ලෝක වාර්තාවක් තබමින් කන්ද උඩරටට වැටුණු පොත් වැස්ස “ගත්කරණී” | සිළුමිණ

ලෝක වාර්තාවක් තබමින් කන්ද උඩරටට වැටුණු පොත් වැස්ස “ගත්කරණී”

- පුංචිම ලේඛකයාගේ වයස අවුරුදු අටයි. 
- අවුරුදු 18ට අඩු ලේඛකයෝ 5319 
- සිංහල, ඉංග්‍රීසි, දෙමළ පමණක් නොව ජපන්, ප්‍රංස භාෂාවලිනුත් පොත් ලියලා

හිමිදිරි පාන්දරම හන්තාන කඳු මුදුනින් මතුවන මීදුම් වලාවන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විසල් තුරු හිස් මතට පාත් වෙන්නේ හරියට හිස අතගාන්න වගේ. සිහිල් සුළඟත් එක්ක එන හිරිපොද වැස්ස මේ භූමියට අමුතක් නොවන්නේ එම අත්දැකීම වසරේ බොහෝ දිනවල අත් දකින්නට ලැබෙන බැවිනි.

පසුගියදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අමුතු වැස්සක් වැස්සේය. ඒ පොත් වැස්සකි. විශ්වවිද්‍යාලයට පොත් අමුත්තක් නොවන්නේ ආචාර්ය, මහචාර්යවරු පමණක් නොව සිසුන්ද පොත් ලියා පළ කරන බැවිනි. එහෙත් මේ පොත් වැස්ස අමුතුම එකකි. කතුවරුන් වූයේ පාසල් සිසුන්ය.

අපේ රටේ පමණක් නොව ලෝකයේ කිසිදු රටක මෙතෙක් සිදුව නොමැති කාර්යයකට ඔවුහූ ජීවය ලබා දී තිබුණේ පොත් පන්දහස් තුන්සිය දහනවයක් ලියමිනි. මේ සමඟ අපේ රටේ පමණක් නොව ලෝකයේම පොත් ලියා පළ කළ කතුවරුන්ගේ නාමාවලියට අලුතින් නම් 5319 ක් එක් වුණේය.

මෙහි තවත් විශේෂත්වයක් වේ එනම් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි බසින් පමණක් නොව ජපන්, ප්‍රංස භාෂා වලින්ද ලියවුණු නෙක නෙක කතාවන්ගේ හිමිකරුවන් සියල්ලෝ වයස අවුරුදු 18 ට අඩු වූවන්ය. පුංචිම කතුවරයාගේ වයස අවුරුදු අටකි. දරුවන්ගේ සිත් තුළ කැකෑරෙන සිතිවිලි මේ පොත් ඔස්සේ පිටතට පැමිණ තිබුණේ ඔවුන්ගේ සුන්දර ළමා ලෝකය පිළිබඳව වැඩිහිටියන්ට දෙවරක් සිතන්නට ඉඩ ප්‍රස්තාව විවර කරමිනි. 

සුන්දර ළමා ලෝකය අහිමි කරමින් පොත පතට පමණක් සීමා කිරීම නිසා දරුවන් ලබන පීඩාව මෙම පොත් තුළින් ඔවුන් අපූරුවට ප්‍රකාශ කර තිබිණි. ළමා මනසට එබිකම් කරන්නට මංපෙත් විවර කර තිබූ මේ පොත් අධ්‍යාපන බලධාරීන් අනිවාර්යයෙන්ම කියවිය යුතු යැයි හැඟෙන්නේ ඇතැම් අවස්ථාවල ඔවුන් ළමා මනස අමතක කර ගන්නා තීන්දු නිසා දරුවන්ට ළමා ලෝකය අහිමිව ගොස් තිබෙන බැවිනි. එවැනි පසුබිමක මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් ඒකනායක මහතා මෙවැනි කාර්යයකට යොමු වීම පැසසිය යුතුය. එක් පැත්තකින් මෙය ලෝක වාර්තාවකි.

“අපේ රටේ බිහිවුණු ශ්‍රේෂ්ඨ ලේඛකයින් සෑම දෙනාම පොත් කියවපු අය. මාර්ටින් වික්‍රමසිංහ සූරීන් විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් ලැබූ කෙනෙකු නොවේ. එනමුදු එතුමා හෙළයේ මහා ගත්කරු යැයි හැඳින්වෙනවා. එතුමන් ලෝකයක් වටින නිර්මාණ කළේ තමන් තුළ වූ පොතපත කියවීමේ ගුණය නිසයි. හොඳ පොතක් ලියන්න නම් හොඳ පොත් කියවලා තිබිය යුතුය. අද ළමයි පරිගණකයත් එක්ක ගෙවන ජීවිතය නිසා පොත පතින් එන්න එන්නම ඈත් වෙනවා. පාසල් විෂය මාලාවට අයත් පොත්වල තියෙන දේවල් තමයි දැනගන්න උනන්දු වෙන්නේ. මේ නිසා පාසල් පුස්තකාල පාවිච්චි කරන දරුවන්ගේ සංඛ්‍යාව එන්න එන්නම අඩු වෙනවා.

