රස කතා­ව­කට නොදෙ­වැනි කොළඹ නග­රයේ ප්‍රවා­හන ඉති­හා­සය | සිළුමිණ

රස කතා­ව­කට නොදෙ­වැනි කොළඹ නග­රයේ ප්‍රවා­හන ඉති­හා­සය

ආචාර්ය කුසු­ම්සිරි කොඩි­තු­වක්කු කෞතු­කා­ගාර පාලක, ජේත­වන කෞතු­කා­ගා­රය, බාහිර කථි­කා­චාර්ය, පුරා­විද්‍යා හා උරුම කළ­ම­නා­ක­රණ අධ්‍ය­යන අංශය, ශ්‍රී ලංකා රජ­රට විශ්ව­වි­ද්‍යා­ලය, මිහි­න්තලේ.

 

 

මෙරට ප්‍රවා­හන පද්ධ­ති­යට අධි­වේගී මාර්ග එක් වීමෙන් අන­තු­රුව වඩාත් දියුණු තත්ත්ව­ය­කින් පව­තිනු දැක ගත හැකිය. කොළඹ නග­රය කේන්ද්‍ර කොට­ගෙන කුලුනු මතින් විහි­දෙන මාර්ග පද්ධ­ති­යක් ද දැනට බිහි වෙමින් පව­තියි. එසේම එම මාර්ග පද්ධ­තිය ඇසු­රෙහි විවිධ මාදි­ලියේ නූතන රථ වාහන රැසක් දැක­ගත හැකිය. එවැනි පසු­බි­මක් හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන නග­රය වන කොළඹ නග­රයේ අතීත ප්‍රවා­හන පද්ධ­තිය පිළි­බඳ කරුණු විමසා බැලීම මේ ලිපියේ අර­මු­ණයි.

 

කොළඹ නග­රයේ මීට ශත වර්ෂ­ය­කට පමණ ඉහ­තදී ප්‍රධාන ප්‍රවා­හන මාධ්‍ය වූයේ අශ්ව­ර­ථ­යයි. එහෙත් ඒවා පරි­හ­ර­ණය බ්‍රිතාන්‍ය පාල­ක­යන්ට හා වෙනත් ප්‍රභූන්ට පම­ණක් සීමා විය. එම රථ සඳහා යෙදූ අසුන් සංඛ්‍යා­වද ඒ ඒ පුද්ග­ල­යාගේ සමාජ මට්ටම අනුව වෙනස් වූ අතර ඒ අනුව අය කෙරුණු ගාස්තුව ද වෙනස් විය. නිද­සු­නක් ලෙස පෙ.ව. 6.00 සිට ප.ව. 6.00 දක්වා කාලය සඳහා තනි අශ්ව­යෙකු යෙදූ රථ­යක් සඳහා සිලිං 06ක් ගෙවිය යුතු වූ අතර අශ්ව­යන් දෙදෙ­නෙකු යෙදූ රථ­යක් සඳහා එම ගාස්තුව සිලිං 07යි පැන්ස 06කි.

පැයක් හෝ ඊට අඩු කාල­යක් සඳහා එම ගාස්තුව පිළි­වෙ­ළින් සිලිං 01 ක් සිලිං 02ක් විය. එම ගාස්තු සහ අශ්ව­රථ හා සම්බන්ධ නීති රීති ක්‍රියා­ත්මක වූයේ 1848 අංක 07 හා 1853 අංක 01 දරන පනත් අනු­වය.

