වංසගතය මැද්දේ පියා වෙනුවෙන් කිලෝමීටර් දහස් ගණනක් පාපැදියෙන් ගිය | සිළුමිණ

වංසගතය මැද්දේ පියා වෙනුවෙන් කිලෝමීටර් දහස් ගණනක් පාපැදියෙන් ගිය

අබාධිත වූ පියා කැටුව ඒමට බිහාර් ප්‍රාන්තයේ සිට හර්යානා දක්වා පාපැදියෙන්

පුතුන් පමණක් පතන ඉන්දියාවේ, පුතුන් පැරදවූ දියණිය

කොවිඩ් වසංගතය ලෝකයට පෙර නොවූ විරූ අත්දැකීම් රාශියක් ෙගන අාෙව්ය. සියවසකින් මෙපිට මිනිසුන් වසංගතයකට මුහුණ නොදුන් නිසා එම අත්දැකීම් සැබවින්ම ජීවිතයට පාඩම් රැසක්ම ඉගැන්වීමටද සමත් විය. මේ අතරින් ඇතැම් අත්දැකීම් කඳුළු පමණක් ඉතිරි කළ අතර ඇතැම් අත්දැකීම් සිත් රැසක ශක්තිය, ‍‍ධෛර්යය නැංවීමට සමත් විය. ඒ වංසගතය හේතුවෙන්ම ශක්තිමත් මිනිසුන් ගේ අත්දැකීම් ද සමාජගත වූ බැවිනි.

ඉන්දියාවේ දාහතර වියැති ජෝති කුමාරි ද පසුගියදා එවන් ශක්තිමත් මිනිසුන් අතරට එක්වූවාය. ඒ තම ශරීරය නොව මනස ඉතා ශක්තිමත් බව මුළු මහත් ලෝකයක් ඉදිරියේ සනාථ කරමිනි. මේ වන විට මුළු ලෝකයක්ම ඇය ගැන කතා කරමින් සිටින අතර අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය, ධවල මන්දිරයේ ප්‍රධාන උපදේශිකාවකද වන ඉවන්කා ට්‍රම්ප්ද ඇය පැසසුමට ලක් කරමින් පණිවිඩ නිකුත් කර තිබේ. එහෙත් මේ කිසිවකින් ඇයට පළක් නැත. ඇය තම අරමුණ සාක්ෂාත් කරගත් නිරාමිස සතුට විඳිමින් සිටින්නීය. ඒ සතුට අන් කිසිවක් නොව තමන්ගේ රෝගී පියා පෙරළා තම නිවෙස වෙත රැගෙන ඒමයි. ඒ දින හතක් පුරා පාපැදි ගමනක අවසානයද සනිටුහන් කරමිනි.

ජෝති කුමාරි උපත ලබන්නේ ඉන්දියාවේ අතිශයින්ම දුප්පත් ජනතාව වෙසෙන බිහාර් ප්‍රාන්තයේය. එහි දුප්පත්කම යනු සුළඟ තරම්ම සුලබ දෙයකි. රැකියා විරල වන්නේ පිරිසිදු ජලය මෙනි. ඒ හේතුවෙන්ම ඇයගේ පියාට තම දරු පවුල රකිනු වස් රැකියාවක් සොයමින් කිලෝමීටර් ගණන් දුර ඇවිද යන්නට සිදු වන්නේය. ඔහුට රැකියාවක් හමු වන්නේ ඔහුගේ නිවසේ සිට කිලෝමීටර් සිය ගණනක් දුරකින් පිහිටි හර්යානා ප්‍රාන්තයෙනි. එතරම් දුර ගොස් ඔහු කාර්යාලයක රැකියාවක් ලබා ගත්තේ යැයි නොසිතන්න. ඔහුට ජීවිකාව සරි කිරීමට සිදුවූයේ රික්ෂෝ පදවන්නකු වශයෙනි. ඔහුගේ පවුලේ වැඩිමහල් දියණිය ජෝති කුමාරි කොවිඩ් පැමිණෙන තුරු සාමාන්‍ය තරුණියක පමණක්ම වූවාය. ඒ දුගී බව හේතුවෙන් පාසල් අධ්‍යාපනය අතරමග නවතා දමා පවුල රැකීමට යම් යම් දේ කරමින් දවස ගෙවන, අසරණ මුහුණකින් සහ අඳුරු පැහැ සමකින් යුක්ත තරුණියක් වශයෙනි.

අවාසනාව තවත් දිගු යැයි ඔප්පු කිරීමට මෙන් ජෝති ගේ පියා හදිසි අනතුරකට ගොදුරු වූයේ මේ අතරය. ඒ පසුගිය පෙබරවාරිය වූ අතර ඔහු රෝගී තත්ත්වය හේතුවෙන් දින කිහිපයක් තම කුඩා, අපිරිසිඳු නවාතැනේ රැඳී සිටියේ නවාතැන් හිමිකරුගේ අනුකම්පාවද යදිමිනි.

