හැම බැඳීමකට වඩා ශක්තිමත් යැයි සැලකෙන ලේ බැම්ම නැතහොත් ලේ ඥාතිත්වය තුළ සහෝදර ප්‍රේමයට හිමිවන්නේ ඉහළ ස්ථානයකි. ගල්වලින් ගොඩනැඟුණු නිවසක අයිතිය වෙනුවෙන් වසර ගණනාවක ලේ බැඳීමක් බිඳ දමන්නට පමණක් නොව ජීවිතයක් නසන්නට ද කෙනෙකුට හැකි නම් ඔහු හෝ ඇය මනුෂ්‍යත්වයෙන් දුරස් වූවකු විය යුතුය. එවැනි පුවතක් කියැවෙන ශෝචනීය සිදුවීමක් ඉකුත් සතියේ ඌව වෙල්ලස්සෙන් වාර්තා විය.
එම අවාසනාවන්ත සිදුවීමේ සුලමුල හෙළිවූයේ ඌව කුඩාඔය තෙලුල්ල ජනපදයේ නයිගල්ආර ප්‍රදේශයේ පදිංචිව සිටි විසිතුන් හැවිරිදි යුවතියක ඇයගේ නිවස ආසන්නයේ ඇති ලඳු කැලෑවක් තුළදී ඝාතනයට ලක්වී ඇති බව පොලිසිය විසින් සොයාගැනීමත් සමඟය. පොලිසිය විසින් එම ඝාතනයට සැක පිට ඝාතනයට ලක්වූ තරුණියගේ සහෝදරියක සහ ඇයගේ අනියම් සැමියා යැයි කියන තරුණයකු අත්අඩංගුවට ගනු ලැබිණ. ඔවුන් විසින් සිදුකර ඇති පාපොච්චාරණය අනුව ඔවුන් විසින් ලඳු කැලෑව තුළදී තරුණියට පොල්ලකින් ගසා ඝාතනය කළ බව පිළිගෙන තිබේ. ඒ අනුව තරුණිය ඝාතනය කළා යැයි පැවසෙන ලඳු කැලෑවේ තිබී මියගිය තරුණියගේ යැයි සැකකරන හිස්කබල, අස්ථි කොටස්, ඇය ඇඳගෙන සිටි ඇඳුමේ කොටස්, පෞද්ගලික ලිපිලේඛන ඇතුළත් බෑගයක් මෙන්ම ඇය ඝාතනය කිරීමට යොදාගත් පොල්ලක් ද පොලිසිය විසින් සොයා ගැනිණ.
එසේ අවාසනාවන්ත අයුරින් ඝාතනයට ලක්ව ඇත්තේ හෙට්ටිආරච්චිගේ තක්ෂිලා සඳුනි දීපමාලී නමැති යුවතියකි. වැඩිමහල් සහෝදරයන් දෙදෙනකු සහ සහෝදරියන් තිදෙනකුගෙන් යුතු පවුලේ හයවැනියා නැතහොත් බඩපිස්සිය වූයේ සඳුනිය. මවත් පියාත් සමඟ මහගෙදර ජීවත් වූ ඇය පෞද්ගලික ආයතනයක රැකියාව කරමින් මවුපියන් ද රැකබලාගෙන හැකි පමණින් සහෝදර සහෝදරියන්ට ද උදව්වක් උපකාරයක් කරගෙන ජීවත් වූ ඇය අවිහිංසක යුවතියක වූවාය. නිතර සිනහවකින් මුව සරසාගෙන සිටින සුන්දර යුවතියක වූ සඳුනි මවුපියන්ට සහ සොයුරු සොයුරියන්ට දැඩි සෙනෙහසක් ද දැක්වූවාය. සුන්දර යොවුන් වියේ පසුවූ සඳුනිට පෙම්වතකු ද සිටි අතර සුන්දර විවාහ දිවියක් පිළිබඳ ඇයගේ සිතේ බලාපොරොත්තු රැසක් ද තිබුණාට සැක නැත. එහෙත් සඳුනිගේ ඒ සුන්දර ජීවිත කතාව කිසිවකු නොසිතූ නොපැතූ ඉරණමකට බිලිවන්නේ පසුගිය මැයි මස 4 වැනිදායින් පසුවය.
