ලෝක තාරුණ්‍යය වෙනුවෙන් වැඩ කරන අපේ දියණිය | සිළුමිණ

ලෝක තාරුණ්‍යය වෙනුවෙන් වැඩ කරන අපේ දියණිය

ශක්තිය වැය කරලා පලක් නැති අභියෝග මම මඟහැර යනවා...

ස්වාධීනව හිතන්න, තම මතය ප්‍රකාශ කරන්න මුලින්ම ඉඩ හැදෙන්න ඕනේ පවුලෙන්...

ඉතිහාසයේ පළමු වතාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඇය සැකසු තරුණ ප්‍රතිපත්තීන් දැන් රටවල් 130 ක ක්‍රියාත්මකයි...

 

ගැහැනියගේ භූමිකාව පවුලට පමණක් සීමා වූ යුගය අවසන් කොට රට සමඟ ලෝකයද දිනූ ලාංකේය දියණියෝ වත්මන් සමාජය තුළ විරල නොවෙති. මෙවර කැදැල්ලේ කතාව සරසන ඇය ද ලොවක් දිනු එවැනි දියණියකි. ඇය, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ තරුණ කටයුතු පිළිබඳ දූතවරිය ලෙස කටයුතු කරන ජයත්මා වික්‍රමනායක ඩයස් ය. එම ධූරයේ කටයුතු කරමින් මේ වන විට ඇමෙරිකා එක්සත් ජනපදයේ ජීවත් වන ජයත්මා වික්‍රමනායක සිය ජීවිතයේ සොඳුරු සැමරුම් අප සමඟ බෙදා ගත්තේ උද්යෝගීමත් සිතිනි.

 

"මම උපන්නේ බෙන්තර හබුරුගල ගැහැනු දරුවො තුන්දෙනෙක්ගෙන් යුතු පවුලක වැඩිමහල් දරුවා විදිහට. මගේ තාත්තා කොළඹ වරායේ යාත්‍රා හසුරුවන්නෙක් විදිහට සේවය කළා. අම්මා වෘත්තියෙන් ගුරුවරියක්. පහළ මධ්‍යම පාන්තික පවුලක් විදිහට ආර්ථික අපහසුතා තිබුණත් අපි හරිම සතුටින් ජීවත් වුණා. අම්මයි තාත්තයි හැමතිස්සෙම කිව්වේ අපි ඉන්න තැනින් උඩට එන්න පුළුවන් එකම විදිහ හොඳට ඉගෙන ගැනීම කියලයි. ඒ නිසාම මමයි නංගිලා දෙන්නයි මහන්සිවෙලා ඉගෙන ගත්තා.

මම පහේ පන්තිය දක්වා ඉගෙන ගත්තේ අලුත්ගම සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ. ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා කොළඹ විශාකා විද්‍යාලයට ඇතුළත් වුණා. නංගිලා දෙන්නාත් ශිෂ්‍යත්වය සමත් වුණාට පස්සේ අපි පාණදුරේ පදිංචියට ආවා. මම උසස් පෙළ සමත් වෙලා කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට තේරුණා. මගේ ලොකු නංගි දැන් අවසන් වසර වෛද්‍ය සිසුවියක්. චූටි නංගි කොළඹ නීති පීඨයේ දෙවැනි වසර සිසුවියක්. අපි තුන්දෙනාගේම ජීවිත ඒ විදිහට ගොඩනැඟුණේ මවුපියන්ගේ ආශිර්වාදය සහ මඟපෙන්වීම නිසයි"

චතුරව වදන් වැල් ඇමුණුවද ඇයගේ ස්වරයේ ඇත්තේ සැහැල්ලු ළගන්නා ස්වරයකි. මවුපියන් සේම පාසල් මාතාවගෙන් ජීවිතයට ලැබුණු පන්නරයද සිහිපත් කරන්නට ජයත්මා අමතක නොකළාය. විෂයය දැනුමට පමණක් සීමා නොවූ ඇය විදුහලේ සමිති, සමාගම් රැසක නිලතල දරමින් සිංහල සාහිත්‍ය තරගවලදී මෙන්ම ඉංග්‍රීසි දින තරගවලදීද ජයග්‍රහණ හිමිකරගත් අතීතය සිහි කළේ සොම්නසිනි. ඇය පාසලේදී නිවේදනය සහ රඟපෑම තුළින්ද සම්මානයට පාත්‍ර වූවාය. ක්‍රීඩා අංශයෙන් ජවන හා පිටිය අංශයෙන්ද දස්කම් පෑ ජයත්මා පාසලේ කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායිකාවක සහ නිවාස නායිකාවක ලෙසද කටයුතු කරමින් නායකත්ව සහ පෞරුෂත්ව ගුණාංගවලින් පොහොසත් වූවාය.

