දැනගෙන සැලොන් යන්න | සිළුමිණ

දැනගෙන සැලොන් යන්න

 මාස දෙක තුනක් නිවෙසට කොටුවී සිටි ඔබට එළියට යෑමට අවශ්‍ය වූ මුල්ම අවස්ථාවේ කණ්ණාඩියක් ඉදිරිපිටට ගියවිට කුමක් සිතන්නේද? මාසයකට වරක් හෝ රූපලාවණ්‍යාගාරයකට ගිය ඔබට එය මඟහැරී ඇති බව දුටුවේ ඒ මෙහොතේ වන්නට ඇත. මදක් නවතින්න....

ඔබ ගිය රූපලාවණ්‍යාගාරය පිළිබඳ ඔබට ඇත්තේ කෙතරම් විශ්වාසයක්ද? එහි සේවය සපයන්නන් ඔබට අවශ්‍ය දේ ලබා දුන්නාද? මේ වන විටත් ඔවුන් ගේ සේවය ආරම්භ කර නොමැති නම් නොදන්නා රූපලාවණ්‍යාගාරයකට ගොස් ඔබගේ අවශ්‍යතාව සපුරාගැනීමට සිදුවේවි....එහෙත් රූපලාවණ්‍යාගාරයක් තෝරා ගැනීමේදී ඔබ ඒ පිළිබඳ කෙතරම් දැනුම්වත්ද? ඔබට අවශ්‍ය දේ ඔවුන් ලබාදේවි යැයි ඔබට විශ්වාසද?

ඔබේ රුව රැක ගැනීම ඔබ සතු වගකීමක්

තමාගේ සුන්දරත්වය පිළිබඳ කෙතරම් විශ්වාසයක් ඇති තරුණයෙක් තරුණියක් වුවත් රූපලාවණ්‍ය ශිල්පියා ඇගේ හෝ ඔහුගේ කාර්යය අවසන් කරන තුරු සිටින්නේ තැතිගැන්මෙන්. ඒ තැතිගැන්ම මදක් හෝ අවම කර ගන්නා මන්තරය අපි අද ඔබට කියා දෙන්න සිතුවෙමු.

රූපලාවණ්‍යාගාරයක් කියන්නෙත් හරියට ශල්‍යාගාරයක් වගේ. ඔබ සේවය ලබා ගන්නා රූපලාවණ්‍යාගාරය කෙතරම් සෞඛ්‍යාරක්ෂිතද යන්න පළමුව දැන ගන්න. බොහෝ රූපලාවණ්‍යගාරවලින් ඉස්සෝරි, කුරුලෑ, ඉන්නන්, දද, කුෂ්ට වැනි සමේ රෝග පවා බෝවීමට ඉඩ කඩ තිබීම මෙයට හේතුවයි. ඔබ රූපලාවණ්‍යාගාරයකට යනවා නම්  ඒ පිළිබඳ දැනුම්වත් විය යුතුයි.  රූපලාවණ්‍යාගාරයකට යෑමට පෙර ඔබ කවුද, සමාජයෙහි ඔබ රැඳෙන්නේ කවුරුන් ලෙසද, ඔබේ රැකියාව, ඔබට පාසල් වයසේ දරුවන් සිටිනවා නම් ඒ ගැනද සිහියේ තබාගත යුතුයි. බොහෝ කාන්තාවෝ තවත් කෙනෙක් කරපු සහ කියපු පළියට දේවල් කිරීමට ගොස් නොගැළපෙන විලාසිතා නිසා තමා විසින්ම තමාව විරූපී කර ගන්නා අයුරු ඔබ ඕනෑ තරම් අසා හෝ දැක ඇත.

ඔබේ වෙනස ඔබට ගැළපේවිද

ඔබට ඔබගේ කොණ්ඩය වර්ණ ගන්වා ගැනීමට අවශ්‍ය යැයි සිතමු. මුලින්ම ඔබ එතැන සිටින අයගෙන් අහනවා ඔබට ගැළපෙන පාට ගැන. ඔවුන් ඔබට කලර් චාට් එකක් ලබා දේවි. පසුව ඔබ කොණ්ඩා සැකැසුම් ශිල්පියා සමඟ කතා කර පාටක් තෝරා ගනීවි. මෙතනදී දැනගත යුතු තවත් කරුණු බොහොමයක් තියෙනවා. තමා කිරීමට යන වෙනස තමාගේ රැකියාවට හා සමට ගැළපෙනවාද යන්න ඔබ දැනගත යුතුයි. සෑම විටම අපි තෝරාගත යුත්තේ තම වෘත්තීමය පෞරුෂත්වයට ගැළපෙන පාටක් මිස අප කැමැති වර්ණය නොවේ. එහෙත් එම වර්ණ අවබෝධය ඔබටද තිබිය යුතුයි. එය තීරණය කිරීමේ සම්පූර්ණ අයිතිය කොණ්ඩ සැකසුම් ශිල්පියාට ලබා නොදීමට වගබලා ගන්න. එමෙන්ම ඔබ ඒ වර්ණ ගැන්වීම පිළිබඳ කොණ්ඩා සැකසුම් ශිල්පියා දැනුම්වත් කළ යුතු කරුණු බොහෝය. තමාට රසායනික ආසාදන තිබේද, තමා යම්කිසි රෝගයකින් පෙළෙන තැනැත්තෙක්ද, තමා ඒ අවස්ථාවේදී ගර්භණි ද, කිරිදෙන මවක් ද යන්න වගේම ඔබ ප්‍රථම වතාවට කොණ්ඩය වර්ණ ගන්වන තැනැත්තෙක් හෝ තැනැත්තියක් නම් කොණ්ඩා සැකැසුම් ශිල්පියා ලවා ඇලර්ජී ටෙස්ට් එක කළ යුතුමයි.

