ඡන්ද අයිතිය නැති භික්ෂුණී ශාසනය | සිළුමිණ

ඡන්ද අයිතිය නැති භික්ෂුණී ශාසනය

ශ්‍රී ලංකාවේ වැඩ වාසය කරන බෞද්ධ භික්ෂුණීන් වහන්සේට ජනාධිපතිවරණයේ දී ඡන්දය භාවිතා කළ හැකි වන පරිදි හැඳුනුම්පතක් නිකුත් කිරීමට කටයුතු කරන්නේ නම් යෝග්‍ය බව ජාතික මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.

ශ්‍රී ලංකාවේ සිටින 8000 කට ආසන්න බෞද්ධ භික්ෂුණීන් වහන්සේ නිල වශයෙන් පිළිගැනීම බුද්ධශාසන අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම හේතුවෙන් ඔවුන්ට ජාතික හැඳුනුම්පතක් ලබාගත නොහැකිව සිටියි.

ඔවුන් භික්ෂුණීන් වශයෙන් පිළිගැනීම බෞද්ධ මහනායක හිමිවරුන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබීම එයට හේතුව වී තිබේ.

මේ තත්ත්වය යටතේ ඔවුන්ට මෙවර ජනාධිපතිවරණයේදී සිය ඡන්දය භාවිත කිරීමට නොහැකි තත්ත්වයක් මතු වී ඇති බව තමන්ට ද අනාවරණය වී ඇතැයි පවසන මානව හිමිකම් කොමිෂන් සභාව, මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වෙත ඉහත කී නිර්දේශය ඉදිරිපත් කර තිබේ.

ඒ සඳහා භික්ෂුණීන් වහන්සේ දැනට භාවිත කරන හැඳුනුම්පතක් උපයෝගී කර ගනිමින් මැතිවරණය උදෙසා ඔවුන් වෙනුවෙන් තාවකාලික හැඳුනුම්පතක් නිකුත්කිරීම මානව හිමිකම් කොමිසමේ නිර්දේශය වී තිබේ.

මානව හිමිකම් කොමිසමේ අදාළ නිර්දේශය පිළිබඳව විමසූ අවස්ථාවේ තලවතුගොඩ ධම්මදීපනී භික්ෂුණීන් වහන්සේ කියා සිටියේ, මැතිවරණ කොමිෂන් සභාව අවසාන මොහොතේ තමන්ට එසේ තාවකාලික හැඳුනුම්පතක් හෝ ලබා දෙනු ඇතැයි විශ්වාස කිරීම අසීරු බවය.

1998 සිට 2004 දක්වා ඔවුන් භික්ෂුණීන් වහන්සේ ලෙසින් ලියාපදිංචි කිරීමට විරුද්ධ නොවූ ත්‍රනිකායික මහ නාහිමිවරුන් පසුව මතු කළ විරෝධය හේතුවෙන් 2004 සිට ඔවුන් භික්ෂුණීන් වශයෙන් පිළිගැනීම ආණ්ඩුව විසින් නවතා දමනු ලැබ තිබේ.

Comments