අපිට අපේ තැනක් තිබෙනවා | සිළුමිණ

අපිට අපේ තැනක් තිබෙනවා

පසුගිය ක්‍රීඩා තරගාවලියේදී ජාතික තලයට තේරුණු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදලින් මෙන්ම වටිනා ක්‍රීඩා උපාංග වලින් අප සංගමය ආධාර කළා.

අපට තිබුණු එකම බාධකය කොවිඩ් උවදුර නැත්නම් දැනටමත් අපි සෑහෙන දුර ගිහින්. අපි ව්‍යාපෘති ගණනාවකටම අත ගසා තියෙනවා.

වත්මන් වෙළෙඳ සේවා මලල ක්‍රීඩා සංගමයේ සභාපති ධූරයට දෙවැනි වරටත් පත් වූ අලියන්සේ රක්ෂණ සමාගමේ ජ්‍යෙෂ්ඨ අංශ ප්‍රධානී ප්‍රසන්න ඉන්දික මහතාය. ‘ක්‍රීඩා’ ඔහු හා සාකච්ඡා කිරීමට තීරණය කළේ එම සංගමය පිළිබඳ ජන සමාජය තුළ ගොඩනැගී ඇති පොදු ප්‍රශ්නාවලියකට පිළිතුරු සොයාගැනීම පිණිසය.

මොකක්ද මේ එම්.ඒ.එෆ් එක?

1983 ආරම්භව මේ වන විට මෙරට ප්‍රධාන පෙළේ වෙ‍ළෙද ආයතන 52ක් පමණ සාමාජිකත්වය දරණ මලල ක්‍රීඩා සංගමයක්.

ඔබ එහි සභාපති වුණාට කරපු වැඩක් තියෙනවද?

එම සංගමයේ සභාපති ධුරටය දෙවැනි වරටත් මාව නිලබලයෙන් පත් කිරීමෙන් අනතුරුව එහි සාමාජික සංඛ්‍යාව 2,000 සිට 2,500 දක්වා වැඩි කරන්න මට හැකිවුණා. මේ වන විට අපේ සංගමයට කියලා කාර්යාලයක් ගත්තා. එසේම ලෝකය පුරා පවතින කෝවිඩ් වසංගතයෙන් ආරක්ෂාවීම සදහා මෙරට ජාතික සංචිතයේ ‍ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ආරක්ෂක උපාංග කට්ටල 100ක් ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ‍ ක්‍රීඩා අමාත්‍යංශයට ලබාදීමට අප සංගමය කටයුතු කළා. මගේ සභාපතිත්වයෙන් වෙළෙඳ සේවා මලල ක්‍රීඩා උළෙලවල් දෙකක් සංවිධානය කළා .එහිදී විශේෂ දස්කම් දැක්වූ ‍ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ අප සංගමයේ උන්නතියට කටයුතු කර ඇති ප්‍රවීණ නිලධාරීන් ඇගයීමට ලක් කළා. මේ වගේ කටයුතු කරන්න මට අවස්ථාවක් ලැබිලා තිබෙන්නේ මේ තනතුරේ රැඳෙන නිසයි.

ආණ්ඩුවෙන් සල්ලි බලාගෙන ඉන්න බොහෝ සංගම්වලට වැඩිය එම්.ඒ.එෆ්. එකට ස්වාධීනව වැඩ කරන්න සල්ලි හොයාගන්න පුලුවන් නේද?

ඔව්. එය මා ඇතුළු මාගේ කමිටුවේ වගකීමක්. සහ ඒ සදහා මාගේ නායකත්වය යටතේ දක්ෂ සාමාජික සාමාජිකාවන්ගේ සැදුම්ලත් කණ්ඩායමක් මට සිටිනවා.

දෙවැනි වරටත් ඔබ සභාපතිත්වයට පත්වීම පිටුපස යම් අරමුණක් ඇති?

ඇත්ත වශයෙන්ම මට අවශ්‍ය අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ශරීර සෞඛ්‍ය වර්ධනය කරවීම වගේම ඔවුන්ගේ දක්ෂතා ජාත්‍යන්තර තලයේ විදහා දැක්වීමට අවස්ථාව සැකසීමයි.

සංගමයේ සාමාජික වෙළෙඳ සේවා ආයතනවලින් ඔවුන්ගෙන් නියෝජනය වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් අවශ්‍ය සහයෝගය ලැබෙනවාද?

