ඇත්තටම මට ඕනෑ මෙතැනින් යන්න | සිළුමිණ

ඇත්තටම මට ඕනෑ මෙතැනින් යන්න

THENUKA Vidanagamage

යටිතලයේ වැඩ සාර්ථකව කරපු මට ක්‍රීඩා යටිතල පහසුකම් ගොඩනැඟීම ගැටලුවක් නොවෙයි

මගේ අවශ්‍යතාව ගැන ජනාධිපතිතුමාටත් කිව්වා

ජාතික තලයේ ක්‍රීඩා නොකළාට මමත් හොඳ ක්‍රීඩකයෙක් සුගතදාස ක්‍රීඩාංගණය ඇතුළේ නැවත කවදාවත් භාග වැඩ නෑ

නව වසරේ අයවැයේ දෙවැනි විශාලතම මුදල් ප්‍රමාණය වෙන්වුණේ ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයට ය. එහි දේශපාලන ප්‍රධානියා තේනුක විදානගමගේ රාජ්‍ය අමාත්‍යවරයා ය. කොළඹ සිට මහනුවරට ගොස් මීදුම් සේලයෙන් හැඩවුණු උඩුදුම්බර පසුකර මහියංගනයේ දහ අට වංගු බැස රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සභාපතිවරයාගේ නිල කාර්යාලයේ දී ‘ක්‍රීඩා’ ඔහු මුනගැසුණේ ය. ඒ මහියංගනයට හත් දුරුත්ත උදාවීමට දින කීපයකට පෙර ය.

අපි මහියංගනයට එද්දී වස්සානය ආරම්භ වෙලා. ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයටත් වස්සාන කාලයක් එළඹිලා නේද?

ඔව්. මේ අප ඉන්න ප්‍රදේශයට වර්ෂාව පතිතවන කාලය. තව දින කීපයකින් දින හතක් එක දිගට වහිනවා. අපි ඒකට කියන්නේ හත් දුරුත්ත කියලා. ඔබ ඔය වස්සානය කියන්නේ අපේ අමාත්‍යාංශයට මෙවර අයවැයෙන් දෙවැනියටම විශාල මුදල් ප්‍රතිපාදන වෙන්වුණු නිසා වෙන්න ඇති. ඇත්ත, අපිටත් මේ එළඹිලා තිබෙන්නේ වැඩ කරන්න අවශ්‍ය වස්සානය තමයි.

ඉස්සෙල්ලාම කියමුද මොකක් ද මේ අලුත් අමාත්‍යංශය. එයින් බලාපොරොත්තු වෙන්නේ මොන වගේ වැඩක් ද?

මගේ අමාත්‍යාංශය අලුත්ම අලුත් අමාත්‍යාංශයක්. ඒක හැදෙන්නෙ ජනාධිපතිතුමා හා අගමැතිතුමා එකතුවෙලා අමාත්‍යංශ විෂය පථය බෙදද්දී ගනු ලැබූ තීරණයක ප්‍රතිඵලයක් ලෙසයි. එතැනදී ක්‍රීඩා අමාත්‍යා‍ංශයට තිබෙන සීමාවන් අධ්‍යාපන අමාත්‍යාංශය තුළ ක්‍රීඩා පහසුකම් නගාලීමේ පවතින තාර්කික ගැටලු තේරුම් අරගෙන ඒ සියල්ලට විසඳුමක් වශයෙන් නිර්මාණය කළ අමාත්‍යාංශයක්. ක්‍රීඩාව ගැන දන්න, ක්‍රීඩාව කරලා තිබෙන නාමල් රාජපක්ෂ මහතාට ක්‍රීඩා විෂය බාරදීලා තිබියදී මගේ අලුත් අමාත්‍යාංශයෙන් අපේක්ෂා කරන්නේ රටේ ක්‍රීඩකත්වය ශක්තිමත් කරන්න අවශ්‍ය පසුතලයක් සකස්කිරීම යි.

ක්‍රීඩා ඇමැති ක්‍රීඩකයෙක් කියලා ආඩම්බරයෙන් කතාකරන ඔබ ක්‍රීඩා රාජ්‍ය අමාත්‍යාංශයේ නායකයා. ඒත් ඔබ ක්‍රීඩා කරලා නැද්ද?

