පිය ගුණ සමරනු රිසින් මව්බිම අමතක කරන | සිළුමිණ

පිය ගුණ සමරනු රිසින් මව්බිම අමතක කරන

CHRISTA Deguchi

ඇයගේ මිත්තණිය ඩෙගුචි ජුඩෝ ක්‍රීඩාවට යොමු කර තිබුණේ සිව් හැවිරිදි වියේ පසුවද්දී ය.

ජපානය මගේ අම්මා නම් කැනඩාව මගේ තාත්තා. ‍මෙපමණ කාලයක් මම ජපානයට ගෞරවය අත්කර දුන්නා. ඉතින් ක්‍රීඩාවෙන් සමුගන්න පෙර මම මගේ තාත්තා වෙනුවෙන් යුතුකම් ඉටුකළ යුතුයි.

ක්‍රිස්ටා ඩෙගුචි යනු ජපානයෙන් ලෝකයට තිළිණ කළ අතිශය දක්ෂ ජුඩෝ ක්‍රීඩිකාවකි. කිලෝ ග්‍රෑම් 57 බර පංතියේ ලෝකයේ අංක එකේ ක්‍රීඩිකාව බවට පත්ව සිටින ඇයට තනිව අයිතිවාසිකම් කීමේ හැකියාව මේ වන විට ජපානයෙන් ගිලිහී ගොසිනි.

ඒ ඩෙගුචි කැනඩා ජාතික පියකුට දාව ජපන් ජාතික මවකගේ කුසින් 1995 වසරේ ඔක්තෝබර් 29 වැනිදා හිම වඳුරන් බහුල එමෙන්ම පැරැණි විහාරස්ථාන රැසක්ද පිහිටි නාගෝනා නගරයේදී උපත ලබා තිබීම නිසා ය.

ඇයගේ මිත්තණිය ඩෙගුචි ජුඩෝ ක්‍රීඩාවට යොමු කර තිබුණේ සිව් හැවිරිදි වියේ පසුවද්දී ය. කල් යත්ම ජුඩෝ ක්‍රීඩාවේදී මෙන්ම අධ්‍යාපනයෙන්ද එකසේ දස්කම් පෑමට ඇය සමත්ව සිටියා ය.

කෙසේ වුව ද පළමුවරට ඇය ජුඩෝ ක්‍රීඩිකාවක ලෙස ජපානය පුරා ප්‍රකට වන්නේ 2013 වසරේ පවත්වන ලද සමස්ත ජපන් ජුඩෝ තරගාවලියේ අවුරුදු 21න් පහළ බාලිකා කිලෝ ග්‍රෑම් 52 බර පංතියේ රන් පදක්කම දිනාගැනීමත් සමඟ ය. එසේම එම තරගාවලියේදී ඇය නියෝජනය කළ කණ්ඩායම නතරවී තිබුණේ රන් පදක්කම ගෙල පළඳා ගනිමිනි.

අනතුරුව එම වසරේදී ම ඇය ජේජු ග්‍රෝන් ප්‍රී තරගාවලියේදී කිලෝ ග්‍රෑම් 57 බර පංතියේ රන් පදක්කම දිනා ගෙන තිබුණේ එය ඇගේ පළමු ග්‍රෝන් ප්‍රී රන් පදක්කම ලෙස සටහන් තබමිනි.

පසුව 2014 වසරේ පවත්වන ලද ලෝක ශූරතා ජුඩෝ තරගාවලියේ අවුරුදු 21න් පහළ වයස් කාණ්ඩයේ රිදී පදක්කම දිනූ ඇයට ජුඩෝ ප්‍රේක්ෂකයින් අතර සදාතනික ක්‍රීඩිකාව බවට පත්වීමට හැකියාව ලැබී තිබුණේ 2019 වසරේ ලිස්බන් නගරයේදී යුරෝපීය විවෘත, ප්‍රංශයේ පැරිස් ග්‍රෑන්ඩ් ස්ලෑම් සහ සෙන්ජෝස්හිදී පෑන් ඇමෙරිකන් යන ජුඩෝ තරගමාලාවන්හි කිලෝ ග්‍රෑම් 57 බර පංතියේ ශූරතා දිනාගැනීමට සමත් වීමත් සමඟ ය.

ප්‍රංශයේදී දිනාගත් පළමු ග්‍රෑන්ඩ් ස්ලෑම් රන් පදක්කම සඳහා ඩෙගුචිට අවසන් සටන කරන්නට සිදුවූයේ ඇය ද නියෝජනය කරන ජපන් කණ්ඩායමේ ක්‍රීඩිකාවක වූ සුකාසා යොෂිඩා සමඟ ය.

පහළොස් දහසකට වැඩි ප්‍රේක්ෂක පිරිසක් අභිමුව පැවැති මේ තරගය නැරඹූ ජපන් ප්‍රේ-ක්ෂකයන්ට නම් 'කවුරු දිනුවත් ජපානය දිනුම්' යන හැඟීම ඇති වූවාට සැක නැත.