" ඒ හැමදේම කළත් අනාගතයේදී මම මෙහෙම කෙනෙක් වෙනවා කියලා අදහසක් ඒ කාලේ හිතේ තිබුණේ නැහැ. ඔයා මෙහෙම කෙනෙක් වෙන්න ඕනේ කියලා අම්මා, තාත්තා කිව්වෙත් නැහැ. පුංචි කාලේ ලියපු රචනාවල නම් නීතිඥයෙක් වෙනවා, නාවික හමුදාවට යනවා, ප්‍රවෘත්ති නිවේදිකාවක් වෙනවා, ජනාධිපති වෙනවා වගේ විවිධ දේවල් ලිව්වා. ඒවා සීරියස් නෙවෙයි, ඒ ඒ කාලේ හිතට ආව දේවල් විතරයි. උසස්පෙළ කරන කාලේ නම් ජාන ඉංජිනේරුවෙක් වෙන්න ආසාවක් තිබුණා. ඊට පස්සේ ටිකෙන් ටික තරුණ කටයුතු ගැන, සංවර්ධන ක්ෂේත්‍රය ගැන ඉගෙන ගනිද්දි රජයේ සේවයට බැඳෙන්න ආස හිතුණා. විශේෂයෙන්ම ඒ කාලේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ලොකු වෙනසක් කරපු චුලානන්ද පෙරේරා මහත්මයා, ගාල්ලේ දිසාපති වෙලා ගිටිය W.K අතුකෝරල මහත්මිය, මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා වගේ අය හඳුනා ගත්තට පස්සේ ඒ ආසාව තවත් වැඩි වුණා. ඒ නිසාම තමයි මම පසු කාලෙක පරිපාලන සේවයට එකතු වෙන්නේ. මේ වෙලාවේ ඒ හැමදෙනාම ආදරෙන් මතක් කරනවා."

එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ වීමට මඟ සැකසුණු ආකාරය ගැන අප ජයත්මාගෙන් විමසුවෙමු.

"ඒක අහඹුවක් කිව්වොත් නිවැරදියි. 2011 වසරේදී මම විශ්වවිද්‍යාල සිසුවියක් විදිහට ඉන්නකොට ව්‍යාපාර කළමනාකරණ ජාතික ආයතනය (NIBM)තරුණ කටයුතු අමාත්‍යාංශ සමඟ නැඟී එන තරුණ නායකයන් තේරීමේ තරගයක් සංවිධානය කළා. තාත්තා පත්තරෙන් ඒ ගැන දැකලා මටත් අයැදුම් පත්‍රයක් දාන්න කිව්වා. තාත්තගේ කීමට ඇප්ලිකේෂන් එකක් දැම්මට මට ඒ ගැන විශ්වාසයක් තිබුණේ නැහැ. නමුත් තාත්තට ඒ විශ්වාසය තිබුණා. මම ඒ තරගයෙන් දෙවැනියා වුණා. එහි අවසන් තරගය බලන්න මැති ඇමතිවරු, තානාපතිවරු, එක්සත් ජාතින්ගේ සංවිධානයේ ලංකාවේ නියෝජිතවරු පවා ඇවිත් හිටියා. එදා මම කතා කළේ ලංකාව දියුණු රටක් බවට පත්කරන්න තරුණයන්ගේ කාර්යභාරය කෙසේ විය යුතුද යන්නයි. එහිදි කියැවුණු අදහස් බොහෝ දෙනකුගේ අවධානයට ලක් වුණා. එදා ඉදන් මට විවිධ කමිටුවල කටයුතුවලට දායකත්වය දෙන්න අරාධනා ලැබුණා. ලෝක කම්කරු සංවිධානයේ තරුණයන්ගේ රැකියා විරහිත භාවය නැති කිරීමේ වැඩපිළිවෙළ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ බෝ නොවන රෝග පිළිබඳ වැඩපිළිවෙළ, තරුණ කටයුතු අමාත්‍යාංශයේ ජාතික තරුණ ප්‍රතිපත්තිය ඒ අතරින් කිහිපයක්. මේ දේවල් හරහා අර තරගයෙන් පසුවත් එම ආයතන එක්ක මගේ සම්බන්ධතාවක් තිබුණා.

