දැයට අහිමි වූ වතුකරයේ නියමුවා ඇමති තොණ්ඩමන් | සිළුමිණ

දැයට අහිමි වූ වතුකරයේ නියමුවා ඇමති තොණ්ඩමන්

වතුකරය වැනි දරිද්‍රතාවෙන් හා අසරණකමෙන් පීඩා විඳින පළාතක පොදු ජනයාගේ ගැලවුම්කාරයා වීමට ලේසි නැත. වචන වලට බොහෝ කාලයක් තිස්සේ රැවටුණු ඒ ජනයා ‘මේ අපේ රජ්ජුරුවෝ‘ යැයි නිකම්ම කියන්නේ නැත. ඇමති තොණ්ඩමන්ගේ සීයා, සෞම්‍යමූර්ති තොණ්ඩමන් ඒ නාමය දිනා ගත්තේ ඔවුන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන්ම ක්‍රියා කිරීමෙනි. දිවංගත ඇමැති තොණ්ඩමන් ද ඒ සීයාගේ අඩිපාරේම ගමන් කළ නායකයෙකි. මෙහිදී වඩාත් වැදගත් වන්නේ උඩරට වතුකරයේ සුබ සිද්ධිය වෙනුවෙන් අන් අය මෙන් දකුණ පාවා නොදීමය.

ඇමති තොණ්ඩමන් තෝරා ගත්තේ වෘත්තීය ක්‍රමවේදයකි. නායකත්වයේ පෞරුෂය ගොඩනැඟෙන්නේ පොදු සාමාන්‍ය කල්හි හැසිරීමෙන් නොව වෙනස් අසීරු අවස්ථාවක විශිෂ්ට හැසිරීමෙනි. ඔහු තෝරා ගන්නේ නිරන්තර දැවෙන උඩරට වතුකරයේ ජනතා ගැටලුය. වතුකම්කරුවන්ගේ ගැටලු ගැන කතා කළ නායකයෝ විරළයහ. තොණ්ඩමන්ගේ පෞරුෂය විසින් වතුකරයට සුවිශේෂ වටිනාකමක් එක් කළේය. නායකයන් වතුකරය දෙස අලුත් හා වෙනස් ඇහැකින් බැලුවේ ඇමැති තොණ්ඩමන් නිසාය.

ඉකුත් දශක එකහමාරක කාලයක් පුරා සෑම මැතිවරණයකම තමා තීරණාත්මක සාධකය වුවත් එය අවස්ථාවාදී සාධකය කර නොගන්නට ඇමැති තොණ්ඩමන් දැරූ උත්සාහය ප්‍රකට වන අවස්ථා කිහිපයක් පසුගිය වකවානුවේ අපි අත්වින්දෙමු.

2015 ජනාධිපතිවරණයේ දී සුළු ජාතික සියලු පාර්ශ්ව එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් ඉදිරිපත් කරන ලද ‘යහපාලන‘ සළුපිළි ඇන්දවූ පොදු අපේක්ෂකයාට සහාය දීමට තීරණය කර තිබුණද දිවංගත ඇමැති තොණ්ඩමන් ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රතිපත්තිය පාවා දුන්නේ නැත. මහින්ද රාජපක්ෂයන් වෙනුවෙන් වතුකරය මෙහෙය වූ ආරුමුගම් තොණ්ඩමන් ‘යහපාලන‘ රජයේ කිසිදු නිලයක් නොලබා ස්වාධීනව විපක්ෂයට වී සිටිමින් සිය ප්‍රතිපත්තිය රකින ලද දේශපාලකයෙක් වීම ඊට ආසන්නතම උදාහරණයයි.

ඔහු උඩරට වතුකරයේ අධ්‍යාපනය නැංවීම සඳහා කළ මෙහෙයම පමණක් වුවත් වතුකරයේ ගෞරවය දිනා ගන්නට ඔහුට ඇතිය. දලු නෙළන, වේළන අසරණ කම්කරුවන්ම පමණක් සිටි වතුකරයෙන් අද උගතුන් බිහිවන්නේ ඒ ව්‍යායාමයේ ඵලයක් ලෙසිනි. ඔවුහු අතර වෛද්‍යවරු, ඉංජිනේරුවරු, විදුහල්පතිවරු, ගුරුවරු ඈ එකී නොකී සියලු තනතුරු හොබවන තරුණ පරම්පරාවක් වෙති. මේ තත්ත්වයට වතුකරය ගෙන ඒමේ ලා ඇමැති තොණ්ඩමන් කළ සටන ඔවුන්ට අමතක නැත. අසමාන අවස්ථාවක් සමාන අවස්ථාවක් බවට පත් කිරීමට ඔහුට හැකි වූයේ එපරිද්දෙනි. එනිසාම තොණ්ඩමන් පවුලට වතුකරය බොහෝ සෙයින් ආදරය මෙන්ම ගෞරවය ද දක්වති.

එදා වේලෙන් ජීවිතය සරිකර ගන්නා බොහෝ ජනයාට දිනක් සේවයට නොයා දෛනික වැටුප ලබා නොගැනීම යනු සාමාන්‍ය ජනයාට නොතේරෙන තරම් කැපකිරීමකි. එහෙත් තමාට අරුණාලෝකය උදා කරදුන් ඇමැති තොණ්ඩමන් වෙනුවෙන් දිනක් කැප කිරීමට ඔවුහු දෙවරක් නොසිතූහ. සෑම නිවෙසකම සුදු කොඩි ළෙල දෙන්නේය. අධික මහන්සිය හා දුක නිසාම වියැළී ගිය හදවත් ඇති ඔවුන්ගේ දෙනෙතින් අද ඇමැති තොණ්ඩමන් වෙනුවෙන් කඳුළු වැටේ. ඒ තොණ්ඩමන් ආගමනය ඔවුන්ට එක් කළ ආලෝකය පිළිබඳ ජීවමාන සාක්ෂිය.

