යාප­නයේ මිනිස්සු කුලප්පු කර­වන චිත්‍ර­පට උන්මා­දය | සිළුමිණ

යාප­නයේ මිනිස්සු කුලප්පු කර­වන චිත්‍ර­පට උන්මා­දය

න්නි­වේ­ද­නයේ පියා වශ­යෙන් සැල­කෙන විල්බර් ශ්‍රාම් වරක පවසා තිබුණේ රූප­වා­හි­නියේ ආග­ම­නය නිසා චිත්‍ර­ප­ටය ජන සමා­ජ­යෙන් ඉවත් වී යන මාධ්‍ය­යක් බවට පත් වීම වැළැ­ක්විය නොහැකි බවයි.

නමුත් චිත්‍ර­ප­ට­යට එවැනි නැස්පැ­ත්ති­යක් තව­මත් සිදු වී නැති බව පසු­ගිය දිනක වූ එක් සිදු වීම­කින් සහ මීට පෙර සිදු වීම් කීප­ය­කින් ඉතා පැහැ­දි­ලි­වම පෙනෙ­න්නට තිබේ.

දකුණු ඉන්දි­යානු චිත්‍ර­ප­ට­යක මංගල දර්ශ­නය නැර­ඹීම සඳහා ප්‍රවේශ පත්‍ර නැති වීම නිසා කෝප­යට පත් යාප­නයේ තරු­ණයෝ පිරි­සක් එම සිනමා ශාලා­වට පහර දී බොහෝ අලාභ හානි සිදු කළහ.

චිත්‍ර­ප­ට­යක් නිසා උතු­රේදී එවැනි බර­ප­තළ සිද්ධි­යක් ඇති වූ පළමු අව­ස්ථාව එය නොවේ. ඊට පෙරද එවැනි සිදු වීම් ගණ­නා­වක් උතුරු පළාතේ සිදු වී තිබේ. එසේම අනා­ග­ත­යේදී ඊට වඩා බිහි­සුණු සිද්ධි විය හැකි නිසා මේ එසේ සිදු වුණු අව­සන් අව­ස්ථා­වද නොවේ.

උතුරු පළාතේ ඇති භූමි ප්‍රමා­ණය සහ එහි වෙසෙන ජන­තා­වගේ සංඛ්‍යා­වත් උතුරේ ඇති සිනමා ශාලා සංඛ්‍යා­වත් ගණ­නය කොට දකුණ සමඟ සසඳා බලන විට උතුර ඉන්නේ ඉදි­රි­යෙනි. නමුත් දකු­ණේදී කිසිම චිත්‍ර­ප­ට­යක් සඳහා එවැනි පොර­කෑ­මක් අර­ග­ල­යක් වූ අවස්ථා වාර්තා වන්නේ නැත.

උතු­රේදී පම­ණක් එවැනි තත්ත්ව­යක් ඇති වීමට හේතූ ගැන තොර­තුරු විම­සී­මට අප කතා කළේ යාප­නය විශ්ව­වි­ද්‍යා­ලයේ සිංහල අධ්‍ය­යන අංශයේ ප්‍රධා­නියා මෙන්ම ජ්‍යෙෂ්ඨ කථි­කා­චාර්ය ස්වාමි­නා­දන් විමල් මහ­තා­ටය.

“ලංකාවේ සිංහල ජන­තා­වට ආවේ­ණික වූ සිනමා සංස්කෘ­ති­යක් නෑ. මේක තමයි මුල්ම හේතුව. ගාමිණී ෆොන්සේකා, මාලනී ෆොන්සේකා කියන නළු නිළි­යන් මුල් කාලෙදී රඟ­පා­න­කොට එහෙම සංස්කෘ­ති­යක් ගොඩ නැඟෙ­මින් තිබුණා. ඒත් පසු කාල­යේදී බාල වර්ගයේ චිත්‍ර­පට නිෂ්පා­ද­නය වීමත් එක්ක ඒ සංස්කෘ­තිය නැති වී ගියා.

නමුත් දෙමළ ජන­තාව අතරේ සිනමා සංස්කෘ­තිය කියන එක තියෙ­නවා. ඒක ගොඩ නැඟිලා තියෙන්නේ යම් යම් නළු නිළි­යන්ගේ ප්‍රති­රූප මත සහ චිත්‍ර­පට වර්ග අනු­වයි.