කෙසේ වුවත් එය ජපන් හපන්කම් වලින් පිරුණු තරගයක් ලෙසින් ද සටහන් විණි. එම තරගයේදී ඩෙගුචි අතින් යොෂිඩා පරාජයට පත් වූවා ය. නමුත් කවුරු දිනුවත් ජපානය දිනුම් යන හැඟීම එම තරගය නැරඹූ ජපන් ප්‍රේක්ෂකයන් තුළ පැවතුණු සිතිවිල්ල විය හැකිය. එහෙත් ඩෙගුචිගේ ජයග්‍රහණය කැනඩාවට දැනෙන්ට ඇත්තේ, මුළු ලොවම නිමේෂයකින් කැනඩාවට යටත් වූවා වැනි හැඟීමකින් විය හැකිය.

එයට හේතුව ජපානයේදී පැවැත්-වීමට නියමිත එළ-ඹෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ඩෙගුචි නියෝජනය කිරීමට තීරණය කර ඇත්තේ කැනඩාව වීමය.

ඇය එම ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී කැනඩාව නියෝජනය කිරීම පිණිස ජපන් පුරවැසි භාවය අතහැරීමේ ක්‍රියාවලිය ඇරඹීමත් සමඟ පැතිර ගිය කටකතාවන්ට අන්තර්ගතය වී තිබුණේ ඩෙගුචි තවත් ජපන් ජාතික ජුඩෝ ක්‍රීඩකයකු වන කායිහාන් ටකාජ් ගේ අඩිපාරේ ගමන් කිරීමට සැරසෙන බවකි.

කයිහාන් ද එළැඹෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ජපානය වෙනුවට ඔස්ට්‍රේලියාව නියෝජනය කිරීමට අවශ්‍ය සියලු දේ සූදානම් කර අවසන් ය. ඔහුට ඔස්ට්‍රේලියාව නියෝජන කිරීමට අවස්ථාව ලැබී ඇත්තේ ඔස්ට්‍රේලියාවේ උපත ලබා තිබීම නිසාය.

ඩෙගුචි පසුගිය වසරේදී තමන්ගේ ජපන් පුරවැසි භාවය ඉවත් කරගැනීමේ ක්‍රියාවලිය සාර්ථකව අවසන් කර ගෙන ඇත.

ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී කැනඩාව නියෝජනය කළද තමන් අධ්‍යාපනය ලබන යමහාෂි ශකුයින් සරසවිය වෙනුවෙන් තවදුරටත් තරගවැදීමට සූදානම් බව ඇය සඳහන් කරන්නී ය.

දැනට කිලෝ ග්‍රෑම් 57 බර පංතියේ ලොව අංක එකේ ක්‍රීඩිකාව ඩෙගුචි ය. එහි අංක දෙක හිමිව ඇත්තේ ජපානයේ සුකාසා යොෂිඩාට ය. මේ නිසා පසුගිය වසරේ සිට මේ වසරේ පැවැත්වීමට කල් දැමුණු ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ කිලෝ ග්‍රෑම් 57 බර පංතියේ කාන්තා අවසන් තරගයේදී බොහෝ දුරට ඩෙගුචි හා යොෂිඩා මුණ ගැසීමේ වැඩි ඉඩක් ඇත.

එවිට එය පිරිසකට කැනඩා ජපන් තරගයක් ලෙසින් පෙනෙන්නට ද බැරි නැත.

ක්‍රිස්ටා ඩෙගුචිගේ මෙම ආගමනය පිළිබඳ කරුණු දක්වන කැනඩාවෙන් බිහි වූ අති දක්ෂ ජුඩෝ ක්‍රීඩකයකු මෙන්ම ඔලිම්පික් පදක්කම් ද දිනා ඇති වර්තමානයේ කැනඩා ජාතික පිලේ උසස් කුසලතා අංශයේ අධ්‍යක්ෂවරයා වන නිකලස් ගිල් සඳහන් කර ඇත්තේ ඇය කැනඩාව සමඟ ගිවිසුම් ගතවීම මීට වසර පහකට පමණ ඉහත දී ආරම්භ කළ එකක් බව ය.

'ඩෙගුචි ඒ වනවිට ජපන් පිලට තෝරාගෙන තිබුණේ නැහැ. ඇය ජපන් ජාතික තරගාවලියේදී ක්‍රීඩා කළ ආකාරය අපි දැක්කා. ලෝක ශූරියක් වීමේ හැකියාව ඇති ක්‍රීඩිකාවක් බව අපි ජපානයට කළින් හඳුනා ගත්තා. අපි දෙපාර්ශ්වය අතර පැවැති දිගු සාකච්ඡා වට කීපයකින් පස්සේ තමයි ඩෙගුචි කැනඩාව නියෝජනය කිරීමේ තීරණයට එළඹුණේ. ' යනුවෙන් නිකලස් ගිල් සඳහන් කර තිබිණි. තම තීරණය සම්බන්ධයෙන් කරුණු දැක්වූ ඩෙගුචි පවසා ඇත්තේ තමා පෞද්ගලිකව ජපා-නයට මෙන් ම කැනඩාවට ද අයිති ක්‍රීඩිකාවක බවකය.

'ජපානය මගේ අම්මා නම් කැනඩාව මගේ තාත්තා. ‍මෙපමණ කාලයක් මම ජපානයට ගෞරවය අත්කර දුන්නා. ඉතින් ක්‍රීඩාවෙන් සමුගන්න පෙර මම මගේ තාත්තා වෙනුවෙන් යුතුකම් ඉටුකළ යුතුයි.' ඈ සඳහන් කර තිබීම විශේෂිත ය.

 

 

Comments