අයි ඇන්ඩ් ඩී සාඩම්බර නිර්මාණයක් හෙවත් මේස පන්දු පිටියේ ජානමය උරුමය | සිළුමිණ

අයි ඇන්ඩ් ඩී සාඩම්බර නිර්මාණයක් හෙවත් මේස පන්දු පිටියේ ජානමය උරුමය

SENURA

මේස පන්දු ක්‍රීඩාවෙන් දකුණු ආසියානු ක්‍රීඩා උළෙලක දී ආනන්ද විදුහලින් ශ්‍රී ලංකාව නියෝජනය කළ පළමු ක්‍රීඩකයා වශයෙන් ඔහු වාර්තාවක් පිහිටුවීය

ලෝකයේ ක්‍රීඩාව නොසිතූ පරිදි වැඩිදියුණු වී ඇත්තේ තාක්ෂණය හේතුවෙනි. එහෙත් තාක්ෂණය කොතරම් දියුණු වුවද ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ගේ සහජ දක්ෂතා මතු නොවන්නේ නම් ක්‍රීඩාව නොපවතිනු ඇතැයි පැවසිය හැකිය.

ඇතැම් ක්‍රීඩක දක්ෂතා ප්‍රවේණි උරුමයක් වන්නේ මව හෝ පියා හෝ සතුව තිබූ දක්ෂතා ක්‍රීඩාව, කලාව, දේශපාලනය ආදී විවිධ භාවිතාවන්හිදී යළි කරළියට පැමිණීමේදී ය. එවැනි දක්ෂතා දක්වන ක්‍රීඩකයින් අතරින් ප්‍රවීණයන්ට ද අභියෝග එල්ල කරන දහ හතර හැවිරිදි ක්‍රීඩකයකු සම්බන්ධයෙන් මෙවර ‘ක්‍රීඩා’ සටහන් කරනු ලැබේ.

ඒ සෙනුර දිලංකය. සෙනුර යැයි කීවාට ඔහු නිවැරැදිව හඳුනා ගන්නට නම් ඔහු ලැබූ ජයග්‍රහණ පමණක් ප්‍රමාණවත් නොවන්නේ ඔහු මෙරට විශිෂ්ට මේස පන්දු ක්‍රීඩකයකුගේ හා ක්‍රීඩිකාවකගේ පුත්‍රයා වන හෙයිනි. ඒ මේස පන්දු ක්‍රීඩාවෙන් 1991 සිට 2007 අතර කාලය තුලදී 9 වතාවක් ජාතික ශූරියක් ව සිටි එමෙන්ම දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කේවල රිදී පදක්කම්ලාභිනී දීපිකා රොද්‍රිගෝ ගේ හා අට වරක් ජාතික අනුශූරයා වූ හා දකුණු ආසියානු පදක්කම් ලාභියකු වන ඉන්දික ප්‍රසාද් ගේ වැඩිමහල් පුත්‍ර රත්නය ය. ගහේ කටු උල් කරන්නට අවශ්‍ය නැත්තාක් මෙන් වර්තමානයේ මේස පන්දු පිටියේ ඔහු දීර්ඝ ගමනක් මේ වනවිටත් ආරම්භ කර තිබේ.

2004 වසරේදී විවාහ ප්‍රාප්ත වන දීපිකා හා ඉන්දිකගේ කැදැල්ලට සෙනුර එක්වන්නේ 2005 වසරේ මැයි මස 31 වැනිදා ය. යන්තමින් සෙනුරට අවුරුද්ද පිරෙද්දී එනම් 2006 වසරේ දී ඔහුගේ මව් පියන් අවසන් දකුණු ආසියානු තරගාවලියට සහභාගි විය. නිවසේ සිට පුහුණු වෙමින් දීපිකා දකුණු ආසියානු මේස පන්දු තරගාවලියට සහභාගි වූයේ කුඩා සෙනුර හේතුවෙනි. ඒ අනුව කුඩා සෙනුරට යන්තමින් හය හතර නොතේරෙන සමයේ සිට මේස පන්දු පිත්ත හා පිංපොං බෝලය සුපුරුදු දර්ශනයක්ම විය.

එක් දරු දීපිකා සහ ඉන්දික මේස පන්දු ක්‍රීඩාව අත් නොහැර ක්‍රීඩාවත් සමග ම ඉදිරියට යෑම ද ඊට ඉවහල් වූයේය. 2007 වසරේදී ජාතික ශූරිය බවට පත්වන දීපිකා ක්‍රීඩාවට සමුදුන් අතර, ඉන්දික 2008 සිට 2010 දක්වා කාලයේදී ක්‍රීඩාවෙන් තාවකාලිකව ඉවත්වීමට තීරණය කළ ද ඊට වසර 6කට පසු දස්කම් දක්වමින් 2014 වසරේදී ජාතික පිලට එක්වූයේ ය. ඒ වන විට සෙනුරට වයස අවුරුදු 9ක් විණි.

ඒ ඉන්දික සහ දීපිකා ‘අයි ඇන්ඩ් ඩී’ නමින් ආරම්භ කළ මේස පන්දු ඇකඩමියේ ද පුහුණුව ලබමිනි. සෙනුර මේස පන්දු ක්‍රීඩාවට යොමුවුණේ 2009 වසරේදී ය. එවිට සෙනුරට යම්තමින් වසර 4ක් සම්පූර්ණ වූවා පමණි. ඔහු සිය ප්‍රාථමික අධ්‍යාපනය වෙනුවෙන් 2011 වසරේදී කොළඹ ඉසිපතන විද්‍යාලයට ඇතුළත් වන්නේ මේ අතරේ ය. ඔහුගේ මේස පන්දු පුහුණුකරු බවට පත්වන්නේ පියා වන ඉන්දික ප්‍රසාද් ම වීම විශේෂත්වයකි. ඉසිපතනයේ ඉගෙනුම ලබද්දී අවුරුදු 8න් පහළ තරගවලදී ජයග්‍රහණ අත්කර ගැනීමත් සමගින් සෙනුරට කොළඹ ආනන්ද විද්‍යාලයට එක්වීමේ අවස්ථාවක් හිමිවිණි.