මම පාසලේ ක්‍රීඩා කරලා තිබෙනවා. රගර්, පැසිපන්දු, පිහිනුම් කියන ක්‍රීඩාවන් තුනටම මම දායක වුණු කෙනෙක්. නමුත් ජාතික තලයට නම් ඇවිත් නෑ. ඒත් මමත් හොඳ ක්‍රීඩකයෙක්. මගේ පාසල් කාලය ගැන විමසලා බැලුවොත් තේනුක කියන්නේ හොඳ ක්‍රීඩකයකුට කියලා මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් දැනගන්න පුළුවන්. අනෙක අපේ ක්‍රීඩා ඇමැතිතුමා ක්‍රීඩකයෙක් වීම ක්‍රීඩාවට වාසියක්. වර්තමාන ක්‍රීඩා ඇමැතිතුමා ව හැමදාම ක්‍රීඩාංගණයේදී හරි කාය වර්ධනාගාරයේදී හරි හම්බ වෙන්න පුලුවන්.

එතකොට ඔබටම මේ අලුත්ම අලුත් රාජ්‍ය අමාත්‍යාංශ විෂය බාර දෙන්නෙ? ඒකට විශේෂ හේතුවක් තිබෙනවා ද?

විශේෂ හේතුව තමයි ග්‍රාමීය තලයේ වැඩ කටයුතු කරන්නට මට ඇති හැකියාව ගැන ජනාධිපතිතුමා හා අගමැතිතුමා තුළ පවතින විශ්වාසය. වත්මන් අග්‍රාමාත්‍යතුමා ජනාධිපති වශයෙන් කටයුතු කරන සමයේ මම බොහෝ ග්‍රාමීය ව්‍යාපෘති සිදුකරලා තිබෙනවා. කොමිස් ගන්නෙ නැතුව වැඩකරන නිසා තමයි මට මේ වගකීම ලැබෙන්නේ.

කොළඹ ඉඳලා අපි උඩුදුම්බර පහුකරලා දහ අට වංගුව බැහැලා මහියංගනයට එද්දී ග්‍රාමීය හා පාසල් යටිතල පහසුකම් රාජ්‍ය ඇමැතිතුමාගේ බල ප්‍රදේශයේ තිබෙන මහියංගන ජාතික ක්‍රීඩාංගණයෙත්, රිදීමාලියද්ද ප්‍රදේශයට එද්දී මාර්ගය අයිනේ හමුවුණු ක්‍රීඩාංගණයෙත් තුත්තිරි නම් සාරෙට වැවිලා තිබුණා. ඒත් ඔබ තමයි ලංකාවේම ක්‍රීඩාංගණයන්හි බාරකාරයා?

හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම අපි එක ක්‍රීඩාංගණයක් හදනවා. මේ වසරේ අදාළ කටයුතු ආරම්භ කරන්න හැකිවෙනවා. ඒ යටතේ මහියංගනය ක්‍රීඩාංගණය අංග සම්පූර්ණ ක්‍රීඩාංගනයක් බවට පත්වෙනවා. ඒ 2022 අවුරුද්දෙ දි අපි සිදුකරන වැඩක්. ගිරාඳුරුකෝට්ටෙත් මහවැලි ක්‍රීඩාංගනයක් තිබෙනවා. ඒ ක්‍රීඩාංගණය නේවාසික පහසුකම් සහිතව පුහුණු කිරීමට උචිත ආකාරයෙන් ගොඩනගන්න සැලසුම් කරලයි තිබෙන්නෙ. එහෙම නැතිව තුත්තිරි ටිකක්වත් කපාගන්න බැරි ඇමැති කෙනෙක් නෙවෙයි තේනුක කියන්නෙ.

ඉස්සෙල්ලා ඔබ කිව්වට ක්‍රීඩාව ගැන දන්න, ක්‍රීඩාව කරලා තිබෙන ඇමැති කෙනෙක් එක්ක වැඩකරද්දී තවම අසීරුතාවකට මුහුණ දෙන්න සිදු වෙලා නැද්ද?

