සීෂෙල්ස් රෝගීන් ලංකාවට ඒමේ ඇත්ත කතාව මෙන්න! | සිළුමිණ

සීෂෙල්ස් රෝගීන් ලංකාවට ඒමේ ඇත්ත කතාව මෙන්න!

කොවිඩ් 19 ගෝලීය වසංගතය ලොව මහා බලවතා තමා යැයි උදම් ඇනූ ඇමෙරිකාව ද දණගැස්වීමට සමත් වූයේ වයිරසය ආසාදිත වූ ලක්ෂයට ආසන්න ජීවිත සංඛ්‍යාවක් මරු තුරුලට යවමිනි. කොවිඩ් 19 ලෝකයට බොහෝ පාඩම් කියාදෙමින් සිටී. ලොව බලවත්ම රටවල් පවා තවදුරටත් දිනෙන් දින වයිසරය විසින් බිලිගන්නා මරණ ගණන් කරමින් සිටියදී ශ්‍රී ලංකාව වැනි කුඩා රටක් වයිරසයේ ව්‍යාප්තිය පාලනය කරන්නට ගත් යහ පිළිවෙත් ගැන හෙට ලෝකය අදට වැඩියෙන් කතාකරනු ඇත.

සීෂෙල්ස් රාජ්‍යයේ පුරවැසියන් 35 දෙනෙකු ඉකුත් සතියේ මෙරටට පැමිණීම නිසා කොවිඩ් 19 වයිසර‍ස දේශීය වශයෙන් පාලනය කර තිබියදී විදෙස් රටවලින් එලෙස පිරිස් ගෙන්වා ගැනීම තවදුරටත් වසංගතය මෙරට ව්‍යාප්තිය සඳහා හේතුවන බවට ඇතැම්හු චෝදනා කරති. එසේම ඔවුන් කොවිඩ් 19 වයිරස් ආසාදිතයන් බවට ද තවත් සමහරු සැක පළ කරති. ඒ පිළිබඳ අදහස් දක්වමින් විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ පැවසුවේ එම සීෂෙල්ස් පුරවැසියන් ‍මෙරටට පැමිණියේ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට බවයි. එ‍සේ මෙරටට පැමිණි එම සීසෙල්ස් පුරවැසියන් අතර හෘද රෝග සහ පිළිකා රෝගයට ගොදුරු වී සිටින අසාධ්‍ය රෝගීන් එකොළොස් දෙනෙකු සහ ඔවුන්ගේ ඥාතීන් සිටින බව ද ඔහු පැවසුවේය.

ඔවුන් එරටෙන් පිටත් වීමට පෙර කොවිඩ් 19 ආසාදනය වී ඇත්දැයි පරීක්ෂාවන්ට ලක් කර ඇති අතර මෙරටදී ද නැවතත් එම පරීක්ෂාව සිදුකරන බව ද ජයනාත් කොළඹගේ සඳහන් කරයි. ඒ අනුව මෙරටට පැමිණීමෙන් අනතුරුව ඔවුන් නිරෝධායනය සඳහා රජය අනුමත හෝටල්වලට යොමුකර ඇත්තේ මේ දිනවල විදේශ රටවල සිට පැමිණෙන සියලු දෙනා සඳහා ක්‍රියාත්මක වන රජයේ නිරෝධායන නීතිවලට යටත්වය.

විදේශ රටවල සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ රජය විසින් ආරම්භ කර තිබුණද ඇතැමුන් චෝදනා කරන්නේ සීෂෙල්ස් පුරවැසියන් මෙරටට ගෙන්වා ගැනීමට රජය විසින් වියදම් කරන මුදල් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීමට වියදම් කළ යුතු නොවේද යන්නයි. එහෙත් එම චෝදනාව පදනම් විරහිත අසත්‍ය එකකි. එම සීෂෙල්ස් වැසියන් මෙරටට පැමිණීමේ සියලු වියදම් ඔවුන් විසින් පෞද්ගලිකව දරනු ලබන අතර ඔවුන් මෙරටට පැමිණියේ ද සීෂෙල්ස් රාජ්‍යයට අයත් ගුවන් යානාවකිනි. එමෙන්ම නැවත ඔවුන්ට සීෂෙල්ස් රාජ්‍යයට ගෙන යෑම සඳහා ද එරට ගුවන් යානාවක් පැමිණීමට නියමිතය.

