මහ පොළොව කිය­න්නෙම දරා ගැනී­මක් | සිළුමිණ

මහ පොළොව කිය­න්නෙම දරා ගැනී­මක්

මේ උත්සා­හය මගේ රටේ මිනිස්සු වෙනු­වෙන් හොඳ දෙයක් කරන්න...

 

ඔහු ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙක්. ප්‍රශස්තම වේදිකා රංගනය උදෙසා ඇගයීමට ලක්වූ නාට්‍ය කරුවෙක්. රූපවාහිනී ටෙලි නාට්‍ය රංගනයේ විශිෂ්ටයෙක්. ඔහු සුමිත් රත්නායක. සිය පළමු ටෙලි නිර්මාණ අධ්‍යක්ෂණය වූ මද්දහන උදෙසා ජාතික සම්මානයෙන් පිදුම් ලැබූ සුමිත් රත්නායක අද අප සමඟ සංවාදයට ප්‍රවේශ වන්නේ ඔහුගේ අලුත්ම ටෙලි නිර්මාණය මහ පොළොව ගැනයි.

 

මද්දහන ටෙලි නාට්‍ය නිර්මාණය කරන්න ශාන්ති දිසානායකගේ හිරු මඩල නවකතාව මං තෝරා ගත්තා වගේම මහපොළොව නිර්මාණය වන්නෙත් ඇය විසින් රචනා කළ වාලුකා නවකතාව මූලික කරගෙනයි. ඒ නවකතාව මම කියවනකොට මුලින්ම දැනුණ දේ එය ටෙලි නිර්මාණයකට යොදාගත හැකි බව. ටෙලි නාට්‍ය තිර රචනාව මවිසින් ලියන්න පටන් ගත්තෙ ඊට පස්සෙ.“

නවකතාවක් නිර්මාණය වෙන්නේ හු‍ෙදකලාව රසවිඳින පාඨකයෙක් වෙනුවෙන්. ටෙලිනාට්‍ය මාධ්‍ය සාමූහිකව රසවිඳින කලා මාධ්‍යයක්. නවකතාවකින් ටෙලි නාට්‍යයක තිර රචනයක් ගොඩනැගීම අභියෝගාත්මකයි. ඒ ගැන සුමිත් අප සමඟ කතා කළා.

එය අභියෝගයක්. නවකතාවක් කියන්නේ සිදුවීම් ගණනාවක එකතුවක්. එවැනි සිදුවීම් රූපවාහිනී මාධ්‍යයට ගළපා ගන්නට සිද්ධ වෙනවා. කතාංගයෙන් කතාංගයට කුතුහලයෙන් යුතු හේතුඵල සබඳතාවකින් යුතුව දෘශ්‍ය රූපයට නඟන්න වෙනවා.

සුමිත්ගේ නිර්මාණ දෙකටම පාදක වන්නේ නුවර කලාවියේ ජන ජීවිතය වස්තු බීජ කරගත් ශාන්ති දිසානායක ගේ නවකතා දෙකක්. මේ නිර්මාණ දෙකේ එකිනෙකට සමානතා තිබෙනව ද? අප සුමිත්ගෙන් ඇසුවා.

මම නිර්මාණයක් කරනවා කියන්නේ මා විසින්ම මට ශාන්තිකර්මයක් කරගන්නවා වගේ වැඩක්. නුවර කලාවියේ ජන ජීවිතය මගේ ජීවන අත්දැකීම්වලට බෙහෙවින්ම සමීපයි. අපේ ජීවිත අත්දැකීම් මේ නිර්මාණවලට නිරායාසයෙන්ම එකතු වෙනවා. මහපොළොව අපි දකින්නේ පැරණි ගම. එයින් නොනැවතී ගම් කීපයක් එකිනෙක ගැට ගැහෙනවා. විශාල සමාජ පරිවර්තනයක් මහපොළොව කතාව වටා ගොනුවෙනවා. ඒ අත්දැකීම තමයි මේ නාට්‍යයෙන් දිගහැරෙන්නේ.

රූපවාහිනිය නිර්මාණාත්මක ගවේෂණයකින් තොර වාණිජ පරමාර්ථ එක්ක ලාබ රස අලෙවි කරන කතාංගවලින් පිරී යනවිට සුමිත් රත්නායක තම නිර්මාණ ඔස්සේ වෙනස් ජීවිත සංවාදයක යෙදෙනවා. එය හමා එන රැල්ලට එරෙහි උඩුගම් බලා යෑමක්. සුමිත්ට එය වෙහෙසක් දැයි අපට අසන්නට හිතුණා.

