තේ-කෝපි තවාන් අතර කාන්සියට දිගහැරුණු එංගලන්ත සුදු ක්‍රිකට් පාඩම | සිළුමිණ

තේ-කෝපි තවාන් අතර කාන්සියට දිගහැරුණු එංගලන්ත සුදු ක්‍රිකට් පාඩම

ඔබේ ක්‍රිකට් ලෝලීන් ලෝකයේ සිටින හොඳම කණ්ඩායමක්. ඔවුන්ට ක්‍රිකට් ගැන මනා අවබෝධයක් තිබෙනවා. මේ රටේ ක්‍රිකට් ඉහළ මට්ටමක් කරා යනවා දකින්න ඔවුන් කැමතියි.

පෙරදිගට පෘතුගීසීන් පැමිණියේ අහම්බෙනි. පෘතුගීසින්ගෙන් පසුව බටහිර වෙළෙඳ පොළට විවර වූ පෙරදිග අභිමානය සොයා පැමිණි ලන්දේසීන් හා ඉංග්‍රීසීන් මෙරට පාලන බලය අත්පත් කරගනිමින් සැලකිය යුතු කාලයක් රැඳී උන්හ. එහි අතුරු ඵලයක් වශයෙන් එංගලන්තයේ සිට අධිරාජ්‍යවාදීන් මෙරට පැල කළේ කෝපි හා තේ පමණක් නොවේ. ඔවුහු විනෝදාස්වාදය හා දුරු රටක වෙසෙද්දී මතුවන කාන්සිය නිවාගැනීමට ක්‍රිකට් ක්‍රීඩාවද මෙරටට හඳුන්වා දුන්හ. ඒ 1982 ටෙස්ට් වරම දිනාදීමට දීර්ඝ කාලයකට පෙර සිටය. මේ එසේ පැමිණි ක්‍රිකට් කතාවේ ඓතිහාසික තොරතුරු වලින් බිඳකි.

ශ්‍රී ලංකාවට ඉංග්‍රීසි ජාතිකයන් ක්‍රිකට් හඳුන්වා දෙනු ලැබූවේ ක්‍රිස්තු වර්ෂ 1850 න් පසුව ය. ඒ වෙනුවෙන් මෙරට රැඳී සිටි ඉංග්‍රීසි සිවිල් සේවකයන් මෙන්ම වතු වැවිලිකරුවන් මූලිකව කටයුතු කරනු ලැබූ හ. 1850 ත් 1900 ත් අතර කාලය තුළ වැඩිපුර ක්‍රිකට් තරග පවත්වා ඇත්තේ එකී සිවිල් සේවකයන් හා වැවිලිකරුවන් අතරය.

එවැනි පදනමක් යටතේ එංගලන්තයේ සිට පළමු වරට ක්‍රිකට් කණ්ඩායමක් මෙරට ට පැමිණ ඇත්තේ 1882 වසරේදී ය. එදා ඔස්ට්‍රේලියාව බලා ගිය මෙම එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ඒ වෙනුවෙන් සංවිධානය කර තිබුණේ එවකට ප්‍රකට ක්‍රිකට් සංවිධායකවරයකු වූ අයිවෝ බ්ලයි නැමැත්තා විසින් බව ඉතිහාසයේ සටහන් වෙයි.