ප්‍රථ­ම­යෙන්ම කොළඹ නග­ර­යට පම­ණක් සීමා වූ අශ්ව­රථ පසුව කොළඹ මහ­නු­වර නග­රා­න්තර මට්ටම දක්වා ව්‍යාප්ත වූ අතර එම කට­යුතු එඩ්වඩ් බාන්ස් ආණ්ඩු­කා­ර­ව­ර­යාගේ අධී­ක්ෂ­ණය යටතේ සමා­ග­ම­කට පවරා තිබිණි. කොළඹ සිට මහ­නු­වර දක්වා අශ්ව රථ­යක ඇතු­ළත ආස­න­යක් සඳහා පවුම් 02ක් ද ඉදිරි අසු­නක් සඳහා පවුම් 01 යි සිලිං 10ක්ද අය කෙරුණි. 1930 දශ­කයේ වෙනත් ප්‍රවා­හන මාධ්‍ය­යන් වර්ධ­නය වීමත් සම­ගම අශ්ව­රථ ක්‍රම­යෙන් භාවි­ත­යෙන් ගිලිහී ගොස් ඇති බව ඒ පිළි­බඳ සංඛ්‍යා ලේඛන පරීක්ෂා කිරී­මේදී පැහැ­දිලි වේ.

1931 වන විට කොළඹ නග­රයේ තිබී ඇත්තේ එක් අශ්ව­ර­ථ­යක් පමණි. 1920 පමණ වන විට ගොන්ක­ර­ත්තය කොළඹ නග­රයේ වඩාත් ජන­ප්‍රි­ය­තම මෙන්ම වඩාත් ලාභ­දායී භාණ්ඩ ප්‍රවා­හන මාධ්‍ය විය.

කෙසේ වෙතත් කොළඹ නග­රය පද­නම් කොට­ගත් මුල්ම පොදු ප්‍රවා­හන සේවය වූයේ දුම්රි­යයි. ඒ අනුව 1865 දී මුලින්ම කොළඹ-අඹේ­පුස්ස අතර දුම්රිය ගම­නා­ග­ම­නය සිදු වූ අතර පසුව එය දිව­යිනේ සෙසු ප්‍රදේශ කරා ද ව්‍යාප්ත වන්නට විය. එලෙස දුම්රිය මඟින් කොළඹ හා දිව­යිනේ වෙනත් නගර සම්බන්ධ කෙරු­ණද නග­රය තුළ පොදු ප්‍රවා­හන මාධ්‍ය­යක් නොවීය.

කොළඹ නග­රයේ යාන්ත්‍රික නොවන වාහන

1921 1927 1931 1935 1939

රික්ෂෝ 3741 4682 3868 3602 3606

අශ්ව­රථ 62 03 01 - -

තිරි­ක්කල 132 102 70 43 24

ගොන්ක­රත්ත 2875 3118 2656 2003 1681

බයි­සි­කල් 14 40 44 95 73

මේ අතර 1833 දී කොළඹ නග­රය තුළ පොදු ප්‍රවා­හන මාධ්‍යක් ලෙස ට්‍රෑම්රථ සේවය ආරම්භ කිරීම සඳහා අද­හස් ඉදි­රි­පත් වී තිබූ අතර එහි ප්‍රති­ඵ­ල­යක් ලෙස 1899 ජන­වාරි 12 වන දින කොළඹ ට්‍රෑම්රථ සේවය විවෘත විය. කොළඹ කොටුවේ ජී.ඕ.එච්. හෝට­ලය අස­ලින් තොට­ළඟ දක්වා වූ එම මාර්ගය විවෘත කරන ලද්දේ එව­කට කොළඹ නග­රා­ධි­පති ධුරය දැරූ ප්‍රයස් මහතා විසිනි. එම ප්‍රථම ගම­නට නග­රා­ධි­ප­ති­ව­රයා සමඟ එල්. වෑන්ඩ­ර්ස්ට්‍රා­ටන්, එෆ්.එච්. ග්‍රීන් ලින්ටන්, ආර්.එච්. බෝර්ගන්, සී.පී. ඩයස්, එච් වැන්කි­යු­ල­න්බර්න් හා වෝල්ටර් පෙරේරා යන නග­ර­ස­භික මහ­ත්වරු ද සහ­භාගි වූහ. 1899 ජන­වාරි 14 වන දින ලක්මිණි පහණ පුවත් පත වාර්තා කරන පරිදි කොළඹ කොටුවේ සිට තොට­ළඟ දක්වා වූ එම මංගල ගම­නට විනාඩි 17ක් ගත වී ඇති අතර ආපසු ඒමට විනාඩි 10ක් ගත වී තිබිණි.

