වනජීවී සංරක්ෂණයට අදාළව විවිධ වැඩ රාජකාරීන් සඳහා වනපෙත් තුළ ගත කරන කාලයන්හීදී ගහකොළ, සතාසිව්පාවුන් පිළිබඳව ලියැවුණු මහා පුස්තකයක් පරිශීලණය කරන්නාක් වැනි වු හැගුමක් මා සිත් හි නිරන්තරවම ජනිත කරවයි. මන්ද යත් ඒ තුළ ගත කරන්නා වු සෑම දිනයක්ම අලුත් වූ අත්දැකීම් සමුදායක් වනගත දිවියට එක් කරවන්නක් වන බැවිණි. ශ්‍රී ලංකාවේ උසින්ම පිහිටා ඇති සානුව යනු ජෛව විවිධත්වයෙන් පොහොසත් වු භූමියකි. ඒ ඇසුරේ ගත කරනා සෑම මොහොතකම සොබාදහමේ සොදුරුතාවය උපරිමයෙන් බුක්ති විදිය හැකිය. පයට පෑගෙන තණ පතේ සිට විසල්ව අතු පතර විහිදුණු රූක්ෂ වනස්පතින් තෙක් වු විවිධත්වයත්, බිම් මට්ටමේ සිට තුරු වියන් දක්වා සෑම මට්ටමක්ම නියෝජනය කරනා සත්ව ප්රජාවත් ඔවුනොවුන්ගේ ඇවැතුම් පැවැතුම් හරහා ඒත්තු ගන්වන්නේ අපමණ දෑ උගෙනීමට ඇති බවය.
එකී කරුණ සනාථ කරවමින් පසු ගිය දිනෙක වනයේ ඇවිද යන අතරේ මා නෙත ගැටුණේ තවත් අපූර්ව අත්දැකීමකි. ඒ අපේ රට තුළ පමණක් වාසය කරනා අපුර්ව විහග මිතුරෙකි. කඳුකරයේ වන සංචාරයේ යන අතරතුරදී පෙනුමෙන් සිත වශීකර ගැනීමට සමත්කම් කියන සිරුරක් ඇති මේ කුරුල්ලාව දකින හැම විටෙකදීම සිහියට නැඟෙන්නේ කැලේ දුව පැන නටන කුඩා කෙල්ලකගේ දසුනකි.
කැලෑ කෙල්ල යන නම මේ කුරුල්ලට ගැළපෙනම නම බවයි, කුරුල්ලන් ගැන තතු දත් බොහෝ අයගේ මතය. සොදුරු රුවක් හිමි මෙවැනි කැලෑ කෙල්ලන් අපේ රටේදී පමණක් දැක ගත හැකි අතර මොවුන්ගේ ජීවන තොරතුරුත් අපූර්වත්වයෙන් අනූනය.
සිංහල නමින් කැහි බෙල්ලා ලෙස හඳුන්වන මෙම පක්ෂියා ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ Sri lanka Blue Magpie නමිනි. විදු ලොව Urocissa ornata ලෙසින් නම් ලද කැහිබෙල්ලන් අයත් පක්ෂි පවුල වන්නේ කපුටු (CORVIDAE) පවුලය. දීප්තිමත් වු නිල් පාටැති කුරුල්ලෙකි. හිස, බෙල්ල සහ පියාසර පිහාටු රතු-දුඹුරු පැහැයේ එකතුවකි. ප්‍රමාණයෙන් මයිනා සහ කපුටාටත් අතරමැදි වු සිරුරක් මේ පක්ෂියාට හිමිය. සිරුරට සාපේක්ෂව පෙදය (වලිගය) දිගින් වැඩිය. නිල් පාට පෙද පිහාටු වල කෙළවරට වන්න කළු සහ සුදු වර්ණ රටාවන් හේතුවෙන් දිස් වෙන්නේ වල්ගය අග්ගිස්සි සුදු පැහැති වෛරම් වලින් හැඩ වි ඇති ආකාරයකි. කැපී පෙනෙන සේ ඇස වටා පිහිටා ඇති රතු පැහැති වු පිහාටු රහිත නග්න වු මුදුවත්, හොට සහ පාද යුගලත් රතු පැහැති නිසා කුරුල්ලාට ලැබී ඇති විචිත්රවු වර්ණ සංකලනය සෙසු පක්ෂින් හා කෙසේ නම් සම කරම්ද? ඇහේ ඉංගිරියාව කළු පාට වන අතර තාරාමණ්ඩලය අදුරු දුඹුරු පැහැතිය.
