අහිසංකයන් බිල්ලට දෙන සංක්‍රමණික ජාවාරම | සිළුමිණ

අහිසංකයන් බිල්ලට දෙන සංක්‍රමණික ජාවාරම

ගුවන්යානයේ රෝද කුටියේ සැඟවී එංග­ල­න්ත­යට ඒමට දැරූ උත්සා­හය ලන්ඩන් ගෙව­ත්ත­කින් අව­සන් වෙයි

බ්‍රිතාන්‍යය ඇතුළු බටහිර රටවල් රැසකට මෙන්ම ඕස්ට්‍රේලියාවටද හිසරදයක් වී ඇති සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් මෙතෙක් හෙළි නොවූ තොරතුරු රැසක් මාධ්‍ය හමුවේ නිරාවරණය කිරීමට බ්‍රිතාන්‍යය කටයුතු කර තිබේ. සංක්‍රමණිකයන් යනු හුදෙක් සරණ පතා එන මිනිසුන් පමණක් නොව මහා ජාවාරමක ගොදුරු බව එමගින් ඔවුන් යළි යළිත් තහවුරු කර තිබේ.

රටකින් තවත් රටකට මිනිසුන් සංක්‍රමණය වීම සම්බන්ධව ඇත්තේ අතිදීර්ඝ ඉතිහාසයකි. අපේ රටේ ප්‍රකාශිත ඉතිහාසයට අනුව අපේ රටට අනවසරයෙන් සංක්‍රමණය වූ ඉන්දියානුවන් අපේ රටේ ජනාවාස පිහිටුවා, ඉතිහාසයද අලුතින් ලියා තිබේ. එබැවින් සංක්‍රමණිකයන්ව සුළු කොට තැකීම තරම් නොවේ.

මේ අතර විසි එක් වැනි සියවසේ සංක්‍රමණිකයෝ අද ලෝකයේ රටවල් රැසකටම නොසිතූ ගැටලු ඇති කරමින් සිටිති. ඇතැම් රටවල ආණ්ඩු පෙරළීමට තරම් සංක්‍රමණිකයන් ප්‍රබල හේතු ලෙස දායක වී තිබේ. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාව සහ බ්‍රිතාන්‍යය සංක්‍රමණික ගැටලුවලින් දැඩ ලෙස පීඩා විඳින දෙරටකි. බොහෝ යුරෝපා රටවලට මුහුණ දීමට සිදුවී ඇත්තේ සංක්‍රමණිකයන් සමඟ බැඳී පවතින ත්‍රස්තවාදී තර්ජනවලටය.

යුරෝපයට සහ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ගෙන යෑම කිසිදු රටක දළ ජාතික නිෂ්පාදිතයට අයත් නොවන අති විශාල ලාභදායී ව්‍යාපාරයකි. තම රටේ යහපත් ජීවිතයක් ලබා ගැනීමට අපොහොසත් බොහෝ දෙනා සිතන්නේ සංවර්ධිත රටකට ප්‍රවිෂ්ට වීමෙන් තම සියලු දෝෂ නිවාරණය වන බවකි. විශේෂයෙන්ම යුරෝපා රටවලට මෙහිදී හිමිවන්නේ දැඩි ආකර්ෂණයකි. ඒ අනුව සංක්‍රමණය වීම අපේක්ෂා කරන බොහෝ දෙනා තැරැව්කරුවන්ට අති විශාල මුදල් ලබා දෙමින් නොයෙක් ක්‍රම ඔස්සේ යුරෝපා රටකට ළඟා වීම සඳහා උත්සාහ දරති. මේ ක්‍රම සියල්ලම නීති විරෝධී වේ.