සුපුරුදු පරිදි සඳුනි පසුගිය 5 වැනිදා සිය සේවා ස්ථානය වෙත යෑම සඳහා නිවසින් පිටත්ව ඇත්තේ උදෑසන 6.30ට පමණය. මාර්ගය වැටී ඇත්තේ ලඳු කැලෑව අසලින් වුවත් සඳුනිට ඒ මඟ හොඳින් හුරුපුරුදුය. හිමිදිරිය වුවත් පරිසරය වසාගත් අඳුර පවා සඳුනිගේ සිතට බියක් එක්නොකරන්නට ඇත්තේද ඒ නිසාය. එහෙත් එසේ ගිය සඳුනි වෙනදා මෙන් හවස් යාමයේ යළි නිවසට නොආවාය. රැකියාවට ගිය දියණිය නිවසට නොඒම ගැන සොයා බැලීමේදී සඳුනිගේ මවුපියන්ට දැනගන්නට ලැබී ඇත්තේ සඳුනි එදින ඇය සේවය කරන වෙළෙඳසැලට ගොස් නැති බවයි. එහෙත් ඒ පිළිබඳ වැඩිපුර කලබල වීමේ අවශ්‍යතාව වැළකී ඇත්තේ සඳුනිගේ ජංගම දුරකථනයෙන් කිහිපදෙනකුට ලැබී ඇති කෙටි පණිවුඩ නිසාය. ඒ පණිවුවලින් කියවී ඇත්තේ තමාගේ දුරකථනය කැඩී ඇති නිසා කතා කළ නොහැකි බවය. පියා විසින් සඳුනිගේ අතුරුදන් වීම ගැන කුඩා ඔය පොලිසියේ පැමිණිල්ලක් සටහන් කරන්නේ ඇය අතුරුදන් වීමෙන් දින ගණනාවකට පසුව එනම් මැයි මස 15 වැනිදාය. සඳුනිගේ පියා ඒ ගැන පවසන්නේ මෙවැනි කතාවකි.
" දුවගේ ෆෝන් එකෙක් එස්.එම්.එස් ආව නිසා අපි වැඩිය කලබල වුණේ නැහැ. ඒ එස්.එම්.එස්වල තිබුණේ කතා කරන්න බෑ, ෆෝන් එක කැඩිලා කියලයි. එක පාරක් කතාකරලා කිව්වා දහදාහක් දාන්න කියලා. අපි ඒක දැම්මට පස්සේ ආයෙ මෙසේජ් එකක් එවලා තිබුණා සල්ලි ලැබුණා කියලා. ඊට පස්සේ ආයෙත් රුපියල් තුන්දාහක් ඉල්ලලා මැසේජ් එකක් එව්වා. දුව බඳින්න හිටිය පුතාටත් එහෙම එස්.එම්.එස් එකක් ඇවිත් රුපියල් හත්දාහක් දාන්න කියලා."
සඳුනිගේ පියා මෙන්ම පෙම්වතා ද සඳුනිගේ දුරකථනයෙන් ආ කෙටි පණිවුඩවලින් කියැවුණු ගිණුම් අංකයට මුදල් බැරකර ඇත්තේ සඳුනි කොහේ හෝ ඉන්නවා යැයි සිතාගෙනය. එහෙත් පසුගිය 28 වැනිදා යළිත් වරක් සඳුනිගේ පෙම්වතාගෙන් රුපියල් පහළොස් දහසක් ඉල්ලා සඳුනිගේ දුරකථනයෙන් කෙටි පණිවුඩයක් ලැබීමත් සමඟ මෙහි කුමක් හෝ සැඟවුණු රහසක් ඇතැයි සඳුනිගේ පෙම්වතාට කල්පනා විය.
ඒ අනුව ඔහු වහාම ඒ පිළිබඳ පොලිසියට දැනුම් දී ඇති අයුරු එතැන් සිට ඔහු පොලිසිය විසින් දුන් උපදෙස් පරිදි කටයුතු කර තිබේ. ඒ අනුව 28 වැනිදා සවස එම මුදල් ලබාගැනීමට පැමිණි කාන්තාවක සහ තරුණයකු කුඩා ඔය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.ඒ.සී ප්‍රසාද් මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් විසින් එම ස්ථානයේදීම අත්අඩංගුවට ගැනිණ. ඒ සමඟම සඳුනිගේ අතුරුදන්වීම පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට පොලිසිය සමත් විය.
සඳුනිගේ ජංගම දුරකථනයේ ආධාරයෙන් මුදල් ලබාගත් කාන්තාව අන් අයකු නොව සඳුනිගේම සහෝදරිය වන 27 හැවිරිදි ඇතිලිවැව තෙළුල්ල ජනපදයේ පදිංචිව සිටි හෙට්ටිආරච්චිගේ සඳමා ලක්මාලි සහ ඇයගේ අනියම් සැමියා යැයි කියන මොනරාගල හිඳිකිවුල ප්‍රදේශයේ පදිංචිව සිටි ඇල්බටුගමගේ පසිඳු සිරිමල් නමැති 18 හැවිරිදි තරුණයකු බව හෙළිවන්නේ ඒ අනුවය.