කෙසේ වෙතත් එම නව ප්‍රවා­හන මාධ්‍යයේ බිහි වීම පිළි­බඳ වාර්තා කරන 1899 ජන­වාරි 14 වන දින දින­කර ප්‍රකා­ශය පුව­ත්පත එම “වීදි දුම්රිය” ගම­නා­ග­මන කට­යුතු සඳහා පහ­සු­වක් වුවද ඒ නිසා කර­ත්ත­ක­රු­වන් හා රික්ෂෝ­ක­රු­වන් දහස් ගණ­න­කගේ ජීවි­කාව පිළි­බඳ ප්‍රශ්න ඇති වන බැවින් ඒ පිළි­බඳ රජයේ හා නගර සභාවේ අව­ධා­නය යොමු විය යුතු බව පෙන්වා දෙයි.

තොට­ළඟ ට්‍රෑම්රථ මාර්ගය ආරම්භ කිරී­මෙන් අන­තු­රුව බොරැල්ල දක්වාද ට්‍රෑම්රථ මාර්ග­යක් බිහි විය. තොට­ළඟ මාර්ගය, කොටුවේ යෝර්ක් වීදියේ සහ මහා වීදියේ කෙළ­ව­රින් ආරම්භ වී, වෝර්කර්ස් සමා­ගම, ටයිම්ස් සමා­ගම, තරුණ ක්‍රිස්ති­යානි සංගම් ශාලාව, වරාය දුම්රිය ශාඛා මාර්ගය පසු­කොට පිට­කො­ටුව මහා වීදි­යට පිවිස කයි­මන් දොර­ටුවේ ඝණ්ටාර කුලුන, නගර ශාලාව (පැරණි), බස්නා­හිර පළාතේ ආණ්ඩුවේ ඒජන්ත කාර්යා­ලය පසු කොට ආම­ර්වී­දිය, කොට­හේන ඔස්සේ තොටළ ඟ දක්වා විහි­දිණි. එම සම්පූර්ණ ගමන සඳහා ශත 20ක් අය කෙරුණු අතර ආම­ර්වී­දිය දක්වා ගාස්තුව ශත 10ක් විය.

බොරැල්ල දක්වා විහි­දුණු අනෙක් මාර්ගය, යෝර්ක් වීදි­යෙන් ආරම්භ වී, වෙළඳ ගබ­ඩාව, සර්වේ ජන­රාල් කාර්යා­ලය, රජයේ වැඩ දෙපා­ර්ත­මේ­න්තුව (PWD), කොටුව දුම්රිය ස්ථානය පසු කොට නොරිස් පාර (වර්ත­මාන ඕල්කොට් මාවත), ඔස්සේ සොල්දා­දු­වන්ගේ හා නාවි­ක­යන්ගේ නිව­ස්නය කාර්මික විද්‍යා­ලය පසු කොට මර­දාන දුම්රිය ස්ථාන­යට ළඟා විය. ඉන්පසු පාලම හරහා මුස්ලිම් පල්ලිය, පොලිස් මූල­ස්ථා­නය, පර­ම­වි­ඥා­නාර්ථ උසස් විද්‍යා­ලය, ප්‍රධාන සිවිල් වෛද්‍යා නිල­ධාරි කාර්යා­ලය, වෛද්‍ය විද්‍යා­ලය, හැව්ලොක් ආර්යා ළමා හා කාන්තා රෝහල (වර්ත­මාන රිජ්වේ ආර්යා රෝහල) පසු­කොට බොරැල්ල හන්දි­යට ළඟා වේ. එම මුඵ ගමන සඳහා ගාස්තුව ශත 20 ක් වූ අතර මර­දාන පාලම අස­ලට ශත 10ක් විය. (J.C. WILLIS-CEYLON-1907)

