‘එජාපෙටයි ජවිපෙටයි ඔවුන් කරපු දේවල්ම අද පාරා වළල්ලක් වෙලා’ | සිළුමිණ

‘එජාපෙටයි ජවිපෙටයි ඔවුන් කරපු දේවල්ම අද පාරා වළල්ලක් වෙලා’

ඔබ 2015 හවුල් ආණ්ඩුවට සම්බන්ධ නොවූවත් අද ඔබට මැතිවරණයට මුහුණ දීමට සිදුව ඇත්තේ එදා ඔබ එකඟ නොවූ අයත් එක්කයි. ඒ ගැන මොනවද හිතෙන්නෙ?

මම සතුටු වෙනවා එදා අපි පිළිගත්තු දෙය අද ඔවුන්ට පිළිගන්න වෙලා තියෙන එක ගැන. අද ඒ අයට අවබෝධ වී තිබෙනවා ඔවුන් එදා ආණ්ඩුව හදන්න එකතු නොවුණා නම් හොඳයි කියල. ඒ නිසා අද ඒ අය රාජපක්ෂවරුන් ගේ නායකත්වය පිළිගෙන ඔවුන් සමඟ එක්ව කටයුතු කරන්න තීරණය කරල තියෙනවා.

දේශපාලනයේදී හැමදාම සතුරන් හෝ මිතුරන් නෑනේ. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ අය අවංකවම අපිත් එක්ක ඉදිරි දේශපාලන කටයුතු වලට සම්බන්ධ වෙයි කියල.

එදා ඔබලා ඔවුන්ට එල්ල කළ චෝදනා අදට වලංගු නැද්ද?

ඒ චෝදනා වල වලංගුභාවය අදටත් එහෙමම තියෙනවා. නමුත් අපි ඒ ගැන වාද විවාද කරන්නෙ නෑ. මොකද එදා ඒ අය කළ වැරදි හා අපේ නායකයාට හා අපිට කළ අපහාස ගැන ජනතාව දැනුවත්; ඔවුන් අවධානයෙන් ඉන්නෙ. මොවුන් දැන් ක්‍රියා කරන ආකාරය බලා ගෙන ඉන්න; ජනතාව ඉදිරියේදි නිවැරැදි විනිශ්චයක් ලබා දෙයි කියල අපි විශ්වාස කරනවා.

එදා 2015 පැවැති මහ මැතිවරණයේදී අගමැති ලෙස මහින්ද රාජපක්ෂ පත් කරන්න තීරණය කර තිබියදී එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කළ ප්‍රකාශයක් නිසා ඒ අවස්ථාව අහිමි වුණා කිව්ව ඔබලා මෙවර ඒ අය ලවාම මහින්ද රාජපක්ෂ අගමැති කරන්නද හදන්නෙ?

එදා ඒ අයට බලය තියෙන වෙලාවෙ, ඒ අය කරපු කියපු දේවල් අනුව දැන් ඔවුන් කියන දෙයක් ජනතාව පිළිගනියි කියල හිතන්න බෑ.

ඒ නිසා මෙවරත් අපි අපේ අගමැති ලෙස මහින්ද රාජපක්ෂ පත් කර ගන්න අපේ කණ්ඩායම පෙරමුණ අර ගෙන ඉන්නවා. එහෙම නැති වුණත් මේ රටේ ජනතාව ඊ ළඟට මේ රටේ අගමැති වෙන්න ඕනෙ මහින්ද රාජපක්ෂ කියල මේ වන කොටත් තීරණය කරලයි තියෙන්නෙ. එදා එතුමට කෙනෙහිලිකම් කරපු, එතුමගෙ කකුලෙන් ඇදපු අයට අද එතුමාම දේශපාලන සමාව දීල තියෙනවා.

එදා ඔබලා විපක්ෂයේ සිටියදී කිව්වෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 19 වන සංශෝධනය නිසා ජනාධිපති විධායක බලය කප්පාදු කළා කියලා. නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති, බාධාවකින් තොරව ධුරයේ කටයුතු කරනවා නේද?