මෙම කැහි බෙල්ලන් රැළ වශයෙන් ගැවැසීමට ප්‍රියය. ඉන් තම රැළේ ආරක්ෂාව හොඳින් සැලසෙන බව කැහිබෙල්ලන් හොඳින්ම ප්රත්යක්ෂ කර ගෙන සිටියි. මන්ද යත් කැදිලි තනන්නෙත්, පැටවුන් රැක බලා ගන්නේත්, පෝෂණය කරන්නේත් සාමුහිකවය. මේ චර්යා රටාව කුරුලු බසින් සමාජ සුවැදීම ලෙස හදුන්වයි. මෙම පක්ෂීන් අරඹයා සිදු කළ අධ්‍යයන වලින් අනාවරණය වී ඇත්තේ පළමු මුරයේ පැටවුන් ස්වාධීනව තම කටයුතු කිරීමට හැකියාව තිබියදි මව් රැකවරණයෙන්න් මිදුණත්, තම මාපියන් යළිත් වරක් බිජු දමා ඉන් බිහිවෙන පැටවුන් පෝෂණය කරන අවධියේදී පෙර සදහන් කළ පළමු මුරයේ පැටවුන්ද මා පියන්ට සහයෝගය ලබා දෙන බවය. එනම් පවුල යන සංකල්පය මේ කුරුල්ලන් තුළත් දැක ගත හැකිය. කැහිබෙල්ලන්ගේ කුරුලු රංචුවක කුරුල්ලන් 06 ත් 08 ත් අතර ගණනක් වාර්තා වේ. එසේ වුවත් කුරුල්ලා සහ කිරිල්ලිය යන දෙදෙනාගේ බැදීම් නම් නොවෙනස්ව පවතී. කුරුලු පෙම්වතුන් තනිව හැසිරෙන හැටිත් නිරීක්ෂණය කළ හැකිය.
කැහිබෙල්ලන්ගේ හඬේ ආකාර කිහිපයක්ම ශ්‍රවණය කළ හැකිය. එනම් තීව්ර වු ගැඹුරු නාදයක් උපතින්ම මේ පක්ෂීන්ට උරුම වී ඇත. “චීප් ... චීප් ...” සරින් නගන හඩ වනපෙත පුරා විහිදුවා යැවීමේ සමත්කම් කැහැබෙල්ලන් සතුය. නිදහසේ වනයේ තනි වුණු විටදී “වී ... වී...” හඬින් යුතු සුයුරුවම් හඬක් මෙන්ම තරහා ගිය විටදී “ක්‍රෑක්... ක්‍රෑක් ...” නදින් කෑ ගැසීමටද මෙම පක්ෂීහු පුරුදුව සිටිති. එසේම විහග ලොව විවිධ වු කුරුල්ලන්ගේ හඩ අනුකරණය කිරිමේ හැකියාවත් මේ පක්ෂීන් සතු බව කුරුලු නිරීක්ෂකයින්ගේ මතයයි.