දේශපාලන පක්ෂ සමඟ කටයුතු කිරීමේ දී ඔහු උපාය මාර්ගික අන්තර් ක්‍රියාකාරීත්වය පිළිබඳ උද්යෝගීමත් නිරීක්ෂකයෙක් සහ අධ්‍යයනය කරන්නෙක් වූ බව ශෝක පණිවුඩයක් නිකුත් කරමින් ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් පවසයි. ඔහුගේ ප්‍රමුඛ අභිලාෂය වූයේ තමන් නායකයා ලෙස අවිවාදිතව පිළිගන්නා ප්‍රජාවගේ අයිතිවාසිකම් දිනා ගැනීම බවත් ඔහුගේ ක්‍රියාකාරී දේශපාලනය සහ විචක්ෂණශීලිත්වය අහිමි වීම සමාජයට දැඩිව බලපානු ඇති බවත් ජනාධිපතිතුමන්ගේ නිවේදනයේ සඳහන්ය.

පාර්ලිමේන්තුවට යෑමට තම ජනතාව න්‍යායික සිහිනවලට යොමුකර ජාතිවාදය වපුරා ඡන්දය ලබාගැනීමේ ප්‍රතිපත්තියක් ඔහුට තිබුණේ නැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන් නිකුත් කළ ශෝක පණිවිඩයේ සඳහන්ය. එය ඉතා වැදගත් හා සත්‍ය නිරීක්ෂණයකි. මිය යෑමට පෙර මැයි 26දා වතුකර ජනතාවගේ ඉල්ලීම් රැසක් අග්‍රාමාත්‍යවරයාට ඉදිරිපත් කර ඇති ඇමැති තොණ්ඩමන් දිවි ගමනෙන් සමු ගන්නේ ඒ ඉල්ලීම් වෙනුවෙන් අගමැතිතුමාගෙන් ලද සාධනීය මැදිහත්වීමේ සතුට පපුවට තුරුලු කර ගැනීමෙන් බව නිසැකය.

එමෙන්ම වතුකර ජනතාව ප්‍රචණ්ඩ හෝ ත්‍රස්තවාදී නැඹුරුවකට ලක් නොවන්නට හා ප්‍රජාතන්ත්‍රවාදී මාවතේ ගමන් කරවන්නට වග බලාගෙන කටයුතු කිරීම ආරුමුගම් තොණ්ඩමන්ගේ දේශපාලනයේ සුවිශේෂී ලකුණ බැව් විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනයන්ද ශෝක පණිවුඩයක් නිකුත් කරමින් අවධාරණය කළේය.

කඳුකරය බෙදුම්වාදී ත්‍රස්තවාදයෙන් ගලවා ගනිමින් අනාගත පරම්පරාවට නව මාවතක් විවර කරදුන් ඇමැති තොණ්ඩමන් තරුණ ජවයෙන් ලංකා කම්කරු කොංග්‍රසය ශක්තිමත් කළේය. කඳුකරය දෙමළ අන්තවාදි කඳවුරක් නොවීමේ සම්පූර්ණ ගෞරවය හිමි වන්නේ ද ඇමැති තොණ්ඩමන්ටය. ජාතිවාදී ප්‍රවේශයක් ඔහු සතු නොවීම ඔහුගේ විශිෂ්ටත්වයයි. සිය දේශපාලන ඉලක්ක වෙනුවෙන් තරුණ පිරිස උසි ගැන්වීමේ සුලබ උපක්‍රමය වෙනුවට ඔහු ඔවුන් දැනුමෙන් සවිඥානික කිරීමේ ආයාසකර ක්‍රමවේදය තෝරා ගත්තේය. එය දිගුකාලීන ආයෝජනයක් ම විය.

තමාගේ ඡන්ද දායකයන් වෙනුවෙන් සටන් කිරීමට ඇමැති තොණ්ඩමන් දෙවරක් සිතුවේ නැත. එබැවින් ඔහු වතු කම්කරුවන් වෙනුවෙන් උපවාස ද කළේය. පුද්ගලික අංශයේ සේවකයන්ට රජයෙන් ලබා දෙන වැටුප් වැඩිවීම් තම ජනතාව වෙතද ලබාදෙන ලෙස ඉල්ලමින් ඔහු කළ අරගලය ඒ සඳහා එක් නිදසුනක් පමණී. 2003 වසරේදී රටක් නැති ජාතියක් ලෙස වතුකරයේ ජීවත් වූ 96,000කට ශ්‍රී ලංකා පුරවැසිභාවය ලබා දීමට ද කටයුතු කිරීම තම ජනතාව වෙනුවෙන් තොණ්ඩමන් පරපුර කළ සේවා අතර ඉදිරියෙන්ම තිබේ.

රජුන් තනන්නට ලෙහෙසි පහසු කෙනකුට බැරිය; මෑතකාලීනව වැඩිපුරම සිටින්නේ නායකයන්ට හානිකර ක්‍රියාමාර්ග ගත් අයය. ඒ අර්ථයෙන් ගත් කල ආරුමුගම් තොණ්ඩමන් තිරය පිටුපස සිටි නිහඬ වීරයෙකි. වීරයාගේ මිය යෑම ඛේදවාචකයක් නොවීමට වග බලා ගතයුතුව ඇත. සීයාගේ හා පියාගේ අඩිපාරේ ගිය අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මෙන්ම ඔහු පුත් ජීවන් තොණ්ඩමන් ද වතුකරයට ආලෝකයක් වනු දැක්ම සැමගේ ප්‍රාර්ථනය වනු නොඅනුමානය.

Comments