19වන සංශෝධනයෙන් ජනාධිපති ධුරය පවත්වා ගෙන යන්න බාධාවක් නෑ. දැන් පාර්ලිමේන්තුවත් විසුරුවා හැරලා කොරෝනා නිසා රටේ සියලු ආයතන වසා දමා තිබෙන්නෙ.

ඒ නිසා මේ වෙලාවෙ ජනාධිපතිවරයාට මොනවද කරන්න බලය තියෙන්නෙ; මොනවටද බලය නැත්තේ කියල පෙනෙන්නෙ නෑ. ඒ වගේම පාර්ලිමේන්තුව විසුරුවා තිබෙන නිසා ව්‍යවස්ථාවෙන් එතුමට අතිරේක බලයක් පැවැරී තිබෙනවා. මැතිවරණය ගැන එදා ජනාධිපතිට ස්වාධීනව තීන්දු ගන්න තිබුණා. නමුත් දැන් එහෙම බෑ. මැතිවරණ කොමිසම ඒ ගැන ගන්න තීන්දු සමඟ ජනාධිපතිටත් එකඟ වෙන්න වෙනවා.

අපිට රටේ මෙච්චර දෙයක් වෙලත් වැඩ බලන පොලිස්පතිවරයෙක් ඉන්නෙ. ජනාධිපතිට පොලිස්පතිවරයා පත් කර ගන්න බෑ. ස්වාධීන කොමිෂන් සභාවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වෙනවාද කියලත් මට හිතෙනවා.

කොරෝනා වසංගතයෙන් කඩා වැටී ඇති ආර්ථිකය ගොඩ ගන්න රජයට පැහැදිලි වැඩ පිළිවෙලක් නෑ කියල රනිල් වික්‍රමසිංහ හිටපු අගමැති චෝදනා කරනවා?

අපි කැමති වුණත් අකමැති වුණත් කොරෝනා නිසා ලෝකයේම ආර්ථිකය අපි නොහිතන තැනකට තල්ලු වෙලා. ඒක අපේ රටටත් පොදුයි. දැනට අපිට තියෙන්නෙ අපේ දේ ගැන විශ්වාසය තියල එතැනින් රට ගොඩ නගන්න පටන් ගැනිමයි. අපිට ඒක කරන්න පුළුවන් දක්ෂ පිරිසක් ඉන්නවා කියල දැනටමත් තහවුරු වෙලා තිබෙනවා. කොරෝනා වසංගතය නිසා රටේ ආර්ථිකය සෘණ අගයක් ගන්න එක නතර කරන්න බෑ. රනිල් වික්‍රමසිංහ කියන විදියට ආනයනයට ඉඩ දීලා අපේ රට ගොඩ නඟන්න බෑ. ආනයනයට ඉඩ දෙන්න ඊට වැඩියෙන් අපනයනය කරන්න ඕන. අපිට කාටවත් අත නොපා රට දියුණු කළ හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හොඳ අවබෝධයක් තිබෙනවා.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරට ගෙන්වා ගැනීමෙන් විදෙස් විනිමය විශාල ප්‍රමාණයක් අහිමි වෙනවා.

ඒ වාගේම රටේ වියදමත් ඉහළ යනවා. මේ තත්ත්වය කළමනාකරණය කර ගන්නෙ කොහොමද?

රටට මොනවා අහිමි වුණත් මේ මව්බිමේ උරුමය ඇති අයට ඔවුන් ගේ රටට ඇවිත් ඉන්න පහසුකම් ලබා දීමට ජනාධිපති අගමැති ඇතුළු අපේ ආණ්ඩුව තීරණය කරල තිබෙනවා. රටකට එකම ආදායම් මාර්ග දිහා බලා ගෙන ඉන්න බෑ. කලින් කලට ඒවා වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා විදෙස් විනිමය උපයන්න පුළුවන් විකල්ප ක්‍රියාමාර්ග කෙරෙහි ආණ්ඩුව අවධානය යොමු කරල තිබෙනවා.

රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා බන්ධනාගාර ගත කිරීම දේශපාලන කුමන්ත්‍රණයක්ද?

