කොරෝනාවෙන් ගෙට කොටුවුණ ලේඛක දිවිසැරිය | සිළුමිණ

කොරෝනාවෙන් ගෙට කොටුවුණ ලේඛක දිවිසැරිය

කොරෝනා වසංගතය මුළු ලෝකයම වෙළා ගත්තත් එය මැඬ පැවැත්වීමට අපට හැකිවීම ගැන අප සතුටු විය යුතු ම ය. ලෝකයේ අනෙක් රටවලට සාපේක්ෂව අපේ පුංචි රට එකාවන්ව එක්වී එකී උවදුර පිටු දැකීම සතුටකි. සුව වෙද විරුවන්ගේ හා දේශයේ මුර දේවතාවන් වන් රණවිරුවන්ගේ කැපවීමෙන් නැවතත් අප නැගිටිමින් සිටිමු. කොරෝනා වසංගතය නිසා නිවසට වී සිටි කාල වකවානුව තුළ අප ඒ කාලය ගත කළ ආකාරය විවිධ ය.

ආනන්දයෙන් ප්‍රඥාව කරා හුදී ජනයා රැගෙන යන සාහිත්‍යයට පොතපතට පෙම්බදින සොඳුරු ලේඛකයන් එකී කාලය ගත කළ ආකාරය පිළිබඳ අප කතා කරන්නට සිතුවේ පශ්චාත් කොරෝනා යුගයේ දී මනසට අවැසි ඔසු ඇත්තේ ඔවුන් අත බැවිනි.

යහපත් විදිහට ජිවිතේ දිහා බලන්න අපට අවස්ථාව ලැබුණා 

කැත්ලීන් ජයවර්ධන

ගතවුණු කාල වකවානුවේ අපුරු විවේකයක් ලැබුණා කියලා මම හිතනවා. මේ ඇති වුණු තත්ත්වය නිසා යහපත් විදිහට ජිවිතේ දිහා බලන්න අපට අවස්ථාව ලැබුණා. මම ඒ පිළිබඳව විවිධ ලිපි ලිව්වා. ඒවා විවිධ වෙබ් අඩවිවල පළවුණා. වඩා වැදගත් වන්නේ ආර්ථිකයද හුස්මද යනුවෙන් මම ලිපියක් ලිව්වා. ආර්ථිකය ගොඩනැගීමට පෙර හුස්ම රැකගත යුතුයි කියල තමයි මම එයින් යෝජනා කළේ. මාස තුනකට වතාවක් ලෝකයම ලොක්ඩවුන් කිරීම වැදගත් කියලා මම යෝජනා කළා. ඒ වගේම කොරෝනාවට අමතරව අනෙක් රෝග පිළිබඳවත් එයින් ඇතිවෙන බලපෑම පිළිබඳවත් මම ලිපි ලිව්වා. ඩෙංගු මදුරුවාගේ උදාන ගීතය යනුවෙන් එම ලිපිය පළ කළා. ඒ වගේම වෙසක් සමයේ පැවති දීර්ඝ නිහැඩියාව පිළිබඳ ‘නිහඩියාවේ හඬ‘ යනුවෙන් තවත් ලිපියක් මම ලිව්වා. යුවා නොවා හරාරි කියන ලේඛකයාගේ පොතක් මංජුල කල්දේරා නම් වෛද්‍යවරයා සේපියන්ස් නමින් පරිවර්තනය කර තිබුණා. මම ඒ පොතත් කියවීමට යොමු වුණා. ඇත්තටම ඒ කාලයේ කිසිම උදාසීන බවක් දැනුණේ නැහැ. සාහිත්‍ය කටයුතුවල නියැළුණා.

