වංශකථා පවසන ඉතිහාසය අනුව රජු මරා රජ වූ පුද්ගලයාට ආගමික හෝ සමාජීය ප්රතිවිරෝධයක් එල්ල වී නැහැ
මුල් වකවානුවේ වැඩිමනත් රාජ්‍ය නායක ඝාතන සිදු වන්නේ විදේශ ආක්රමණවලින් නොවේ
වැඩිම ඝාතන ප්‍රමාණයක් කර තිබෙන්නේ කාමයෙන් මත් වුණු අනුලා බිසවයි
අනාදිමත් කාලයක පටන් ලෝකයේ බොහෝ රටවල දේශපාලන බලය පැහැරගැනීම උදෙසාත් පවතින පාලන තන්ත්රය අකාර්යක්ෂම කිරීම උදෙසාත් රාජ්‍ය නායක ඝාතන සිදු වී ඇත. ඇතැම් රාජ්‍ය නායක ඝාතන රණබිමේ දී සිදු වී ඇති අතර, හොර රහසේ රජමාලිගාව තුළ සිදු වී ඇති රාජ්‍ය නායක ඝාතන ද වේ. නිදහසින් පසුව ද එවැනි රාජ්‍ය නායක ඝාතන සිදු විණි.
1956 වසරේ දී මෙරට වූ මහාපරිමාණ සමාජ, සංස්කෘතික හා දේශපාලන විප්ලවයේ අනුහාසාත්මක නායකයා වූ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා 1959 සැප්තැම්බර් මස 25 දින එතුමාගේ නිවසේ දී වෙඩි ප්‍රහාරයකට ලක් වී පසු දින අභාවයට පත් වූයේ ය. වර්ෂ 1993 මැයි මස පළමු වැනි දා එක්සත් ජාතික පක්ෂයේ මැයි දින පෙළපාළියට සහභාගී වී සිටි එවකට ජනාධිපතිවරයා වූ රණසිංහ ප්‍රේමදාස මහතා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සංවිධානයේ ආත්මඝාතක බෝම්බ කරුවකුගේ ප්‍රහාරයට ලක් වී කොළඹ ආමර් වීදියේදී මියගියේ ය. 1999 දෙසැම්බර් මස 19 දින කොළඹ පුරහල පිටියේ පැවැති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනියගේ අවසන් රැලියේ දී එතුමිය ඝාතනය කිරීමට එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ආත්මඝාතක තරුණියක උත්සාහ කළ නමුත් එහිදී වූ පිපිරීමෙන් ජනාධිපතිනියගේ ජීවිතය බේරිණි.
ලංකාවේ සිදු වූ රාජ්‍ය නායක ඝාතනවලට ඉතිහාසයක් තිබේ. මහාවංසයේ සඳහන් වී ඇති ලෙස දේශපාලන බලය අල්ලාගැනීම සඳහා මුල්ම රාජ්‍ය නායක ඝාතනය සිදු වී ඇත්තේ විජය සහ ඔහුගේ පිරිවර මෙරටට පැමිණි පළමු දිනයේ දී ම ය. දේශීය කාන්තාවක වූ කුවේණිගේ ආධාරයෙන් මෙරට පාලකයා වූ යක්ෂරාජයා එදින රාත්‍රියේ දී ඝාතනය කළ විජය කුමරු එම රාජ ප්‍රධානියාගේ ආභරණ පැලඳ මෙරට පාලකයා බවට පත් වූයේ ය. එම ඝාතනයෙන් පසුව මෙරට වාසය කළ දේශීය ජනයාගේ බලය දුර්වල වූ නමුත් ඔවුන්ගේ පැවැත්ම සම්පූර්ණයෙන්ම විනාශ නොවිණි.
මෙරට වූ දෙවැනි රාජ්‍ය නායක ඝාතනය රණබිමේ දී සිදු වූවකි. පණ්ඩුකාභය කුමරු මෙරට රාජ්‍ය බලය හිමි කරගැනීම සඳහා සිය මාමාවරුන් සමඟ දීර්ඝ සංග්‍රාමයකට එළඹුණේය. දේශීය ජනයාගේ ආධාර හිමි වූ පණ්ඩුකාභය කුමරු විජයග්‍රාහී වූයේ තමන්ගේ මාමාවරුන් දස දෙනාගෙන් අටදෙනකු මරාදැමීමෙනි. එතෙක් විධිමත් පාලනයකින් තොරවූ මෙරට සමාජ සංවිධානය ක්‍රමානුකූලව සංවර්ධනය කළ පණ්ඩුකාභය රජු අනුරාධපුර නගරය මෙරට පළමු වන පරිපාලන අගනගරය බවට ද පත් කළේ ය.