ශ්‍රී ලංකාවේ නමද විශාල වශයෙන් කියවෙන ඕස්ට්‍රේලියානු අනවසර සංක්‍රමණිකයන් ඒ සඳහා යොදා ගන්නේ බහු දින ධීවර යාත්‍රාවල නැගී මුහුදු මාර්ගය ඔස්සේ ඕස්ට්‍රේලියාවට ළඟා වීමය. එහෙත් යුරෝපා රටකට යෑමේදී සංක්‍රමණික ජාවාරම්කරුවන් විවිධ උපක්‍රම, ක්‍රියාමාර්ග අනුගමනය කරති. ඒ සඳහා ඔවුන් බහුලව යොදා ගන්නේ ගොඩබිම් මාර්යයි. ප්‍රංසය, නෙදර්ලන්තය, බෙල්ජියම හරහා ගමන් ගන්නා කන්ටේනර් රථවලට ගාල් කරනා සංක්‍රමණිකයන් වරාය හරහා පරීක්ෂා කිරීමෙන් තොරව බ්‍රිතාන්‍යයට ගෙන්වා ගැනීමට ඔවුහු බොහෝ විට සමත් වෙති. ඔවුන් සංක්‍රමණිකයන්ගෙන් මුදල් ලබා ගන්නේ ගමනාන්තය දක්වා ගෙන ඒමට පමණක් වන අතර එතැන් සිට ජිවිතය ගෙන යෑමට අවශ්‍ය දේ සපයා ගැනීම සංක්‍රමණිකයන් සතුය.

රුසියාව, පෝලන්තය, ජර්මනිය සහ ප්‍රංසය හරහා බ්‍රිතාන්‍යයට සංක්‍රමණිකයන් රැගෙන ඒමට ජාවාරම්කරුවන් ලබා ගන්නා මුදල බොහෝවිට පවුම් 30000ක් පමණ වේ. සැබැවින්ම එය සංක්‍රමණිකයන්ට අති විශාල මුදලකි. ගැටලුව වන්නේ මේ සා විශාල මුදලක් ගෙවීමෙන් වුවද කිසිවකු ඔවුන්ගේ ජීවිතවලට වග නොකියන බැවිනි.

මෙලෙස දිවි පරදුවට තබමින් කෙසේ හෝ ගමනාන්තයට පැමිණෙන අනවසර සංක්‍රමණිකයන් ඉන්පසු මුහුණ දෙන සටන වන්නේ ජිවිකා වෘත්තියක් සොයා ගැනීමය. එහිදී වැඩිදෙනාට ඉතා අඩු දෛනික වැටුපකට අන්තරාදායක රැකියාවල නිරතවීම හැර වෙනත් විකල්පයන් හමුවන්නේ නැත. මෙලෙස දුෂ්කර, අන්තරාදායක රැකියාවන්හි නිරත වී ලබන සොච්චම් වැටුපද බොහෝ දෙනා තම මවු රටවල ජීවත් වන පවුලේ සාමාජිකයන්ගේ නඩත්තුව පිණිස ලබා දෙති.

මේ කන්ටේනර් ගමන්වලදී සංක්‍රමණිකයන් මුහුණ දෙන අතිශය කණගාටුදායක තත්ත්වය ලොවට හෙළි වූයේ පසුගියදා බ්‍රිතාන්‍යයේදී මළ සිරුරු 32ක් සමග කන්ටේනර් රථයක් හමුවීමෙන් පසුවය. එහි ගමන්ගෙන තිබුණේ වියට්නාම් ජාතිකයන් වු අතර එහිවූ තරුණියක් තමන් මියයමින් සිටින බව දන්වමින් තම දෙමවුපියන්ට යැවූ පණිවිඩයක් ලොවපුරා ජනතාවගේ ඇසට කඳුළු නැංවීමට සමත්විය.

කන්ටේනර්වල සැඟවී බ්‍රිතාන්‍යයට පැමිණීම සුලබව සිදුවුවද බ්‍රිතාන්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ වරාය හතළිහකින් පමණ රට තුළට ගෙනඑන කන්ටේනර් සියල්ල පරීක්ෂා කිරීම ප්‍රායෝගික නොවන බවයි.