එතැන් සිට ඔහුගේ පුහුණුකරු වන්නේ නිශාන් පෙරේරා මහතා යි.

අවුරුදු 8න් පහළ සිට මේ දක්වා මේස පන්දු තරගවලට තරග වදින ඔහු මේ වන විට ජයග්‍රහණ විශාල සංඛ්‍යාවක් දිනාගෙන ඇත. එහෙයින් ඔහු ජාතික කණිෂ්ඨ කණ්ඩායමට එක් කරගත් අතර තෙවතාවක්ම ලෝක කණිෂ්ඨ තරගාවලියට සහභාගි වූයේය. ඔහු 2017 වසරේදී ඉන්දියාවේ පැවැති තරගාවලියේදී 12න් පහළ කේවල ලෝකඩ පදක්කම දිනාගත්තේය.

මේ අතර සෙනුර 2018 වසරේදී මාලදිවයිනේ පැවැති දකුණු ආසියානු කණිෂ්ඨ මේස පන්දු තරගාවලියේදී අවුරුදු 15න් පහළ කණ්ඩායම් අංශයේ රිදී පදක්කම දිනාගත් කණ්ඩායමේ සාමාජිකයෙක් බවට ද පත්විය. 2019 දී නේපාලයේ පැවැති දකුණු ආසියානු කණිෂ්ඨ තරගාවලියේදී අවුරුදු 15න් පහළ කේවල රන් පදක්කම දිනා ගත් ඔහු තායිලන්තය, ඉන්දියාව, මාලදිවයින, ඕමානය, ඉන්දුනීසියාව සහ නේපාලය යන රටවල තරග සංචාරයන්ට එක් වී පදක්කම් හා කුශලතා සම්මාන ලබා තිබේ.

මේ වන විට 14 හැවිරිදි වියේ පසුවන සෙනුර ශ්‍රී ලංකා මේස පන්දු ශ්‍රේණිගත කිරීම් අනුව අවුරුදු 15න් පහළ සහ අවුරුදු 18න් පහළ වයස් සීමා දෙකේම අංක 1 හිමිකර ගෙන සිටින අතර, විවෘත පිරිමි අංශයේ අංක 3 ස්ථානය හිමිකර ගෙන සිටියි. ඔහු 2018 සහ 2019 වසරවලදී කණිෂ්ඨ ජාතික ශූරයා වූ අතර එම වසරවලදී තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ද විය.

2019 කණිෂ්ඨ ජාතික ශූරතාවය සෙනුර ස්වකීය ක්‍රීඩා දිවියේ සුවිශේෂී දස්කම් දැක්වූ තරගාවලියක් විය. ඒ එම තරගාවලියේදී සහභාගිවූ 15න් පහළ සහ 18න් පහළ කේවල ඉසව් මෙන්ම, 18න් පහළ පිරිමි යුගළ සහ 18න් පහළ මිශ්‍ර යුගළ යන ඉසව් 4ම ජයග්‍රහණය හිමිකර ගැනීමට හැකිවීම නිසාවෙනි. ඔහු 2019 වසරේදී ජ්‍යෙෂ්ඨ අංශයෙන් ජාතික කණ්ඩායම නියෝජනය කළේය.

2019 වසරේ නේපාලයේ පැවැති 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ළාබාල ම ක්‍රීඩකයා බවට පත්වූයේ ද සෙනුර ය. ඒ අනුව සාග් ක්‍රීඩා උළෙලේ ලෝකඩ පදක්කම දිනාගත් ශ්‍රී ලංකා ජාතික ජ්‍යෙෂ්ඨ මේස පන්දු කණ්ඩායම නියෝජනය කරමින් ආනන්ද විද්‍යාලයෙන් මේස පන්දු ක්‍රීඩාවෙන් දකුණු ආසියානු ක්‍රීඩා උළෙලක් නියෝජනය කළ පළමු ක්‍රීඩකයා වශයෙන් ඔහු වාර්තාවක් පිහිටුවීය.

කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු විදුහල්පති කිත්සිරි ලියනගමගේ මහතා, වත්මන් විදුහල්පති එස්.එම්. කීර්තිරත්න මහතා, ආනන්ද විද්‍යාලයේ හිටපු මේස පන්දු ක්‍රීඩා භාර ආචාරිනී ශ්‍යාමලී විජේවර්ධන මහත්මිය සහ වත්මන් මේස පන්දු ක්‍රීඩා භාර ආචාරිනී නයනා දන්දුන්න මහත්මියත්, ශ්‍රී ලංකා මේස පන්දු සම්මේලනයේ සියළු නිලධාරීන් ළාබාල සෙනුරගේ ක්‍රීඩා දිවියේ සාර්ථකත්වයට දායකත්වයක් ලබාදී ඇතැයි පවසන සෙනුර නම් වශයෙන් සඳහන් කළ නොහැකි විශාල පිරිසක් ද ඒ අතර වන බව පැවසීය.

 

Comments