කිසිම ගැටලුවක් නෑ. එතුමා කැබිනට් ඇමැතිවරයා. මම රාජ්‍ය අමාත්‍යවරයා. නමුත් අපේ අමාත්‍යාංශ දෙක අතර සුහදශීලී පරිසරයක් තිබෙනවා. ඉතා සුහදව, සහෝදරත්වයෙන් තමයි අපි වැඩකරන්නෙ.

ඇත්තටම ක්‍රීඩා ඇමතිතුමා ඔබේ විෂය පථයට, අමාත්‍යාංශයේ ක්‍රියාකාරකම්වලට ඇඟිලි ගහන්නෙ ම නැද්ද?

එතුමා හා මා අතර ඇති අන්‍යෝන්‍ය විශ්වාසය හා අවබෝධය සමඟ ඉතා සහයෝගයෙන් කටයුතු කරනවා. ඒ හැරෙන්න මට කිසිම බලපෑමක් කරන්නෙවත් මගේ විෂය පථයට බලපෑම් කරන්නෙවත් නෑ.

ඒ කියන්නේ රාජ්‍ය අමාත්‍යාංශ විෂය පථය හදන්න ගෙපැල කපාගන්න අමාත්‍යවරයා හා රාජ්‍ය අමාත්‍යවරයා අතර ගැඹුරු සාකච්ඡා එහෙම තියෙන්න ඇති?

ඔව්. මාස එකහමාරක් පමණ අපි ඒ ගැන පුළුල්ව සාකච්ඡා කළා. එහෙම කරලා තමයි ගැසට් එකෙන් අපිට වෙන්කරලා තිබෙන විෂය පරාසයන් මොනවා ද කියලා තීන්දු කළේ.

ඒ ක්‍රීඩා අමාත්‍යාංශය සමඟනෙ. ඒත් ක්‍රීඩා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යංශය තවත් අමාත්‍යංශ ගණනාවක් සමඟ සම්බන්ධ වෙනවා. උදාහරණයකට අධ්‍යාපන අමාත්‍යංශයේ වැඩකටයුතු එක්කත් වැඩකරනවා. කොහොමද මේ අමාත්‍යංශ විෂය පථයන් සමඟ සංහිඳියාව පවත්වාගන්නෙ?

අතීතයේ ක්‍රීඩා අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය අතර නිවැරැදි සම්බන්ධීකරණයක් තිබුණේ නෑ. උදාහරණයකට රටට ක්‍රීඩකයෝ හදන්නෙ පාසල් පද්ධතිය තුළිනුයි. මේ ක්‍රීඩකයන් ගොඩනැගෙන්න අවශ්‍ය ආර්ථික පිටුබලය ලැබිය යුතුයි. නමුත් ඒ දේ සිදුකිරීමේදී අධ්‍යාපන අමාත්‍යංශයට ගැටලු තිබුණා. ඒ බව දැනගෙන තමයි ජනාධිපතිතුමා හා අගමැතිතුමා මේ අලුත් රාජ්‍ය අමාත්‍යාංශය ස්ථාපනය කළේ. ඒ අනුව රටේ තිබෙන ක්‍රීඩා පාසල් විසිපහ දැන් තිහක් කරලා තිබෙනවා. ඒ ක්‍රීඩා පාසල් අධ්‍යාපන අමාත්‍යාංශයේ වුණාට පහසුකම් ගැන බලන්නේ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය වශයෙන් අපි යි. ඉදිරි කාලය තුළ ක්‍රීඩා පාසල් දහයක සින්තටික් ධාවන පථ අතුරලා ඒවායේ යටිතල පහසුකම් වර්ධනය කරන්න අපි සැලසුම්කරලා තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය හා හොඳ සහජීවනයක් ක්‍රීඩා විෂය බාර රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් මට හිමිව ඇතැයි කිව යුතුමයි.