ඒ ඔස්ට්‍රේලියානු සංචාරයක් වෙනුවෙන් යන එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමක් ය. ඒ අනුව මෙරට ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් සමාජයක්ව තිබූ කොළඹ සී.සී.සී. ක්‍රිකට් සමාජය අයිවෝ බ්ලයි වෙත ලියා ඔස්ට්‍රේලියානු සංචාරයට යන අතරතුර ශ්‍රී ලංකාවට පැමිණ ක්‍රිකට් තරග කීපයකට සහභාගිවන ලෙස ඉල්ලීමක් කර තිබුණේය. ඇරැයුමක් වශයෙන් සිදුකළ මෙම ඉල්ලීම කෙසේ වුව ද ඔස්ට්‍ර්ලියාව බලා ගිය එංගලන්ත කණ්ඩායම ගමන්ගත් ‘පෙෂාවර්’ නමැති නෞකාව කොළඹ වරායේ නතර කර තැබීමට නියමිත වුණේ එක් දිනක් පමණි. එහෙත් එහි ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට එය වෙස්වලාගත් ආශිර්වාදයක් බවට පත්විය. එහි ප්‍රතිඵලය වූයේ දින දෙකක තරගයක් ශ්‍රී ලංකාව තුළ සංවිධානය කිරීමට තීරණය කිරීමයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ පැවැති එංගලන්තය හා තරගය අහම්බෙන් සිදු වූ එකකි. එම තරගය ගැන වාර්ත වී ඇති කරුණු වලට අනුව, ‘1882 ඔක්තෝබර් 13 හා 14 යන දිනවල දී කොළඹ ගෝල් ෆේස් පිටියේදී තරගය පැවැත්විණි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් 18ක්, ලංකා කණ්ඩායමේ නායකයා කොළඹ ක්‍රිකට් සමාජයේ ජෝර්ජ් වැන්ඩස්පා ය. එම කණ්ඩායමට යුද හමුදා, නාවික හමුදා සහ සුදු ජාතික ක්‍රීඩකයින් ඇතුළත් විණි.

එම එංගලන්ත කණ්ඩායම නම්කර තිබුණේ ගෞරවණීය අයිවෝ බ්ලයිගේ කණ්ඩායම කියා ය. එම කණ්ඩායමට ඩබ්ලිව්. සී. ස්ටඩ්, ජී.ස්ටිල් සහ ජී. බාලෝ යන ක්‍රීඩකයින් ඇතුළත් විණි.

1882 සිට 1982 තම පළමු ටෙස්ට් තරගයට ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන තුරු එංගලන්ත කණ්ඩායම් වරින් වර මෙරට සංචාරය කළ හ. මේ එම සංචාරයන්හි අමතක නොවන දස්කම් ගැන කෙටි විස්තරයකි.

මුල්ම අවධියේ එංගලන්ත කණ්ඩායම් මෙරටට පැමිණියේ එම්.සී.සී. නමිනි. එනම් මාර්ලිබෝර්න් ක්‍රිකට් සමාජය ලෙසය. එලෙස පැමිණි කණ්ඩාම්වලට කොලින් කවුඩ්රි, වෙඩ් ඩෙක්ස්ටර්, ටොම් ග්‍රෙවනි, ජෝන් ඒඩ්රිච්, කෙන් බැරිටෙන්, ටෝනි ග්‍රෙග්, ටෝනි ලුවිස්, ඩෙරික් අන්ඩර්වුඩ්, ඩෙනිස් ඒමිස්, ඩේවිඩ් ගවර්, පැට් පෝකොක්, මයික් ඩෙනන්ස්, කීත් ප්ලෙචර් සහ බොබ් වූල්ටර් ඇතුළත්ව සිටි ප්‍රකට ක්‍රීඩකයෝ වූහ.

සංචාරක එංගලන්ත පිල හා තරග කළ ප්‍රකට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතර මයිකල් තිසේරා, අනුර තෙන්නකෝන්, සී.අයි. ගුණසේකර, එච්.අයි.කේ. ප්‍රනාන්දු, ගාමිණී ගුණසේන, ඒ.සී.එම්. ලාෆීර්, බානි රීඩ්, රංජිත් ප්‍රනාන්දු, ඩී.එස්. ද සිල්වා, බන්දුල වර්ණපුර, ඩේවිඩ් හයින්, අනුරුද්ධ පොලොන්නෝවිට, නීල් චන්මුගම් සහ දුලිප් මෙන්ඩිස් කැපී පෙණුන හ.