ඔවුන් දෙදෙනා විසින් නිවසට යන මාර්ගයේ ලඳු කැලෑවක් අසලදී පොල්ලකින් ගසා සඳුනි ඝාතනය කර ඇති බවත් මූලික පොලිස් විමර් ශනවලිදී අනාවරණය වී තිබේ. පවුල් ආරවුලක් එම ඝාතනය සඳහා හේතු වන්නට ඇතැයි පොලිසිය සැක කළද එවැනි අමනාපයක්, ආරවුලක් සඳුනි සහ ඇය ඝාතනය කළා යැයි සැක කෙරෙන සහෝදරිය අතර නොතිබූ බව ද සඳුනිගේ වැඩිමහල් සොයුරිය දැඩි කම්පාවෙන් පැවසුවාය.
" මැරුණේ මගෙ බාල නංගි. මරලා තියෙන්නේ එයාට වැඩිමහල් නංගි. එයාගේ දරුවට කන්න දුන්නේ මේ මැරුණු නංගි. මාසයක් තිස්සේ ඒ දරුවව මේ ගෙදර තියාගෙන කන්න දීලා බලාගත්තේ ඒ නංගි. අන්තිම දවසේ එයාගේ මාලේ උකස් තියලා සල්ලි ගෙනත් දීලා තිබුණා අම්මට දරුවට බොන්න කිරිපිටි ගෙනත් දෙන්න කියලා. එහෙම කරපු නංගිව තමයි එයා මේ මරලා තියෙන්නෙ. " ඇය තම බාල නැඟණිය සඳුනිගේ වියෝව දරාගත නොහැකිව හඬා වැටෙන්නීය. සඳුනිගේ මවට සිදුවී ඇති ඛේදවාචකය දරාගත නොහැකි කම්පනයකි. මිය ගොස් ඇත්තේ තමාගේ බාල දියණියයි. ඇය මරා දමා ඇත්තේ ද තමාගේම දියණියකි. ඒ කටුක සත්‍යය ඇයගේ වියපත් හදවතට දැඩි වේදනාවක් ගෙනදී තිබේ. "අනේ මගෙ රත්තරන් මැණිකට මොකද මේ වුණේ. ඇයි චූටි උඹ මගෙ මැණිකට එහෙම කළේ" ඇය හඬමින් විලාප දෙමින් යළි යළිත් විමසන්නේ ඒ පැනයම පමණි.
එහෙත් ඒ පැනයට සැබෑ පිළිතුර දන්නේ සඳුනිගේ ඝාතනයට සැක පිට පොලිස් අත්අඩංගුවට පත්වී සිටින ඇයගේ සොයුරියගේ හදවතම පමණි. සඳුනි ඝාතනය කළේ ඇය පදිංචිව සිටින නිවස ලබාගැනීම සඳහා බව පොලිස් අත්අඩංගුවට පත් සහෝදරිය විසින් පාපොච්චාරණය කර ඇති බව ද වාර්තා වේ. මෙම ඝාතනයත් සමඟ එම සැකකාරිය විසින් මීට වසරකට පමණ පෙර ඇය විසින් ප්‍රසූත කළ බිළිඳකු උපන් හැටියේම ඝාතනය කර වළ දැමීමේ සිද්ධියක් ද පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබේ. එම තොරතුරු අනාවරණය වී ඇත්තේ එම සැකකාර කාන්තාවගේ බෑගයක තිබී පොලිසිය විසින් සොයාගන්නා ලද සැකකාරිය විසින් ඇගේ මවට ලියන ලද ලිපියක සඳහන් තොරතුරු අනුවය. ඒ අනුව මීට වසරකට පමණ පෙර සැකකාර කාන්තාව සහ ඇගේ අනියම් සැමියා හෙට්ටිපොළ ප්‍රදේශයේ කුකුළු ගොවිපලක සේවය කර ඇති අතර එහිදී ඇය ප්‍රසූත කළ බිළිඳා මරා ඔවුන් නවාතැන් ගෙන සිටි කාමරය පිටුපස වළ දමා ඇති බව හෙළි වී තිබේ. ඒ පිළිබඳව කුඩා වැව පොලිසිය විසින් හෙට්ටිපොළ පොලිසියට දැනුම් දී ඇති අතර ඒ අනුව වල දමා ඇති බිලිඳු මළ සිරුර ගොඩගැනීම සඳහා පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත.
සඳුනිගේ ඝාතනයට සැක පිට පොලිස් අත්අඩංගුවට පත්වූ ඇයගේ සහෝදරිය සහ අනෙක් පුද්ගලයා පසුගිය 29 වැනිදා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වැල්වාය දිසා විනිසුුරු සහ මහේස්ත්‍රාත් මහේෂ් වාකිෂ්ඨ මහතා නියෝග කළේය. මොනරාගල කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි සාමන්ත වීරසේකර, සහකාර පොලිස් අධිකාරි ඒ. එච්.එස්. කරුණාරත්න යන මහතුන්ගේ උපදෙස් හා නියෝග මත කුඩාඔය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. ඒ.සී. ප්‍රසාද් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කෙරේ.
සුරේකා නිල්මිණි ඉලංගකෝන්