අද අපේ දරුවන් තුළ නිර්මාණශීලීත්වය දකින්න ලැබෙනවා අඩුයි. පොත්පත් කියවීමෙන් තමයි මේ ගුණාංග දරුවන් තුළ වර්ධනය වෙන්නේ.

අද ඊ බුක් වේගයෙන් ජනප්‍රිය වෙනවා. මම හිතන්නේ මුද්‍රණය කරපු පොතකින් දැනෙන හැඟීම ඊ බුක් එකකින් දැනෙන්නේ නැහැ. දරුවෝ තොරතුරු ලබා ගන්න භාවිත කරන්නේ අන්තර්ජාලයයි. අම්මා තාත්තට වඩා දරුවෝ මේ උපකරණවලට ආදරය කරනවා. විභාගයෙන් හොඳ ලකුණු ගන්න නම් ෆෝන් එකක් අරන් දෙන්න කියලා තමයි අද ළමයි මවුපියන්ට කියන්නේ.

පරිගණක ක්‍රීඩාවලට යොමුවන දරුවන් වැඩිපුර සතුටක් ලබන්නේ මිනිස්සු මරලා. එහෙම නැත්නම් සතුන්ට වෙඩි තියලා. මේවා ඇසුරේ ජීවත් වන දරුවා හොඳ නරක තේරුම් ගන්නේ නැහැ. අද පාසල් දරුවන් මත්ද්‍රව්‍යවලට යොමුවන බවට චෝදනා එල්ලවෙනවා. මේ සියල්ලටම ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ දරුවන් පරිගණකය සමඟ හුදකලා වීමයි. අධ්‍යාපනය කියන්නේ විභාග සමත් වීම පමණකම් නොවෙයි.

අපිට අවශ්‍ය වුණා මධ්‍යම පළාතේ දරුවන්ගේ ලේඛණ කුසලතා ඉහළට ගේන්න. දරුවාගේ උපන් දිනේට කේක් කපලා පාටි දානවට වඩා පොතක් දෙන්න මවුපියෝ උනන්දු වෙන්න ඕන. ඒ වගේම දරුවොත් තමන්ගේ අම්මාගේ තාත්තාගේ උපන් දිනයට පුංචි පොතක් ලියලා තෑග්ගක් විදිහට දෙනවා නම් පවුල විතරක් නොවෙයි ලෝකයම ලස්සන වෙයි.“ මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් ඒකනායක මහතා පවසයි.

මධ්‍යම පළාතේ පාසල් 1519 ක් තිබේ. ඒවාහි දරුවෝ පන්ලක්ෂ හතළිස් පන්දහසක් පමණ අධ්‍යාපනය ලබති. මේ දරුවන් ලවා පොත් ලියවීමේ සිතිවිල්ල පහළ වීමෙන් පසු තිලක් ඒකනායක මහතා කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරු මගින් එම පණිවිඩය සියලු විදුහල්වලට යොමු කර තිබේ. පසුගිය මාර්තු මස ආරම්භ කළ මෙම වැඩපිළිවෙළට පාසල් දරුවන් ප්‍රතිචාර දක්වා තිබුණේ පොත් දස දහසකටත් වඩා වැඩි ප්‍රමාණයක් ලියමිනි. ඒවා අතරින් හොඳම පොත් තෝරා මුද්‍රණද්වාරයෙන් එළි දැක්වීමේ උත්සවයට පේරාදෙණිය විශ්වවිද්‍යාලය තෝරා ගැනීමට මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුව තීරණය කර තිබුණේ එමඟින්ද ළමුන් තුළ උද්දීපනයක් ඇති කිරීමේ අදහසිනි. මැදරට ගත්කතු අංකුර අභිෂේක මංගල්‍යය "ගත්කරණී" ලෙස නම්කර තිබූ මෙම පොත් එළිදැක්වීමේ මංගල්‍යයට දෙමාපියන් හා දූදරුවන් 15000 ක් පමණ‍ සහභාගි වී සිටියහ.