එබැවින් මෙය කිසිවකු අනියත බියක් සැකක් උපදවා ගත යුතු තත්ත්වයක් නොවේ. සීෂෙල්ස් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා පවසන්නේ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා සෑම වසරකම සීෂෙල්ස් සිට රෝගීන් විශාල පිරිසක් මෙරටට පැමිණෙන බවයි. ඒ අනුව පසුගිය වසර කිහිපය තුළ පමණක් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා සීෂෙල්ස් සිට මෙරටට පැමිණි රෝගීන් සංඛ්‍යාව 2000ක් පමණ වේ. ශ්‍රී ලංකාවට මෙන්ම ඉන්දියාවට ද යන එසේ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා සීෂෙල්ස් ජනතාව යෑමට පුරුදු වී සිටින බව ද ඒ මහතා සඳහන් කළේය.

සීෂෙල්ස් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍ර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා 80 දශකය දක්වා දිවෙන අතර එරට ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විවෘත වූයේ 2014 වසරේදීය. සීෂෙල්ස් රාජ්‍යයේ මුළු ජනගහනය 98,000ක් පමණ වන අතර එම මුළු ජනගහනයෙන් සියයට 86ක් පමණ ජීවත් වන්නේ එහි අගනුවර වන වික්ටෝරියා නගරයේය. එය පිහිටා ඇත්තේ එරට විශාලතම දූපත වන මහේ තුළය. සීෂෙල්ස් රාජ්‍යය සතු දූපත් 115න් 5ක ද ජනතාව වාසය කරන අතර තවත් දූපත් 5ක පමණ සංචාරක හෝටල් ඉදිකර ඇත.

සංචාරක පාරාදීසයක් වන සීෂෙල්ස් රාජ්‍යය වැලි සහිත සුන්දර වෙරළ තීර, උද්භිද උද්‍යාන සහ කොරල්පරවලින් සමන්විත වේ. ලොව විශාලතම හිරිගල් දිවයින පිහිටා ඇත්තේ ද සීෂෙල්ස් හිය. මත්ස්‍ය විවිධත්වයකින් සහ විශාල ඉබ්බන්ගෙන් සමන්විත සීෂෙල්ස් රාජ්‍ය්‍ය ලොව හොඳම වෙරළ තීරයන්ගෙන් එකක් ලෙස සැලකෙන අතර දිය යට කිමිදීම ආදී සාගර ක්‍රියාකාරකම් සඳහා සංචාරකයන් අතර ප්‍රකටය. රටේ ප්‍රධාන ආදයාම් මාර්ගය සංචාරක කර්මාන්තය වන අතර එය එරට ආර්ථිකයට සියයට 90ක පමණ දායකත්වයක් දක්වයි. ධීවර හා මත්ස්‍ය කර්මාන්තය ද එයට ජනප්‍රිය ය.

සීෂෙල්ස් රාජ්‍යයට යන අයකුට එය තවත් ශ්‍රී ලංකාවක් දැයි නොසිතුණහොත් පුදුමය. ඊට හේතුව ශ්‍රී ලාංකිකයන් 2,200ක් පමණ එහි වාසය කරන අතර එය රට මුළු ජනගහණයෙන් සියයට 2.5ක් පමණ වීමය. සීෂෙල්ස් හි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 75ක් සිංහල ජාතිකයන් වන අතර ඉතිරි සියයට 20 ද්‍රවිඩ ජාතිකයන්ද සෙසු පිරිස විවිධ ජාතීන්ට අයත් වූවන්ය.

මෙරටින් පළමු ශ්‍රී ලාංකිකයා සීෂෙල්ස් වෙත ගොස් ඇත්තේ 1967 දී යැයි සැලකෙන අතර මේ වන විට පරම්පරා දෙක තුනක් එහි ජීවත් වේ. සීෂෙල්ස් හි සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් 450ක් පමණ අධිකරණ, වෛද්‍ය, අධ්‍යාපන, සංචාරක, බැංකු, ඉංජිනේරු සහ ව්‍යාාරික ආදී ක්ෂේත්‍රයන්ගේ නිරත විද්වතුන්ය. අධිකරණ ක්ෂේත්‍රයේ විනිසුරුවන් ද ඇතුළුව 10 දෙනකු පමණ ‍ වන අතර එහි සිටින ශ්‍රී ලාංකික ගුරුවරු සංඛ්‍යාව 42කි. සංචාරක හෝටල්වල පහළ තනතුර් සිට ඉහළම තනතුර දක්වා ශ්‍රී ලාංකිකයන් රැසක් සේවය කරන අතර එම ක්ෂේත්‍රයේ නිරත ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව දහසක් පමණ වේ.

