කොරෝනාවෙන් අමතකව ගිය ඩෙංගු හා මී උණ | සිළුමිණ

කොරෝනාවෙන් අමතකව ගිය ඩෙංගු හා මී උණ

පසුගිය මාස හය ඇතුළත ඩෙංගු මරණ විස්සක් වාර්තා වෙයි

නිරිත දිග මෝසම නිසා තෙත්කලාපයේ අධික වර්ෂාව ආරම්භවීම සමඟ මෙන්ම රට පුරා පුරන් කුඹුරු අස්වැද්දීමේ නැඹුරුවත් නිසා ඩෙංගු රෝගය හා මී උණ රෝගය ව්‍යාප්ත වීමේ ඉහළ අවධානමක් මේ දිනවල පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය අනතුරු අඟවයි. දැනට වාර්තා වී ඇති ආකාරයට මෙම රෝගවල වැඩිම බලපෑම ඇත්තේ බස්නාහිර පළාතට හා නැගෙනහිර පළාතටය. මී උණ හෙවත් ලෙප්ටොස්පයිරෝසිස් රෝගීන් වැඩියෙන්ම වාර්තා වන්නේ මෙවැනි වර්ෂා කාලවලදීය.

මී උණ රෝගය බැක්ටීරියාවක් මගින් සෑදෙන රෝගයකි. මීයන්, ඌරුමීයන්, මීගවයන්, ගවයන් වැනි සතුන්ට මෙම බැක්ටීරියා ආසාදනය ඇති විය හැකි අතර එම සතුන්ගේ වකුගඩු ආශ්‍රිතව ජීවත්වන එම බැක්ටීරියාව මුත්‍රා සමඟ පරිසරයට නිදහස් වෙයි.කුඹුරු දියකඩිති, දිය අගල් සහ ඕවිටි වැනි ජලය රැඳෙන ස්ථානවල මෙම බැක්ටීරියාව සජීවීව බහුල වශයෙන් රැඳී තිබේ. ජලයේරැඳී සිටින බැක්ටීරියාව ශරීරයේ කැපුම්, සීරීම් තුවාල මගින් හා ඇස්, මුඛය වැනි සියුම් ශ්ලේෂ්මල පටල ඇති ස්ථාන හරහා අපගේ ශරීරයට ඇතුළු වේ. මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ වනුයේ හදිසියේ ඇතිවන කොන්දේ තදබල වේදනාව හා තද උණයි. පාද වල තද බල වේදනාව ඇස් රතු වීම වමනය හිසරදය කැස්ස උදර වේදනාව ආදියයි. සාමාන්‍යයෙන් මේ රෝග ලක්ෂණ සති තුනක පමණ කාලයක් පැවැතිය හැකියි.රොගය වැළදුණු මුල් අවධියේ ප්‍රතිජීවක ඖෂධ මගින් එය ඉතා සාර්ථකව සුව කළ හැකිය. මීඋණ බහුලව පවතින ප්‍රදේශවල ගොවි ජනතාව රෝගයට අදාළව ලබ‍ාදෙන ඖෂධය ළඟම පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයෙන් ලබාගත හැකිය. මේ ඖෂධය ලබා ගත යුත්තේ කුඹුරුවලට බැසීමට පෙර සතියකට එක් වරක් පමණි.

රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා රජයේ රෝහලකට ඇතුළු විය යුතුය. එසේ නොකළහොත් හා ප්‍රතිකාර ලබාගැනීම ප්‍රමාද වුවහොත් රෝගයෙන් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට බලපෑම් ඇතිවී රෝගියා මරණයට පවා පත්විය හැකිය.

අලුත්ම පර්යේෂණ අනුව ලෙප්ටොස්පයිරා බැක්ටීරියාව ගවයන්, ඌරන්, එළුවන් වැනි සතුන්ටද ආසාදනය වන බව සොයාගෙන ඇත.

මෙම රෝගයෙන් වැළකීමට සතුන්ගේ මුත්‍රාවලින් අපවිත්‍ර විය හැකි හා මීගුල් බහුලව ඇති ගොවි බිම්වල කටයුතු නොකළ යුතුය. මඩ හෝ තෙත පස් ඇති සැක සහිත ස්ථානවලින් යෑමේදී පාවහන් පැළදීමද ආරක්ෂිත ක්‍රමයකි. මීට අමතරව කුඹුරුවල ගොවිබිම්වල වැඩ කරන අය තම ශරීරයේ තුවාල ඇත්නම් ඒවා ජලය නොරැඳෙන ප්ලාස්ටර් වලින් ආවරණය කරගත යුතුය. මීයන් බෝවීම පාලනය කිරීමට යොදාගන්නා පාරම්පරික හා නවීන ක්‍රම මගින් කුඹුරු ආශ්‍රිත මී ගහණය පාලනය කිරීමට කටයුතු කළ යුතුය. රෝග කාරක බැක්ටීරියාව රැඳීසිටීමට ඉඩ ඇති අප ජලය එක්රැස්වන ස්ථාන අවම කිරීමෙන් හා සතුන්ගේ මුත්‍රා වලින් අපවිත්‍ර විය හැකි යැයි සිතන ජලාශ වලින් ස්නානය නොකිරීමෙන්ද රෝගය පැතිරීම වළක්වා ගත හැකිය. වකුගඩු හා අක්මාව අකර්මන්‍ය කරන හෘදයට හා මොලයට බලපෑම් ඇතිවිය හැකි මේ රෝගයෙන් බේරී සිටීමට රෝග ලක්ෂණ ඇතිවූ විගස වෛද්‍යවරයකු හමුවීම කළ යුතුව ඇත.

සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග මර්දන ඒකකය පවසන පරිදි පසුගිය මාස හය තුළ ඩෙංගු නිසා මරණ විස්සක් වාර්තා වී ඇත. 2020 වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 19940කි. 2019 ඩෙංගු රොගීන් 105049 ක් වාර්තා වූ අතර එම වසරේ මියගිය ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 157ක් බව ඩෙංගු රෝග මර්දන බලකායේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර පවසයි.‍

විශේෂයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඩෙංගු ව්‍යාප්තිය මර්දනය සඳහා කාර්යක්ෂමව කටයුතු කරන ලෙස පළාත් ආණ්ඩුකාරවරුන්ට හා පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට උපදෙස් දී ඇත. ඩෙංගු ව්‍යාප්තිය වැඩිවන ලෙස කටයුතු කරන පුද්ගල‍යන්ට හා ආයතන වලට එරෙහිව නීතිය හරියාකාරව ක්‍රියාත්මක කළයුතු බවත් පාසල් රෝහල් රාජ්‍ය ආයතන ආගමික ස්ථාන හා ඉදිකිරීම් වැඩබිම් කෙරෙහි වැඩි අවධානයක් යොමුකර පවිත්‍රතා කටයුතු කළයුතු බවත් ජනාධිපතිතුමා නියෝග කර ඇත.

බස්නාහිර පළාතට ප්‍රමුඛත්වය දී ඩෙංගු මර්දනය කළයුතු බව පෙන්වා දෙන ජනාධිපතිවරයා ඒසඳහා සියලු පළාත් පාලන ආයතන හා පරිසර පොලිසිය මෙන්ම සෞඛ්‍ය අංශද සක්‍රීය ලෙස කටයුතු කළ යුතු බවද පෙන්වා දී ඇත.

Comments