එයින් වසරකට වගේ පසුව ලංකාවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට තරුණ නියෝජිතයන් දෙදෙනෙක් යවන්න සැලසුම් කෙරුණා. පත්තරෙන් ඒ ගැන දැකපු තාත්තා තමයි මට ඒකටත් අයැදුම් කරන්න කිව්වේ. ඒ දක්වාම මම හිතාගෙන හිටියේ ඒ වගේ අවස්ථා ලැබෙන්නෙ දේශපාලන හෝ ඉහළ හැඳුනුම්කම් තියෙන අයගේ දරුවන්ට විතරයි කියලයි. නමුත් මේ තෝරා ගැනීම කළේ කුසලතා අනුව. එහි සම්පූර්ණ ගෞරවය ලැබිය යුත්තේ එවකට හිටපු තරුණ කටයුතු ඇමති වරයා වූ ඩලස් අලහප්පෙරුම මහතාටයි. මම සහ පුත්තලමේ අරුත්‍රා රාජසින්හම් මෙයට තේරුණු වෙලාවේ වෙන දෙන්නෙක් යවන්න එතුමාට විවිධ බලපෑම් පවා ඇවිත් තිබුණා. නමුත් එතුමා එහෙම කළේ නැහැ. අපිට අපේ අවස්ථාව ලබා දුන්නා."

ජයත්මා ඒ අතීතය සිහි කරන්නේ කෘතවේදීවය. ඒ අතරතුර ශ්‍රී ලංකාවේ පවත්වන ලද ලෝක තරුණ සමුළුවේ සංවිධායක කටයතුවලට දායක වීමටද වරම් ලැබූ ඇයට ඒ මඟින් ලෝකයේ විශාලතම තරුණ සංවිධාන කිහිපයක් සමඟ කටයුතු කිරීමටද අවස්ථාව හිමි විය. 2017 වසරේ ජයත්මා දැන් දරමින් සිටින තනතුර සඳහා නාම යෝජනා කැඳවූ අවස්ථාවේ තරුණ තරුණියන් 1500කට අධික පිරිසක් අතරින් සම්මුඛ පරීක්ෂණ ගණනාවකට මුහුණ දී සිය දැනුම සහ කුසලතා සනාථ කිරීමට තමා සමත්වූ බව ඇය පැවසුවේ අවිහිංසක අභිමානයකි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජයත්මා වික්‍රමනායක දරන තනතුර සහ ඇගේ කාර්යභාරය පිළිබඳ බොහෝ දෙනකුගේ දැනගැනීම වෙනුවෙන් සරලව පැහැදිලි කරන්නැයි කී විට ඇය ඊට මෙසේ පිළිතුරු දුන්නාය.

" එක්සත් ජාතීන්ගේ සංවිධානය රටක් නම්, එහි ජනාධිපති මහලේකම් වරයා කියල හිතමු, ඔහුට ඇමති මණ්ඩලයක් ඉන්නවා, මම ඒ ඇමති මණ්ඩලයේ තරුණ කටයුතු ඇමති කිව්වොත් හරි. ඉතිහාසයේ පළමු වතාවට මේ සංවිධානයට තරුණ ප්‍රතිපත්තියක් සැකසීම මට පැවරුණු පළමු වගකීමයි. 2018 වසරේදී මම එය සාර්ථකව නිම කළා. දැන් රටවල් 130ක් ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින් සිටිනවා."

රට වෙනුවෙන් යමක් කරන්නට ලැබීමේ සතුට ඇය පළ කළේ දෑස්වලින්ද හිනැහෙමිනි. ආ මඟ කෙටි වුවත් ඒ මඟ සැමරුම් ඇය වින්දනය කරන්නේ තෘප්තිමත් හදවතිනි. ඉන් නොනැවතී ඇය ඒ මඟට ආශිර්වාදයක් වූ සිය කැදැල්ලට හදවතින්ම ස්තුතිවන්ත වන්නීය.

