මහ කැලය මැද නටඹුන්ව යන නිල්ලග්ගම බෝධිඝරය | සිළුමිණ

මහ කැලය මැද නටඹුන්ව යන නිල්ලග්ගම බෝධිඝරය

 

මහ වන මැදින් මහේ වපුරන හේන් බිම් පසුකරමින් අප ගමන කඩිනම් කිරීමට වෑයම් කළෙමු. එහෙත් එය පහසු නොවන්නේ වළ ගොඩැලි සපිරි මාවත ඊට බාධා ගෙන දෙන බැවිනි. හිරු සැඟවී ඇත. තව හෝරා තුනක් පමණ ගතවු තැන්හි රාත්‍රිය උදාවෙයි. ඊට මත්තෙන් ගමන අහවර කළ යුතුය. සමහර තැනෙක ඉකුත් වැස්සට වලවල් හෑරී පළල් වී ඇත. ගොම්මනට මත්තෙන් ගාලට දක්වන මී හරක් රංචු ද මේ මාවත අවුරයි. සවස් වෙත්ම අලි එළිබහින ආරංචි ද මග හමුවන ගැමියෝ කියති. එක් අතකින් මේ ගමන දුෂ්කරය. එහෙත් ඊට නොදෙවැනිව කිසියම් අපුරත්වයකින් මසිත වෙළීයයි. මේ වන විට මෙරට තුළ ශේෂව ඇති කලාත්මක බවින් අනුන බෝධිඝරය සේ සැලකෙන “නිල්ලග්ගම බෝධිඝරය” අපගේ ගමනාන්තයයි. බෝධිඝරය සියැසින් දැකීමත්, එහිදී විශේෂ අමුත්තෙකු මුණගැසීමත් අපගේ අරමුණ වී ඇත.

ගල්ගමුවෙන් නික්මුණු අප හෝරාවකට ආසන්න කාලයක් ගෙවා අවසන අරමුණ කරා පිවිසියෙමු. මෙරට පිහිටි විචිත්‍රවත්ම බෝධිඝරය හද්දා පිටිසර ගම්මැද්දක වන මායිම්ව මෙසේ හුදකලාව පිහිටාවි යැයි විස්වාශ කළ නොහැකි තරම්ය. නිල්ලග්ගම වැව පාමුල ගැමියන් වන අතු කඩා එල්ලු විසල් කෝන් ගස් සෙවණක පහස ලබමින් බෝධිඝරය පිහිටා ඇත. වර්ෂ 1895 දී මෙම බෝධිඝරයෙහි නටඹුන් මෙරට ප්‍රථම පුරාවිදු කොමසාරිස්වරයා සේ පිළිගැනෙන බ්‍රිතාන්‍ය ජාතික එච්.සී.පී. බෙල් මහතා විසින් සොයාගෙන ඇත. එහි තහවුරු කිරීමේ කටයුතු 1954 වර්ෂයේදී ලාංකීය ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස්වරයා ලෙස බුහුමන් ලබන මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ අධීක්ෂණය යටතේ ආරම්භ කොට ඇත

නිල්ලග්ගම බෝධිඝරය මාලක දෙකකින් යුක්ත වන පරිදි නිමවා ඇත. සමස්ත බිත්තිය ගල් පුවරු භාවිතයෙන් සම්පූර්ණ කොට තිබේ. ඇතුළුවීම සඳහා නැ‍ගෙනහිර හා බටහිර යන දිශා ඔස්සේ දොරටු නිර්මාණය කොට ඇත. ඇතුළත වූ මළුව සමචතුරශ්‍රාකාර ස්වරූපයක් ගනියි. මීට අමතරව ගල් කණු කිහිපයක නටබුන් මෙම භූමියේ දැකගත හැකිවන අතර, වහලයක් රැඳවීම සඳහා ඒවා භාවිත කරන්නට ඇතැයි විශ්වාස කෙරේ. ඉතාමත් නිර්මාණාත්මක මූර්ති, කැටයම්වලින් යුක්ත නිල්ලග්ගම බෝධිඝරය ශිලා පුවරුවලින් ඉතා සැලසුම් සහගතව නිර්මාණය කර තිබීම එකල වූ වාස්තු විද්‍යාත්මක නිර්මාණවල නිපුණතාව ප්‍රකාශ කරන්නකි. 1950 දශකය වන විට මහ වන මැද හුදෙකලාවී, වල් බිහිවී තිබු මෙම බෝධිඝරය සොයා ගැනීමට මුල්වී ඇත්තේ මීට යාබද ගමක අයෙකු බව කිසිවකු වැඩිය නොදන්නා කතාවකි. ඔහු “පිංහාමි වනසිංහ” නම් ගැමියෙකි.