බ්‍රිතාන්‍ය මාධ්‍යවේදිනියක් සංක්‍රමණියක් හේතුවෙන් නොයෙක් ගැටලුවලට මුහුණ දෙමින් සිටින රටවල සංචාරය කරමින් එක්රැස් කරගත් තොරතුරු මාධ්‍යයට මුදාහරින්නේ ඉන් පසුවය. ඇයගේ අරමුණ වන්නේ සංක්‍රමණිකයන් පසුපස විශාල වශයෙන් ව්‍යාප්තව තිබෙන ජාවාරම හෙළිදරව් කිරීමය.

නිකුත් වී ඇති වාර්තාවට අනුව මෙලෙස බ්‍රිතාන්‍යයට අනවසරයෙන් පැමිණ මුහුදු බෙල්ලන් කැඩීමේ වෘත්තියක නිරතව සිටි චීන ජාතිකයන් දෙදෙනෙකු හදිසි අනතුරකින් මියගොස් තිබේ. ඔවුන් බ්‍රිතාන්‍යයට පැමිණියේ කෙසේදැයි වාර්තා වී නැත. තවත් සංක්‍රමණිකයකු බ්‍රිතාන්‍යයට පැමිණීමට උත්සාහ දරා ඇත්තේ ගුවන් යානයක බඳේ රෝද කුටියේ සැඟවීමෙනි. ගුවන් යානය බිමට බෑම සඳහා රෝද ඉවතට ගැනීමේදී ඔහු ලන්ඩන් නගරයේ ගෙවත්තකට ඇද වැටීමෙන් මියගොස් තිබේ. තවත් අනවසර සංක්‍රමණිකයන් පස් දෙනෙකුගේ සිරුරු හමුවී ඇත්තේ භාණ්ඩ ප්‍රවාහණය කරන කන්ටේනර් රථයක තිබියදීය. 2016 ඔස්ට්‍රියාවේදී මස් ප්‍රවාහන ලොරි රථයක තිබී හමුවූ අනවසර සංක්‍රමණිකයන්ගේ සිරුරු සංඛ්‍යාව 71ක් විය. මෙවැනි සිදුවීම් දොළහකට වැඩි සංඛ්‍යාවක් 2014 සිට මේ දක්වා වාර්තා වී ඇති අතර මුහුදු මාර්ගයෙන් යුරෝපා මහාද්වීපයට පැමිණීමට උත්සාහ දැරීමේදී මියගොස් ඇති සංඛ්‍යාව මේ අතරට ඇතුළත් නොවේ.

වාර්තාවට අනුව 2014 සිට මේ දක්වා මුහුදේ ගිලී මියගිය අනවසර සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව 17480කි. මේ මුහුදු සංඛ්‍යාව අයත් වන්නේ සංක්‍රමණය සඳහා මුහුදු මාර්ගය තෝරා ගත් අය අතරටය. සංක්‍රමණය සඳහා ගොඩබිම් මාර්ගය තෝරා ගත් අය අතරින් අතරමගදී නොයෙක් අසනීපවලට ගොදුරු වීමෙන් සංක්‍රමණකියන් 1939ක්ද, රථවාහන අනතුරු හේතුවෙන් 1473ක්ද, පැහැදිලිව ප්‍රකාශ නොවන හේතු මත 1695ක්ද, හේතු කිහිපයක් එකිනෙක සම්බන්ධ වීමෙන් සංක්‍රමණිකයන් 1029ක්ද මියගොස් තිබේ. මේ තොරතුරු එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කර ඇති වාර්තාවක් මගින්ද සනාථ කර තිබේ.