ඔව්. සියලුම ආයතන වලින් අපේ ක්‍රීඩකයන්ට උපරිම අනුග්‍රාහකත්වය ලැබෙනවා.

එම්.ඒ.එෆ්. එකේ දුවන්නේ විනෝදෙට ද? එහෙම නැත්නම් තරගකාරී ක්‍රීඩාව වෙනුවෙන් ද? ජාතික තලයේ එම්.ඒ.එෆ්. ක්‍රීඩකයෝ ඉන්නේ කවුද ?

අපේ ක්‍රීඩා උළෙලේ ඉසව් සියයකට අධික සංඛ්‍යාවක් තියෙනවා තරගකාරී ආයතනවල සේවය කරන බොහෝ සේවකයන් කිසියම් මානසික නිදහසක් අත්විඳීමේ අරමුණින් තරගකාරීත්වය ද මුසු කරගනිමින් තරග ඉසව් වලට සම්බන්ධ වෙනවා.

ජාතික තලයේ ඉන්න ක්‍රීඩකයන් ගැන කිව්වොත්,

ටෙලිකොම් ආයතනයේ තමරලතා,ජනශක්ති ආයතනයේ මධුවන්ති හැටන් නැෂනල් බැංකුවේ ධම්මිකා මැණිකේ වැනි තව කිහිප දෙනෙක්ම සිටිනවා. ලෝක ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරගාවලියේ පදක්කම්ලාභීන් අතර ශ්‍රී ලංකා එයාර් ලයින්ස් ආයතනයේ ගාමිණී වීරසිංහ වැනි ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සංගමයේ සාමාජිකත්වය දරනවා.

මලල ක්‍රීඩාවට සම්බන්ධ වෙන්න වෙළෙඳ ආයතනවල කැමැත්තක්, නිදහස් තියෙනවද?

තිබෙනවා. ඒක හරියට අපේ පාසල් කාලය තුළ සෑම අවුරුද්දකම නිවාසාන්තර මලල ක්‍රීඩා උත්සවය වෙනුවෙන් කටයුතු කරනවා වගේ වැඩක්. ඒ සදහා වසර මුලදී හැමෝම පුරුදු පුහුණු වෙනවා. එදා අපේ නිවාසය දිනවන්න කටයුතු කළා වගේ අද අපි අපේ සේවා ආයතනය දිනවන්න කටයුතු කරනවා.

එම්.ඒ.එෆ්. එකට යොවුන් ක්‍රීඩකයෝ පෞද්ගලික ආයතනවල සේවයට බඳවාගෙන අනාගත පෙළක් ශක්තිමත් කරන්න බැරි ද?

ඔව්. එසේ කළ හැකියි. දැනටමත් ඒ වෙනුවෙන් අපි සැලසුමක් ක්‍රියාත්මක කරගෙන යනවා. පසුගිය ක්‍රීඩා තරගාවලියේදී ජාතික තලයට තේරුණු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදලින් මෙන්ම වටිනා ක්‍රීඩා උපාංග වලින් අප සංගමය ආධාර කර තිබෙනවා.

කොටින්ම කියනවා නම් එම්.ඒ.එෆ්. එකට ඉඩමක් අරගෙන අංග සම්පූර්ණ ක්‍රීඩාංගණයක් හදලා ඒක විවිධ සංගම්වලට, ආයතනවලට, පාසල්වලට කුලී පදනම මත දුන්නා නම් ආදයමක් ලබාගෙන ක්‍රීඩාවට යමක් කරන්න හැකියිනෙ. ඒ වගේ වැඩපිළිවෙලක් ගැන හිතන්න තවම එම්.ඒ.එෆ්. එකට බැරි ඇයි?

ඒක හොද අදහසක්. ඒ අදහස අපි අගේ කරනවා. ඒක අපි කවද හරි කරනවා. මුලින්ම අපි මගේ සභාපතිත්වය යටතේ කාර්යාලයක් ගත්තා. දැන් අපිට කියලා කාර්යාලයක් තිබෙනවා. දැනට තිබෙන ලොකුම බාධකය කෝවිඩ් උවදුර නැත්නම් දැනටමත් අපි සෑහෙන දුර ගිහින්. ඉදිරියේදී අපි ක්‍රීඩාව දියුණු කිරීම සඳහා ‍ක්‍රීඩා අමාත්‍යවරයාගේ සහයෝගයත් අරගෙන අංගසම්පූර්ණ කියලා ගොඩනැගිල්ලක් හදන්න බලාපොරොත්තු වෙනවා.

 

Comments