වමට සැර අශ්වින් | සිළුමිණ

වමට සැර අශ්වින්

රවිචන්ද්‍ර අශ්වින් බාහිර ස්වරූපයෙන්ම ඉන්දියානුවෙකි. එය ඔහුගේ බාහිර ස්වරූපයෙන් ම දැකිය හැකිය. අනිල් කුම්බ්ලේගේ පුරප්පාඩුව වෙනුවෙන් ඉන්දීය දඟපන්දුව බාරගත් අශ්වින් අද එහි ප්‍රවීණයෙකි.

තම වැඩිමහල් ඉන්දියානුවා කුම්බ්ලේට නොහැකි වූ වාර්තාවක් පසුගියදා ඔහු පිහිටවූයේ ය. මේ ඒ ගැන ය.

ඉන්දියාව සහ බටහිර ඉන්දිය කොදෙව් අතර 2011 වසරේ නොවැම්බර් මාසයේ දිල්ලි හි පැවැති ටෙස්ට් තරගයට මංගල ටෙස්ට් වරම්ලාභින් දෙදෙනකු වශයෙන් රවිචන්ද්‍රන් අශ්වින් සහ උමේෂ් යාදෙව් ඉන්දීය පිලට කැඳවා තිබිණි. කොදෙව්වන්ට එරෙහිව සිය මුල් ම තරගයේ මුල් ඉනිමේ ලකුණු 81කට කඩුලු තුනක් බිඳහෙලු අශ්වින් දෙවැනි ඉනිමේ ලකුණු 46කට කඩුලු හයක් දවා ගනිමින් එකී තරගයේ වීරයා වූයේ දිගු ගමනක මුල් ඇරඹුම ලෝකයට පවසමිනි. එහිදී තමන් යැවූ පන්දුව කෙළින්ම කඩුල්ලේ දැවටීමෙන් මුල්ම කඩුල්ල ලෙස දැවී ගියේ වමත් පිතිකරු ඩැරන් මයිකල් බ්‍රාවෝ ය. ඒ අශ්වින්ගේ ආරම්භය ය.

එතැන් සිට තවත් ටෙස්ට් තරග 72ක් ක්‍රීඩා කළ අශ්වින් පසුගිය දා ඔස්ට්‍රේලියාවේ දී දැවැන්ත වාර්තාවක් බිඳ දැම්මේ එහි තම නම සටහන් කර ගනිමිනි. ඒ කිසිදා බිඳිය නොහැකි තරම් යැයි සිතිය හැකිව තිබූ මුත්තයියා මුරලිදරන් සතු වාර්තාව කි. ඒ එය නොදැනම වන්නට ද පිළිවන.

ලොව වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා (800) වන මුරලි මෙම වාර්තාව තබා තිබුණේ ලොව වැඩිම වමත් පිතිකරුවන් සංඛ්‍යාවක් දවාලමිනි.

ඒ ඔස්ට්‍රේලියාව සමඟ පැවැති බොක්සිං දින ටෙස්ට් තරගයේ 4 වැනි දිනයේදි දෙවැනි ඉනිමේදී ඕස්ට්‍රේලියාව ලකුණු 200 කට දැවී යාමට සමගාමීව ය. ඒ වමත් පිතිකරු ජෝස් හෙසල්වුඩ්ව පන්දුව කෙළින්ම කඩුල්ලට යොමු කරමිනි.

මුරලි කඩුලු 800 දි වමත් පිතිකරුවන් 191 (දකුණත් පිකරුවන් 609) දෙනකු දවා ගනිමින් මීට පෙර එම වාර්තාවට හිමිකම් පෑවේ ය. මේ වන විට 34 වැනි වියේ පසුවන අශ්වින් ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 73 කට සහභාගිවී බිඳ දමා ඇති කඩුලු සංඛ්‍යාව 375 කි. එහි එක් කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 25.22 කි.

කෙසේ වෙතත් මුරලි තබා ඇති බොහෝ වාර්තා බිඳ දැමීමට අශ්වින්ට ඇති හැකියාව අවම වුවද වමත් පිතිකරුවන් දවා ගැනීමේ වාර්තාව පමණක් හෝ ඔහු තමන් සන්තක කර ගැනීම ද විශේෂත්වයකි. මෙම වමත් පිතිකරුවන් දවාගැනීමේ වාර්තාවේ තෙවැනි තැන ජේම්ස් ඇන්ඩර්සන් ට හිමිව ඇත. ඒ කඩුලු 600 ක් දවාගනිද්දී ඉන් කඩුලු 186 ක් ම වමත් පිතිකරුවන් වශයෙන් (දකුණත් පිතිකරුවන් 414) දඩයම් කර ගනිමිනි. එහි සිව්වැනි තැන පසුවන ග්ලෙන් මැක්ග්‍රාත් (563) වමත් පිතිකරුවන් 172 (දකුණත් පිතිකරුවන් 391) ක් ද, පස්වැනි තැන පසුවන ෂේන් වෝන් තමන් දවාලූ කඩුලු 708 දී වමත් පිතිකරුවන් 172 (දකුණත් පිතිකරුවන් 536) දවා ගෙන තිබේ.

ලොව වැඩිම කඩුලුලාභීන් අතර තෙවැනි ස්ථානයේ පසුවන අනිල් කුම්බ්ලේ කඩුලු 619ක් දවා ගෙන ඇති අතර ඊට වමත් පිතිකරුවන් 167ක් සහ දකුනත් පිතිකරුවන් 452ක් එක්ව ඇත.

Comments