දෙමළ චිත්‍ර­ප­ට­වල වීර­යන් දෙමළ ජන­තා­වගේ හද­වත් තුළ සිටි­නවා. ඔවුන්ව අද­හ­ගෙන වගේ තමයි දෙමළ ජන­තාව ඉන්නේ. දැන් මේ බිකිල් කියන චිත්‍ර­ප­ටයේ ප්‍රධාන චරි­තය රඟ­පාන විජේ දෙමළ ජන­තා­වගේ චිත්‍ර­පට වීර­යෙක් වෙලා. ඒ ප්‍රධාන නිළිය වන නය­න්තාරා කියන කෙනත් ඔවුන්ගේ වීර­ව­රි­යක්. ඉතින් එහෙම දෙමළ ජන­තා­වගේ හද­ව­ත්වල ඉන්න වීර­යන් දකින්න ඔවුන්ට තියන ආශා­වත් එක්ක දෙමළ ජන­තාව ඒ අය ඉන්න චිත්‍ර­පට කොහොම හරි බල­නවා. පොර­කාලා පෝලිමේ ඉඳලා ඔවුන් චිත්‍ර­පට නර­ඹ­නවා.

මේ විජේට අම­ත­රව ධනුස් අජිත් කියන අයත් දෙමළ චිත්‍ර­ප­ට­වල වීර­යන් තමයි. ඉතින් එහෙම චිත්‍ර­ප­ට­යක් එන­කල් තමයි මේ අය බලා­ගෙන ඉන්නේ.

ලංකාවේ දෙමළ ජන­තාව නර­ඹන චිත්‍ර­පට අත­රින් විශාල ප්‍රමා­ණ­යක් දකුණු ඉන්දි­යාවේ නිෂ්පා­ද­නය වන චිත්‍ර­ප­ටයි. අනෙක් පළා­ත්වල නිෂ්පා­ද­නය වන චිත්‍ර­පට සඳ­හාත් හොඳ ඉල්ලු­මක් තිය­නවා. ඒ වගේම තමයි යාප­න­යේත් දෙමළ චිත්‍ර­පට නිෂ්පා­ද­නය වෙනවා. ඒ චිත්‍ර­පට ලෝකයේ වෙනත් රට­වල් කරාත් ගෙන යනවා. ඉතින් ඉන්දි­යාවේ චිත්‍ර­පට නළු­වන් නිළි­යන් මේ දෙමළ ජන­තා­වත් එක්කම ජීවත් වෙනවා.

එහෙම වෙන්නත් හේතු­වක් තිබෙ­නවා. මේ චිත්‍ර­පට පවුලේ සියලු දෙනා­ටම එකට සිට නැර­ඹිය හැකි චිත්‍ර­පට වීම විශේ­ෂ­ත්ව­යක්. දෙමළ සංස්කෘ­තියේ එන සදා­චා­රය සාර­ධර්ම කියන දේව­ල්ව­ලට මේ චිත්‍ර­ප­ට­වල කතා වස්තු වලංගු නිසා දෙමළ ජන­තාව ඉතාම කැමැ­ත්තෙන් මේ චිත්‍ර­පට නර­ඹ­නවා.

දැන් සිංහල චිත්‍ර­පට සම­හර සිනමා ශාලා­වල දර්ශ­නය වෙන කොට ඒ චිත්‍ර­ප­ටය නර­ඹන්න දහ දෙනෙ­කු­වත් නැතිව යන අවස්ථා තියෙ­නවා. එත­කොට ඒක ප්‍රද­ර්ශ­නය කරන්න වෙන්නේ නැහැ. ආපසු මුදල් දීලා සිනමා ශාලාව වහන තත්ත්ව­ය­කුත් දකින්න ලැබෙ­නවා. නමුත් දෙමළ චිත්‍ර­ප­ට­යක කව­දා­වත් එහෙම වෙන්නේ නෑ. දර්ශ­න­යට අවශ්‍ය ප්‍රමා­ණ­ය­ටත් වඩා රසි­ක­යන් චිත්‍ර­ප­ටය නර­ඹ­න්නට ඇවිත් ඉන්නවා.

චිත්‍ර­පට කර්මා­න්ත­යෙන් ඉන්දි­යාව විශාල මුද­ලක් සොයා ගන්නවා. ඒක නිසා චිත්‍ර­පට නිෂ්පා­ද­නය වන්නේත් කලින් චිත්‍ර­ප­ට­යට වඩා වෙනස් හා ඊට වඩා දියුණු තත්ත්ව­ය­කින්. මේ නිසා ඔවුන්ගේ චිත්‍ර­පට කර්මා­න්තය බිඳ වැටෙන්නේ නෑ.’’