ශ්‍රී ලංකාවට පැමිණි එංගලන්ත ක්‍රීඩකයන් අතර ජනප්‍රිය චරිතයක් වූයේ උසැති ටෝනි ග්‍රෙග් ය. ශ්‍රී ලංකාවට ඉමහත් ප්‍රියතාවයක් දැක්වූ ග්‍රෙග් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙසත් පසුකලෙක සම්මානනීය විචාරකයකු ලෙසත් නමක් දිනාගත්තේය. 1973 සහ 1977 වසරවල මෙරටට පැමිණි එංගලන්ත කණ්ඩායම් වලට ඔහු ඇතුළත් විය. 1977 වසරේ මෙරටට පැමිණි එංගලන්ත කණ්ඩායමේ නායකයා වූයේ ද ග්‍රෙග් ය.

1973 පී. සරා පිටියේ දී පැවැති නිල නොවන තුන් දින තරගයටත් 1977 පැවති සිව් දින තරගයටත් ඔහු ක්‍රීඩා කළේ ය. 1973 වසරේදී ඔහු ලකුණු 61ක් රැස් කළ අතර ලකුණු 30 කට කඩුලු 3 ක් ද දවා ගත්තේය. 1977 තරගයේ දී ඔහු පිතිකරුවකු වශයෙන් ලකුණු 59 ක් රැස්කළේය. 1969 දී ජෝ ලිස්ටර්ගේ එංගලන්ත කණ්ඩායමත් සමඟ ඔහු පැමිණිය ද අතේ ඇති වූ ආබාධයක් හේතුවෙන් එම තරගයට ක්‍රීඩා නොකළේ ය.

1977 තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පිත්තෙන් වැඩි දස්කම් පෙන්වූයේ බන්දුල වර්ණපුර ලකුණු 69 ක් හා 34ක් රැස්කරමිනි. අනුර තෙන්නකෝන් ලකුණු 97ක් රැස්කරමින් කැපී පෙණුනි. එදා පැවැති පුවත්පත් සාකච්ඡාවකට එක්වූ ටෝනි ග්‍රෙග් තරගය සම්බන්ධයෙන් මෙසේ ප්‍රකාශ කර තිබිණි.

‘ඔබේ ක්‍රිකට් ලෝලීන් ලෝකයේ සිටින හොඳම කණ්ඩායමක්. ඔවුන්ට ක්‍රිකට් ගැන මනා අවබෝධයක් තිබෙනවා. මේ රටේ ක්‍රිකට් ඉහළ මට්ටමක් කරා යනවා දකින්න ඔවුන් කැමතියි. ශ්‍රී ලංකාව මට විශේෂයි.’

1882 -1982 සමයේ ශ්‍රී ලංකා - එංගලන්ත නිල නොලත් ක්‍රිකට් තරගවල විශේෂ දස්කම් පහත පරිදි ය.

ශ්‍රී ලංකාව

අනුර තෙන්නකෝන් 101 -1969 වසරේ දී

අනුර තෙන්කෝන් (97) සහ බන්දුල වර්ණපුර (69) දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 163 ක සම්බන්ධතාවයක් 1977 දී

ඩී.එස්. ද සිල්වා 5/40 -1973 දී

ඒ. රෆායල් ලකුණු 87ට කඩුලු 14 යි (9/43) 1894 දී

එංගලන්තය

ජෝන් එඩ්රිච් 177 සහ කීත් ෆ්ලෙචර් 81 යි 1969 දී

දොන් විල්සන් කඩුලු 14 (ලකුණු 71 ට)

ටෝනි ග්‍රෙවනි 102 (1952) හා 106 (1969)

1891 මෙරටට පැමිණි ෂෙෆීල්ඩ් සාමිවරයාගේ කණ්ඩායමට සුප්‍රකට ඩබ්ලිව්. ජී. ග්‍රේස් ක්‍රීඩා කළ බව පැවසෙන අතර එම තරගයේදී ඔහු ටොමී කෙලාට් යැවූ පන්දුවකට ලකුණු 14කට දැවී ගොස් ඇත.

1920 ලංකාවට පැමිණි එංගලන්ත කණ්ඩායමේ දක්ෂ ක්‍රීඩකයන් වශයෙන් ආච් මැක්ලරන්, ජැක් හොබ්ස් සහ විල්ෆ්‍රඩ් රෝඩ්ස් වැනි ක්‍රීඩකයින් සඳහන් කළ හැකිය.

 

Comments