මේ අතර කොවිඩ් වසංගතය ලොවම බිලි ගනිමින් ක්‍රමක්‍රමයෙන් ඉන්දියාවටද පැමිණියේය. මාර්තු වන විට රටේ සතරදිග්බාගයෙන් කොවිඩ් රෝගීන් වාර්තා වන්නට වූ අතර රට වසා දැමීම හැර විකල්පයක් අගමැතිවරයාට නොවීය. අපායට හෙණ ගහන්නේ ඉන් පසුවය. ඉතා සුළු වැටුපකට තම ජීවිතය උගස් කරමින් සිටි ජෝතිගේ පියා වැනි අති විශාල පිරිසක් යනඑන මං නොමැතිව අසරණ වූහ. ඇතැම් දෙනා කිලෝමීටර් ගණන් ගෙවමින් පයින්ම තම නිවෙස් කරා ඒමට හිත හදා ගත්හ. එවැනි බොහෝ දෙනා අතරමගදී වසංගතයට හෝ ‍අනතුරුවලට ලක්වූහ. ජීවිතවලින්ද වන්දි ගෙවූහ. ඇතැම් දෙනා රේල් පාරේ නිදාසිටියදී හදිසියේ ධාවනය වූ දුම්රියට හසුව වගකිවයුත්තන් නොමැති මරණවලට ලක්වූහ.

මේ අතර ජෝතිගේ පියාගේ ජීවිතය අර්බූදයෙන් අර්බූදයට ලක් වෙමින් තිබිණ. ආබාධිත වූ ඔහුට පා ගමනින් හෝ නිවෙස කරා යා නොහැකිය. මේ අතර නවාතැනේ හිමිකරු තවදුරටත් ආදායමක් නොගෙනෙන මේ ආබාධිතයා වෙනුවෙන් තම ඉඩකඩ වෙන්කර තබා ගැනීමට අකමැත්ත දැක්වූයේය. කුමක් කරන්නට දැයි සිතිවිල්ලක හෝ සැනසිල්ලක් නොවීය. පැමිණ ඔහු රැගෙන යාමට අවම තරමේ පුතකු හෝ වූයේ නම්....

එහෙත් ඔහු නොදැන සිටියාට ඔහු‍ට මේ මුළු මහත් ලෝකයෙන්ම ශක්තිමත්ම සහ ආදරණීයම හදවත සහිත දියණිය හිමිව තිබිණි. ඔහු පත්ව සිටින අසරණ තත්ත්වය දැනගත් බිහාර්හි ජෝති කුමාරි තම පියා වෙනුවෙන් තම ඉරණම් ගමන යෑමට තීරණය කළාය. තමා සහ පියා අතර කිලෝමීටර් හත්සියයක පමණ දුරකි. ඒ මග තරණය කළ හැකි කිසිදු මාධ්‍යයක්ද නොවීය. ඇය තවදුරටත් කල්පනා කළාය. තම පියා ආබාධිතයකු වූයේද ඔවුන් රැකීමට සිය ජීවිතයම කැප කිරීමෙනි. තමා ඔහුගේ පුතණුවන් ද නොවන්නේය. දියණියම පමණි. එහෙත් පිරිමියකුට වඩා ශක්තිය, ඇවැසි අවස්ථාවේදී ගැහැනුන් සතු නොවන්නේද?

ඇය තම මෙතෙක් කල් බිෙඳන් බිඳ කැටි කොට රැස් කර ගත් මුදල් අතට ගත්තාය. එයත් රැගෙන ගොස් අසල්වැසියකු භාවිත කරන පරණ බයිසිකලය මිලදී ගත්තාය. දැන් ඇය සතුව තම දෙපාවලට වඩා වේගවත් ප්‍රවාහන මාධ්‍යයක් සහ තම පියා හිදුවාගෙන ඒමට අසුනක්ද පවතින්නේය.

තවත් ප්‍රමාද වන්නේ කුමකටද? ඇය ගමන් ඇරඹුවාය. ඒ පසුගිය මැයි මස 10වැනිදාය. ඒ වන විට අද ඇය වෙත එල්ල වී පවතින රූපවාහිනී කැමරා නොවීය. ඇය තනිවම පාළු මංමාවත් දිගේ තම පියා සොයමින් ගමන් කළාය. ඇයගේ තනියට මහමග හෝ කිසිවකු නොවීය. ඉන්දියාව පුරා පැතිර යමින් තිබූ වයිරසය සියලු දෙනා තම නිවෙස්වල කොටු කරමින් තිබිණ. එහෙත් ජෝති කුමාරි සතුව ආත්ම ශක්තිය නොඅඩුව විය. ඒ තරමටම ඇය සතුව තම පියා කෙරෙහි වන ආදරයද විය.