මෙවර දීපා­වලී සම­යත් සම­ඟම දකුණු ඉන්දි­යා­වෙන් උතු­රට පැමිණි දෙමළ චිත්‍ර­ප­ටය බිකිල් චිත්‍ර­ප­ට­යයි. මේ චිත්‍ර­ප­ටයේ මංගල දර්ශ­නය නැර­ඹීම සඳහා ප්‍රවේශ පත් නොලැ­බුණු රසි­කයෝ යාප­නයේ රාජා සිනමා ශාලා­වට බොහෝ අලා­භ­හානි සිදු කළහ.

රුපි­යල් ලක්ෂ හත­ර­කට වඩා විශාල පාඩු­වක් සිදු වූවත් සිනමා ශාලා කළ­ම­නා­කා­රි­ත්වය ඒ සම්බ­න්ධ­යෙන් පොලී­සි­යට නොගි­යේය. ඒ ගැන කතා කළ යාප­නයේ රාජා සිනමා ශාලාවේ දෙවනි කළ­ම­නා­කරු සිවම් මහතා කියා සිටියේ ජන­තා­වගේ මෙත­රම් ආක­ර්ෂ­ණ­යක් මේ චිත්‍ර­ප­ට­යට ඇති වෙතැයි තමන් කලින් නොසිතූ බවයි.

“අපි නිය­මිත පරිදි මංගල දර්ශ­න­යට සූදා­නම් වුණා. මේකට විශාල විය­ද­මක් අපි දැරුවා. සර­සන්න කට­වුට් අඳින්න නළු­වගේ පෝස්ටර් මුද්‍ර­ණය කරන්න වගේ දේවල් ගොඩාක් තිබුණා.

මංගල දර්ශ­නය දවසේ කෙසෙල් ගස් සිනමා ශාලාව ඉස්ස­රහා හිට­වලා ලස්ස­නට සර­සලා වැඩේ පට­න්ගත්තා. එත­කො­ටම කොල්ලෝ කෙල්ලෝ ගොඩාක් ආවා. ඒ අය බිකිල් බිකිල් කිය කියා චිත්‍ර­ප­ටයේ නම කිය කියා රතිඤ්ඤා දාන්න වුණා. හරිම විනෝ­දෙන් ඒ අය හිටියා.

අපේ විශේෂ ආරා­ධි­ත­ය­නුත් ඇවිත් හිටියා. අපි ටිකට් දුන්නා. ටික වේලා­ව­කින් ටිකට් ඉවර වුණා. අපි ෂෝ එක පටන් ගන්න බෙල් කළා. එත­කො­ටම එළියේ උන්න විශාල පිරි­සක් ඇවිත් ඒ අය­ටත් ටිකට් ඉල්ලුවා. ටිකට් ඉව­රයි ඊළඟ එක බලන්න කිව්වා. ඒක ඇහුවේ නෑ. තරු­ණයෝ කල­බල කළා. සිනමා ශාලාවේ දොර­වල් කඩා ගෙන ඒ අය ඇතු­ළට යන්නයි උත්සාහ කළේ. පොලී­සිය ආවා. කට්ටිය පලවා හැරියා. අපි චිත්‍ර­ප­ටය පෙන්නුවා. ඒත් අපිට ලක්ෂ ගාණක් පාඩුයි. සිනමා ශාලාවේ දොර­වල් ඔක්කොම කැඩුවා. පිට බිත්ති පෙර­ළුවා. තව පාඩු ගොඩයි. අපේ බොස් කිව්වා මේක විත­රක් නෙමෙයි අපි ඉස්ස­ර­හ­ටත් චිත්‍ර­පටි පෙන්වන්න ඕනේ නිසා මේක පොලී­සි­යට කියලා වැඩිය දුර දිග ගෙනි­යන්න එපා කියලා. දැන් චිත්‍ර­ප­ටය දුව­නවා. සෙනඟ එනවා. කචල් නම් නෑ.”

යාප­නයේ රාජා සිනමා ශාලාවේ සිදු වූ ඒ ඇබැ­ද්දි­යත් සම­ඟම ඒ චිත්‍ර­ප­ට­යම ප්‍රද­ර්ශ­නය කෙරෙන වවු­නි­යාවේ වසන්ති සිනමා ශාලාවේ කළ­ම­නා­කා­රි­ත්වය අම­තර තරුණ බළ­ඇ­ණි­යක් යොදා­ගෙන ජන­තාව පාල­නය කිරී­මට කට­යුතු යොදා තිබිණි.

