කවිය මට ලැබුණු ඉහළම සම්මානයයි | සිළුමිණ

කවිය මට ලැබුණු ඉහළම සම්මානයයි

කවිය අපූර්ව කලා මාධ්‍යයකි. ඕනෑම පුද්ගලයකු ගේ හදවත රස ගැන්වීමට සමත් වේ. සංවේදී ආත්ම කථනය තුළින් අධ්‍යාත්මය ආමන්ත්‍රණය කිරීම එහි අරමුණයි. කවිය කෙරෙහි එදා මෙදා මෙදා තුර ඇති ආකල්ප විවිධය. විෂමය. ඒවා එකිනෙක එකිනෙකට සැසඳීමට නොහැක්කේ කවිය අනිර්වචනීය කලාවක් වන හෙයිනි. වර්තමානයේ කවිය නෙක හැඩ දරමින් නෙක කවියන් අතින් රස රසගැන්වූ සමාජයට අනුරූපව වෙනස් වෙමින් පවතී. නූතන පරපුරේ කවියට එවන් හැඩයක් ලබා දෙන නවක කවියෙකුගේ ආගමනය පිළිබඳ සටහන් කිරීමට සිතේ. සිද්ධාංගී කාව්‍ය සංග්‍රහය තුළින් කලඑළි බසින ඔහු කැලණිය විශ්වවිදයාලයේ සිංහල විශේෂවේදී උපාධිධාරියෙකු වන අතර මේ වන විට දර්ශනපති උපාධිය සඳහා අධයාපන කටයුතු සිදුකරමින් සිටි. රජරට උපන් ඔහු කොළඹට පැමිණ ජීවිතය ජයගත් අයුරු සිද්ධාංගී තුළින් විවරණය කරයි. මෙය ඔහුගේ දෙවැනි කෘතිය වන අතර සිංහල නවකතාවේ යතිවර මුද්‍රාව නමින් විචාර ග්‍රන්ථයක් ද රචනා කර ඇත. ඔහු නමින් සසින්ද ගිම්හාන් ප්‍රේමකුමාර වන අතර ඔහු සමග සිදු කළ සුහද සංවාදයකි මේ.

ඇත්තටම කවියෙක් කියන්නේ කවුරුද?

කලාකාරයෙක් කියන්නේ ඕනෑම කෙනෙකුගේ භාවයන්වලට ආමන්ත්‍රණය කරන්න පුළුවන් පුද්ගලයෙක්. සංවේදී බවට පත් කරන්න පුළුවන් පුද්ගලයෙක්. ඒ නිසා මං හිතන්නේ කෙටියෙන්ම කවියෙක් කියලා කියන්නේ හොඳ කලාකාරයෙක්. මොකද හොඳ කලාකාරයෙක් නොවී හොඳ කවියෙක් වෙන්න බැහැ.

සිද්ධාංගී කලඑළි බසින්නේ ඔබේ සිහිනයත් සැබෑ කරමින් ද?

ඇත්තටම කියන්නේ කවි පොතක් නෙමෙයි සිද්ධාංගී කියන්නේ මගේ ජීවිතය. මං ජීවිතය පුරාවට ලබාගත්තු ගොඩාක් වටිනා දේවල් මේ තුළ ඇතුළත් වෙනවා. සිද්ධාංගී කියන්නේ. ඈත ගමක ඉඳන් හරිම දුක් මහන්සි ඉගෙනගෙන කොළඹ ඇවිල්ලා ජීවිතේ හොයාගන්න උත්සාහ කරපු පුද්ගලයෙක්ගේ ජීවිත ආඛ්‍යානයක්. මොකද සිද්ධාංගී තුලින් මං සෘජුවම විවරණය කරන්නෙත් මගේ ජීවිතය.

සිද්ධාංගී රචනා කිරීම තෙක් ජීවිතය එන ගමන් මග දිය මඟ දිහා ආපහු හැරිලා බැලුවොත්..

ජීවිතය පටන් ගන්නේ අන්තිම මට්ටමින්. පාසල් යන වයසේ දී මට මගේ තාත්තා නැති වෙනවා. ඉස්කෝලේ දෙක වසරෙදි තාත්තා නැති වුණ නිසාම මට මගේ තාත්තගේ මුහුණවත් මතක නෑ. මගේ ජීවිතේ මට මේ තරම් දුර එන්න හයියක් වුණේ මගේ අම්මා. දවසක් පැළ නැති හේනේ ගීතයේ විග්‍රහ කරනවා වගේ අකාල මහ වැසිවලින් මාවත් මගේ මල්ලිවත් ආරක්ෂා කරගෙන තාත්තා නැති අඩුව දැනෙන්න නොදී ඇය අපව ආරක්ෂා කළා. නෑදෑ හිත මිතුරන් ගොඩක් අපට උදවු කළා. මගේ ජීවිතේ සකස් කරන්න පාසල් ජීවිතයෙන් ලැබුණු පිටුවහල විශාලයි. ගල් කන්දේගම මහා විද්‍යාලය, ඒ වගේම මෛත්‍රීපාල සේනානායක මධ්‍ය විද්‍යාලය මගේ ජීවිතයට අඩිතාලම දැම්මා. මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වෙන්නේ කැලණිය විශ්ව විද්‍යාලය. මගේ සරසවිය තුළින් තමයි මං මගේ ජීවිතය දකින්න පටන් ගන්නේ.

විශ්වවිද්‍යාල ජීවිතේ ඔබට අමතක නොවන චරිත ඇති. ඒ චරිත ගැන දැනගන්න කැමතියි..