එජාපයේ හා ඔවුන්ට හිතවත් අය දැන් කියන්නේ එහෙමයි. ඒ අය බලයේ ඉන්න විට කියපු කරපු දේ මෙ රටේ පොදු නීතියට පටහැනි නම් දඬුවම් විඳින්න ඕන. ඒක රාජිතට වගේම අපි කාටත් පොදුයි. රාජිත වරදක් කරල නැත්නම් ඒ බව අධිකරණයට ඔප්පු කරන්න කටයුතු කරනවා මිස එක එක්කෙනාට ඇඟිලි දිගු කළාට වරද නිවැරැදි වෙන්නෙ නෑනේ.

මේ රජයේ කවුරුවත් උදේට කෑම මේසේදි කතා කරල අද කවුද හිරේට යවන්නෙ කියල තීන්දු ගන්නෙ නෑ.

වරදක් කරල නම් අධිකරණය දඬුවම් කරනවා මිසක් නිවැරැදිකරුවන් නිරපරාදේ හිර ගත කරලා දඬුවම් දෙන්නෙ නෑ. ඒ අයම තමා කීවෙ අධිකරණය ස්වාධීනයි කියලා. අද ඉන්නෙත් එදා හිටපු විනිසුරුවරුන්; එදා තිබුණ අධිකරණම තමයි. ඒනිසා රාජිතලාට සැකයක් ඇති කර ගන්න දෙයක් නෑ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බුද්ධ ශාසනය රැක ගැනීම ආණ්ඩුවෙ වගකීමක්. විපක්ෂයේ ප්‍රබලයෙක්ම බුද්ධ ශාසනය විනාශ වෙන ආකාරයේ ප්‍රකාශ කරනවා. ආණ්ඩුව මේ ගැන නිහඬයි ඇයි ඒ?

මේ රටේ ප්‍රධාන පෙළේ පුරවැසියෙක් විදියට මංගල සමරවීර කරන සමහර ප්‍රකාශ ගැන ජනතා තීන්දුවක් ලැබෙන්න නියමිතව තිබියදී අපි ආණ්ඩුවක් හැටියට ඒ ගැන කලබල වෙන්න ඕනෙ නෑ කියලයි මම හිතන්නෙ. ආවට ගියාට කටට ආව පලියට ඕනෑම දෙයක් කියන අය මොනවා කීවත් මේ රටේ බුද්ධ ශාසනයට හෝ මහ සංඝරත්නයට හානියක් කරන්න කාටවත් බෑ.

බුදු සසුනට එල්ල වන ඕනෑම අභියෝගයක් ජය ගන්න අපේ ආණ්ඩුවට පුළුවන්.

ඡන්දයක් අත උඩ තියා ගෙන මුහුදු මහ විහාරය සම්බන්ධයෙන් රජය සෘජුව මැදිහත් වෙන්නෙ බලය වෙනුවෙන් ශාසනය පාවා දෙන්න අපි සුදානම් නැති නිසයි.

මැතිවරණය කල් දැමීම වගේම මැතිවරණය පැවැත්වීම ගැනත් දේශපාලන ක්ෂේත්‍රය තුළ විවිධ කතා පැතිර යනවා. ආණ්ඩුව මේ ගැන මොනවද හිතන්නෙ?

අපේ ආණ්ඩුවට මේ වෙලාවෙ මැතිවරණ ගැන හිතන්න වෙලාවක් නෑ. අපේ පූර්ණ අවධානය තිබෙන්නෙ කොරෝනා වසංගතයෙන් රටේ ජනතාව මුදා ගෙන රට යළි යථා තත්වයට ගෙන එන්නෙ කොහොමද කියන එක ගැනයි. ජවිපෙ අද මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන නිසා එක කාරණයක් මතක් කරන්න ඕන.

එදා 1988/89 මේ රටේ නිදහස් මැතිවරණයක් තියන්න ඔය අද කතා කරන ජවිපෙ අය ඉඩ දුන්නාද? අද ඒ අය ජනතාව ගේ සෞඛ්‍ය හා ජීවිතය ගැන කතා කරනවා. අද එජාපයටයි ජවිපෙටයි ඔවුන් කරපු දේවල්ම ඔවුන්ට පාරා වළල්ලක් වෙලා.

Comments