යුරෝපා සංගම් උගුලේ පැටලුණු බ්‍රිතාන්‍ය මහමැතිවරණය | සිළුමිණ

යුරෝපා සංගම් උගුලේ පැටලුණු බ්‍රිතාන්‍ය මහමැතිවරණය

යුරෝපා සංගමයෙන් වෙන්වීමේ තීරණය ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වූ බ්‍රිතාන්‍ය තම විනිවිද පෙනෙන සුලු ප්‍රජාතන්ත්‍රවාදය යළිත් ලොවට විදහා පෙන්වමින් ලබන මස 12වැනිදා යළිත් මහමැතිවරණයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ගතවූ වසර කිහිපයක සිටම බ්‍රිතාන්‍ය අස්ථාවර දේශපාලන රටාවක් පෙන්නුම් කළ අතර විටින් විට අගමැතිවරුන් මාරුවීම්ද දක්නට ලැබිණි. දැන් ඔවුන් අවසාන විකල්පය ලෙස මහමැතිවරණයක් පැවැත්වීමට තීන්දු කර තිබේ.

මේ සියල්ලට හේතුව වී ඇත්තේ ඔවුන් යුරෝපා සංගමයෙන් ඉවත් වීමට ගත් තීරණයයි.

මේ තීරණය ඔවුන් හිතුමතයේ ගත් තීරණයක් නොව ඉතා විනිවිදභාවයෙන් යුක්තව ගත් තීරණයකි. 2016දී ඔවුන් මේ සම්බන්ධව ජනමත විමසුමක්ද පැවැත්වූ අතර එහිදී බ්‍රිතාන්‍ය ජනතාවගේ තීරණය වූයේ යුරෝපා කොමිසමෙන් ඉවත් වීමට කැමැත්ත දැක්වීමය. එහෙත් එය ක්‍රියාත්මක කිරීමට යෑමේදී ඇතිවූ සංකූලතා හේතුවෙන් මහමැතිවරණයක් දක්වා යෑමට බ්‍රිතාන්‍යයට සිදු වී තිබේ.

ඔවුන් මේ මහ මැතිවරණය කැඳවා ඇත්තේ මේ වසරේදීම සම්මත කර ගත් පෙර පාර්ලිමේන්තු මහ මැතිවරණ පණතට අනුවය. ඒ අනුව 1923න් පසුව ප්‍රථම වරට නත්තල් සමයේ මහ මැතිවරණයටක මුහුණ දීමට එරට ජනතාවට සිදු වනු ඇත.

2010 වසරේ සිට කොන්සර්වටිව් පක්ෂය දිගින් දිගටම බලයේ රැඳී සිටින අතර ඔවුන් පරදවා බ්‍රිතාන්‍යයේ බලය ලබා ගැනීමට ලේබර් පක්ෂයට තවමත් හැකියාවක් ලැබී නොමැත. එහෙත් 2010දී මෙන්ම 2015දීද කන්සර්වටිව් පක්ෂය බලයට පැමිණියේ ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයත් සමග ඇති කර ගන්නා ලද සභාග ලෙසින් බවද අමතක කළ යුතු නැත. ඒ අනුව මෙවර ජනතා කැමැත්ත දිනා ගැනීමේ වැඩි වැඩකොටසක් ලේබර් පක්ෂය සතු වේ.

එසේ වුවද ලේබර් පක්ෂය බලයට පැමිණියද යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ඔවුන්ගේ වැඩපිළිවෙළද කන්සර්වටිව් පක්ෂයෙන් විශාල වශයෙන් වෙනස් වන්නේ නැත. ඔවුන්ද යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු යැයි තීරණයේ සිටින අතර යම් හෙයකින් ඔවුන් මෙවර බලය ලබා ගන්නේ නම් ඔවුන්ද යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යනු ඇත.

ජනමතවිචාරණයෙන් ජනතා කැමැත්ත ලැබීමෙන් පසු 2017 වසරේ මාර්තු මාසයේදී කන්සර්වටිව් පක්ෂ නායකයන් යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ කටයුතු ආරම්භ කළහ. එහෙත් එහිදී ඔවුන්ට අපේක්ෂා කළ පාර්ලිමේන්තු සහය හිමිවූයේ නැත. අගමැතිවරුන් කිහිපදෙනෙකුම යටතේ ඔවුන් සාර්ථකත්වය සෙවූවද මහ මැතිවරණයක් විනා ඔවුන්ට තම අරමුණු ඉටු කර ගැනීමට ඉඩ ලැබුණේ නැත.

මෙවර ලේබර් පක්ෂ නායක ජිම් කෝබට් සහ කන්සර්වටිව් නායක බොරිස් ජොන්සන් අතර තරඟය තීරණය වීමට නියමිතය. ජිම් කෝබට් තමන් රැඩිකල් ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කළ බව ප්‍රකාශ කරන අතර තමන් බ්‍රිතාන්‍යය පරිවර්තන යුගයක් කරා ගෙන යන බවද පවසා තිබේ.

එහෙත් දැනට සිදු කර ඇති ජනමත සමීක්ෂණ අනුව මේ වන විට වාඩි ජනතා ආකර්ෂණයක් දිනා ගැනීමට සමත්ව සිටින්නේ කන්සර්වටිව් පක්ෂයයි.

 

Comments