රටේ අමාත්‍යාංශ විෂයන් අතර සහජීවනයක් නොමැතිවීම කාපට් කරපු පාර ආයෙත් විදුලිය එහෙම නැත්නම් ජල නල එළන්න කඩලා පෙන්නුම් කරනවා. රටේ ක්‍රීඩාංගණත් ඒ වගේ තමයි. අද හදනවා. හෙට ගලවනවා. ඔබේ අමාත්‍යාංශයේ වැඩපිළිවෙලවත් මේ හෝද හෝද මඩේ දාන තැනින් විතැන් වෙයි ද?

සුගතදාස අධිකාරියේ ඔය කියන තත්ත්වය තිබුණා. හැමදාම එතැන මොකක් හෝ අලුත්වැඩියාවක් වුණා. නමුත් මේ අමාත්‍යාංශ යටතට එය පත්කරගත්තාට පසුව පස් වසරක සංවර්ධන සැලැස්මක් යටතේ ස්ථිරසාර ප්‍රතිපත්ති මාලාවකට අනුව එහි සියලු නවීකරණ කටයුතු සිදුකරන්නෙ. මේ වසරේ ඒ වෙනුවෙන් රුපියල් මිලියන අට සිය විසි නවයක් වෙන්කරලා තිබෙනවා. ඒ මුදලින් දැනට හඳුනාගත්තු අඩුපාඩු පිළිසකර කෙරෙනවා. සල්ලි මදිනම් හොයලා දෙනවා. ආයෙ කාටවත් භාගෙට වැඩකරන්න බෑ.

රට තුළ ඇති සියලු ක්‍රීඩාංගණයන්හි යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම ඔබේ අමාත්‍යාංශය යටතට ද වැටෙන්නෙ?

මෙහෙමයි. අපේ රටේ නගර සභාවට, ප්‍රාදේශීය සභාවට, ප්‍රදේශයේ පාසලට, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත්වන ක්‍රීඩාංගණ තිබෙනවා. නමුත් මේ ක්‍රීඩාංගණ ප්‍රමාණය ගැන නිවැරැදි ගණනය කිරීමක් නෑ. දැන් අපි ඒ ගැන සමීක්ෂණය කරනවා. අනාගතයේදී අපි අපේක්ෂා කරන්නේ රටේම ක්‍රීඩාංගණ එකම ආයතනයක් යටතේ කළමනාකරණය කරන්න හැකි ව්‍යූහයක් නිර්මාණය කරන්නයි.

මහියංගනය කියන්නේ බොහෝම ශක්තිමත් ජාන සහිත ජනතාවක් ජීවත්වන ප්‍රදේශයක්. ඒ වගේම අපි මහනුවරින් උඩුදුම්බරට ඇවිදින් දහ අට වංගුව බහිද්දී උස් කඳු බිම් තමන්ගේ නිජභූමිකරගත් ජනතාව හමුවෙනවා. ජාන හා පාරිසරික සාධක විසින් ශක්තිමත් මිනිසුන් බිහිකරනවා යැයි විශ්වාස කළ හැකිනම් මොනවද මේ ශක්තිමත් ජාන සහිත ක්‍රීඩකයන් සොයාගන්න ඔබේ සැලසුම?

දැනටමත් අපි ආදිවාසී ජනතාවගේ නායකතුමා වන වන්නිල ඇත්තෝ සමඟ සාකච්ඡා කළා. එම ජනතාවව අතර ඉන්න දක්ෂ ක්‍රීඩකයන්ගෙන් ජාත්‍යන්තර දුනු ක්‍රීඩා කළ හැකි කණ්ඩායමක් හදන්නත් ඔවුන් අන්තර්ජාතික තත්ත්වයට ගෙනියන්නත් අපි අපේක්ෂා කරනවා. ඒ වගේම ක්‍රීඩක දක්ෂතා හඳුනා ගැනීමේ වැඩපිළිවෙලකුත් අපිට තිබෙනවා. ඒ යටතේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ පමණක් නොවෙයි සමස්ත ලංකාවේම දක්ෂතා ඇගයීමක් කළ හැකි තැනට ඉදිරියේදී කටයුතු කරනවා.

