මානසික වාසිය එංගලන්තයට | සිළුමිණ

මානසික වාසිය එංගලන්තයට

දකුණු අප්‍රිකාව සමග තරගමාලාවේදී ප්‍රබල ක්‍රීඩකයන් රැසක් ආබාධවලට ලක්වීම මත ඔවුන්ගේ සභාගිත්වය ශ්‍රී ලංකා පිලට ලැබේද යන්න තවමත් පැහැදිලි නැත

පසුගිය වසරේ මෙරටට පැමිණි එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම කොවිඩ් 19 වයිරසය හේතුවෙන් ටෙස්ට් තරගමාලාව ආරම්භවීමට පෙර මෙරටින් පිටව ගියේ එම වසංගත තත්ත්වය සම්පුර්ණයෙන් අවසන් වූ පසු නැවත මෙම වසරේ මෙරටට පැමිණ තරග වැදීමේ බලාපොරොත්තුවෙනි. දෛවයේ සරදමකට මෙන් ඔවුනට මෙම වසරේ යළි මෙහි පැමිණීමට සිදුවූයේ කොරෝනා රෝගය සම්පුර්ණයෙන් නිමා වූ පසුබිමක නොව ලොව පුරා වසංගතයක් පරිදි ව්‍යාප්ත වෙමින් පවතින කල්හි ය.

තම කණ්ඩායමේ සිටින ඕනෑම ක්‍රීඩකයෙකු තමන් මානසික අතින් මෙම තරගමාලාවට එක්වීම සඳහා ශක්තිමත් නොවන බව සිතන්නේ නම් කණ්ඩායමෙන් ඉවත් වීමට නිදහස ඇති බව නායක ජෝ රූට් සංචාරයට පෙර පවසා සිටියේ එබැවිනි. නමුත් එංගලන්ත කණ්ඩායම විදෙස් සංචාරයක නිරත වන විට ඔවුන්ගේ ජයග්‍රහණය පතා කණ්ඩායම සමඟම යන බාමි ආමි ප්‍රේක්ෂකයන්හට නම් මෙම සංචාරයේ දොරටු විවර වී නොමැත. කොරෝනා රෝගය සමඟ තවත් කලක් ජිවත් විය යුතුය යන යථාර්ථයට අවනතව දැඩි සෞඛ්‍යය නීති රීති වලට අනුව සැකසූ ජෛව බුබුලක් තුළ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය මෙම මස 14 දින ගාල්ලේදී ඇරඹෙනු ඇත. එංගලන්ත ටෙස්ට් කණ්ඩායමක් පළමු වරට මෙරට සංචාරය කළේ 1981-82 වසරේදී ය. එකී මංගල තරගය එංගලන්තය ජය ගත් අතර ශ්‍රී ලංකාවේ මුල්ම ජයග්‍රහණය වාර්තා වූයේ 1992-93 තරග වාරයේදී ය.

මෙවර තරග වාරය සම්බන්ධයෙන් සලකද්දී දෙපිල පළමු වරට ගාල්ලේ දී මුණ ගැසුණේ 2000-01 තරගමාලාවේදී ය. එහිදී ශ්‍රී ලංකාව ජයගත් අතර නැවත 2011-12 ද යළි ජය ගත්තේය,

2003-04 හා 2007-08 වසරවලදී ගාලු පිටියේ පැවති තරග ජය පරාජයෙන් තොරව නිමා වී තිබේ.අවසන් වරට 2018-19 මෙහි පැවති තරගයේ ජය අත් වූයේ එංගලන්තයට ය. එවර ගාල්ලේ තරගය පමණක් නොව අනෙක් තරග දෙකම එංගලන්තය ජය ගත්තේ 3-0 ක් ලෙස පූර්ණ තරග මාලාවක් ජය ගනිමිනි.

එංගලන්තය ගාලු පිටියේ රැස්කර ඇති අඩුම ටෙස්ට් ඉනිම දැක්වෙන්නේ ලකුණු 81 ක් ලෙසය. ඒ 2007-08 තරග මාලාවේ ය. ශ්‍රී ලංකාව මෙම පිටියේ ටෙස්ට් ඉනිමක ලබා ඇති අඩුම ලකුණු ගණන 105 කි, නමුත් ඒ එංගලන්තයට එරෙහිව නොව 2011 ඔස්ට්‍රේලියාව හා පැවති තරගයකදී ය.

එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව මෙහිදී ලබා ඇති අවම ලකුණු සංඛ්‍යාව 203 කැයි සටහන් වේ. ඒ 2018-19 තරගමාලාවේදී ය. එමෙන්ම දඟ පන්දු යවන්නන්ගේ පාරාදීසයක් බඳු වූ ගාලු තණතීරුවෙහි එක් ඉනිමක හොඳම පන්දු යැවීම මුත්තයියා මුරලිදරන් 2003-04 තරගමාලාවේ තරගයේදී 07/46 ලෙස එංගලන්ත කඩුලු දවාගෙන ඇති අතර එංගලන්තය වෙනුවෙන් ග්‍රැහැම් ස්වෝන් 2011-12 තරගයේදී 06/82 ලෙස පන්දුවෙන් දස්කම් දක්වා තිබේ.

පිතිකරුවන් වශයෙන් මහේල ජයවර්ධන හා මාවන් අතපත්තු එංගලන්තයට එරෙහිව මෙම පිටියේ ද්විත්ව ශතක රැස්කරමින් පිතිකරුවන් ලෙස කැපී පෙනෙති.