********************

මට කියැවීමට අතපසු වූ පැරණි, අලුත් පොත් මම විශාල වශයෙන් කියෙව්වා

කපිල කුමාර කාලිංග

ඇත්ත වශයෙන්ම ඇඳිරි නීතිය පැන වූ මුල් කාලයේ මේ අත්දැකීම ගෝලීය වශයෙන් මුහුණ දුන් වෙනස් අත්දැකීමක් නිසා ඒ පිළිබඳව සිතුවා. නමුත් දිගින් දිගටම ඒ තත්ත්වය තියෙද්දි ප්‍රතිඵලය ගැන නොසිතා කරමින් සිටිය වැඩ නැවත කරන්න මම පෙලඹුණා. ඒ කාලේ කියවීමට මම ගොඩක් යොමු වුණා. මට කියවීමට අතපසු වූ පැරණි, අලුත් පොත් මම විශාල වශයෙන් කියෙව්වා.ඒ වගේම book price සම්මාන ලබාගත් නවකතා පහක් කියවීමට මම යොමු වුණා.The Testaments නම් කෘතියත් මම කියෙව්වා. එය කැනඩාවේ ප්‍රවීණ ලේඛිකාවක් විසින් රචිත කෘතියක්. ඒ වගේම ලුසියේ එල්මාන් කියන ලේඛිකාවගේ පිටු දාහක තනි වාක්‍යයෙන් තියෙන නවකතා පොතක් මම මේ කාලයේදී කියෙව්වා. ඊට අමතර ව නිකොලොයි ගොගොල්, ඇලෙක්සැන්ඩර් පුෂ්කින් වගේ ලේඛකයන්ගේ කෙටිකතා කියවීමට මම යොමු වුණා. ඇත්තටම ඒ කාලය තුළ මේ මොහොත කළමනාකරණය කරගැනීම ජීවිතයට ඉතා වැදගත් බව මම තේරුම් ගත්තා. අවිනිශ්චිත අනාගතයක් පිළිබඳ විශාල බලාපොරොත්තු ගොඩනඟා නොගෙන මේ මොහොත කළමණාකරණය කරගෙන ඒ තුළ ජීවත්වීම ජිවිතයේ සෑම කාලයකටම වැදගත් කියලා මට හිතුණා.

************************

කොරෝනා වසංගතයේ අත්දැකීමෙන් මම නවකතාවක් ලියන්න පටන් ගත්තා.

ටෙනිසන් පෙරේරා

මේ කාලවකවානුව තුළ මම වැඩියෙන් අවධානය යොමු කළේ පැරණි සම්භාව්‍ය පොතපත පිළිබඳව. විශේෂයෙන්ම තෝල්ස්තෝයිගේ ‘අපරාධය හා දඬුවම‘ යන පොත මම නැවත කියෙව්වා. ඒ වගේම සිංහල සම්භාව්‍ය සාහිත්‍ය අංශයටත් මගේ අවධානය යොමු වුණා. නැවත වතාවක් සද්ධර්මරත්නාවලිය, බුත්සරණ වගේ පොත් මම කියෙව්වා. ඒ වගේම කොරෝනා වසංගතයේ අත්දැකීම පාදක කරගෙන අද්භූත රීතියෙන් මම නවකතාවක් ලියන්න පටන් ගත්තා. මේ වෙද්දි ඒ නවකතාවේ පරිච්ඡේද විශාල ප්‍රමාණයක් රචනා කර අවසන්. හුදෙකලාවත් කලාවක් කරගෙන ජීවිතය විඳින්න අවස්ථාවක් සාහිත්‍ය තුළ ජීවත් වීමෙන් ලැබෙනවා. නව ප්‍රබෝධයකින් ජීවිතය දෙස බැලීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම මම පංචතන්ත්‍රය සිංහලයට පරිවර්තනය කරන්නත් උත්සාහයක් ගත්තා. එය ඉදිරියේදී කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