ක්‍රීඩාව වෙනුවෙන් ක්‍රීඩකයන් ගෙන්වා ගැනීමේ අපහසුතාවයක් තිබෙනවා. මොකද ක්‍රීඩකයෙක් වීමෙන් පමණක් ජීවිතය ගොඩ නගාගත හැකිද කියන ගැටලුව ඇති නිසා. යටිතල පහසුකම් සපයනවාට අමතරව මේ කියන අභියෝගයට කොහොමද පිළිතුරු ගොනු කරන්න අපේක්ෂා කරන්නෙ?

ඇත්ත. අද බොහෝ මාපියන් දරුවන්ගේ පාසල් අධ්‍යාපනය නිමවෙලා රැගෙන යන්නේ අතිරේක ඉගැන්වීම් කරන ගුරුවරු ළඟට. අධ්‍යාපනය ලැබිය යුතුයි. නමුත් ක්‍රීඩාවේත් නියැලිය යුතුයි. ඒ නිසා ඔවුන් දිරිගන්වන්න පාසල් තුළ ගොඩනැගෙන ක්‍රීඩකයන් බලාගන්න, ඔවුන්ට පහසුකම් ලබාදෙන්න, පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව ක්‍රීඩා විශ්ව විද්‍යාලයක් තුළ වැඩිදුර අධ්‍යාපනය ලබන්න, ඔවුන්ගේ රැකියා අවශ්‍යතා වෙනුවෙන් ක්‍රියාකරන්න පුළුල් වැඩපිළිවෙලක් තිබෙනවා.

සාර්ථක වැඩපිළිවෙල සකස් කළත් ඒවා ආණ්ඩු මාරුවෙද්දී, අමාත්‍යවරුන් වෙනස් වෙද්දී හමස් පෙට්ටියට වැටෙනවා. මේ ප්‍රතිපත්ති දීර්ඝ කාලයක් ක්‍රියාත්මක කෙරෙයි ද කියලා සහතිකයක් තිබෙනවා ද?

අපි අලුතින් ක්‍රීඩා පනතක් හදන්න යන්නේ ඒ නිසයි. ක්‍රීඩා, අධ්‍යාපන, අධිකරණ අමාත්‍යවරුන් අතර සාකච්ඡා කරලා දීර්ඝ කාලයක් පැවතිය හැකි ප්‍රතිපත්තියක් ගොඩනැගීමයි සැලසුම.

දැන් ඔබේ අමාත්‍යාංශයට අයවැයේ ලොකු මුදලක් වෙන්වුණා. ඒත් වසර අවසාන වෙද්දී ඒ වෙන්කළ මුදල් කෙට්ටු වෙලා, කෙසඟ වෙලා යයි ද?

නෑ. එහෙම වෙන්නේ නෑ. ඒක සහතිකයි. මේ වසරේ ඔක්තෝබර්, නොවැම්බර් වෙද්දී අපි නව වසරේ සැලසුම්කරලා තිබෙන වැඩ කටයුතු අවසන් කරනවා. වෙන්කළ මුදල් මහා භාණ්ඩාගාරයෙන් ලබාගන්න එක ගැටලුවක් නොවෙයි.

ගම සමඟ ඉන්න භූමියේ දේශපාලනය කරන ඇමැති කෙනෙකු වුණාට රාජ්‍ය අමාත්‍යාංශය තියෙන්නේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ. ඇයි අධික මිලක් වියදම් කරලා මේ වගේ තැනකට ගියේ?

ඇත්තටම මට ඕනෑ ඉක්මනට මෙතැනින් යන්නයි. අනෙක මේක පසුගිය ආණ්ඩුවේ ඇමැති කෙනෙක් ගත්ත තැනක්. ඒකේ බදු ගිවිසුම අනුව තමයි අපි රැඳිලා ඉන්නේ. කොහොම වුණත් අපිට අඩු මිල තැනක් ඉක්මනට ලැබේවි.

දැන් මෙතනට කීයක් කුලිය වශයෙන් ගෙවන්න වෙනව ද?

මාසිකව රුපියල් ලක්ෂ 42ක් ගෙවන්න ඕනෑ. ඒ මුදල ක්‍රීඩකයන්ට වියදම් කරන්න පුලුවන්.

 

ඡායාරූප - ජගත් ඉරෝෂණ

 

Comments