ෆේෂල් එකක් තෝරා ගැනීමේදී  ද ඔබේ සමට, සෞඛ්‍ය තත්ත්වයට මෙය ගැළපෙනවාද යන්න සැලකිලිමත් වන්න. එබැවින් ඔබ රූපලාවණ්‍ය ශිල්පියා ලවා ඔබේ සම පරීක්ෂා කර ගත යුතුයි. එමඟින් ඔබට ගැළපෙන්නේ ෆේෂල් එක තහවුරු කර ගැනීමට පුළුවන්. කෙසේ වෙතත් ඔබේ සමේ ස්වාභාවය පිළිබඳ ඔබට දැනුමක් තිබීම වැදගත්. බොහො විට තරුණ තරුණියන් විවිධ ක්‍රීම් වර්ග භාවිත කිරීමට පුරුදුව ඇති නිසා මාස හයකට වතාවක්වත් හෝ සමේ ස්වභාවය පරීක්ෂා කළ යුතුයි. ඔබේ රූපලාවණ්‍යාගාරයෙන් සමෙහි පරික්ෂාවක් සිදු නොවෙනවා නම් එය තනිවම ඔබට වුවද කරගත හැකියි. රාත්‍රියේ කිසිඳු ආලේපන භාවිත නොකර උදේ ඇහැරුණු පසු නහය දෙපැත්ත, කම්මුල් දෙපැත්ත, නිකට සහ නළල ටිෂූ එකකින් තද කරන්න. ටිෂු එකේ තෙල් තැවරී ඇති නම් ඔබට ඇතිතේ තෙල් සහිත සමක්. කට දෙපැත්ත සුදු වෙමින්, නහය දෙපැත්ත හම යනවා නම් ඒ වියළි සමක ලක්ෂණ. මිශ්‍ර සමක් නම් නහය සහ නිකට පමණක් තෙල් සහිත ස්වභාවය මතු වෙනවා මිසක කම්මුල් දෙපැත්ත එවැනි ස්වභාවයක් රුඳෙන්නේ නැහැ. සාමාන්‍ය සමක් නම් මේ කිසිවක් වැඩිපුර නැහැ. අපි කුමන ආලේපනයක් භාවිත කළත් එය මාස හයකට වඩා භාවිත නොකළ යුතුයි.

දැන් කාලේ බොහෝ දෙනාට ‘සුදු‘වෙන්න තියෙන උනන්දුව බොහොම වැඩියි. එනිසාම විවිධ බ්ලීචින් ආලේප කිරීමට හුරුව තිබෙනවා. ඔබට මතක ඇති පසුගිය කාලවල සමහර පුද්ගලයන් රූපලාවණ්‍යගාරය තුළදීම එම ආලේපන ආසාදනය වීමෙන්  මියගිය පුවත්. සමහර රූපලාවණ්‍ය ශිල්පීන් තම සේවාදායකයාගේ මුහුණට යම් ආලේපයක් ආලේප කර ඔවුන් වෙනත් කාර්යයවල යෙදෙනවා එය ඉවත් කළ යුතු වේලාව ගැන හෝ තැකීමක් නැතිව. එවිට ඔබ හෝ ඔවුන් දැනුම්වත් කළ යුතුයි ඒ පිළිබඳ. ලස්සනට සිටීම, ඒ ලස්සන පවත්වා ගැනීම ඔබේ සම හා ශරීරය පිළිබඳ වගකීම ඔබ සතුයි. එබැවින් රූපලාවණ්‍යශිල්පියාට අවශ්‍ය ලෙස නොව; ඔබ ඔබට අවශ්‍ය ලෙස හැඩවී හෝ වෙනස් වී රූපලාවණ්‍යාගාරයෙන් එළියට ඒමට වගබලා ගන්න...

උපදෙස් -   ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී  අරෝෂි කෞෂල්‍යා 

Comments