව ඉදිරිපත් කරන්නට ගියහොත් එය මේ ලිපිය තුළ පළ කිරීමට ඉඩ පහසුව සලසාගත නොහැකි තරම්ය.
රෝහල් වෙත සවි කරන ලද උපකරණ සංඛ්‍යාව ගතහොත් තිබුණා මෙන් දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව ජීව වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජනප්‍රිය කරුණාරත්න මහතා සඳහන් කළේය. වියදම් ඇස්තමේන්තුව තාක්ෂණික අංශයෙන් ගතහොත් එය ද දෙගුණයකින් ඉහළ ගොස් තිබේ. රෝහල්හි තිබු පැරණි උපකරණ ඉවත් කොට නව තාක්ෂණයෙන් යුතු උපකරණ සවි කිරීමට පියවර ගැනිණි.
රෝහල්හි තත්ත්වය ද ප්‍රසාරණය වී තිබේ. දිස්ත්‍රික් රෝහල් මූලික රෝහල් බවට ශීඝ්‍රයෙන් පරිවර්ථනය වූවේය. ග්‍රාමීය රෝහල් දිස්ත්‍රික් රෝහල ලෙස ප්‍රසාරණය වූවේය. එලෙස ප්‍රසාරණය වෙද්දි ඊට අවශ්‍ය ලෙස පහසුකම් ද ඉහළ දැමිය යුතුය. ඒ අනුව ගෙන්වන ලද වෛද්‍ය උපකරණ සංඛ්‍යාව ද ඉහළ ගියේය. මෙම සියලු නවීන පන්නයේ වෛද්‍ය උපකරණ මුළු දිවයිනම ආවරණය වන පරිදි ග්‍රාමීය, පළාත් රෝහල්, දිස්ත්‍රික් රෝහල් ඇතුළු සියලුම රෝහල් වෙත ලබාදීමට වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා කටයුතු කරනු ලැබීය. ඒ සියලු ජනතාවට, එක හා සමාන ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ අරමුණිනි. කොළඹින් පිට රජයේ රෝහල්වල ද හෘද සැත්කම් කරගැනීමේ හැකියාව මේ වන විට වත්මන් ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමතිවරයා උදා කර දී ඇත.
අතීතයේ දී කොළඹ හා ගාල්ල රෝහලට පමණක් සීමා වී තිබු හෘද සැත්කම් කිරීම අද වන විට අනෙකුත් රෝහල් වෙත ද යොමු වී තිබේ. මේ වන විට කොළඹ හා ගාල්ලට අමතරව කුරූණෑගල, අනුරාධපූර හා බදුල්ල යන රෝහල්වල ද හෘද සැත්කම් සිදු කරනු ලබයි. ඒවාට අවශ්‍ය උපකරණ ගෙන්වා බෙදා දෙන ලදි. මේ වසරේ දි කළුතර හා මඩකලපුවේ ද හෘද රෝග සැත්කම් ඒකක විවෘත වීමට නියමිතය.
උපකරණවල අවශ්‍යතාව මත වෛද්‍ය සැපයුම් අංශය විසින් එම උපකරණ ගෙන්වා රෝහල් වෙත කඩිනමින් බෙදා හරිනු ලබයි. මෙම වසරේ පමණක් රුපියල් බිලියන 20ක වෛද්‍ය උපකරණ ගෙන්වා බෙදා හැර ඇත. තවත් බිලියන 20ක රෝහල් සංවර්ධන ව්‍යාපෘති ද මෙරටට ලැබීමට නියමිතය.
රජයේ රෝහල්වල අවශ්‍යතා සම්පූර්ණ කිරීම යටතේ අවශ්‍ය සියලු පහසුකම් සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ මඟ පෙන්වීම ඔස්සේ ලබාදී ඇත. නවීන පහසුකම් මෙන්ම නව තාක්ෂණය ද රජයේ රෝහල් වෙත අද වන විට ලබාදී තිබේ. එමෙන්ම සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ඉල්ලීමකට අනුව ජනාධිපති අරමුදලින් මාතලේ රෝහලේ හෘද රෝග ඒකකය සදහා රුපියල් මිලියන 100ක නවීන උපකරණ ලබාදීමට ද නියමිත අතර තවත් රුපියල් මිලියන 150ක නවීන වෛද්‍ය තාක්ෂණික උපකරණ දිවයිනේ රෝහල් 13කට ලබාදෙනු ඇත.
ඉතා උසස් නිදහස් සෞඛ්‍ය සේවාවක් සැපයීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ඒ්කායන අරමුණ වී තිබේ. 2015 පෙර නිදහස් සෞඛ්‍ය සේවාවක් පැවැතියත් එය හුදෙක් නමට පමණක් සීමා වූ නිදහස් සෞඛ්‍ය සේවාවක් විය. දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ආගමනයත් සමඟ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ පුරෝගාමී මෙහෙවරක් ඉටු කරමින් යුරෝපීය ප්‍රමිතියෙන් යුතු ව මානව සම්පත හා භෞතික සම්පත් සංවර්ධනයට පියවර ගනු ලැබීය. එමඟින් යුරෝපීය රෝහලක දී ලබාගත හැකි සියලු වෛද්‍ය පහසුකම් මෙරට රෝහල් වලදී ලබාගැනීමේ හැකියාව මෙරට ජනතාවට උදා කර දී ඇත.
පෞද්ගලික රෝහල් මට්ටමටම අද ආණ්ඩුවේ රෝහල් ද දියුණු වී සම තත්ත්වයට පත් වී ඇත. කොපමණ රෝහල් දියුණු කර කොපමණ වෛද්‍ය උපකරණ ලබාදුන්න ද රෝගීන්ට එම පහසුකම් ලබානොදීමට කටයුතු කරණ පිරිසක් සිටිනා බව සඳහන් කිරීමට සිදුවීම කනගාටුවට කරුණකි. දේශපාලන කෝණයෙන් බලා වැඩ කරන පිරිසක් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ද නැතුවාම නොවේ. එම නිසා අප රෝහල් කොපමණ ගොඩනැඟුවත් කොපමණ උපකරණ ලබා දුන්නත් එය ජනතාවගේ යහපත වෙනුවෙන් යොදවන්නට වෛද්‍යවරුන් හෙදියන් කටයුතු නොකරන්නේ නම් එය අවාසනාවකි.
සියලු වෛද්‍යවරුන් සියලු හෙදියන් එම කොට්ඨාසයට අයත් නොවන බව ද කිව යුතුය. නමුත් සුළු පිරිසක් පටු අරමුණු අනුව ක්‍රියා කරන බැවින් රෝගීන්ට අමාත්‍යාංශය ඔස්සේ සැපයෙන පහසුකම් භුක්ති විදින්ට ඉඩ සැලසෙන්නේ නැත.
එම නිසා විපක්ෂයේ පිරිස් අසන පොදු ප්‍රශ්නය වී තිබෙන්නේ මේ ආණ්ඩුව කළේ මොනවා ද යන ප්‍රශ්නය ය. ඉහත ඉදිරිපත් කරනු ලැබුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තෙන් පසුගිය මාස කිහිපය තුළ සිදු කරන ලද සංවර්ධන කාර්යන්ගෙන් කොටසක් පමණකි. එසේ නම් මේ ආණ්ඩුව කිසිවක් කරලාම නැති ද.