"අම්ම තාත්තගේ වෙහෙස, කැපවීම සහ දුර දක්නා නුවණ නැත්නම් මමත් නංගිලාත් අද මේ තැන්වල නැහැ. ඔවුන්ට ඕනේ වුණේ අපි එයාලට වඩා හොඳ ජීවිතයක් ගත කරනවා දකින්නයි. අපේ ගෙදර ඒ කාලේ ඉඳන්ම පුස්තකාලයක් වගේ හැම ජාතියෙම පොත් තිබුණා. හැම සැමරුමකදීම, ජයග්‍රහණයකදීම මටයි නංගිලාටයි සෙල්ලම් බඩු වෙනුවට අම්මයි තාත්තායි තෑගි කළේ පොත්. එයින් අපේ දැනුම පුළුල් වුණා. අම්මා, තාත්තා ඉංග්‍රීසි පොත් නොකිව්වත් අපට ඉංග්‍රීසි පොත් ගෙනත් දුන්නා. හැම ඉරිදම තාත්තා පත්තර දෙකක් ගෙදර ගේනවා. ඊටපස්සේ ඒ දේවල් ගැන කතා වෙනවා. ටීවී එකේ ප්‍රවෘත්ති බැලුවත් දේශපාලන සාකච්ඡාවක් ගියත් ඒ දෙවල් ගැන අපි පස්දෙනා සාකච්ඡා කරනවා. අම්මයි තාත්තයි පොඩියි කියලා කවදාවත් අපි කියපු දෙයක් අහක දැම්මෙ නැහැ. මම හිතන්නේ ස්වාධීනව හිතන්න, තමාගේ මතය ප්‍රකාශ කරන්න මුලින්ම ඉඩ හැදෙන්න ඕනේ පවුලෙන්;ගෙදරින්. ළමයකුගේ දැනුම පුළුල් කරන්න වගේම ආත්ම ශක්තිය වැඩි කරන්නත් ඒක ලොකු පිටිවහලක්. "

ඒ මවගේත් පියාගේත් කැදැල්ලෙන් දියණියක ලෙස ඇය ලැබූ ශක්තියයි. අද ජයත්මාට ඇයගේම කැදැල්ලක් හිමිය. වෘත්තියෙන් නාවික හමුදා නිලධාරියකු වන දයාන් ඩයස් ජයත්මාගේ දයාබර සැමියාය. ඒ ආදරය හදවතට සමීප වූ අතීතය ඇය සිහි කළේ සුන්දර මඳහසකින් මුව සරසාගෙනය.

"2016දි අපි විවාහ වුණේ අවුරුදු දහයක ආදර සම්බන්ධයකින් පසුවයි. දයාන් කියන්නේ සැමියා විතරක්ම නෙවෙයි. ඔහු තමයි මගේ හොඳම මිතුරා. මම කරන හැම දේකටම උදවු කරනවා වගේම වැරැද්දක්, අඩුපාඩුවක් දුටු තැන කියනවා. මගේ හොඳම විවේචකයා ඔහුයි. දයාන් කියන්නේ හරිම සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක්. මම හුඟක් වෙලාවට ගොඩක් ස්ට්‍රෙස්ෆුල් සහ සීරියස්. දයාන් හැම තිස්සෙම මට පොළොවේ පය ගහල ඉන්න උගන්නනවා. ජීවිතේ පොඩි පොඩි දේවල් අගය කරන්න මම ඉගෙන ගත්තේ ඔහුගෙන්. ඒ නිසා මවුපියන්ට පසුව මගේ ජීවිතේ ලොකුම ශක්තිය මගේ සැමියා. "

තුරුණු වියේදීම ලෝකය දුටු, ලෝකයේ බලවත්ම සංවිධානයක වගකිවයුතු තනතුරකට පත්වූ ජයත්මා වික්‍රමනායක ඩයස් ලාංකේය සමාජය තුළ ගැහැනියට පවතින සීමා, බාධක ගැන කීවේ මෙලෙසිනි.

"මම ශිෂ්‍යත්වය සමත් වූ වෙලාවේ කොළඹ ඉස්කෝලෙකට යවන්න එපා, එතකොට ගැහැනු ළමයි නරක් වෙනවා කියලා ගොඩක් අය මගේ මවුපියන්ට කිව්වා. ඒ වගේම යූ.එන් එකට සම්බන්ධ වෙද්දිත් ගෑනු ළමයෙක් පරෙස්සම් කරන්නෝනි, රට ගිහින් මොනවා කරනවද දන්නෙ නෑ වගේ ගොඩක් දේවල් කිව්වා. නමුත් මගේ අම්මයි තාත්තයි ඉතා බුද්ධිමත් ආකාරයෙන් ඒවා නොසලකා හැර මට සහයෝගය දුන්නා. එහෙම නොවුණා නම් අද මම මෙතැන නැහැ. මම දන්න ගොඩක් ගැහැනු ළමයින්ට පවුලෙන් ඒ සහයෝගය ලැබෙන්නෙ නැහැ. දුවලට වඩා පවුලකට වටින්නේ පුතාලා කියලා හිතන පිරිසකුත් තවම ලංකාවේ ඉන්නවා. "

