දකුණු අප්‍රිකාව වසර තුනකට පසු ශ්‍රී ලංකාවෙන් වාඩුව ගනියි | සිළුමිණ

දකුණු අප්‍රිකාව වසර තුනකට පසු ශ්‍රී ලංකාවෙන් වාඩුව ගනියි

‘ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකා ටෙස්ට් සංචාරය පූර්ණ පරාජයක් ලැබීය. පරාජයට ප්‍රධාන හේතු අතර පිතිහරඹ දුර්වලතාවය ප්‍රමුඛ කාරණයක් විය. ඒ ශ්‍රී ලංකා පිතිකරුවන් ටෙස්ට් පිටියේ පන්දුවට මුහුණ දීමට දක්වන

බිය නිසා ද?’

දකුණු අප්‍රිකාව අතර වූ දෙවැනි ටෙස්ට් තරගය පැවති ජොහැන්නස්බර්ග්හි වොන්ඩර්ස් තරගයෙන් සුපුරුදු පරිදි ශ්‍රී ලංකාව පරාජය ලැබුවේ ය.

පිටිය වේග පන්දු යවන්නන්ට වැඩි සහයෝගයක් ලබාදුන් හෙයින් ශ්‍රී ලංකා මුල් ඉනිමේ එක් පිතිකරුවකු හැර සෙසු සියලු පිතිකරුවන් දැවී ගියේ කඩලු රකින්නා හෝ ස්ලිප් නැතහොත් ගලී ක්‍රීඩකයින් අතට උඩ පන්දු ලබා දීමෙනි.

මුල් තරගයට ක්‍රීඩා කළ දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, කසුන් රාජිත, ලහිරු කුමාර මෙන්ම සංචාරක කණ්ඩායමේ සිටි සුරංග ලක්මාල් වැනි පළපුරුදු ක්‍රීඩකයින්ගේ සේවය නොලැබීමද ශ්‍රී ලංකාවේ පරාජය වේගවත් කළේය. මුල් ඉනිමේදී කුසල් ජනිත් පෙරේරා දකුණු අප්‍රිකා වේග පන්දු යවන්නන් හට තර්ජනයක් වෙමින් ලබාගත් ලකුණු 60, ශතකය හෝ ඉන් ඔබ්බට විස්තාරණය කිරීමට ඔහුට නොහැකිවීම අවාසනාවකි.

කුසල් හැර වෙනත් එකදු ශ්‍රි ලංකා පිතිකරුවෙකුහට හෝ අර්ධ ශතකයක් ලබා ගැනීමට සත්කාරක පන්දු යන්නන්ගෙන් ඉඩ නොලැබිණි. ඒ අනුව ශ්‍රී ලංකා මුල් ඉනිම ලකුණු 157 කට බිඳ වැටුණේ ඉනිමක පරාජයක් මෙන්ම දින තුනකින් හෝ හතරකින් අවසන් විය හැකි තවත් ටෙස්ට් තරගයක් සම්බන්ධයෙන් අනාවැකි පළකරමිනි.

සත්කාරකයන් ලකුණු 302 කට සීමා කිරීමට සංචාරක පන්දු යවන්නන් සමත්වීමෙන් තරගය කණපිට හැරිණි. එහෙත් පළමු ඉනිමේ අවාසිය සමස්ත තරගයටම බලපෑම් කළේය. කෙසේ නමුත් වොන්ඩර්ස් පිටියේ කටුක අතීතය සමඟ සසඳද්දී මෙම තරගයේ දී ඉනිමක පරාජයෙන් ගැලවීම හා ඉනිමක ලකුණු 200 ඉක්මවා යාමත් පිතිකරුවෙකු ශතකයක් රැස් කිරීමත් ජයග්‍රහණ සේ සැලකිය හැක.