******************************

කෙටි කතා සංග්‍රහයක් ‍රචනා කරමින් ඉන්නවා

කරුණා පෙරේරා

මේ දිනවල මම බුදුසමයේ ථෙරී ගාථා පදනම් කරගනිමින් කෙටි කතා කෘතියක් රචනා කරමින් ඉන්නවා. සමාජය වෙනස් වුවත් අදටත් තෙරණියන් සමාජයේ සිටිනවා. ඇත්තටම මේ ඇති වුණ තත්ත්වය අපේ ජීවිත දිහා නැවත හැරී බලන්න අපට හොඳ අවස්තාවක් ලබා දුන්නා. විශේෂයෙන්ම කාන්තාව හා පවුල අතර ඇති බැඳීම තව තවත් ශක්තිමත් වුණා කිව්වොත් මම නිවැරදියි. ඒ වගේම අපේ සංස්කෘතියේ ඇති වටිනාකම් ගැන අපට නැවත හිතන්න අවස්ථාවක් ලැබුණා. ඒ වගේම මම ධම්මපදය වැනි බෞද්ධ පොත පත කියවන්නත් යොමු වුණා. ඒ තුළින් ජිවිතයට යමක් මෙන්ම නිර්මාණයන්ට හොඳ ප්‍රවේශයක් ලබාගන්නත් මට හැකිවුණා. ඒ වගේම නවකතාවක් ලියන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

******************

‘ආදරණීය වියරුව‘ නමින් අලුතෙන් පරිවර්තනයක් කළා

අනුලා ද සිල්වා

ඇත්තටම මේ කාලය තුළ මට කමලා මකරන්දේ නම් ඉන්දියානු කතුවරියගේ පැරණි පොතක් හමුවුණා. මම එය පරිවර්තනය කළා. මේ වෙද්දි වෙද්දි ඒ කෘතිය පරිවර්තනය කරලා ඉවරයි. ඒ වගේම මම පොත පත කියවන්න යොමු වුණා. පරිවර්තනය කිරීමට සුදුසු පොත් පිළිබඳව අවධානය යොමු කළා. මේ කාලය තුළ මගේ සාහිත්‍ය කටයුතු ඉතා හොඳින්ම සිදු කරන්න මට අවකාශය ලැබුණා. දැනට ප්‍රකාශනයට බාරදීලා තියෙනවා ‘අපි මහලු වයසේ‘ යන නවකතාවත්, ‘හිස් තැනක සිට‘ කියන නවකතාවත් දැනට ප්‍රකාශනයට බාරදීලා තියෙනවා. ඒ වගේම ‘ආදරණීය වියරුව‘ නමින් අලුතෙන් පරිවර්තනය කළ කෘතිය පළ කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා.

***************

මම යොවුන් නවකතාවක් ලියන්න පටන් ගත්තා

දෙනගම සිරිවර්ධන

ඇත්තටම මේ කාලයේ මම වැඩියෙන්ම අවධානය යොමු කළේ බුදුදහම සම්බන්ධ කරුණු හා පොතපත සම්බන්ධයෙන්. පංචස්කන්ධය සම්බන්ධ සුත්‍ර පිටකයේ සඳහන් සුත්‍ර දේශනා වගේම රේරුකානේ චන්දවිමල හිමියන්ගේ කෘතිත්, දන්කන්දේ ධම්මරතන හිමියන්ගේ කෘතිත් මම කියෙව්වා. ඒ වගේම දුරකථන සංවාද වලිනුත් ඒ පිළිබඳව කරුණු එක් රැස් කළා. නිර්මාණයක් සිදුකිරීමේ පරමාර්ථයෙන් තමයි මම එය සිදු කළේ. ඒ වගේම යොවුන් නවකතාවක් ලියන්නත් මම පටන් ගත්තා. ගතවුණු කාලය කම්පා සහගත කාලයක් වුණත් මේ තත්ත්වය කළමනාකරණය කිරීම පිළිබඳව රටේ පාලන අධිකාරිය සහ ආරක්ෂක, වෛද්‍ය අංශ සියලු දෙනා දරපු අගනා වෑයම විශේෂයෙන්ම අගය කළ යුතුයි.

Comments