කිලෝමීටර් හත්සියයක් පාපැදිය පැද යෑම පහසු දෙයක් නොවන්නේය. එහෙත් ඇය සම්පූර්ණ දින දෙකක් අවසානයේ තම පියා වෙත ළගා වූවාය. ආබාධිත ඔහු තම පාපැදියයේ පසුපස හිදුවාගත් ඇය යළි තම නිවස කරා ගමන් ඇරඹුවාය. ඇය සතුව විස්කෝතු කිහිපයක් සහ වතුර විය. එහෙත් දැන් ඇය හුදකලා නැත. තමාට ජීවිතය දුන්, ජීවිතයට ශක්තිය දුන් තම පියා ඇය අසලය. ඉතින් ඇය ගමන ඇරඹුවාය.

තවත් දින හතරකට පසු ඇය පෙරළා තම නිවෙස කරා ළගා වූවාය. ඒ වන විට ඇය ගමන් කර තිබූ මුළු දුර කිලෝමීටර් එක්දහස් දෙසීයකටත් වඩා වැඩි විය. අධිකතර වෙහෙස පරදවමින් නිරාමිස සතුටක් ඇයගේ සිත පුරා පැතිර තිබිණි. තම පියා දැන් සුරක්ෂිතව නිවසේ සිටින්නේය. ඉතින් මුළු ලොවම ලැබුණා හා සමානය. ජෝතිගේ පියා තරම් සතුටුවූ මිනිසකු එදින තවත් මේ විශ්වය තුළ නොවන්නට ඇත. ඇතැම් විට පුතෙකු සිටියා නම් ඔහු මෙලෙස තම පියා කැටුව නොඑන්නට ඉඩ ඇත. උපන් විගස ගැහැණු දරුවන් මරා දමනා ඉන්දියාවේ පියවරු, දියණියන්ගේ සෙනෙහස ගැන දන්නේ මොනවාද? දැන් ජෝතිගේ පියා වන මෝහන් පාස්වාන්ට එවැනි පියවරුන්ට දියණියන් ගැන කියා දෙන්නට පුළුවන් වනු ඇත.

ජෝතිගේ මේ ධෛර්යය ගැන ප්‍රථමයෙන්ම සඳහන් වන්නේ සමාජ මාධ්‍යවලය. ඇය තම පියා සමග පාපැදිය පැද යන ඡායාරූප සමාජ මාධ්‍යවල පළ වන්නට විය. ඒ සමග ඇය පිළිබඳ කතාබහ ‍වැඩිවන්නට වූ අතර ඉන්දියාවෙන් එපිටටද ජෝති කුමාරිගේ කතාව පැතිර යන්නට විය.

මේ වන විට ජෝති කුමාරි වීරවරියක්ව අවසානය. එහෙත් බිහාරයේ මේ දුගී තරුණියට වීරත්වයෙන් කම් නැත. කොවිඩ් හේතුවෙන් බිඳ වැටුණු තම ජීවිත ගොඩගන්නට ඇය හෙට දිනයේ යළි මුල සිට වෙහෙස වනු ඇත.

අමෙරිකා ජනාධිපති දියණියගේ ට්විටර් පණිවිඩය හේතුවෙන් ජෝතිගේ කැපකිරීම සම්බන්ධව ඉන්දීය බලධාරීන්ගේ දෙනෙත් විවරවන්නට විය. මේ වන විට ඉන්දීය පාපැදි සංගමයේ සාමාජිකත්වය ජෝති කුමාරිට ලබා දුන් බව එහි බලධාරීන් ප්‍රකාශ කර තිබේ. එපමණකි. හෙට දිනයේදී තම රෝගී පියා ඇතුළු පවුලේ නඩත්තුව වෙනුවෙන් වෙහෙසෙන ජෝති කුමාරි පාපැදි පුහුණුවට කාලය වෙන් කරණු ඇතැයි සිතීම විහිළුවකි. එහෙත් ඉන්දියාව එසේය. ඇති නැති පරතරය අහස හා පොළොව ‍සේය. දින හතක් පාපැදියක නැගී තම පියා කැඳවා ඒම ඉන්දියාවට නම් අරුමයක් නොවන්නේය. එබැවින් අද දින මුළු ලෝකයේම ප්‍රශස්ති ගායනා අබියස අහසට නැගි ජෝති කුමාරි හෙට දින යළි පොළොවට බසිනු ඇත. එතැන් සිට ඇය යළි තම ජීවිතය නමැති පාපැදිය හුදකලා පාළු මාවතේ පැද යනු ඇත. එහෙත් ඇය තමා සතු බව ලොවට ඔප්පු කර සිටි ශක්තිමත්, නොසැලෙන චිත්ත ශක්තිය ඒ ගමනේදී නොඅඩුව ඇයට උපකාර කරනු ඇත.

Comments