පණ්ඩුකාභයගෙන් ආරම්භ වූ අනුරාධපුර රජ පෙළපත ක්‍රමයෙන් මෙරට පාලනය විධිමත් කොට රාජ්‍ය බලය සුරක්ෂිත කිරීමට උත්සුක ද වූයේ ය. පණ්ඩුකාභය රජුගේ මුනුපුරු දේවානම් පියතිස්ස රජුගේ (ක්‍රි. පූ. 250 - 210) රාජ්‍ය සමයේ දී වූ මහින්දාගමනය හා දුමින්දාගමනයෙන් පසුව අනුරාධපුර රාජධානියේ වර්ධනය හා විධිමත් පාලනය තවදුරටත් සංවර්ධනය විය. එහෙත් දේවානම්පියතිස්ස රජුගේ අභාවයෙන් කෙටි කලකට පසුව මෙරට පාලනය කළ දේවානම් පියතිස්ස මහරජුගේ කනිෂ්ඨ සොහොයුරකු වූ සූරතිස්ස රජු, සේන ගුත්තික නම් වූ විදේශීය ආක්‍රමණිකයන් දෙදෙනකුගේ අතින් ඝාතනයට ලක්වූයේ ය. සූරතිස්ස රජු මරාදමා මෙරට රාජ්‍ය බලය පැහැරගත් සේන ගුත්තික යන අස් නැවියන් දෙදෙනා අවුරුදු විසි දෙකක් අනුරාධපුර රාජ්‍යයේ බලය සියතේ තබාගෙන රට මෙහෙයවා තිබේ.
එම විදේශිකයන් දෙදෙනාගෙන් මෙරට නිදහස් කරගැනීමට පියවර ගෙන ඇත්තේ ද දේවානම්පියතිස්ස මහරජුගේ නම වන සොහොයුරු වූ අසේල කුමරුවාය. සේන ගුත්තික නම් වූ ආක්රමණික පාලකයන් දෙදෙන මරාදමා අනුරාධපුර රාජ්‍ය හිමි කොටගත් අසේල රජු දසවසක් මෙරට පාලනය කිරීමට වාසනාවන්ත වූයේය.
අසේල රජුගේ දස වන රාජ්‍ය වර්ෂයේ දී ඉන්දියාවේ සොළී දේශයෙන් මෙරටට පැමිණි එළාර නම් කුමරකු අසේල රජු අල්ලාගෙන මෙරට පාලන බලය සියතට ගත් බව මහාවංසයේ සඳහන් වේ. අවුරුදු 44ක් මෙරට තම පාලනය යටතේ තබාගැනීමට එළාර රජුට හැකි විණි. අල්ලා ගනු ලැබූ අසේල රජුට සිදු වූයේ කුමක්දැයි මහාවංසයේ සඳහන් නොවේ. අල්ලාගත් මෙරට පාලකයා වූ අසේල රජු පසුව ඝාතනය කළේද නැති නම් ජීවිතාන්තය දක්වා සිරභාරයේ රඳවාගත්තේදැයි නිශ්චිතව ප්‍රකාශ කිරීමට අවශ්‍ය මූලික කරුණු වංශකථාවේ සඳහන් නොවීම පාඩුවකි.
දැහැමින් දීර්ඝ කාලයක් මෙරට පාලනය කළ එළාර රජු ද අවසානයේ දී දුටුගැමුණු කුමරු අතින් ජීවිතක්ෂයට පත් වූයේ රණබිමේ දී දෙදෙනා අතර ඇති වූ ද්වන්ධ සටනකදී ය. එළාර රජුගේ පාර්ශ්වයයෙන් ඔහුට සහාය වූ දේශීය ප්‍රධානීන් බොහෝ දෙනෙකු එළාර රජුගේ අභාවයෙන් පසුව දුටුගැමුණු රජතුමාගේ (ක්‍රි. පූ. 161 - 137) පාලනයට අවනත වූ බව පෙනේ.
