ආගමික සන්නිවේදනයේ බලමහිමය | සිළුමිණ

ආගමික සන්නිවේදනයේ බලමහිමය

“එක් වැඩිමහල්ලෙක් වයසින් බාල පිරිසකට කටින් පවසන කතන්දරය, කාලයාගේ ඇවෑමෙන් හඳුන්වනු ලැබුවේ කටන්දර යනුවෙන්. “කට අන්දර“ පසුව කතන්දර බවට පත්වුණා.“

“කතන්දර ඇසීම මෙන්ම කතන්දර කීමත් සන්නිවේදනයේ ප්‍රබලතම අංගයක්.“

“එය නිර්මාණයකින් සංයුක්ත නිසා නිර්මාණාත්මක සන්නිවේදනය (Creative Communication) යනුවෙන් හඳුන්වනවා.“

“නේපාලයට ගිය ගමනකදි මට හමුවුණා අපූරු සන්නිවේදන ගුරුතුමෙක්. එතුමාගේ නම කේසරලාල්

“එතුමා මොනවද කිව්වේ?“

“එක් දවසක් ඇතුළතදි පුදුමාකාර කතන්දර දහයක් දොළහක් මතකයෙන් කීමට එතුමාට පුළුවන්කම තිබුණා.“

“ඔබට මතක මොනවාගේ කතාවක්ද?“

“ඒ කතාව තමයි මම මේ කියන්න හදන්නේ. ඒත් ඊට පළමුව ඒ කතාව ගැන යමක් පවසන්නට වෙනවා. මුලින්ම කීමට සිදුවන්නේ මම මේ කියන්නට යන පුංචි කතාව පැති කිහිපයකින් බලන්නට පුළුවන්. එක් පැත්තකින් මේක ජන කතාවක් (Folktale) අනික් පැත්තෙන් මේක බණ කතාවක්. (Sermon) තවත් පැත්තකින් මේ කතාව ඒ දෙකේ මිශ්‍රනයක්.

ආගමික සන්නිවේදනය වස්තු විෂයය කරගත් නේපාල ජනකතාවක් මා ඔබට කියා දෙන්නම්.“

“එක්තරා වනයක විසුවා සතුන් සිවුදෙනෙක්. එනම් එක් කුරුල්ලෙක්, අනිකා හාවෙක්, අනිකා වඳුරෙක්, හතරවැන්නා අලියෙක්. පුදුමාකාර මිත්‍රත්වයක් ඔවුන් අතරේ පැවැතුණා. ඔවුන් කලදවස ගෙවූයෙත් එකමුතුව, සතුටින් හා සනීපෙන්.

අහර පිණිස ගත්තෙත් ගසක පලතුරු. අනෙක් තිදෙනාගේ කැමැත්තෙන් කුරුල්ලා වුණා නායකයා. ඊට මුල් වූයේ ඔවුන්ගේ වයසයි. කෙතරම් උස මහතින් සිටියත් අලියා වයසින් බාලම මිතුරා වුණා.

‘මා බාලකාලේ මගේ උසටයි තිබුණේ මේ ගස“ අලියා පැවසුවා තම අනිත් මිතුරන්ට. වඳුරා කියා සිටියේ, “මගේ උසමයි තිබුණේ මේ ගසට - මා පුංචි කාලේ“

හාවා කීවේ කුමක්ද?

“මට මතකයි, මේ ගහේ කොළවලින් වෑහෙන පිනිබින්දු බීවා. එකල මේ ගහ පුංචි පැළයක්.“

කුරුල්ලා කීවේ කුමක් ද?

“මා බිමට දැමූ බීජයකින් තමයි මේ ගස හටගත්තේ.“

ඒ නිසා කුරුල්ලා වැඩිමහල්ලා වුණා. ඒ නිසා නායකත්වය හිමිවුණා. කුරුලු නායකයාගෙන් යහපත් ඔවදනක් කියැවුණා.

“පර පණ නොනසන්න

සොරකම් නොකරන්න

කම් සැපෙහි නොරැඳෙන්න

මුසාබස් නොකියන්න

මත්පැනින් වළකින්න“

මේ ප්‍රතිපදාවන්ට අවනත වීම නිසා හතර දෙනාගේම ජීවිතවලට අමුතුම එළියක් විහිදුණා.

ඒ විතරක්ද?

ඔවුන් ගැන දැන හඳුනන අයටත් විශාල සොම්නසක් හටගත්තා. ආදර්ශයක් ලැබුණා. වනපෙත අසල ගම්මානයේ උගත් මිනිසුන් කියා සිටියේ, මේ සතුන් සිව්දෙනා නිසා මුළු ගම්මානයටම සෞභාග්‍යය උදාවී ඇති බවයි. මේ බව නරනිඳුටත් සැලවුණා.

