පෝලන්ත රූ රැජන ඔල්ගා ශ්‍රී ලංකාවේ සංචාරයක | සිළුමිණ

පෝලන්ත රූ රැජන ඔල්ගා ශ්‍රී ලංකාවේ සංචාරයක

2019 පෝලන්ත රූ රැජන ඔල්ගා බුලාවා පසුගියදා ප්‍රථම වරට ශ්‍රී ලංකාවට පැමිණියා. ඇගේ පැමිණීම සටහන් කරනුයේ පෝලන්තයේ අගනුවර වන මෝසෝ සහ කොළඹ අතර සමාරම්භක ගුවන් ගමන් සේවාවක් ඇති කිරීමේ අරමුණින්ය. මෙම කර්තව්‍යයේ නිල නොවන තානාපතිනිය ලෙසින් රූමත්, උසැති ඔල්ගා ශ්‍රී ලංකාව ගැන මහත් ආඩම්බරයෙන් පසු වූවාය.

“ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තයේ ආසියාවේ පරිසර හිතකාමී ගමනාන්තයක් බවට අනුබල දීමට මම කිසිසේත් පසුබට වෙන්නේ නැහැ. එය ‘Ceylon Tea’ කියන්නේ මුළු ලෝකයම රස විඳින තේ කෝප්පයක අඩංගු තේකොළ නිෂ්පාදනය කරන සුන්දර රටක්. එහි වෙසෙන ජනයා ඉතාමත් සංග්‍රහශීලියි. මනස්කාන්ත දියඇලි වගේම සුන්දර වෙරළ තීර මගේ හිත තදින්ම ඇද බැඳ ගත්තා. “පසුගිය අප්‍රේල් මාසයේ සිදුවූ මිනිස් සංහාරය පිළිබඳව මම අතිශයින්ම කනගාටුවට පත්වෙනවා. මේ වනවිට ශ්‍රී ලංකා රජය සහ හමුදා පාර්ශ්ව විදේශිකයන්ගේ පැමිණීම සහ ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ විශ්වාසය සහ වගකීම සියයට සියයක්ම තහවුරු කර තිබීම සතුටට කරුණක්...”

රූමත් ඔල්ගා ‘රසඳුනට’ එලෙස පැවසුවේ ඇගේ පැමිණීම සම්බන්ධයෙන් පසුගියදා කොළඹ කිංග්ස්බරි හෝටලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.

දින හතරක පමණ සංචාරයක් සඳහා පැමිණි ඔල්ගා මධ්‍ය කඳුකරයේ, වෙරළබඩ තීරයේ නගර සහ විශේෂයෙන් පාස්කු ප්‍රහාරයට ලක්වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව් මැදුර දැක බලාගන්නට අදහස් කර සිටින බැව් පැවසුවාය.

වෘත්තියෙන් ගුවන් සේවිකාවක් වන ඔල්ගා, විදෙස් සංචාරයක් සඳහා ඉඩ ලැබෙන හැම අවස්ථාවකම ඒ සඳහා තෝරා ගන්නේ ශ්‍රී ලංකාව බැව් සිනාමුසු මුහුණින් පැවසුවාය.

 

Comments