කලාව, කලාව විදිහට දකින්න මම කැමතියි. කලාකරුවෙක් විදිහට මානව සමාජය පිළිබඳ වගවීමක් මම නිතරම විශ්වාස කරනවා. මම කලාව තෝරාගන්නේම ඒ කැපවීම මා තුළ තිබෙන නිසා. මට එතනදි බැහැ ප්‍රේක්ෂකයා රවට්ටන්න. මගේ රටේ මිනිස්සුන්ට හොඳ නිර්මාණයක් දෙන එක නිර්මාණකරුවෙක් විදිහට මගේ වගකීමක්. අපි නිතරම රැල්ලට ගහගෙන යන්න ඉඩ දීලා බලාගෙන ඉන්නවා. නමුත් මේ හෝදා පාළුව නවත්වන්න අපි උත්සාහ කරන්න ඕන. මේ නිර්මාණය එක්ක බොහෝ පිරිසක් එකතුවීම මට එතනදි විශාල ශක්තියක්. ඒ ශක්තිය ලැබෙන්නේ සෙරනිටි නිර්මාණ පියස නිෂ්පාදන දායකත්වයෙන්. ඔවුන්ගේ අභිප්‍රාය වන්නේ මේ රටේ කලාවට හොඳ නිර්මාණ දැකබලා ගන්නට ඉඩ කඩක් විවර කිරීමයි. ඒ කාර්යභාරය වගකීමෙන් ඉටු කරන්න කලාකරුවෙක් විදිහට මා කිසි විටෙකත් පසුබට වෙන්නේ නෑ.

මහපොළොව නිර්මාණ ගොඩනැගෙද්දි ලැබූ අත්දැකීම් මොනවදැයි අප විමසන්නේ එය අතීත පුවතක් හා බැඳුණු නිසා.

“ ඇත්තටම අපි නිර්මාණය කරපු වටපිටාව වගේම කාල රාමුව ඉතාමත්ම අභියෝගාත්මකයි. මේ නිර්මාණය අපට මතුපිටින් ස්පර්ශ කරන්න කිසිසේත්ම ඉඩක් ලැබුණේ නැහැ. මගේ ඔළුවේ නිර්මාණය අවසාන වෙනකන් විශාල බරක් තිබුණා. කොරෝනා වසංගතය ආරම්භයේ මේ කටයුත්තත් අපි පටන් ගත්තේ. කොහොමහරි මේ නිර්මාණය අවසන් කරන අධිෂ්ඨානයෙන් අපි කටයුතු කළා. නිර්මාණය තුළ ගහකොළ වන සතුන් මිනිස්සු වගේම එකිනෙකට බද්ධයි. ගෙවල් අටක් අවශ්‍ය වුණා. මුළුමනින්ම ගෙවල් තුනක් නිර්මාණය කළා. ගල්ගමුව, මහව වගේ දුෂ්කර ප්‍රදේශවල මේ නිර්මාණය රූගත කළේ. සෞඛ්‍යමය කාරණා මත ගැමි පරිසරය පවා රූගත කිරීම් ඉතාමත් දුෂ්කර වුණා. මේ නිර්මාණය විශේෂයෙන්ම නුවර කලාවියේ පැරණි භාෂා ව්‍යවහාරයන් මත පදනම්ව නිර්මාණය වීම විශේෂයි. ප්‍රදේශයේ වන අලි තර්ජන බෙහෙවින් පැවතියා. දර්ශන තල බේරා ගන්නට දිගින් දිගටම ඒවා ආරක්ෂා කරගන්න පිරිස් යොදවන්න අපිට සිද්ධ වුණා.

සුමිත් ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණයට එන්නේ රංගන ශිල්පියකු සතු අත්දැකීම් සහිතවයි...

“ ඇත්ත වශයෙන්ම රංගන ශිල්පියෙක් විදිහට නිර්මාණ කලාවත් එක්ක සම්බන්ධ වෙන්න ලැබීම පිළිබඳ මං සතුටු වෙනවා.මං ක්ෂේත්‍රයට එනකොට හොඳ නිර්මාණකරුවන් පිරිසක් මුණ ගැහුණා. ක්ෂේත්‍රයේ හොඳ නිර්මාණ බිහි වෙමින් තිබුණා. කාලයාගේ ඇවෑමෙන් ඒ සියල්ලෙහි බිඳවැටීම අපි දැක්කා. අපේ පරම්පරාවේ රංගන ශිල්පීන්ගේ පරිණතම අවධියේදී ඔවුන්ට හොඳ නිර්මාණවල රඟපාන්න ඉඩකඩක් පසුබිමක් දකින්නට ලැබුණේ නැහැ.

මා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයට පෙලඹෙන්න හේතුවත් මේ නිර්මාණය වූ පසුබිමයි. මට නොලැබෙන අවස්ථා ඒ කුසලතා පිරිපුන් නළු නිළියන්ට ලබා දෙන්න හා මං දැකපු ජ්‍යෙෂ්ඨ පරම්පරාවේ හොඳ නිර්මාණකරුවන් වගේ ක්ෂේත්‍රයේ නිර්මාණ කටයුත්තක් කරන්නයි මට අවශ්‍ය වුණේ.

මහපොළොව ඔබේ නිර්මාණය දිහා ආපහු හැරී බැලුවොත් මොනවද කියන්න තියෙන්නේ... අවසාන වශයෙන් අප ඇසුවා.

ප්‍රේක්ෂකයාට හරවත් යමක් දීමයි මගේ අභිප්‍රාය. මහපොළොව කියන්නෙම දරා ගැනීමක්. මේ වෙහෙස කොතරම් දරුණු වේදනාවක් කායිකව මානසිකව ඇති කළත් නිර්මාණය පරිසමාප්ත දකිද්දී හදවතට දැනෙන සතුට වචන වලට පෙරළන්න අමාරුයි.

Comments