සීෂෙල්ස් පුරවැසියන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා පැමිණීමට ඉවහල් වන කරුණු අතර ශ්‍රී ලාංකිකයන් සමඟ ඇති එකී සමීපතාව ද හේතුවනවා විය හැකිය. එමෙන්ම එරට බොහෝ ක්ෂේත්‍රවල මුල් පුටු දරන්නන් අතර ශ්‍රී ලාංකියන් සිටීම නිසා ශ්‍රී ලාංකිකයන්ගේ රට ගැන එරට රජය සහ පුරවැසියන් තුළ වැඩි විශ්වාසයක් ති‍බෙනවා විය හැකිය. එරට තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන අජිත් බණ්ඩාර මහනුවර උපන් ශ්‍රී ලාංකිකයෙකි. 1996දී සීෂෙල්ස් රාජ්‍යයට අන්තර් ජාලය හඳුන්වා දුන් මුදිත ගුණතිලක එරට ධීවර කර්මාන්තයේ නිරත ප්‍රමුඛම ව්‍යාපාරිකයාය.

එමෙන්ම ප්‍රකට ව්‍යාපාරිකයකු වන මාලදිවයින් ජාතික අහමඩ් ඩිඩ්ට අයත් සීසෙල්ස් හි පිහිටි තරු හෝටල් ඇතුළු සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන කළමනාකරු ලෙස සේවය කරන්නේ විපුල් සී කණුමලේ නම් ශ්‍රී ලාංකිකයෙකි. හෘදය රෝග සඳහා ප්‍රතිකාර ගැනීමට මෙරට ලංකා හොස්පිට්ල් රෝහල වෙත වාර්ෂිකව සීසෙල්ස් වැසියන් 600ක් පමණ පැමිණෙන බව විපුල් සී කණුමලේ මහතා පැවසූ අතර එම කටයුතු සම්බන්ධිකරණය කරනු ලබන්නේ අහමඩ් ඩිඩ් සමාගම සතු ආයතනයක් මඟිනි. සීෂෙල්ස් රාජ්‍යයට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිට පැය තුනහමාරක පමණ වේලාවකින් ළඟා විය හැකි නිසා ඔවුන් සිය වෛද්‍ය සංචාර සඳහා ශ්‍රී ලංකාව තෝරා ගැනීමට වැඩි උනන්දුවක් දක්වනවා විය හැකිය.

කොවිඩ් 19 වසංගතය නිසා බොහෝ රටවල ශ්‍රී ලාංකියන්ට රැකියා අවස්ථා අහිමි වුවද සීෂෙල්ස් රජය විසින් රැකියා අහිමි වූ සෑම අයකුටම මාස තුනක සම්පූර් ණ වැටුප් ගෙවා ඇති බව පැවසේ. ඒ, ස්වදේශ හෝ විදේශ යන භේදයකින් තොරවය. බෝ වන රෝග සම්බන්ධයෙන් දැඩි සෞඛ්‍ය පියවර අනුගමනය කරන රටක් බැවින් සීෂෙල්ස් පුරවැසියන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට මෙරටට පැමිණීම පිළිබඳ සැක පහළ කිරීම සාධාරණ නැත.ඊට හේතුව මේ වන විට ශ්‍රී ලංකාව යනු වෛද්‍ය සංචාරක ව්‍යාපාරය කෙ‍රෙහි නැඹුරු වී සිටින රටක් වන නිසාය.

