ඇස් රකින ක්‍රම 20 | සිළුමිණ

ඇස් රකින ක්‍රම 20

සාමාන්‍යයෙන් ඇස් පෙනීම අඩු වෙන්නේ වයස අවු. 40 පහු වුණාම. ජනවහ‍රේ මෙය හඳුන්වන්නේ හතළිස් ඇඳිරිය කියලා. ඒත් දැන් නම් ඇස් පෙනීම අඩු වෙන්න පටන් ගන්නේ වයස අවු‍. 40 දී නොවෙයි. ගොඩාක් තරුණ කාලෙදිමයි. සමහර වෙලාවට ගැටවර වයසෙදිම ඇස් පෙනීම අඩුවෙලා කණ්ණාඩි පලඳින්න සිද්ධ වෙනවා.

“අද දරුවන් පුංචි කාලේ ඉඳලා ස්මාට් ජංගම දුරකථන, පරිගණක පාවිච්චි කරන්න පෙළඹිලා. පරිගණක තිරය වගේම ජංගම දුරකතනයේ තිරය දිහා එක දිගට බලාගෙන සිටින විට ඇස් ‍වෙහෙසට පත්වෙනවා. වෙහෙස වැඩි වන විට ඇස් දුර්වල වෙනවා. එසේ වූ විට වයස අවු. 18,19 වන විට ඇස් කණ්ණාඩි පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. සමහර වෙලාවට වයස අවුරුදු 10-12 වන විටදීත් ඇස් පෙනීම අඩු වුණ ළමයි අපට හමු වෙනවා. දැන් ප්‍රතිකාර ගන්න එන අය අතර පුංචි දරුවන් වගේ ම තරුණ ළමයිනුත් ඉන්නවා” යැයි පවසමින් බාල, තරුණ පිරිසගේ ඇස් පෙනීමේ දුර්වලතා ගැන කතා කරන්නට අප සමඟ එක් වුණේ අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය රංගික ගුණරත්නයි.

 ඔහු පවසන අන්දමට ළමා, වැඩිහිටි කොයි කාටත් වැළඳෙන ආබාධයක් හැටියට Computer Vision Syndrome දක්වන්න පුළුවන්. මෙම අක්ෂි ආබාධය ඇති වෙන්නේ පරිගණක, ටැබ්, ස්මාට් දුරකතන තිරය දෙස දීර්ඝ වේලාවක් බලා සිටීම නිසා. මෙහි රෝග ලක්ෂණ වශයෙන් ඇස් කැක්කුම, කඳුළු ගැලීම, ඇසේ ගැස්ම ඇතිවීම, පෙනෙන රූප ද්විත්ව රූප වශයෙන් දිස්වීම දක්වන්න පුළුවන්. සිංගප්පූරුව, මැලේසියාව වැනි රටවල්වල පවා අවුරුදු 10 ට වැඩි දරුවන් අතර Computer Vision Syndrome දක්නට ලැබෙනවා.

දැන් ලංකාවේ වැඩිහිටියන් වගේ ම ළමයින් අතරත් මෙම අක්ෂි ආබාධය හඳුනාගෙන තිබෙනවා.

 මෙම අක්ෂි ආබාධය අඩු කරගැනීමට 20 සංකල්පයක් තිබෙනවා. ඒ කියන්නේ පරිගණක, ටැබ් ස්මාට් දුරකතන තිරයෙන් විනාඩි 20 කට වරක් ඇස් ඉවතට ගෙන අඩි 20 ක් දුරින් හිඳ තත්පර 20 ක් විවේක ගැනීමයි.

 කොහොමටත් මේවා භාවිත කරන කාලය අඩු කිරීමෙන් ඇස් දුර්වල වීම වළක්වා ගන්න පුළුවන්. කුඩා දරුවන්ට ඩිජිටල් පාවිච්චිය දවසකට පැය 2 කට වඩා සුදුසු නැති බවයි වෛද්‍ය මතය.

“පො‍තක් බලන විට ඇස ඒ මේ අත ගියත් පරිගණක තිරයේදී ඇස නාභිගත කිරීම වෙනස්. ඒ වගේ ම තමයි පොතක අකුරු මුද්‍රණය වී තිබෙන නිසා ඇසට බරපතළ විදිහට ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඒත් පරිගණක තිරයේ අකුරු හැදිලා තියෙන්නේ පිස්කල්වලින්. මේ පිස්කල් කැඩුණොත් අකුරු හරියට කියවා ගන්න බැහැ. ඒ නිසයි පරිගණක, ටැබ්, ස්මාට් දුරකතන තිරය දිහා එක දිගට බලාගෙන ඉන්න එපා කියලා උපදෙස් දෙන්නේ. එය ඇසට වෙහෙසක්. “

Computer Vision Syndrome යන අක්ෂි ආබාධය වළක්වා ගැනීමට නම් පුළුල් තිරයක් පාවිච්චි කිරීම ඉතා වැදගත්. ඒ වගේ ම පරිගණකයේ දීප්තිමත් බව (brightness)අඩු කිරීම, අකුරු විශාල කිරීම, තත්ත්පර 20 කට වරක් ඇස් පිල්ලම් ගැහීම වැනි ක්‍රම උපයෝගි කර ගැනීමෙන් මෙය වළක්වා ගන්න පුළුවන්. පරිගණක, ටැබ්, ස්මාට් දුරකතන පාවිච්චි කිරීමේදී ඊට සම්බන්ධ වි‍ශේෂ ඇස් කණ්ණාඩි පාවිච්චි කිරීමත් ඉතා වැදගත්.

 ඇස් කැක්කුම වගේ ම හිසේ කැක්කුම තිබෙනවා නම් වෛද්‍යවරයකු හමුවීම සුදුසුයි. වෛද්‍ය උපදෙස් නොගැනීම නිසා ඇස් තව තවත් දුර්වල විය හැකියි. ගෘහයේ රැඳී සිටින දරුවන්ගේ ඇස් පෙනීමට වඩා පරිසරයට විවෘත වී සිටින දරුවන්ගේ ඇස් පෙනීම වඩා යහපත් බව අද වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වී තිබෙනවා. ඒ නිසා පරිගණක තිරයේ දීර්ඝ වේලාවක් රැඳී නොසිට කෙටි වේලාවක්ව ඇස් අවට පරිසරයට නිරාවරණය කිරීම සුදුසුයි.

 පරිගණක භාවිතයෙන් ඇස් පෙනීම දුර්වල වන බවට සොයාගෙන තිබුණත් එය පාවිච්චි කිරීම නිසා අන්ධභාවයට පත්වූ බවක් නම් සොයාගෙන නැහැ.

Comments