ඇත්තටම පළමු චරිතය තමයි සිංහල අධ්‍යයනාංශයේ අංශාධිපති මල්වානේ චන්දරතන හිමියන්. උන්වහසේගේ මග පෙන්වීම මට විශාල සවියක් වුණා. ඒ වගේම සංස්කෘත අධ්‍යයන අංශයේ අංශ ප්‍රධාන ඉඳුරාගාරේ ධම්මරතන හාමුදුරුවෝ. උන්වහන්සේගේ මානුෂීයත්වය වගේම නිවැරැදි දැක්මකින් ජීවිතය ගමන යන්න ලබා දුන්න ගුරුහරුකම් ගොඩක් වටිනවා. ඒ වගේම උඩවෙල රේවත හාමුදුරුවෝ. උන්වහන්සේගේ මඟ පෙන්වීමත් ඉතාමත් වටිනවා. මේ තමයි මට මගේ ජීවිතයේ හම්බ වුණ පරමාදර්ශී චරිත.

සිද්ධාංගී ඔබේ ජීවිතය ගෙන එද්දී ඔබ විවිධ ආකෘති අත්හදා බැලීම් සිදු කරනව... ඒ ගැන සඳහන් කළොත්..

කවිය කියන්නේ හැම වෙලාවෙම සමාජයට අනුරූපව වෙනස් වෙන කලාවක්. සිද්ධාංගී තුළ එවන් අත්හදා බැලීම් සිදු කළා. සීගිරි කුරුටු ගී ආකෘතිය මං අත්හදා බැලුවා. ඒ වගේම සඳැස් නිසඳැස් ආකෘති වෙනස් විදිහකින් මේ පොත තුළ අත්හදා බලා තියෙනවා. ඇත්තටම මේ සියල්ලම මගේ ජීවිතය හා මං සමාජයෙන් ලබාගත්තු අත්දැකීම්වල එකතුවක්. මගේ අත්දැකීම පොදු අත්දැකීමක් බවට පත් කරද්දී මම විවිධත්වයෙන් කාව්‍ය ආකෘති අත්හදා බැලුවා.

සිද්ධාංගී රචනා කිරීමේ සිට එය මුද්‍රණය කිරීම දක්වා ඔබට සහාය වූ පිරිස කවුරුද?

ඇත්තටම සිද්ධාංගී රචනා කිරීම තුළ මගේ පවුලේ අය වගේම විශ්ව විද්‍යාලයේ ගුරුවරු, මට මුණ ගැහුණ ගෞරවනීය චරිත, හිත මිතුරන් සියලු දෙනා විශාල සහායක් ලබා සහායක් ලබා දුන්න. විශේෂයෙන්ම පොත මුද්‍රණය කිරීමේදී ගොඩගේ ආයතනය දුන් සහයෝගය අති විශාලයි. සිරිසුමන ගොඩගේ මහතා හා එම මැතිනිය වගේම කාර්යමණ්ඩලය මට ගොඩක් උදව් කළා. එයට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම වචනෙකින් හරි සිද්ධාංගීට හුස්ම දෙන්න කටයුතු කරපු සියලු දෙනාට මං ස්තූතිවන්ත වෙනවා.

කවිය තුළින් වරෙක ඔබ සම්මානයට පාත්‍ර වෙනවා... ඒ සම්මාන පිළිබඳව සඳහන් කළොත්..

රජරට විශ්වවිද්‍යාලයේ වෑදිය නිල තරගයෙන් මම සම්මාන දිනා ගන්නවා. සිද්ධාංගී තුළ තියෙන කවි පන්ති දෙකක් ඒ තරගයට ඉදිරිපත් කරලා මට සම්මානයක් හිමි වුණා. ඒ වගේම කැලණිය විශ්ව විද්‍යාලයේ 2018 වර්ෂයේ විද්‍යාපීඨයේ කලා කවය මගින් සංවිධානය කරපු සාහිත්‍ය උ‍ෙලළේ සීගිරි භාෂාවෙන් ලියූ කවියට සම්මානයක් ලැබෙනවා. ඉතින් ඒ සම්මාන ලැබීම ගැන සතුටුයි. නමුත් මට කවිය කියන්නෙම ලොකු සම්මානයක්.

ඔබ වැනි නවක කවියෙකුට ක්ෂේත්‍රය ගැන කියන්න තියෙන්නෙ මොනවද?

ඇත්තටම කවියෙක් වෙන්න නම් සමාජය කෙරෙහි සංවේදී වෙන්න ඕනේ. එය කෘත්‍රිමව නෙමේ ස්වාභාවිකව කරන්න ඕන. මමත් තවම ආධුනිකයි. ඒ නිසා මේ ජීවිතේ අත්දැකීම්වලින් ඉගෙන ගන්න ඕනේ. ජීවිතය ලෝකය දිහා සංවේදීව උපේක්ෂාවෙන් බැලීම තමයි කවියෙක් වෙන්න තියෙන හොඳම මාර්ගය. සංයමය කවිය ඇතුළෙ ප්‍රගුණ කරන තරමට මං හිතනවා හොඳ කලාකාරයෙක් බිහිවෙනවා කියලා.

ස්වස්ති, ශ්‍රීඅනුරපුර් පුත් ලී

මෙය් යහගී.. යහපතක් වේවා!

අනුරාධපුරයෙ පුත්‍රයෙකු ලියූ

මේ යහපත් වූ ගීයයි

(සිද්ධාංගි - 02 - සංහාරේ)

Comments