එංගලන්තය වෙනුවෙන් කේ.කේ.ජෙනින්ස්,මාක් ට්‍රෙස්කොතික්,අලෙස්ටේයාර් කුක්,ජේ.ට්‍රොට් ගාල්ල පිටියේ ටෙස්ට් ශතක වාර්තා කර ඇත.

ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න හට මෙවර ගාල්ලේ පැවැත්වෙන ටෙස්ට් තරග විශේෂ වන්නේ ඔහු එම පිටියේ මෙතෙක් සහභාගිවී ඇති තරග 11 ක් තුළ ලකුණු 976 ක් ලබා සිටීම හේතුවෙනි. මෙම පිටිය තුළ මීට පෙර ටෙස්ට් ලකුණු දහසේ සීමාව ඉක්මවා ඇති මහේල ජයවර්ධන (2382), කුමාර් සංගක්කාර (1921), ඇන්ජලෝ මැතිව්ස් (1244), ටී. එම්. ඩිල්ශාන් (1034) යන පිතිකරුවන් අතරට එක්වීමට මේ අනුව මෙවර ඔහුට අවස්ථාව උදා වී තිබේ.

ජගත් ටෙස්ට් ක්‍රිකට් ශුරතාව සොයා යන ගමනේදී එංගලන්තය සිටින්නේ ලොව මුල් කණ්ඩායම් හතර අතරය, එම තත්ත්වය වඩාත් ශක්තිමත් කර ගනිමින් ඉදිරියට යාම ජෝ රූට් ඇතුළු එංගලන්ත ක්‍රීඩකයින්ගේ එකම අභිප්‍රාය වන අතර පසුගිය 2018-19 ශ්‍රී ලංකා සංචාරය 3-0 ක් ලෙස ජයගැනීමට සමත්වී සිටීම ඔවුන්ගේ අධිෂ්ඨානය වර්ධනය කරවන්නක්වී තිබේ. අතීතයේදී විශේෂයෙන් 80,90 හා 2000 මුල් දශකය තුළ සුදු ජාතික කණ්ඩායම් ශ්‍රී ලංකාව සැලකුවේ ටෙස්ට් තරගමාලාවක් ජයගැනීමට වඩාත් අසීරු රටක් ලෙසිනි. නමුත් වර්තමානයේ එම තත්ත්වය වෙනස් වී තිබේ.

ජගත් ටෙස්ට් ශුරතාවය තරග හයකින් ජයගැනීමට සමත්වී ඇත්තේ එකම එක තරගයකින් පමණි. මේ අනුව පරාජයවී ඇති තරග ගණන හතරකි. අවසන් වරට ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව තුළ ටෙස්ට් තරගමාලාවක් ජයගෙන ඇත්තේ 2018 දකුණු අප්‍රිකාවට එරෙහිව ය, එමෙන්ම අවසන් වරට එංගලන්තයට එරෙහිව 2007-08 ටෙස්ට් තරගමාලාව ජයගැනීමෙන් පසු ශ්‍රී ලංකාවේදී එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරගමාලාවක් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්වී නැත. එබැවින් මෙම තරගමාලාව ශ්‍රී ලංකාව ජයගත යුතු ම තරග මාලාවකි.

දකුණු අප්‍රිකාව සමග තරගමාලාවේදී ප්‍රබල ක්‍රීඩකයන් රැසක් ආබාධවලට ලක්වීම මත ඔවුන්ගේ සභාගිත්වය ශ්‍රී ලංකා පිලට ලැබේද යන්න තවමත් පැහැදිලි නොමැති පසුබිමක රමේෂ් මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු, ලක්ෂාන් සඳකැන්,නුවන් ප්‍රදීප්, රොෂේන් සිල්වා යන ක්‍රීඩකයින් සංචිතයට නම් කර ඇත. එමෙන්ම අබාධ මත දකුණු අප්‍රිකා සංචාරයට එක් නොවූ ඇන්ජලෝ මැතිව්ස් ද ඊට කැඳවා තිබීම කණ්ඩායම ශක්තිමත් කිරීමකි.

එහෙත් දකුණු අප්‍රිකාවේ වේගවත් තණතීරු මත ක්‍රීඩා කර පැමිණ ගාල්ලේ මන්දගාමී එමෙන්ම දඟ පන්දුවට වාසිදායක තණතීරුව සඳහා හැඩගැසීමට ප්‍රමාණවත් කාලයක් නොමැති වීම ද ප්‍රතික්ෂේප කළ නොහැකි තර්කයකි. කලින් මෙහි තරග වැදී ඇති පළපුරුදු පිතිකරුවන් ලෙස නායක ජෝ රූට්, ජොනි බෙයාර්ස්ටෝ, ජෝස් බට්ලර්, බෙන් ෆොක්ස් මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩක සෑම් කරන් වැනි පිතිකරුවන් ඉක්මනින් දවාලීම විශේෂයෙන් දඟපන්දු යවන්නන් සතු වගකීමකි. එමෙන්ම දඟ පන්දු යවන ජැක් ලීච් මෙන්ම පළපුරුදු ජේම්ස් ඇන්ඩර්සන් හා ස්ටුවර්ට් බ්‍රෝඩ් වේග පන්දු යවන්නන් ලෙස ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවන් හට තර්ජනයක් වීමට ඇති අවස්ථාව ද අවම කරගන්නේ නම් එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරය වාසිදායක ලෙස අවසන් කරගැනීමට ශ්‍රී ලංකා කණඩායම සමත් වනු ඇත.

 

 

Comments