ඒ කතාව කියන්නට ඔහු අද ජීවතුන් අතර නැතිකම ලොකු පාඩුවකි. එහෙත් සියල්ල සියැසින් දුටුවා සේ කිවහැකි පිංහාමි ගේ පුතු හැටදෙහැරිදි “මුතුබණ්ඩා වනසිංහ” මහතා සොයා අප නිල්ලග්ගමට යාබද හෙට්ටිගම ගමට ගියෙමු.

“කොහොමද මාමා ජීවිතේ” මා වියපත්ව එහෙත් තවමත් ප්‍රියමනාප බවින් යුතු මුතුබංඩා වෙතින් ඇසිමි.

“මොනවද ඉතිං දුකසේ ඉන්නවා.” ඔහු කීය.

“දැන් බෝධිඝරේ බලාගන්නේ නැද්ද ?” මා දිග කතාවකට මග පාදන්නට වෑයම් කළෙමි.

“දැන් මට අමාරුයි. ඒ වැඩේ මං පුතාට ලෑස්ති කරලා දුන්නා.”

වසර විසිපහකට වැඩි කාලයක් “පුරාවිද්‍යා ස්මාරක ආරක්ෂකයෙකු” ලෙස නිල්ලග්ගම බෝධිඝරය බලාකියාගෙන ඇත්තේ මුතුබංඩා මහතා විසිනි. හරියටම කියතහොත් 1992 වර්ෂයේ සිට ඉකුත් 2018 වර්ෂය තෙක්ම ඔහු එම කාර්ය අකුරටම ඉටුකොට ඇත. ඊට මත්තෙන් 1956 වසරේ සිට 1992 අවුරුද්ද දක්වාම මුතුබංඩා ගේ පියා පිංහාමි ඒ වගකීම උසුලා තිබේ. දැන් ඒ බරට කරගසා ඇත්තේ මුතුබංඩා මාමාගේ පුතු “බණ්ඩාර වනසිංහ” තරුණයාය. පෙර රජ දවසින් පසුව රූස්ස කැලයෙන් මැදිවු බෝධිඝරය යළි සොයාගැනීම ගැන මුතුබණ්ඩා මාමා කරුණු කීවේ වයසට වියපත් නොවු උද්යෝගයෙනි.

“අපේ තාත්තා හොඳ දඩයක්කාරයෙක්. දවසක් දඩයමේ යනකොට තාත්තා තමයි කැලෑ වැදිලා තිබ්බ මේ බෝධිඝරය දැකලා තියෙන්නේ. ගල් ගොඩක් වගේ තිබ්බට එතැන මොකක් හරි අමුත්තක් ඇති කියලා තාත්තට තේරිලා තියෙනවා. පස්සේ මේ ගැන අල්ලපු නිතලව ගමේ ලොකු

ඉස්කෝලේ මහත්තයාට ගිහින් කියලා තියෙනවා. එයා ගම්පහ, විගොඩ පැත්තේ විජේසිංහ කියලා හොද උගත් මහත්තයෙක්. තාත්තා ඉස්කෝලේ මහත්තයාත් එක්ක ගිහිල්ලා බලලා තියෙනවා. එතැනදී තමයි ඉස්කෝලේ මහත්තයා තීරණය කරලා තියෙන්නේ මේ ගැන ඉහළ නිලධාරියෙකුට කියන්ඩ ඕන කියලා. අද ඔය ඉස්සරහා තියෙන කෝන්ගහ ඒ කාලෙත් තිබිලා තියෙනවා.” “ඊට පස්සේ ” “වැඩි දවසක් යන්ඩ කලින් අපේ තාත්තයි, ලොකු ඉස්කෝලේ මහත්තයායි ඒ කාලේ හිටපු පුරාවිද්‍ය කොමසාරිස් සෙනරත් පරණවිතාන මහත්තයා හොයාගෙන ගිහිල්ලා මේ ගැන විස්තරේ කියලා තියෙනවා. පස්සේ පරණවිතාන මහත්තයා ඇවිල්ලා බලලා තියෙනවා. එයාට තේරිලා තියෙනවා