ප්‍රධාන වශයෙන්ම බිජුලන සමය වන්නේ දෙසැම්බර් - මාර්තු අතර කාලයය. මේ අයගේ කැදිලි බොහෝ විටදී හමු වන්නේ ජලාශ්‍රිත එනම් සිහිල් බව නිබදවම රැදි පරිසර පද්ධති ආසන්නයේය. ඇළ - දොළ සමීපයේ පිහිටි වනවදුලු වල පිහිටි ගසක ඉහළ අතු දෙබලක හදන කූඩුව කපුටෙකුගේ කූඩුවක් හා සමානය. විවෘතය. ඒ තුළ වරකට බිත්තර 03 ත් 05 ත් අතර සංඛ්‍යාවක් කිරිල්ලිය දමයි. කුරුලු දෙමාපියෝ එකා මෙන් මේ බිත්තරත්, පැටව්නුත් රැක බලා ගනිති. බිත්තර සුදු පාට වුවඳ පසු බිමේ රටාවකට දුඹුරු පාට හුරු තිත් වැටි ඇත. බිම් මට්ටමෙන් පටන් ගන්නා ආහාර සෙවීමේ කාර්යය උස් තුරු විටපයන් දක්වාම ව්‍යාප්තව ඇත. එනම් වනපෙතේ ගහක්, ගලක්, බිමක් යන මේ කියන ඕනෑම තැනක් කැහි බෙල්ලන්ගේ බොජුන් හල්ය. එම බොජුන් හළේ ඇති ඕනෑම කෑමක් මේ පක්ෂීහූ බුක්ති විදිති. නමුත් ඔවුන්ට ආහාර සොයා ගැනීම හිතන තරම් පහසු කටයුත්තක් නොවේ. සර්ව භක්ෂක ආහාර පුරුදු සහිත මේ පක්ෂීන් පලතුරු, කටුස්සන්, ගෙම්බන්, කුරුමිණි, දළඹු, පළගැටී වැනි විවිධ ආහාර වර්ග සොය සොයා ක්‍රියාශීලීව වනපෙත තුළ ඔබ - මොබ සැරි සරති.
දුටු පමණින් මොවුනගේ ගැහැනු සහ පිරිමි පක්ෂින්ගේ පැහැයේ හෝ සිරුරේ හැඩයේ වෙනසක් දැක ගැනීම අපහසු වුවත්, හොදින් බලන්න කුරුල්ලා ගේ සහ කිරිල්ලියගේ සියුම් වු පැහැ වෙනසක් නිරීක්ෂණය කළ හැකිය. කුරුලු ලොව පැහැයෙන් වැඩි ඇත්තෝ කුරුල්ලෝ ලෙසත්, කුරුල්ලන්ට සාපේක්ෂව පැහැ අඩු ඇත්තියෝ කිරිල්ලියෝ ලෙසත් පොදුවේ වෙන් කර ගත හැකිය. වර්තමානයේ මොවුන් හමු වන්නේ පහතරට තෙත් කලාපීය වැසි වනාන්තර, ඉහළ කඳුකර වැසි වනාන්තර සහ කදු පාමුල වනාන්තර ඇසුරේය. ස්ථාන ලෙස සිංහරාජ වනපෙත සහ හොර්ටන්තැන්න යනු කැහිබෙල්ලාගේ සියලු අවශ්‍යතාවයන් සපුරන කදිම නිවහන් වේ. නකල්ස්, රෑන කන්ද පාමුලට වන්නට පිහිටා ඇති වනය සහ සමනල වනපෙතත් කැහිබෙල්ලන්ගේ හොඳ නවාතැන් ලෙස හැඳින්විය හැකිය.
කැහි බෙල්ලන් යනු සීමිත වු වපසරියක ජිවත් වීමට ප්‍රිය කරන විහග විශේෂයක් නොව රැළ වශයෙන් සැදී පුළුල්ව පැතිරුණු සීමාවක් තුළ ගැවසෙමින් ආහාර සොයා පියැඹීමට රුචිකත්වයක් දක්වන කුරුලු විශේෂයකි. නමුත් සොබාවික සම්පත් විනාශය නිසා බොහො සත්ව විශේෂයන්ට එමෙන්ම සංවේදී වූ පාරිසරික කලාපයන් තුළට සීමා වී ජීවත්වන සත්ව විශේෂයන්ගේ පැවැත්මට ඇති කර ඇති තර්ජනයන් නම් අපමණය. එය කැහි බෙල්ලන් ගේ පැවැත්මට බලපා ඇත්තේ කොතෙක්ද යත් රතු දත්ත පොතේ කැහැ බෙල්ලාගේ නමද සටහන් වී ඇති බව කණගාටුවෙන් සිහිපත් කළ යුතුමය.
සේයා රූ - වෛද්‍ය චම්මික දිසානායක