ඔවුන් අපට වසන්ති සිනමා ශාලාවේ කළ­ම­නා­කා­ර­ව­රයා හමු වීමට ඉඩක් නොදු­න්හ. ඒ වන විට එක් දර්ශ­න­යක් ආරම්භ වී තිබුණු නමුත් ඊළඟ දර්ශ­නය සඳහා ප්‍රවේශ පත්‍ර ලබා­ගැ­නී­මට විශාල පිරි­සක් සිටි­යහ. ඔවුන්ද සිටියේ ඇතු­ළට කඩා වැදීමේ සූදා­න­මෙනි. එහෙත් එක් තරු­ණ­යෙකු බොහෝ වේලා­ව­කට පසුව අපව කළ­ම­නා­කා­ර­ව­රයා වෙත යොමු කළේය. මම කළ­ම­නා­කා­ර­ව­රයා හමු­වී­මට සිනමා ශාලාව අසල වූ කුඩා දොරෙන් ඇතු­ළට යන විට බිකිල් චිත්‍ර­ප­ටය නර­ඹන පිරිසේ සතුට ඉහ වහා ගොස් එකම විසිල් හඬක් සිනමා ශාලා­වෙන් ඇසිණි.

කළ­ම­නා­කරු එන්.රාජේ­න්ද්‍රන් මහතා කතාව ආරම්භ කළේය.

“බිකිල්” චිත්‍ර­ප­ටය දකුණු ඉන්දි­යාවේ නිෂ්පා­ද­නය කෙරුණු චිත්‍ර­ප­ට­යක්. දීප­වාලී සම­යේදී තමයි මේ චිත්‍ර­ප­ටයේ මංගල දර්ශ­නය ආරම්භ වුණේ. අපේ සිනමා ශාලා­වට ප්‍රශ්න­යක් වුණේ නෑ. අම­තර විශාල කාර්ය මණ්ඩ­ල­යක් යොදා­ගෙන අපි රසි­ක­යන් පාල­නය කර ගන්නවා.

ලොකුම ප්‍රශ්නය තමයි චිත්‍ර­ප­ටය නැර­ඹී­මට එන අයට ප්‍රමා­ණ­වත් විදි­හට ප්‍රවේශ පත්‍ර අපිට ලබා දෙන්නට බැරි වෙන එක. දැන් මේ දර්ශ­නය වෙන්නේ දවල් එකයි තිහේ ෂෝ එකයි. හත­රයි තිහට ටිකට් ගන්න තමයි ඔය එළියේ ඉන්න අය ඉන්නේ.

සාමා­න්‍ය­යෙන් දීපා­වලී දව­ස්ව­ලට මිනිස්සු සතු­ටෙන් ඉන්න නිසා කොහොම හරි චිත්‍ර­ප­ට­යක් බලන්න උත්සාහ කර­නවා. ඒකෙදි අලුත්ම චිත්‍ර­ප­ට­යක් බලන්න තමයි උත්සාහ කරන්නේ.

ඒ වගේම තමයි මේ චිත්‍ර­ප­ටයේ රඟ­පාන ප්‍රධාන නළුවා විජ­ය­න්ටත් නිළිය නය­න්තා­රා­ටත් මේ අය ගොඩාක් කැම­තියි. ඒක නිසා තමයි මේ වගේ ලොකු ඉල්ලු­මක් “බිකිල්” චිත්‍ර­ප­ට­යට තියෙන්නේ.

මේ චිත්‍ර­ප­ටය නිෂ්පා­ද­නය කළ ඒජී­එ­ස්ගෙත් අධ්‍ය­ක්ෂ­ව­රයා වන ඇඩ්ලි කියන කෙනා­ගෙත් චිත්‍ර­පට බොහෝ දුරට ජන­ප්‍රිය වෙනවා. ඒකම තමයි මේ චිත්‍ර­ප­ට­යට වෙලා තියෙ­න්නෙත්.

බිකිල් චිත්‍ර­ප­ටයේ කතාව පාපන්දු ක්‍රීඩාව සමඟ බැදුණු එකක්. ගමේ අයට ඒකට අව­ස්ථාව දේශ­පා­ල­න­යෙන් ලැබෙන්නේ නෑ. මේ අර­ග­ල­යත් එක්ක ලස්සන කතා­වක් මේ බිකිල් චිත්‍ර­ප­ටයේ කිය­වෙ­නවා. ඒක නිසා තරුණ තරු­ණියෝ විශාල වශ­යෙන් මේ චිත්‍ර­ප­ටය බලන්න එනවා.”