මෙතැන ලොකු වටිනාකමක් තියෙන තැනක් කියලා. ආපසු ගිහිල්ලා කට්ටියක් එක්ක ඇවිල්ලා ඔන්න මෙතැන කැණීම් කරන්ඩ පටන් අරගෙන තියෙන්නේ. අපේ තාත්තා කිව්ව විදිහට ඊට පස්සේ තමයි තැන් තැන්වල විසිරිලා ගොඩගැහිලා තිබ්බ ගල්ලෑලි ඔක්කොම අංක කරලා ගලවලා දොඹකර ගෙනැල්ලා අද මේ තියෙන විදිහට හයිකරලා තියෙන්නේ. ආන් එතැනදී තමයි මේකේ විස්තරේ තියෙන සෙල්ලිපිය හම්බ වුණා කියන්නේ. ඒ කාලෙම තමයි පොකුණක් වගේ තිබ්බ මේ වැව ලොකුවට හදලා තියෙන්නෙත්.”

නිල්ලග්ගම බෝධිඝරයේ බටහිර පැත්තේ වම්පසට බරව පිහිටා ඇති පිටත මණ්ඩපයේ පිට පැත්තේ අත්තිවාරම් ගලෙහි ලියා තිබෙන ශිලා ලේඛනයකි. මෙම ශිලා ලේඛනයට ඉහළින් ගල් වැටෙහි ඇත්රූප 10 ක් නිර්මාණය කර තිබේ. එම ශිලා ලේඛනය මෙසේ ය.

“මොනරගල් බුද්මි මේ දස ඇතුන් කරවා මහා බෝගෙහි පිදු පිනෙන් මතු සසර අනුත්තර සම්මා සම්බුදු වෙම්වයි.”

මහාචාර්ය සෙනරත් පරණවිතානයන්ගේ පැහැදිලි කිරීමට අනුව මෙහි සඳහන් වන අක්ෂර ක්‍රිස්තු වර්ෂ 8 – 9 යන සියවස්වලට අයත් සේ පිළිගැනේ. මේ අනුව බෝධිඝරය ඉදි කිරීම එම කාලයට අයත් සේ සැලකේ. බෝධි ඝරයේ දොරටු මණ්ඩපයේ දෙපස වූ ඵලකයෙහි යටි පැත්ත හංස පේළියකින් අලංකාර කර තිබේ. දොරටුවේ පාමුල කැටයම් නැති සඳකඩ පහනකි. ඒ සමඟම පියගැට පේළි දෙකකි. පියගැට දෙපැත්තේ කොරවක්ගල් දෙකක් වේ. මකර රූප කැටයම කොරවක් ගල්වල නෙළා ඇත.

දොරටු මණ්ඩපය මුදුනත සමතලා වහලයක් පරිදි යටිපැත්ත ඉතා සුමට කරන ලද ගල් පුවරුවකින් ආවරණය කර තිබේ.

උළුවස්සේ දාර සහ උඩ එළිපත ඉතා අලංකාර අන්දමට කැටයම් කර තිබේ. වටේට ගිනිසිළු රටාවකි. උළුවස්සේ ඉහළට නගින කළස් කැටයම් ය. බෝධිඝරයේ මධ්‍ය මාලකය ඉතාමත් විසිතුරු ලෙස කැටයම් කර ඇත. ඊට ඉහළින් තීරුව මත සිංහ රූප පෙළකි. මෙවැනි අලංකාර වූ මූර්ති කැටයම් සහිත බෝධිඝරයක් ලංකාවේ කිසිදු පුදබිමකින් හමු වී නැති බව කලා විචාරකයන් හා පුරාවිද්‍යාඥයන්ගේ නිගමනය වී ඇත. එනයින් නිල්ලග්ගම ගම්මැද්දේ අද මෙලෙස හුදකලා වී ඇත්තේ මෙරට විශිෂ්ටතම බෝධිඝරය වගට අනුමානයක් තිබිය නොහැකිය. එහෙත් අද ඒ සදහා දී ඇති වටිනාකම හද කම්පාවට පත් කරවන්නකි. බෝධිඝරය වට කොට බැදි වැටත්, ගේට්ටුවත් අලි බිද දමා ඇත්තේ සෑහෙන කලකට ඉහතදීය. රාත්‍රීයට මේ බිම අදුරෙන් පිරී යයි. එහි විදුලි බුබුලක්, දෙකක් සවි කරන්නට කෙනෙක් නැත. වසර විසිපහකට වැඩි කලක් පවුලේ උරුමයක් සේ සලකා මේ බිම රකින මුතුබංඩා මාමා වයෝවෘද්ධව සිටියි. ඔහුත් නොහිටියේ නම් මේ බිම එකම පාළු පෙතක් වීමට ඉඩ තිබිණි. අවසන ඔහුට කියන්නට ඇත්තේ දුක හිතෙන කතාවකි.