1925 වන විට ට්‍රෑම්රථ සේවය ඉතා සාර්ථක ප්‍රවා­හන මාධ්‍ය­යක් වූ අතර එම කට­යුතු මෙහෙ­ය­වන ලද්දේ Ceylon Electric Tramways & Lighting Co.Ltd සමා­ග­මයි. ට්‍රෑම්රථ සේවය ගැන කතා කිරී­මේදී 1929 දී සිදු වූ වැඩ­ව­ර්ජ­නය ගැන ද විශේ­ෂ­යෙන් සඳ­හන් කළ යුතු අතර ශ්‍රී ලංකාවේ වැඩ­ව­ර්ජන ඉති­හා­සයේ සාර්ථක වැඩ­ව­ර්ජ­න­යක් ලෙසද සඳ­හන් වේ. වැටුප් ගෙවීම හා සම්බන්ධ ආර­වුල් පද­නම් කොට­ගෙන ආරම්භ වූ එම වැඩ­ව­ර්ජ­නය වඩාත් සට­න්කාමී මුහු­ණු­ව­රක් ගත්තේය. එ සඳහා බෞද්ධ භික්ෂූන් වහ­න්සේගේ පවා සහාය ලැබී තිබේ. කෙසේ වෙතත්, එම වැඩ­ව­ර්ජ­නය නිසා, කොළඹ නග­රයේ ප්‍රවා­හන කට­යුතු කෙරෙහි සිදු වූ බල­වත් අසී­රු­තාව නිසා බ්‍රිතාන්‍ය වෙළඳ ව්‍යාපා­රි­ක­යන් පවා පොලිස් ආර­ක්ෂාව යටතේ ට්‍රෑම්රථ පැද­වීම සඳහා ඉදි­රි­පත් වී තිබේ.

1920 ගණන් වන විට ට්‍රෑම්රථ සේව­යට තවත් අභි­යෝ­ග­ය­කට මුහුණ දීමට සිදු විය. එනම්, ඔමිනි බස් සේවය ආරම්භ වීමයි. ඒ වන විට ඔමිනි බස් හිමි­යන්, ට්‍රෑම්රථ සේවය හඳුන්වා දුන්නේ, මාර්ග අව­හිර කරන, මාර්ග නීති කඩ කරන, එමෙන්ම නිර­තු­රුව අලු­ත්වැ­ඩි­යා­වට ලක් නොක­ළ­හොත් අන­තු­රු­දා­යක වන ප්‍රවා­හන මාධ්‍ය­යක් ලෙසිනි. ඒ හේතුව නිසා ඔමිනි බස් ක්‍රම­යෙන් ජන­ප්‍රිය වන්නට වූ අතර එය ට්‍රෑම්රථ සේවය මෙන් කොළඹ නග­ර­යට පම­ණක් සීමා වූවක්ද නොවීය. මුලින්ම බස්රථ තනි තනි පුද්ග­ල­යන්ට අයි­තිව පැවති අතර පසුව ඒවා සමා­ගම් බවට පත් විය. එසේ බස්රථ සමා­ගම් බිහි වීම කෙරෙහි බල­පෑවේ ඒ පිළි­බඳ ඇති වූ නොයෙ­කුත් ගැටුම් සහ­ගත තත්ත්ව­යන්ය. ඒ සම්බ­න්ධ­යෙන් ඔමිනි බස් සමා­ග­මක හිමි­ක­රු­වකු අද­හස් දක්වා ඇත්තේ මෙසේය.