චිත්‍ර­ප­ටය නිසා ලැබෙන ආදා­යම ගැන විමසූ විට කළ­ම­නා­කා­ර­ව­රයා සිනා­සුණා මිස කිසි­වක් ප්‍රකාශ කළේ නැත. තවත් දින සීය­කට වඩා මේ චිත්‍ර­ප­ටය නොගැ­ලවී ඉදි­රි­යට ප්‍රද­ර්ශ­නය වන ආකා­රයේ ඉඟි ගණ­නා­වක්ම සිනමා ශාලාව තුළදී දැක ගන්නට ලැබිණි.

යාප­න­යේදී මෙන් නොව වවු­නි­යා­වේදී මේ බිකිල් චිත්‍ර­ප­ටයේ මංගල දර්ශ­නය ආරම්භ වන විටම සිනමා ලෝලියෝ ඔවුන්ගේ විය­ද­මින් දහස් ගණ­නක් රතිඤ්ඤා දල්වා ඔල්ව­ර­සන් දෙමින් චිත්‍ර­ප­ටය නැර­ඹූහ. සිනමා ශාලාව අස­ලින් ගමන් කරන විට මහ­පාරේ සිට සිනමා ශාලාව දක්වාම පිපිරී ගිය රති­ඤ්ඤා­වල කඩ­දාසි කැබලි දක්නට ලැබිණි. රතිඤ්ඤා නිසා අවට පරි­ස­ර­යට එකතු වූ වෙඩි බෙහෙ­ත්වල ගන්ධ­යද පැය ගණ­නා­වක් ඒ අන්ද­ම­ටම පැව­තිණි.

එළි­යට පැමිණි අපි ඊළග දර්ශන වාර­යට ප්‍රවේශ පත් මිලට ගැනී­මට රැස් කකා සිටි අය සමඟ කතා කළෙමු. එතැන සිටි බොහෝ දෙනෙක් උදෑ­සන දහයේ දර්ශ­න­යේත් දහ­වල් එකයි තිහේ දර්ශ­න­යේත් ප්‍රවේශ පත් ලබා­ගැ­නී­මට නොහැකි වූවෝ වූහ. ඔවුහු ඊළ­ඟට සවස හත­රයි තිහේ දර්ශ­නය හෝ නැර­ඹීමේ අපේ­ක්ෂා­වෙන් රැඳී උන්හ.

ඔවුන් කියා සිටියේ කෙසේ හෝ චිත්‍ර­ප­ටය බැලී­මෙන් තොරව ආපසු නොයන බවය.

“මේ දීප­වාලී දව­ස්වල පවුලේ අයත් එක්ක මේ චිත්‍ර­ප­ටය බලන්න ආවා. ටිකට් නැති නිසා බලන්න බැරි වුණා. හුඟාක් අය ආපහු හැරිලා ගියා. ඒත් අපි ආවේ මේක හොඳයි කියලා බල­න්නනේ. ඉතින් කොහොම හරි අද මේක බලලා තමයි ගෙදර යන්නේ. අද මේක බැලුවේ නැති නම් ආයෙ බලන්න වෙන්නේ නෑ. එකක් මේ අතේ තියෙන සල්ලි ටික ඉවර වෙනවා. අනෙක නිද­හස් දව­සක් ලැබෙන්නේ නෑ.” අයෙක් කීවේය.

“අපි එදා වේල හම්බ කර­ගෙන කන මිනි­ස්සුනේ. මෙහෙම දව­ස­ක­ට­වත් පවුල ළමයි එක්ක චිත්‍ර­ප­ටි­යක් බලන්න ඕනේ. මම පවු­ලයි ළම­යි­නුයි දවල්ට මොනවා හරි කාලා එන්න කියලා යැව්වා. මම පෝලිමේ ඉන්නවා. ඒ අය ආවට පස්සේ මමත් ගිහින් මොනවා හරි කාලා එනවා. ඊට පස්සේ කොහොම හරි මේ චිත්‍ර­ප­ටිය බලලා ගෙදර යනවා.”

බිකිල් චිත්‍ර­ප­ටයේ උණු­සුම කොතෙ­ක්දැයි කිව­හොත් දින­කට දර්ශන වාර හයක් පැවැ­ත්වී­මට කළ­ම­නා­කා­රි­ත්ව­යට සිදු වී තිබේ. මධ්‍යම රාත්‍රියේ දොළ­හයි තිහ­ටද එක් දර්ශන වාර­යක් ක්‍රියා­ත්මක වෙයි. යාප­නයේ ජන ජීවි­තය වෙනස් වී ඇත්තේ ඒ ආකා­ර­ය­ටය. එහෙත් ඒ සංස්කෘ­තික වෙනස් වීම අපට ආග­න්තුක වන තර­ම­ටම සංකී­ර්ණය.

Comments