“මං අවුරුදු විසිපහක් තිස්සේ මෙතැන බලාගත්තට අවසානේ මට ලැබුණේ පිං විතරයි. වෙන ලැබුණ දෙයක් නෑ. මං අයින් වෙනකොට අවසාන කාලේ මට හම්බ වුණේ දවසකට රුපියල් පනහයි. මාසෙටම රුපියල් එක්දාස් පන්සීයයි. දැන් මගේ පුතාට හම්බවෙන්නෙත් ඒ ගානම තමයි. තාත්තා හිටපු කාලෙත් එක්ක බලනකොට අවුරුදු හැටකට වැඩිය අපි මෙතැන රැක බලාගෙන තියෙනවා. තාත්තත් නිකංම අයින් වුණේ. අවුරුදු විසිපහක් හිටපු මාව පුරාවිද්‍යා එකේ ස්ථිර කරයි කියලා බලන් හිටියා. ඒත් ඒක වුණේ නෑ. අඩුම ගානේ පුතාටවත් එහෙම උදව්වක් කරන්ඩ පුළුවන් නම් ලොකු දෙයක්.”

අද නිල්ලග්ගම ගමට ඇත්තේ මේ බෝධිඝරය පමණක්මය. එය මේ වන විට ගැමියන් අතෑර ගිය පාලුවෙන් පාළුවට ගිය ගමකි. ගම පාළු වීම පිළිබඳව ජනප්‍රවාද කතාව කියන්නට අපට උපකාරි වුයේ “දමිත් නිශාන්ත කුමාර” මහතාය. ඔහු මේ ප්‍රදේශයේ හොඳ සමාජ සේවකයෙකි.“ඉස්සර මේ ගමේ මිනිස්සු පදිංචි වෙලා හිටියා කියලා තමයි කියන්නේ.

මේ බෝධිඝරයට අරක් අරගෙන හිටියා කියන නාගයා ගම්මු එකතු වෙලා මැරුව පව සාපයක් වෙලා ගම පාළු වුණ‍ෙ කියලා තමයි කටින් කට කියැවෙන්නේ. ඒකේ ඇත්ත නැත්ත හරියටම කියන්ඩ බෑ. අද ගමට කියලා තියෙන්නේ මේ වැවයි, වෙල් යායයි විතරයි. උඩ පැත්තට වෙන්ඩ මිනිස්සු හේන් කරනවා. මෙතැනට මීට වැඩිය වටිනාකමක් දුන්නනම් ඒක මේ අහළ පහළ මිනිස්සුන්ට දෙන ලොකු වටිනාකමක් වෙයි කියලා මට නම් හිතෙන්නේ.”

පුරාණ ශ්‍රී ලංකාවේ පුදබිම්වල වේතියඝරය, ප්‍රතිමා ඝරය, උපෝසථඝරය, බෝධිඝරය, පධාන ඝරය ආදිය දක්නට ලැබුණි. මෙනයින් ලක්දිව පැරණි බෝධිඝර සැලැස්ම හඳුනා ගැනීමට බොහෝ දුරට උපකාරීවන නෂ්ටාවශේෂ වූ බෝධිඝරයක් ලෙස නිල්ලග්ගම මෙම බෝධිඝරය පුරාවිද්‍යායින්ගේ පිළිගැනීමට පාත්‍ර වේ. මෙවැනි බිමක කලා කුසලතාව ඉහළින්ම ප්‍රකට වන නිර්මාණයක් සිදුකිරීමට හේතු පාදක කරුණ පිළිබඳව ද මේ ගම්මැදි වල

පතළව ඇති ජනප්‍රවාද කතාවක් තිබේ. ප්‍රදේශයේ ප්‍රකට කලාකරු සෝමරත්න උල්පතගම කීවේ ඒ පිළිබඳවය.