දුටුගැමුණු රජතුමාගේ සොහොයුරු වූ සද්ධාතිස්ස (ක්‍රි. පූ. 137 - 119) රජුගේ අභාවයෙන් පසුව නැවතත් මෙරට රාජ්‍ය බලය පිළිබඳ අර්බුදයක් මතු විය. රාජ්‍යය හිමි විය යුතු සද්ධාතිස්ස රජුගේ දෙටුපුත් ලදැතිස් අනුරාධපුර අගනගරයේ වාසය නොකළ බැවින් සද්ධාතිස්ස රජුගේ අමාත්‍යවරුන් භික්ෂු සංඝයාගේ අනුමැතියෙන් සද්ධාතිස්ස රජුගේ බාල පුතු වූ ථුල්ලත්තන (ක්‍රි. පූ. 119) කුමරු අනුරාධපුර රාජ්‍යයේ අගරජු ලෙස අභිෂේක කිරීමෙනි. තමන්ගේ උරුමය අහිමි වීමෙන් කුපිත වූ ලදැතිස් කුමරු අනුරාධපුරය වටලා ථුල්ලත්තන රජු අත්අඩංගුවට ගෙන තෙමේ රාජ්‍යබලය උදුරාගත්තේ ය. අත්අඩංගුවට ගත් තම සහෝදරයා ඝාතනය කළේද යන්න පිළිබඳ හෝ ඔහුගේ අවසානය වූයේ කවරාකාරයකින් ද යන්න පිළිබඳ හෝ මහාවංස කතුවරයාගේ අවධානය යොමු වී නැත. මෙම අවස්ථාවේ දී ථුල්ලත්තන ඝාතනය වන්නට ඇතැයි සිතිය හැක්කේ ලදැතිස් රජු (ක්‍රි. පූ. 119 - 109) අවුරුදු නවයකුත් මාසයක් පමණ කාලයක් රජකොට මියගිය අවස්ථාවේ දී පවා ථුල්ලත්තන රජුහට යළි මෙරට බලය හිමි නොවීම නිසාය.
ලදැතිස් රජු මළ කල මෙරට රාජ්‍ය බලය හිමි කොටගත් ඔහුගේ වෙනත් සොහොයුරකු වූ ඛල්ලාටනාග රජු (ක්‍රි. පූ. 109 - 103) ද සය අවුරුදු පාලන කාලයකින් පසුව ඝාතනයට ලක් වී ඇත. එම ඝාතනයේ විශේෂත්වය වන්නේ ඝාතකයා රාජකීයකු හෝ ආක්රමණිකයකු හෝ නොවී රජුගේම සෙනවියකු වීම ය. මහාරත්තක නම් වූ එම සෙනවියා ද එදිනම ඛල්ලාටනාග රජුගේ බාල සොහොයුරකු වූ වට්ටගාමනී (වළගම්බා) කුමරු අතින් ඝාතනයට ලක්වූයේය.
මෙරට රජු ලෙස සේසත් නැංවූ වළගම්බා රජුට රාජ්‍ය පාලනය කළ හැකි වූයේ මාස 5ක් පමණි. ඉනික්බිතිව ද්‍රවිඩ කුමාරවරු සත්දෙනෙකුගේ ආක්‍රමණයට මෙරට ලක් වූ අතර ආක්‍රමණිකයන්ට විරුද්ධව සටනට ගිය වළගම්බා රජු (ක්‍රි. පූ. 103 - 102) සටනේ දී පරාජයට පත්ව ජීවිතාරක්ෂාව පතා පැනගියේ ය. මෙරට රාජ්‍ය බලය හිමිකොට ගත් ද්‍රවිඩ කුමාරවරු සත් දෙනාගෙන් දෙදෙනෙක් පෙරළා සියරට ගිය අතර ඉතිරි පස් දෙනා මෙරට රැඳෙමින් රාජ්‍ය පාලනය ගෙන ගියෝ ය. මුලින් ම රජ වූ පුළහත්ත නම් ද්‍රවිඩයා ඔහුගේ ම සෙනවියා වූ බාහිය අතින් ඝාතනයට ලක්වූයේ තුන් අවුරුදු පාලන කාලයක් අවසානයේ දී ය. පුළහත්ත මරාදමා අනුරාධපුරයේ රජ වූ බාහිය ද්‍රවිඩ රජුට මෙරට පාලනය ගෙනයාමට හැකිවූයේ අවුරුදු දෙකක පමණ කෙටි කාලයකි. ඔහුගේ සෙනවියා වූ පණයමාර බාහිය රජු මරාදමා රජ වී සත් වසරක් මෙරට පාලනය කළේ ය.