කියවීම මිනිසා පූර්ණත්වයට පත් කරයි කියලා කියමනක් තිබෙනවා. ඇත්තටම පොත් කියන්නේ දැනුම් උල්පත්. පොත් පරිශීලනය කරන්න කුඩා කාලයේ සිට හුරුවක් ලබා ගැනීම ඉතාම වැදගත්. පොතක් ලියන්න නම් පොත් කියවන්න ඕන. තොරතුරු එකතු කර ගන්න අපි පොත් වලින් වගේම පුද්ගලයින් ගෙන් අදහස් ලබා ගන්න ඕන. අන්තර්ජාලයෙන් වුනත් තොරුතුරු ගන්න හැකියාව තිබෙනවා. මේ හැම දේකින්ම සිදු වන්නේ දරුවාගේ දැනුම දියුණු වීමයි. මේ දැනුම උපයෝගි කරගෙන පොතක් ලියන්න නම් ඒක සංෂිප්ත කරන්න ඕන. සමස්ත කතා වස්තුවට ගැලපෙන නමක් යොදන්න ඕන. අපි දරුවන්ට කිව්වේ පිටකවරයත් එයාලටම නිර්මාණය කරන්න කියලයි.

මේ දරුවෝ පොත් ලියලන්න පොත් ගොඩක් කියවලා තිබෙනවා. මේ තුළින් අපි බලාපොරොත්තු වුනදේ බොහෝ දුරට ඉෂ්ඨ වුණා. මේ පොත් මුද්‍රණය කළේ ඒ දරුවන්ගේ දෙමව්පියන්ගේ වියදමින්. තමන්ගේ පොත දරුවෝ පිළිගැන්වූයේ තමන්ගේම මවුපියන්ට. තමන්ගේ දරුවා ලිවූ පොත පිළිගන්නකොට ගොඩක් මවුපියන්ගේ ඇස්වලින් කඳුළු වැටුණා. අද දරුවන් හා මවුපියන් අතර සම්බන්ධතාවත් ගොඩක් දුරට පළුදු වෙලා. මේ ඔස්සේ මවුපිය දූදරු සබඳතාවත් ගොඩක් දුරට ඉස්මතු වුණා යැයි තිලක් ඒකනායක මහතා පැවසුවේය.

මධ්‍යම පළාතේ පාසල් දරුවන් විසින් ලියා පළ කළ මෙම පොත් දොරට වැඩීමේ උත්සවය මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුව හා පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඒකාබද්ධව සංවිධානය කර තිබිණි. උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගි වූයේ සම්මානිත මහාචාර්ය ජේ. බී දිසාන­ායක මහතාය. 

මෙම පොත් එළි දැක්වීමේ උත්සවය පිළිබඳව මහචාර්යවරයා මෙසේ පැවසුවේය.

“අතීතයේ මුළු ලෝකයේම ශ්‍රී ලංකාව ජනප්‍රිය වුණේ අධ්‍යාපනයට හා ලේඛන කලාවට වෙන්වූ රටක් ලෙසින්. අවාසනාවකට අද ලංකාව ලෝකයේ ප්‍රචලිත වෙලා තිබෙන්නේ කාන්තාවන් වහල් මෙහෙයට යවන රටක් ලෙසිනුයි. එදා චීනයෙන් අවා මේ රටට. අද අපි චීනෙට යනවා. ඒ නිසා මේ රට උගතුන්ගේ රටක් බවට පත් කර ගැනීමේ කාලය එළඹිලා තිබෙනවා. පොත් ලිවීම ඒ සඳහා එක් පියවරක්. මව් බසින් පොත් ලියන කොට නිවැරදිව ලියන හැටි ඉගැන්වීම ඉතා වැදගත්. ඉංග්‍රීසි භාෂාව වැරදුණාට කමක් නැහැ. මොකද ඒක අපේ භාෂාව නොවන නිසා. භාෂාව ඉගැන්වීම පාසල් ගුරුවරුන්ගේ මෙන්ම මවුපියන්ගේ යුතුකමක්.

සෑම නිවසකම පොත් අඩංගු පුස්තකාලයක් තිබිය යුතුයි. බොහොමයක් නිවාසවල අනවශ්‍ය දේවල් ගොඩ ගහලා තියෙන්නේ. සෑම ගෙදරකම පුස්තකාලයක් හෝ පොත් රාක්කයක් තියෙන්න ඕන. කියවිය යුතු පොත් නිවැරදිව තෝරා ගන්න ඕන. මවුපියන් හා ගුරුවරුන් මේ ස‍ඳහා දරුවන්ට උදව් කරන්න ඕන. දැනුම දෙන පොත් රසාස්වාදය ලබා දෙන පොත් කියලා කොටස් දෙකක් තිබෙනවා. දරුවෝ මේ පොත් වර්ග දෙකම කියවීම ඉතා වැදගත්. දැනුම වගේම රසාස්වාදයත් අපේ ජීවිතවලට අවශ්‍යයයි.