ගෝලීය නව සංචාරක ප්‍රවණතා හමුවේ තවදුරටත් සංචාරකයන් සංචාරය සඳහා ලොව වටා යන්නේ ලෝක උරුම, සංස්කෘතික, නටඹුන් , ත්‍රාසජනක ක්‍රීඩා සහ සුන්දරත්වය පමණක් ඉලක්ක කරගෙන නොවේ. ඒ අනුව වෛද්‍ය සංචාරක ක්ෂේත්‍රය (Medical tourism) යනු ආසියාවේ වේගයෙන් සංවර්ධනය වන කර්මාන්තයක් වන අතර එය ඕනෑම රටක වෛද්‍ය ශ්‍රඅම බලකාය භාවිත කිරීමේ කදිම ක්‍රමයකි. එය රටට විදේශ ආදායම ගෙන ඒමේ විශිෂ්ට ක්‍රමයක් බැවින් ශ්‍රී ලංකාව පමණක් එයින් බැහැරව සිටීම අවශ්‍ය නැත. මේ වන විටිත් මෙරට ප්‍රමුඛ පෙළේ පෞද්ගලික රෝහල් කිහිපයක්ම වෛද්‍ය සංචාරක ක්ෂේත්‍රය සඳහා යොමුවී තිබීම යහපත් ප්‍රවණතාවකි. විශේෂයෙන් ලාංකිකයන්ගේ ආගන්තුක සත්කාරයේ විශිෂ්ටත්වය ලොව පුරා ප්‍රචලිත වී තිබීම නිසා ලෝකයේ නන් දෙසින් රෝගීන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා මෙරට රෝහල්වලට පැමිණීමට ඇති අවස්ථාව තවදුරටත් පුළුල් කළ යුතුය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා විසින් සංචාරක කාර්ය සාධන බලකායක් පිහිටුවා ඇත්තේ ද සංචාරකයන් ශ්‍රී ලංකාව කෙරෙහි ආකර්ෂණය වන නව ක්ෂේත්‍ර හඳුනා ගැනීමේ අරමුණිනි. 2030 වසර වන විට මෙරටට වාර්ෂිකව පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව මිලියන 7 දක්වා වැඩි කිරීම රජයේ අපේක්ෂාවයි.

2030 දී සංචාරක කර්මාන්තයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 10ක් වාර්ෂිකව ජාතික ආර්ථිකයට එක් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේද ඇතුළත් වූවකි. එය යථාවත් කිරීම සඳහා වෛද්‍ය සංචාරක ක්ෂේත්‍රය තවදුරටත් නංවාලීම අවශ්‍ය වේ. එමෙන්ම බටහිර වෛද්‍ය ක්‍රමයට පමණක් නොව හෙළ වෙදකම සඳහා ද සංචාරක ආකර්ෂණය වැඩිදියුණු කරගැනීම අවශ්‍ය වේ.

මේ වන විට වෛද්‍ය සංචාරක කර්මාන්තය තුළ අසල්වැසි ඉන්දියාව අත්පත්කරගන ඇති වර්ධනය ද සැලකිය යුතු එකකි. ගෝලීය වෛද්‍ය සංචාරක කර්මාන්තයට සාපේක්ෂව ඉන්දියාව ඊට නවකයකු වුවද එය බටහිර රටවල් වැඩිපුර ඉල්ලුම් කරන වෛද්‍ය ගමනාන්තයක් බවට පත්වී ඇත්තේ ඔවුන්ගේ ගුණාත්මක භාවයෙන් ඉහළ පිරිවැයක් දරණ හොඳම තත්ත්වයේ, අඩු වියදම් වෛද්‍ය ප්‍රතිකාර නිසාය.

එරට ඇස්තමේන්තුවලට අනුව ඉන්දියාවේ සෞඛ්‍ය සංචාරක ව්‍යාපාරය සියයට 30ක අනුපාතයකින් වර්ධනය වී තිබේ. එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව වැනි බටහිර රටවල ජනතාව ඉන්දියාවේ අඩු වියදම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට දේශසීමා තරණය කිරීමට කැමැත්තෙන් සිටින බව ද සංඛ්‍යාලේඛනවලින් අනාවරණය වී ඇත. කොවිඩ් 19 විසින් ඇතිකරන ලද ආර්ථික අභියෝග ජය ගැනීමට නම් ශ්‍රී ලංකාව ද විශාල ඉදිරි පිම්මකට සැරසිය යුතුය. ‍‍වෛද්‍ය සංචාරක කර්මාන්තය ප්‍රචලිත කිරීම ඒ සඳහා වඩාත් කාලෝචිත පියවරක් වනු ඇත.

 සුරේකා නිල්මිණි ඉලංගකෝන්

Comments