පෙර සිදු වූ සියල්ල පිළිබඳ මනා අවබෝධයකින් පසු වූ පණයමාර රජුගේ සෙනවියා ද පණයමාර රජු මරා මෙරට රාජ්‍ය බලය අල්ලාගෙන සත් මසක් රජ කිරීමට සමත් වූයේ ය. පිලයමාර නම් වූ ඔහුගේ සහායට දෘඨික නම් වූ ප්‍රබල සෙනවියෙක් වූයේ ය. පිලයමාරගේ අවසානය සිදු වූයේ ද ඝාතනයකිනි. පෙර ද්‍රවිඩ රජවරුන්ගේ මෙන්ම ඔහුගේ ඝාතකයා වූයේ ද සිය සෙනවියාම ය. අනුරාධපුරයේ රජ වූ අවසන් සත්ද්‍රවිඩ ආක්රමණිකියා වූ දාඨික අවුරුදු දෙකකට ආසන්න කාලයක් මෙරට රාජ්‍ය බලය සියතේ රඳවා ගැනීමට සමත් වූයේ ය.
එම සමස්ත කාලය පුරාම සැඟවී සිටි වළගම්බා රජු අනුරාධපුරයේ රජ කරමින් සිටි දාඨික රජු මරා යළිත් මෙරට ස්වාධීනත්වය තහවුරු කිරීමට සමත් වූයේ ය. වළගම්බා රජුගේ දෙවන පාලන කාලය (ක්‍රි. පූ. 89 - 77) අවසානයේ දී මහාචුලි මහාතිස්ස රජ වූ අතර කෙටි කලකින් ඔහු මරණයට පත්වූයේ ය.
නැවතත් මෙරට රාජ්‍ය නායක ඝාතන රැල්ලක් ඇති වන්නේ වළගම්බා රජුගේ පුතකු වූ චෝරනාග රජුගේ පාලන සමය (ක්‍රි. පූ. 62 - 50) ආරම්භ වීමත් සමඟය. එම පාලන සමයේ දී මෙරට ආරම්භ වූ රාජ්‍ය නායකයන්ගේ ඝාතන ක්‍රියාවලියට මූලික වූයේ කම්රසයට ගිජු වූ චෝරනාග රජුගේ බිසව වූ අනුලා දේවිය නිසාය. චෝරනාග රජුගේ රාජ්‍ය නිලධරයකු කෙරෙහි සිත ඇලුණු අනුලා දේවිය සිය සැමියා වූ චෝරනාග රජු විෂ කවා මැරවීය. චෝරනාග රජුගේ ඇවෑමෙන් හිස් වූ සිහසුනට තම සිත් ගත් සිව නම් වූ ද්‍රවිඩ දොරටුපාලයා පත් කළ අනුලා දේවිය ඔහුගේ මහේෂිකාව වී කම්සැප විඳීය. අවුරුද්දකට පමණ පසුව නුවරවඩු තනතුර හෙබවූ වටුක නම් තවත් ද්‍රවිඩයකු කෙරේ ලොල් වූ අනුලා දේවිය සිව රජුට ද වස දී ඝාතනය කළාය. රාජ්‍යත්වය හිමි කොටගත් වටුක ද්‍රවිඩයාගේ මෙහෙසිය බවට පත් වූ අනුලා දේවිය එක් අවුරුදු දෙමසක පමණ කාලයක් සතුටින් වාසය කළාය.
පසුව ඇයට හමු වූ දරුභතික තිස්ස නම් පුද්ගලයකු කෙරේ ලොල් වූ එම කාමිනිය පෙර දී මෙන්ම යළිත් තම සැමියා වූ වටුක රජු ද වස දී මරා දැමීය. දරුභතික තිස්ස ද රජ බවට පත් කළ අනුලා දේවිය ඇයට රිසිසේ යළිත් කම්සැප විඳීමේ නිරත වූවාය. අවුරුද්දක පමණ රාජ්‍ය කාලයකින් පසුව දරුභතික තිස්ස රජු ද ඝාතනයට ලක් වන්නේ ඔහුගේ බිසව වූ අනුලා දේවියගේ වස කෑමෙනි.
මෙවර අනුලා දේවිය සිය සැමියා වූ දරුභතික තිස්ස රජු මරා දමන්නේ දෙමළ බමුණකු සමඟ සංවාසය කිරීමට ගිජුවීය. අනුලා දේවියගේ කය සනසා මෙරට රජු බවට පත් නිලීය ද්‍රවිඩයාට ද සයමසකට වැඩි කලක් රජ සැප විඳීමට අනුලාව ඉට නොතැබුවාය. ඇයගේ සිත්ගත් තවත් සෙනවියකු (බලතකු) සමඟ කම්සැප විඳීමට අපේක්ෂා කළ අනුලා බිසව නිලීය රජු ද වස දී මරා දමා රාජ්‍ය බලය සියතට ගත්තා ය.
