ආරාධිත කොලම | සිළුමිණ

ආරාධිත කොලම

කැත්ලීන් ජයවර්ධන

කොවිඩ් 19 වයිරසය ලෝකයම ලොක් ඩවුන් කළ වකවානුව සම්බන්ධව අප එකිනෙකාගෙ අත්දැකීම් විවිධයි.  ඒ සම්බන්ධව ඇති වුණු සංවාදය නිසා උපන් අත්දැකීම් පරාසය අපව අලුතින් හිතන්න අලුතින් පටන් ගන්න පොළඹවනු ලැබුවා. මේ වකවානුව තුළ මා අත්විඳි අත්දැකීම් පරාසය මේ අයුරින් බෙදා ගැනීමට සිතුණි...

“ඇත්තටම  ඒ විවේකය එක්තරා ආශීර්වාදයක්. එය අහඹු ආශීර්වාදයක්.  මොකද අපි ගත කරපු ජීවිතේ කාර්යබහුලයි. ඉතින් මේ විවේකය තුළ අපට ලොකු අවකාශයක් ලැබුණා නිස්කාංසුවේ යමක් කරන්න. ඒ අවකාෂය ඇතුළෙ මම ලොකු වැඩ කොටසක් කළා. පුවත්පත් ලිපි ගණනාවක් සම්පාදනය කළා. සියල්ල සමාලෝචනය කරද්දි මම දැකපු කොරෝනා කලු වලාකුළේ රිදී රේඛාවක් තිබුණා.

එක අතකින් මේක බිහිසුණු ලෝක ව්‍යසනයක්. ඉතා හානිකර සෞඛ්‍ය ප්‍රශ්නයක්. ඒත් මේ වසංගත සමය මිනිසාට එක්තරා රතු එළියක් දැල්වූවා. ඔවුන්ගේ අනාගතය සම්බන්ධව අනතුරු හැඟවීම කළා. 

මට දැනගන්න ලැබුණා නවසීලන්තයේ ගඟකට මිනිසකු සතු මානව අයිතිවාසිකම් දෙන්න ඒ රට තීරණය කළාය කියලා. එය ඒ රටේ ගෝත්‍රික ජනතාවකගෙ ඉල්ලීමක්. 

ඒ ඉල්ලීම තුළ ඉතා බරසාර සංකල්පයක් ගැබ් වෙලා තිබුණා. සජීවී ලෝකයේ සත්තුන්ට, ගහකොළට තියෙන අයිතීන් අප බරපතල විදිහට උල්ලංඝණය කරලා, පැහැර හැරලා, ඉතා උමතු ජීවන රටාවකට හුරු වෙලා උන්නා නේදැයි හිතුණා. 

අපේ ජීවිත රටාවේ තියන කල් නොපවතින තාවකාලික භයානක පැත්ත පිළිබඳ  පොඩි අනතුරු හැඟවීමක් සහ මතක් කිරීමක් තමයි කොවිඩ් 19 කියන්නෙ කියලයි මම කල්පනා කළේ.

අහසට නිවාඩු ලැබුණා. මුහුදට නිවාඩු ලැබුණා. පාර තොටට නිවාඩු ලැබුණා.  වැනිසියෙ කැලෑ තාරාවො එළියට බැස්සා. සත්තුන්ට ලොකු අවකාශයක් ලැබුණා. නමුත් අපට කොටු වෙන්න වුණා. මේක මට නම් ලස්සන චිත්‍රයක්.

මිනිස්සු කටයුතු කළේ ආත්මාර්ථයෙන්. 

මේ ව්‍යසනය සිද්ධ වෙන්නේ ලෝකය සිය පැවැත්ම ගැන ඉතා බරපතල තත්ත්වයක තිබෙද්දි. අපට වළක්වන්න බැරි පාරිසරික ව්‍යසනයක තිබුණේ. මේ ප්‍රශ්න  සියල්ල ඇති කළේ මිනිස්සුන්ගෙ තෘෂ්ණාව. ඒ යථාර්ථය සම්බන්ධව පාඩමක් ඉගෙන ගන්න හැකි කොරෝනාවෙන් හැකි වුණා.. මට ඒ ගැන සංවාදයකටය ලක් කළ හැකි නිර්මාණ ගණනාවක් කරන්න හැකි වුණා.  

Comments