මෙම තරග දෙක සමස්තයක් වශයෙන් ගෙන කතා කරන විට පිතිකරුවන් වශයෙන් කුසල් ජනිත් මුල් තරගයේ මුල් ඉනිමේ අපරික්ෂාකාරී ලෙස දැවී ගියද ඉන් පසු ඔහු වඩාත් පරික්ෂාකාරී, එමෙන්ම වගකීමෙන් යුතුව පිත්ත හැසිරවීම මත අර්ධ ශතක දෙකක් වාර්තා කළේ ය. දිනේෂ් චන්දිමාල් හා ධනංජය ද සිල්වා මුල් තරගයේ ද දිමුත් කරුණාරත්න දෙවන තරගයේ දෙවන ඉනිමේද සාර්ථක වූ අතර වනිදු හසරංග හා දසුන් ශානක මුල් තරගයේ අර්ධ ශතක වාර්තා කළේ තුන් ඉරියව් ක්‍රීඩකයින් ලෙස අනාගතයේ බලාපොරොත්තු තබා ගත හැකි බැව් පෙන්නුම් කරමිනි.

විශේෂයෙන් දසුන් ශානක මද වේග පන්දු යවන්නෙකු ලෙස ද දකුණු අප්‍රිකානු තණ තීරු මත පන්දු යැවීමේදී පන්දුව ඉහළට ඉපිලීමට අවස්ථාව උදාකර ගනිමින් පිතිකරුවන්හට තර්ජනයක් එල්ල කරනු දක්නට ලැබිණි. වනිඳු හසරංග තම මුල් ටෙස්ට් තරගයේදී අර්ධ ශතකයක් රැස් කිරීම විශිෂ්ටය. එමෙන්ම වේග පන්දු යවන්නන්හට වාසිදායක පරිසරයක දඟ පන්දු යවන්නෙකු වශයෙන් ඔහුගේ පන්දු යැවීම සාර්ථකය. කුසල් මෙන්ඩිස් තරග දෙකේදීම අසාර්ථක වූ අතර, දෙවැනි තරගයේදී ටෙස්ට් වරම් අත් කරගත් මිනොජ් භානුක අසීරුවෙන් අත් කර ගත් අවස්ථාව සාර්ථක කර ගැනීමට අසමත් විම අවාසනාවකි.

මුල් තරගයේදී වනිඳු හසරංග හට සහායක් වන්නට තවත් දඟ පන්දු යවන්නෙකු සිටියේ නම් වේග පන්දු යවන්නන්හට හොඳින් මුහුණ දුන් ප්‍රතිවාදී පිතිකරුවන්හට තර්ජනයක් වන්නට ඉඩ තිබිණි. වේග පන්දු යවන්නන් අතරින් විශ්ව ප්‍රනාන්දු තරග දෙකේදීම කඩුලු අතරට එක්විය. තම මුල්ම ටෙස්ට් තරගය නියෝජනය කළ අසිත ප්‍රනාන්දු ද මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගත ආයෝජනයක් විය හැකි බැව් පෙන්නුම් කළේය. තවද අවම වශයෙන් එක් ටෙස්ට් තරගයක පිතිකරුවන් දෙදෙනෙකු හෝ ශතක ඉක්මවා ලකුණු රැස් කළේ නම් ශ්‍රී ලංකාවට වැඩි සාර්ථකත්වයකින් තරග මාලාව අවසන් කර ගැනීමේ හැකියාව තිබූ බව පැවසිය යුතුය. දිමුත් කරුණාරත්නගේ කණ්ඩායම එකී පාඩම එංගලන්ත සංචාරය තුළ අවබෝධ කරගනිමින් සහ ටෙස්ට් තරගයක වැඩි පන්දු ප්‍රමාණයකට මුහුණදීක්‍රීඩා කිරීමට උත්සුක වියයුතුව ඇත්තේ තමන් පන්දුවට බිය නැති පිතිකරණ දෙපාර්තමේන්තුවක් සහිත බව ප්‍රකට කරමිනි. එවිට පරාජයන් ජයග්‍රහණ බවට පත්වනු ඇත.

Comments