තමන්ගේ සිත් ගත් බලතා සමග වෙසෙමින් අනුලා රාජනිය අවුරුදු පහක පමණ කාලයක් එතැන් පටන් (ක්‍රි. පූ. 47 - 42) මෙරට රාජ්‍ය නායිකාව ලෙස කටයුතු කළාය. මෙරට ඉතිහාසයේ වැඩිම රාජ්‍ය නායකයන් සංඛ්‍යාවක් ඝාතනය කිරීමෙන් අනුලා රාජනිය තබා ඇති වාර්තාව අනාගතයේ දී පවා බිඳ දැමීමට යමෙකු සමත් වෙතැයි සිතිය නොහැකිය. මෙතරම් සූක්ෂමව රාජ්‍ය නායකයන් ඝාතනය කරමින් තමන්ට, රුචි රාජ්‍ය උරුමයක් නැති සේවකයන් පවා රාජ්‍යත්වයට පත් කරමින් අනුරාධපුර රාජධානි ඉතිහාසයේ මුල් භාගයේ දී දේශපාලනය රඟමඬලේ සුවිශේෂී වූ භූමිකාවක් රඟ පෑ අනුලා රාජනියගේ අවසානය ද ඝාතනයකින්ම නිම විය.
මහාචූලික රජුගේ පුත්‍රයකු වූ මකලන්තිස්ස (ක්‍රි. පූ. 41 - 19) කුමරුවා අනුලා දේවියගේ බලය පිරිහී තුබූ අවස්ථාවක දී ඇය මරා රාජ්‍යය පැහැරගෙන අවුරුදු විසි දෙකක් යහතින් අනුරාධපුර රාජ්‍යයේ පාලනය ගෙන ගියේ ය.
පසුව අනුරාධපුරයේ රජ වූ ඉලනාග රජුගේ (ක්‍රි. ව. 35 - 44) ඇවෑමෙන් රජු වූ ඔහුගේ පුතු වූ චන්ද්‍රමුඛ සිව (සඳමුහුණු සිව) (ක්‍රි. ව. 44 - 52) රජුගේ අවසානය සිදු වන්නේ ද ඝාතනයකට ලක් වීමෙනි. අවුරුදු අටකට ආසන්න කාලයක් අනුරාධපුර රාජ්‍යය පාලනය කළ චන්ද්‍රමුඛ සිව රජුගේ ඝාතකයා වූයේ ඔහුගේ ම සොහොයුරා වූ යසලාලක තිස්ස කුමරුය. තිසාවැවේ දී පැවැත්වූ ජල ක්‍රීඩා උත්සවයකට සහභාගී වෙමින් සිටි චන්ද්‍රමුඛ සිව රජු එහිදී මරා දැමූ යසලාලක තිස්ස කුමරුවා අනුරාධපුර රාජ්‍යයේ මහරජු ලෙස ඔටුනු පැලදීය. සත් අවුරුද්දක් (ක්‍රි. ව. 52 - 59) මෙරට පාලනය කළ යසලාලක තිස්ස මහරජු ඝාතනයට ලක්වන්නේ ඔහුගේ ම අනුවන ක්‍රියාවක් හේතුකොට ගෙනය.
ඔහුගේ රූපයට සම වූ දොරටුපාලයෙකු තම රාජ්‍යසභාවේ වූ බැවින් ඔහුට රාජකීය ආභරණ අන්දවා සිංහාසනාරූඪ කොට තම අමත්යයන් ඔහු සමඟ කටයුතු කරන ආකාරය දැකගැනීමට ප්‍රිය කළ යසලාලක තිස්ස මහරජු දොරටු පාලකයාගේ ඇඳුම් හැඳපැලඳ රාජසභා දොරටුව මුර කළේ ය. මැති, ඇමැති, සෙනවිවරුන් ව්‍යාජ රජුට ගරුසරු දක්වන අවස්ථාවේ දොරටුපාල වේශයෙන් සිටිනා මහරජු සිනාසීම පුරුද්දක් කොට ගත්තේ ය.