සිරියාවේ යුදමය වාතාවරණය ඇතිවීමත් සමග ලක්ෂ ගණනින් සංක්‍රමණිකයන් යුරෝපය කරා පැමිණීමට පටන් ගැනීමෙන් පසු බොහෝ යුරෝපා රටවල් තම සංක්‍රමණ නීති රීති සංශෝධනය කළහ. පොලීසියට කොටුවන අනවසර සංක්‍රමණිකයන් පෙරළා තම මවු රට කරා එවීම ඒ අතර මූලික විය. ඉන්දියන් සාගරයේ මැඩගැස්කර් දූපත අසල පිහිටා ඇති රියූනියන් දූපතට පැමිණී අනවසර සංක්‍රමණිකයන් 64 දෙනෙකු පෙරළා තම මවුරට බලා පිටත් කිරීමට ප්‍රංසය මේ වසරේ පෙබරවාරි 14වැනිදා කටයුතු කළේය. විශේෂත්වය වන්නේ ඒ සියලුම දෙනා ශ්‍රී ලාංකිකයන් වීමය. ඔවුන් සඳහා ප්‍රංසය විශේෂ ගුවන් යානයක් යොදා ගත් අතර අායුධ දැරූ ප්‍රංස හමුදා භටයන් පිරිසක්ද මේ ගුවන් යානයේ වූහ. මේ පිරිස යුරෝපය බලා යෑම සඳහා ධීවර බෝට්ටුවකින් හලාවතින් පිටත් වූ බවද වාර්තා වී තිබිණ. බෝට්ටුව හලාවතින් පිටත්ව තිබුණේ ජනවාරි 9 වැනිදාය.

මිනිස් ජාවාරම්කරුවන් ගැන කතා කිරීමේදී ඕස්ට්‍රේලියාව ගැන සඳහන් නොකිරීම විශාල අඩුවකි. දකුණු ආසියානු රටවලින් බෝට්ටු මගින් විශාල වශයෙන් සංක්‍රමණය වන අනවසර සංක්‍රමණිකයන් හේතුවෙන් ඕස්ට්‍රේලියානු අගමැතිවරුන් කිහිප දෙනෙකුටම තම පුටුවෙන් බැස යන්නට සිදුවිය. සංක්‍රමණිකයන් තම රටට ප්‍රවිෂ්ට වීම වළකාලීමට පැපුවා නිව්ගිනියාවේ මානුස් දූපතේ කඳවුරක් ස්ථාපිත කිරීමට ඕස්ට්‍රේලියවෙ කටයුතු කළේ 2001 වසරේ දීය. ඒ සඳහා පැපුවා නිව්ගිනියාවට ඩොලර් මිලියන 310ක ආධාර ලබා දීමටද 2013දී ඕස්ට්‍රේලියාවට සිදුවිය. සංක්‍රමණිකයන්ගේ පැමිණීමට වළක්වාලීමට 2001දී එරට පාළනය කළ අගමැති ජෝන් හාවර්ඩ් ශාන්තිකර කලාපීය විසඳුම නමින් (pacific solution) වැඩපිළිවෙළක්ද ඉදිරිපත් කළේය. 2016දී මේ කඳවුර පවත්වා ගැනීමට තම රටට අවශ්‍ය නොවන බවට පැපුවා නිව්ගිනියා අධිකරණය මගින් ලබාදුන් තීරණයක් ගැටලුව තවත් උග්‍ර කරවීමට සමත් විය.

කෙසේ වුවද මේ කිසිවක් ඕස්ට්‍රේලියාව කරා සංක්‍රමණිකයන් පැමිණීම අඩපණ කිරීමට සමත්ව නැත. මේ පසුපස සිටින ජාවාරම්කරුවන් දිගින් දිගටම ක්‍රියාත්මක අතර තම මවු රටේ සාර්ථකත්වය සෙවීම වෙනුවට කෙටි මං ඔස්සේ ජීවිතය ජය ගැනීමට සිතන බොහෝ මිනිස්සු ඔවුන්ගේ ජාවාරම්වලට සහාය දෙමින් සංක්‍රමණය තම එකම අරමුණ ලෙස තෝරා ගනිමින් සිටිති.

අවසන් වශයෙන් කිව යුත්තේ යුරෝපය සහ ඕස්ට්‍රෙිලියාව කොතෙක් උපක්‍රම යෙදූවද මිනිසුන්ගේ ආකල්ප වෙනස්වන තුරු සංක්‍රමණික ගැටලුවට පිළිතුරු නොලැබෙනු ඇති බවය.

Comments