එවැනි පටු සිතිවිලි පිරුණු සමාජයක් අතරින් සිය ජීවිතයේ කෙම්බිම සොයාගත් ජයත්මාද අභියෝගවලට මුහුණ නොදුන්නා විය නොහැකිය. මේ, ඒ ගැන ඇයගේ අදහස්ය.

"අභියෝගයක් ආව ගමන් කලබල වෙලා ඒකට ප්‍රතිචාර දක්වනවාට වඩා අඩියක් පස්සට අරගෙන ඒ අභියෝගය දිහා සන්සුන්ව බැලීමයි මගේ විදිහ. කලබල වෙලා ගන්න තීරණවලදී ගොඩක් වෙලාවට වැරදෙනවා. සමහර අභියෝග දිනන්න හරි පරදින්න හරි ඒවාට මුහුණ දෙන්නම වෙනවා. ශක්තිය වැය කරලා ඵලක් නැති සමහර අභියෝගත් එනවා. ඒ වගේ අභියෝග මම මඟහැර යනවා. "choose your battles" කියන දේ මම හරියටම පිළිපදින්න උත්සාහ කරනවා"

නැණවත්, දිරිමත් සිතක් ඇති මේ සොඳුරු යුවතියගේ අනාගත අපේක්ෂා කෙබඳුදැයි අප ඇය විමසුවෙමු.

" මම ලොකු ලොකු හීන දකින කෙනෙක් නෙවෙයි. උදාහරණයක් විදිහට මීට අවුරුදු හය හතකට කලින් මගේ රැකියාව මෙහෙම එකක් විය යුතුයි කියලා බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. අපි ජීවත් වෙන්නේ ගොඩක් ඉක්මනින් වෙනස් වන ලෝකෙක. ඒ නිසා දැනට කරන දේ පුළුවන් උපරිම මට්ටමෙන් කරගෙන, ඉදිරියේ එන අභියෝගවලට මුහුණ දෙන්න පුළුවන් ආකාරයට කුසලතා සහ දැනුමින් සන්නද්ධ වීම තමයි බොහෝ විට මම කරන්නේ"

ඇයගේ සිතිවිලි සහ පැවතුම් සරලය;සුන්දරය. නමුදු ඒ සියල්ල තුළ ඇය පරිපූර්ණ ජීවිතයක සතුටද විඳින්නීය.

"රැකියාව නිසා මම ගොඩක් කාර්යබහුලයි. සතියේ දවස් හතේම වැඩ. ඊට අමතරව මාසෙකට රටවල් දෙක තුනකට යන්න සිදු වෙනවා. සමහර වෙලාවට ගුවන් යානයේ යන්නෙත් වැඩ කරමින්. නමුත් කොවිඩ් 19 වසංගත සමය තුළ අපේ සංචාර සම්පුර්ණයෙන් නැවතුණු නිසා ටිකක් නිදහසක් ලැබුණා. ඒ නිදහසෙන් මේ දවස්වල පොත්පත් කියවීමට සහ අලුත් කෑම හදන්න ඉගෙන ගන්න මට පොඩි විවේකයක් ලැබිලා තියෙනවා."

අරුත්බරව සහ සුන්දරව ජීවිත විඳින ජයත්මා වික්‍රමනායක ඩයස් නම් ලාංකේය දියණිය ලෝකය දිනූ අභිමානවත් ගැහැනියකි. නිරහංකාර සිතින් ඒ අභිමානය විඳින ඇයගේ මෙවදන් ලාංකේය තරුණ පරපුරටම ආදර්ශයක් නොවන්නේද?

"මම බොහොම සාමාන්‍ය පවුලක ඉපදිලා, ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් මේ තැනට ආව කෙනෙක්. ලංකාවේ එක දරුවෙක් හරි මගේ කතාව කියවලා එයාලටත් ජීවිතේ ඕනෑම දෙයක් ජයගන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක මට ලොකු සතුටක්"

 

 
 
 
 

Comments