“අනුරාධපුර රාජධානියට සතුරු ආක්‍රමණ එනකොට ඒ වෙනකොට අනුරාධපුරයේ වැඩ හිටිය දළදාව සංඝයා වහන්සේලා එකතුවෙලා නිරිත දිග ප්‍රදේශයට අරන් ගියා කියලා කතාවක් තියෙනවා. ඔය ගිය ගමනෙදි අද මේ බෝධිඝරය තියෙන තැන දළදාව දවසක් දෙකක් හංගලා තිබ්බා කියලා තමයි විශ්වාශ කරන්නේ. රට ආපහු සාමකාමී වුණාට පස්සේ මහා සංඝරත්නයේ ඉල්ලීමකට අනුව ඒ වෙනකොට රටේ රජකම් කරපු හත්වැනි අග්බෝ රජ්ජුරුවෝ මොනරගල් කියන සෙන්පතියා එවලා මෙතැන මේ බෝධිඝරය කෙරෙව්වා කියලා තමයි ජනප්‍රවාදයේ කියැවෙන්නේ. දළදා වහන්සේ වැඩ හිටිය භුමියේ සිහිවටනයක් විදිහට මේ බෝධිඝරය කෙරෙව්වා කියලා තමයි විස්වාශ කරන්ඩ වෙන්නේ.” නිල්ලග්ගම ඇත්තේ බෝධි ඝරයක් පමණකි. එහි අද බෝධියක් දකින්නට ඇත්තේ නැත.

මෙකල්හි මෙම භූමිය අතු පතු ගා රැක බලාගන්නා බණ්ඩාර වනසිංහ කීවේ පින්කමක් සේ සලකා මෙහි නියැළෙන බවය. එහෙත් ඔහු අද දරු සුරතල් බලන තාත්තා කෙනෙකි. එහෙයින්ම බණ්ඩාරගේ සීයාට, තාත්තාට සිදු වු දේ බණ්ඩාරට සිදුනොවීමට වග බලාගැනීමට වගකිව යුතු කවරෙකු හෝ සිටිය යුතුය. මේ බිමට හරි වටිනාකමක් දෙන්නේ නම් බණ්ඩාරගේත්, මේ ගම්මැදි ගැමියන්ගේත් ජීවිත සුවපත් වීමට එය රුකුලක් විය හැකි බව නම් පැවසිය හැක්කේමය. හෙට්ටිගම ගම අතරමග මුණගැසුණු කළුබණ්ඩා මොහොතක් නැවතී අප හා කතා කළේය. ඔහු අත බත් මුලක්, වතුර බෝතලයක් ආදි කලප්පන්න කිහිපයක්ම විය. හොඳ පොල් කැත්තක් ද අතේ පාළු මකයි. ඔහු අත්තක් කඩා කෝන්ගහේ එල්ලයි. කළුණ්ඩා මේ යන්නේ අලි එන මග අහුරා පැල් රැකීම සදහාය. මේ සීතල රාත්‍රිය කළුබණ්ඩා වැනි මෙහි ගැමියන් බොහෝදෙනෙකුට නිදිවර්ජිත එකකි. ඒ මේ ගම්මැදි ජීවිතවල හැටිය.

ගමන් මාර්ගය

නිල්ලග්ගලට පිවිසිය හැකි ප්‍රවේශ මාර්ග කිහිපයකි. ගල්ගමුව - ඇහැටුවැව මාර්ගයේ කිලෝ මීටර් නවයක් පමණ ගියපසු හමුවන ගල්ලෑව හන්දියෙන් වම් පසට විහිදෙන අතුරු මාර්ගයේ කිලෝ මීටර් පහක් පමණ නිතලව ගමේ පාසල් හන්දිය දක්වා ගොස් එහි සිට වම් පසින් ඇති මාර්ගයේ කිලෝ මීටර් පහහමාරක් පමණ ගිය තැන්හි බෝධිඝරය දැකගත හැකිය. මෙය දුර වැඩිම මාර්ගය වේ. එහෙත් යම් පමණකට හෝ ගමන් පහසුවක් ඇත්තේ මේ මගෙහි පමණකි. *ගල්ගමුව - ඇහැටුවැව මාර්ගයේම මුණගැසෙන බුල්නෑව - හේන්වලගම පාර තවත් එකකි. අනෙක මේ මගෙහිම හමුවෙන බිම්පොකුණ - හෙට්ටිගම මාර්ගය වේ. පුරාණ ගම්මැදි මැදින් වැටී ඇති මේ මාර්ග සියල්ලෙහිම ඇත්තේ එකම දෝෂයකි. පායන කාලේ දුවිල්ලෙන් පිරීයයි. මේ වැසි සමයේ පාරවල් දිය කඩිති වෙයි.

Comments