“මුලින්ම බස්ව­ලින් මිනිස්සු අදින්න පටන් ගත්තේ තනි තනි සල්ලි­කා­ර­යන් බස් එකක් දෙකක් තියා­ගෙන ඒවා තමන්ට ඕන ඕන පාර­ව­ල්වල ධාව­නය කිරී­මෙන්, ඒ දව­ස්වල අපිට බස් එක පාරට දාන්න සිදු වුණේ කිණි­ස්සක් හෝ පිස්තෝ­ල­යක් එක්ක. කිසිම බාහිර බල­පෑ­මක් බස් මුද­ලා­ලිට තිබුණේ නෑ. ඉතින් ඒ ඒ මිනි­සුන්ට ඕනෑ විදි­හ­ටයි බස් දිව්වේ. එකම පාරේ මුද­ලා­ලිලා දෙතුන් දෙනෙ­කුගේ බස් දුව­නවා. නිත­රම ඒ අය අතර ඝට්ටන නැති කරන්න තමයි පස්සේ බස් මුද­ලා­ලිලා එකතු වෙලා බස් කොම්පැනි දැම්මේ”( “දෙස­තිය”-1980-12-15) වර්ෂ 1945 වන විට කොළඹ නග­රය ඇතු­ළුව දිව­යින පුරා එලෙස බස්රථ සමා­ගම් 55ක් බිහි වී තිබිණි. මේ අතර 1953 ජූලි 22 වැනි දා කොළඹ නග­රයේ ට්‍රොලි බස් සේව­යද ආරම්භ විය. ඒ සම­ඟම ඒ වන විට වසර 60ක් පමණ පැරණි ප්‍රවා­හන සේව­යක්ව පැවති ට්‍රෑම්රථ සේවය ක්‍රම­යෙන් අභා­ව­යට යන්නට විය. සමා­ගම් යටතේ ක්‍රියා­ත්මක වූ ඔමිනි බස් රථ සේව­යද 1955 දී ලංකා ගම­නා­ග­මන මණ්ඩ­ලය ලෙසින් ජන­සතු කරන ලදී.

කොළඹ නග­රයේ යාන්ත්‍රික ප්‍රවා­හ­න­යට පුරෝ­ගාමී වූ ට්‍රෑම්ර­ථ­යක් හෝ ට්‍රොලි බස­යක් වර්ත­මා­නයේ දැක බලා­ගැ­නී­මට හෝ ඉති­රිව නැති වීම කන­ගා­ටු­වට කරු­ණකි. මෑතක් වන තුරුම ට්‍රෑම්රථ මාර්ග­වල ඉතිරි වූ කොටස් කිහි­ප­යක් කොළඹ නග­රයේ ස්ථාන කිහි­ප­ය­කම දක්නට ලැබු­ණත්, නූතන මාර්ග සංව­ර්ධන කට­යුතු යටතේ එම මාර්ග­ව­ලට අයත් යකඩ පීලි අද ඉවත් කොට හෝ මහා­මා­ර්ග­ව­ලට යට වී ගොස් තිබේ.

එසේ වුවත්, ශ්‍රී ලංකාවේ පැර­ණිම බස් රථ කිහි­ප­යක් කොළඹ නග­රයේ තව­මත් ඉති­රිව පැව­තීම සතු­ටට කරු­ණකි. දැනට ශ්‍රී ලංකාවේ ඇති පැර­ණිම බස් රථය නෝමිස් ද සිල්වා මහතා සතු වූ වර්ත­මා­නයේ ඊබට් සිල්වා සංචා­රක සමා­ගම සතුව ඇති Z1988 අංක දරණ Chevrolet 1935 වර්ගයේ බස් රථ­යයි. මඟීන් 35 දෙනෙ­කුට ගමන් කළ හැකි එම බස් රථය කොළඹ-මාතර මාර්ගයේ ධාව­නය සඳහා යොදවා තිබූ­වකි. (Sunday Times- 23.10.94)

ඊට අම­ත­රව, රිය­දුරු පුහුණු කට­යුතු සඳහා යොදා ඇති IC කණ්ඩා­යම අයත් බස් රථ කිහි­ප­යක්ද ඉඳ­හිට කොළඹ නග­රයේ දැකිය හැකිය. කෙසේ වෙතත් දැනට කොළඹ නග­රයේ මඟීන් ප්‍රවා­හ­නය සඳහා භාවි­ත­යට ගැනෙන පැර­ණිම බස් රථ වන්නේ , 22,23 ශ්‍රී කාණ්ඩ­ව­ලට අයත් Mercedes Bens, Isusu බස් රථ කිහි­ප­යකි. දැනට පෞද්ග­ලික බස් හිමි­යන් සතුව ඇති එම බස්රථ, කලින් ගම­නා­ග­මන මණ්ඩ­ලය සතු වූ ඒවාය.

 

Comments