ලෝකයේ අක්ෂර මාලා අතර නිර්මාණාත්මක අක්ෂර මාලා දාහතක් තියෙනවා. ඒ දාහතට සිංහල භාෂාවත් ඇතුළත් වෙනවා. ලෝකේට ආඩම්බර වෙන්න පුළුවන් භාෂාවක් අපිට තියෙනවා. කියන්න පුළුවන්.

මේ පොත් එළි දැක්වීමේ වැඩසටහන ඔස්සේ මධ්‍යම පළාතෙන් ලොකු ආදර්ශයක් දී තිබෙනවා. අපි අපේ රටෙන් එළියේ ලෝකයට පණිවිඩයක් ලබා දිය යුතුයි කියන දේ දරුවෝ ඉගෙන ගන්න ඕන. මේ රට ප්‍රාඥයින් ගෙන් උගතුන් ගෙන් වියතුන් ගෙන් පිරි රටක් කියන පණිවිඩය අපි ලෝකයට දෙන්න ඕන. ඒ පණිවිඩය ලෝකයට ගෙන යෑම ග්‍රන්ථකරණය ඔස්සේ කළ හැකි බව අපි අපේ දරුවන්ට කියා දිය යුතුයි.”

විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා තම දරුවන් යොමු කිරීම සෑම මවකගේ පියෙකුගේම අපේක්ෂාවය. එහෙත් එම අපේක්ෂාව ඉටු කරලීමට හැකියාව ලැබෙන්නේ ඉතා සීමිත පිරිසකට පමණි. තරගකාරී අධ්‍යාපනය තුළ එම ඉලක්කය වෙත ළඟා වීමට නම් දරුවන් තුළ මුලින් ඒ සඳහා වන කැමැත්ත ඇතිවිය යුතුය. එම ආකල්ප පාසල් දරුවන් තුළ උද්දීපනය කිරීමේ වැදගත් කම තේරුම් ගත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා මෙම පොත් එළිදැක්වීම විශ්වවිද්‍යාල පරිශ්‍රයේ සිදු කරන්නට අවස්ථාව සලසා දුන්නේය. ඔහු මෙසේ අදහස් දැක්වූවේය.

“දරුවන් තමයි රටේ අනාගතය. ලෝකය යහපත් විදිහට වෙනස් කරන්න පුළුවන් දරුවෝ මෙතන ඉන්නවා. අපි මේ දරුවන්ට අවස්ථාව ලබා දිය යුතුයි. දරුවන්ට අවස්ථාව නොදී අපි ඒ අය දක්ෂ නොමැති බව කියනවා නම් ඒක වැරදියි. පාසැල් දරුවන්ට තමන්ගේ නිර්මාණ ශක්තිය රටට පෙන්වන්න මේක හොඳ වේදිකාවක්. විශ්වවිද්‍යාලය කියන්නේ අධ්‍යාපනය පමණක් නොවේ රසවින්දනයද මූලික කර ගනිමින් පවත්වාගෙන යන තැනක්. මේ දරුවෝ මම කවදාහරි මෙතන්ට එනවා කියලා හිතට ගන්න ඕන. ලෝකයේ විශිෂ්ඨ ලේඛකයින් රැසක් ජීවිතයේ අන්ත දුක් විඳපු අයයි. ඒ දුක තමයි ඔවුන් නිර්මාණවලට පෙරළුවේ. අපේ රටේ විශිෂ්ට ගත් කතුවරුන්ගේ නම් අතරට අනාගතයේ එක්වන අංකුර ලේඛකයින් තමයි මේ ඉන්නේ.”

කෙසේ වෙතත් මෙවන් අගනා කටයුත්තක් කිරීම සඳහා මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුව ගත් වෙහෙස පැසසිය යුතුය. පොත් එළිදැක්වීමේ මංගල්‍යට වැඩිම පොත් ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණේ මහනුවර මහාමායා බාලිකාවන් විසිනි. ඔවුන් පොත් 540 ක් මෙයට එක්කර තිබිණි. සියලු පොත් සඳහා අන්තර්ජාතික සම්මත පොත් අංකය (ISBN) ලබාගෙන තිබිණි.

අසේල කුරුළුවංශ හා තිලක් පුෂ්පකුමාර 
ඡායාරූප - කුණ්ඩසාලේ සමූහ

Comments