එම වෙස්පෙරළියෙන් වාසි ලබාගැනීමට අදිටන් කොටගත් ශුභ නම් වූ ඒ දොරටුපාලකයා එක් දිනක් රාජ්යසනයේ සිටිද්දී දොරටුපාල වේශයෙන් සිටිනා යසලාලක තිස්ස රජු සිනාසීමට මුලපිරූ විට ව්‍යාජ කෝපයක් පෙන්වා රජතුමාට අපහාස කිරීමේ වරදට හිස සිඳ මරා දැමීමට නියෝග කළේය. යසලාලක තිස්ස රජු සත්‍යය ප්‍රකාශ කළ මුත් එය පිළිගැනීමට කිසිවෙක් එකඟ නොවූහ.
යසලාලක තිස්ස මරා දමා රාජ්‍ය බලය ලබාගත් ශුභ රජු වසර හයක් (ක්‍රි. ව. 59 - 65) මෙරට පාලනය කළ අතර ඔහුගේ අවසානය සිදු වූයේ ද රජ මිදුළේ දී සිදු වූ ඝාතන කුමන්ත්‍රණයකට ලක් වීමෙනි. ශුභ රජු මරාදමා මෙරට රාජ්‍ය බලය හිමි කොටගත් වසභ රජු (ක්‍රි. ව. 65 - 109) ලංකා ඉතිහාසයේ දීර්ඝ කාලයක් රාජ්‍ය බලය හිමිකොට තබා ගැනීමට වාසනාවන්ත වූයේ ය. එළාර රජු මෙන් ම වසභ රජු ද අවුරුදු 44 ක් මෙරට රාජ්‍ය බලය මෙහෙයවීමට වාසනාව ලද්දේ ය. ජරාවාස ව පැවැති බොහෝ වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කළ ඒ රජු මෙරට වාරිමාර්ග සංවර්ධනය කිරීමට ද තම අවධානය යොමු කළේ ය.
අනුරාධපුර රාජධානියේ ආරම්භක යුගයේ දී සිදු වූ රාජ්‍ය ඝාතන අතර විදේශීය ආක්‍රමණිකයන් අතින් සිදුව ඇති රාජ්‍ය ඝාතන ප්‍රමාණය අල්ප වේ. එම යුගයේ දී බොහෝ රාජ්‍ය ඝාතන සිදු වී ඇත්තේ රජ පවුලේ සාමාජිකයන්ගේ බල අරගලය නිසාය. ද්‍රවිඩ සෙනෙවියන් රාජ්‍ය බලය පැහැරගැනීම සඳහා බලයේ සිටි ද්‍රවිඩ පාලකයා ඝාතනය කිරීම ද මෙකල මතුව පෙනෙන ප්රවණතාවකි. මෙම කාල පරිච්ඡේදය තුළ සිදු වූ සුවිශේෂී වූ රාජ්‍ය නායක ඝාතන මාලාව එක් රජ බිසවකගේ අස්වාභාවික ලිංගික ආශාව නිසා සිදු වී තිබීම ද අපගේ අවධානයට යොමු විය යුතු වේ.
අසේල රජු අල්ලාගෙන බලයට පත් වූ එළාර රජු අසේල රජතුමා පසුව හෝ ඝාතනය කළේ දැයි ස්ථිරව පැවැසීමට අවශ්‍ය සාධක මහාවංසයේ නැත. ථුල්ලත්තගෙන් බලය පැහැරගත් ඔහුගේ සොයුරු ලජ්ජිතිස්ස රජ පෙර අප විසින් පෙන්වා දෙනු ලැබූ ලෙස ථුල්ලත්තන රජ ඝාතනය කළේයැයි සිතිය හැක්කේ ඔහුගේ නව වසක රාජ්‍ය කාලය අවසානයේ බලයට පත් වන්නේ ථුල්ලත්තන නොව ඔහුගේම වෙනත් සොහොයුරකු ලෙස සඳහන් වන නිසාය. මෙම යුගය පුරා බලයේ සිටි රාජ්‍ය පාලකයා ඝාතනය කොට බලය පැහැරගත් පුද්ගලයාට සමාජයෙන් හෝ ආගමික නායකයන්ගෙන් හෝ කවරාකාරයක හෝ අප්‍රසාදයක් හිමි නොවීම ද විශේෂත්වයකි. එනිසාම බලයේ සිටින පාලකයා ඝාතනය කොට බලය පැහැර ගැනීමට කිසිවකු තුළ දෙගිඩියාවක් නොවූ බව ද පෙනෙන්නට තිබේ.
මතු සම්බන්ධයි...