පොදු ප්‍රවාහන සේවා හෙට සිට ඇරැඹේ | සිළුමිණ

පොදු ප්‍රවාහන සේවා හෙට සිට ඇරැඹේ

පොදු ප්‍රවාහන සේවාවන් ලබන 8 වැනිදා සඳුදා සිට සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන ලෙස ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර විසින් උපදෙස් ලබා දී ඇත. ඒ යටත් අධිවේගී මාර්ගයේ ධාවනය වන බස් රථ ඇතුළු ශ්‍රී ලංගම සියලුම බස් රථ හා පෞද්ගලික බස් රථද ධාවනය කරන ලෙසට අමාත්‍යවරයා විසින් ප්‍රවාහන බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. දුම්රිය සේවාද සාමාන්‍ය සේවා ලෙසින් පවත්වාගෙන යාමට උපදෙස් ලබා දී ඇති අතර බස් රථ හා දුම්රියයන්හි ආසන ගණනට පමණක් මඟීන් රැගෙන යන ලෙස උපදෙස් ලබා දී තිබේ.

සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස්වලට මුල් තැනක් ලබා දිය යුතු බව පෙන්වා දෙන ඇමැතිවරයා පවසන්නේ රාජකාරි කටයුතු සඳහාත් වෙනත් අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් පොදු ප්‍රවාහන සේවා භාවිත කරන ලෙසයි.

පෞද්ගලික බස් රථ සංගම් විසින් ආසන ගණනට මඟීන් රැගෙන යාම සම්බන්දව දක්වා ඇති විරෝධතා කරුණු සම්බන්ධව කඩිනමින් සාකච්ඡා කර විසඳුමක් ලබා දීමටද කටයුතු කරන බව ද ඇමැතිවරයා කීය. පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමේදී මුඛ ආවරණ අනිවාර්ය කෙරෙන අතර බස් රථ ගමනාරම්භයේදී හා ගමනාන්ත ස්ථානයන්හි අත් සෝදා ගැනීමේ පහසුකම් සලසන ලෙසද ඇමැතිවරයා උපදෙස් ලබා දී තිබේ.

Comments