නරනිඳුටත් සතුටක් ඇතිවුණා. ඒ නිසා සතුන් සතරදෙනා බැහැදැකීමට නරනිඳුටත් ඇල්මක් ඇතිවුණා. එහෙත් රජදහන් උගතුන් කියා සිටියා ඒ සතුන් සිව්දෙනා හමුවීම පහසු නැති බවය. ඒ වෙනුවට ඔවුන්ගේ පංචශීලය රකින්නේ නම් යහපතක් සිදුවන බවයි.

මෙසේ කාලය ගෙවී යද්දි සතුන් සිව්දෙනා මියැදුණා. එහෙත් ඔවුන් යළි ඉපදුණේ මිනිස් අත් බැව් ලැබ ගෙන. ඒ කෙසේද යත්:

කුරුල්ලා ඉපදුණා බුදු සමිඳුන් වී

අනිත් තුන්දෙනා බුදු හිමියන්ගේ ශ්‍රාවකයන් වුණා.

ඒ ශ්‍රාවකයන් නම්,

හාවා ඉපදුණා සැරියුත් සමිඳු වී

වඳුරා ඉපදුණා මුගලන් සමිඳු වී

අලියා ඉපදුණා කස්සප තෙරුන් වී“

“මේ කතාව, සන්නිවේදන අධ්‍යයනයේදි විවිධ පැතිවලින් බලන්නට පුළුවන්. මෙය හුදු නිර්මාණයක් නොවේ. මෙය හුදු කතන්දරයක් නොවේ. මෙය අර්ථකථනය කිරීමෙන් විවිධ සන්නිවේදන පැතිකඩ හා ප්‍රතිවේද (Insights) ලබා ගැනීමට පුළුවන්.

**********************

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය පර්යේෂණ ග්‍රන්ථ මුද්‍රණයට එක් වෙයි

 

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය “වාපා ප්‍රකාශකයෝ‘ නමින් විශ්වවිද්‍යාල නිබන්ධන සහ විශිෂ්ට පර්යේෂණ ග්‍රන්ථ මුද්‍රණය කිරීමේ විශ්වවිද්‍යාලයීය ආයතනයක් මෙමස 13 වැනි බදාදා පෙරවරු 10. 00 ට විශ්වවිද්‍යාලයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී ආරම්භ කිරීමට නියමිත බැව් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයීය උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රෝහණ පී. මහලියනආරච්චි පවසයි. මේ උළෙලේ විශේෂ දේශනය පවත්වනු ලබන්නේ අචාර්ය රත්න ශ්‍රී විජේසිිංහයන් හා අචාර්ය අාරියවංශ රණවීරයන් විසින් වන අතර මුලසුන හොබවනු ලබන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග විසිනි. මේ අවස්ථාවේදී සෞන්දර්ය, කලා, සාහිත්‍ය හා සංස්කෘතික පර්යේෂණ කෘති 25ක් සඳහා ගිවිසුම් අත්සන් කිරීමටද නියමිතය.

උසස් ගණයේ පර්යේෂණ අත්පිටපත් තිබේ නම් 011 2690240 දුරකතන අංකයට දැනුම්දීමට හෝ 011 2686071 ෆැක්ස් මඟින් හෝ [email protected] ඊමේල් ලිපිනය මඟින් හෝ අංක 21, ඇල්බට් චන්ද්‍රවංකය, කොළඹ 07 යන ලිපිනයට හෝ යොමු කළ හැකිය.

 

***********************

කලාසූරී අරිසෙන් අහුබුදු උපත් සියවස් සමරුව නිමිත්තෙන් සංවිධානය කෙරුණූ දීප ව්‍යාප්ත ගද්‍ය රචනා තරගයෙන් කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබන කවීන් සංදීප සිරිවර්ධන ශිෂ්‍යයා පළමු තැන හිමිකර ගත්තාය.

එම ශිෂ්‍යයා 2017 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනෙන්ම දෙවැන තැන හිමිකර ගත් ශිෂ්‍යයා ද වේ.

අරිසෙන් අහුබුදු පදනමේ ලේකම් සමන්ති අහුබුදු විසින් කවීන් සංදීප ශිෂ්‍යයා වෙත තිලිණ සහ සහතිකපත් පිරිනැමු අවස්ථාව මෙම ඡායාරූපයේ දැක්වේ.

Comments