සින­මා­වට හොයන චරිත අතරේ මම තවම නැතුව ඇති | සිළුමිණ

සින­මා­වට හොයන චරිත අතරේ මම තවම නැතුව ඇති

සම්මානනීය වීමයි මගේ ඊළඟ හීනය. සම්මානයකට නිර්දේශ වුණොත් ඒකත් වටිනවා

දක්ෂතා නැතිව අධ්‍යක්ෂවරුන්ට නිෂ්පාදකවරුන්ට මුට්ටි අල්ලලා චරිත ගන්න අයත් අපි දැකලා තියෙනවා

කැම්ප් එකෙන් හොරෙන් පනින්න ගිහින් නිදි කුම්බා ගාලකයි වැලි පොළොවකයි බඩ ගාගෙන ගියා

 

මේ දවස්වල පුංචි තිරයේ ශනුද්‍රිගේ ආදරවන්තයා වෙලා ඉන්නේ සිතිජ ජයසේකර. ඒ ‘ගමනේ යා ටෙලි නිර්මාණයේදි. මේ තාක් රංගනයෙන් දැක්කට වඩා වෙනස් ස්වරූපයකින් මේ නිර්මාණයෙන් අපිට සිතිජ මුණගැහෙනවා.

මේ දවස්වල මුණගැහෙන නිර්මාණ කිහිපයෙන්ම කතාව අරඹමු

මම රංගනයෙන් එකතු වෙන ‘අහස් මාලිගා’නාට්‍ය සුපුරුදු විදිහට විකාශය වෙනවා. ඒ අතර අලුත් නාට්‍ය දෙකක්ම විකාශය වෙන්න පටන් ගත්තා. ඒ තරුෂි පෙරේරාගේ ප්‍රථම තිර රචනය අනුව චන්දන ධර්මප්‍රිය අධ්‍යක්ෂණය කළ ‘රෑනගල වලව්ව‘ හා ලාල් වසන්ත රචනා කළ සේනක එදිරිසිංහ අධ්‍යක්ෂණය කළ ‘ගමනේ යා‘ටෙලි නිර්මාණයි.

හමුදාවට බැදිච්ච කතාවේ ඇත්ත නැත්ත මොකක්ද?

‘ගමනේ යා’ ටෙලි නාට්‍ය වෙනුවෙන් තමයි මම හමුදා සේවයට බැඳුණා. එය අලුතින් හමුදාවට බැඳෙන සෙබළුන් පිරිසක් වටා ගෙතුණු කතාවක්. එහි තිවංක කියන හමුදා සෙබළාගේ චරිතය නිරූපණය කරන්නේ බොහොම කැමැත්තෙන්.

ඒ චරිතය ඔබව මේ තාක් දැකපු ස්වරූපයට වඩා වෙනස් නේද?

එය මට ලැබුණ වෙනස්ම චරිතයක්.‘ගමනේ යා’තමයි මම ප්‍රධාන චරිතය නිරූපණය කරන පළමු ටෙලි නාට්‍යය. මම කවදාවත් හිතුවේ නැහැ මට මේ වගේ චරිතයක් කරන්න ලැබෙයි කියලා. මේ නාට්‍ය එනකල් මං බලාගෙන හිටියේ බොහොම ආසාවෙන්. හමුදා නිලධාරීන්ගේ කැප කිරීම, ඔවුන්ගේ සිතුම් පැතුම්, ඔවුන් විඳින දුක, ඒ අතරින් ඔවුන් ලබන සතුට මේ නිර්මාණය තුළ දශමයක් දශමයක් ගානේ පෙන්නුම් කරනවා.

මේ නිර්මාණයට ඔබ සම්බන්ධ වෙන්න අහම්බෙන් ?

මීට අවුරුදු දෙකහමාරකට කලින් උදිත් අබේරත්න අයියා සහ දිලිනි ලක්මාලි අක්කි තමයි මාව මේ නාට්‍යයට යෝජනා කළේ.

ඒ තුළ ලොකු කැප කිරීමක් කරන්න සිතිජට සිද්ධ වෙන්න ඇති ?

මගේ රංගන ජීවිතයේ ලොකු කැප කිරීමක් කළ නිර්මාණය එයයි. මීට කලින් මගේ කොණ්ඩේ රැවුල මෙච්චර කොටට කපලා තිබ්බේ නැහැ. නමුත් මේ චරිතය නිසා කොණ්ඩේ රැවුල කපලා පිළිවෙළකට ඉන්න වුණා. මට මතකයි එක දර්ශනයක් තිබ්බා මම කැම්ප් එකෙන් හොරෙන් පනින්න යන. එදා නිදි කුම්බා ගාලකයි වැලි පොළොවකයි බඩ ගාගෙන ගියා. මින්නේරිය ආමි කැම්ප් එකේ තමයි රූගත කිරීම් කළේ. කොළඹින් යද්දි හිටපු මම නෙමෙයි එද්දි හිටියේ. කෙස්වල පාටට මම කළු වෙලා තිබ්බා.

රංගනය වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කරන්න සිතිජ සූදානම්ද ?

නිර්මාණයට අවශ්‍ය උපරිම කැපවීම මම කරනවා. මට ඕනේ වැඩේ ලස්සනට කරගන්න. ‘ගමනේ යා’ රූගත කිරීම් පටන් ගත් නිසා නැවත මගේ කොණ්ඩේ රැවුල කපන්න වෙනවා. මේ වෙද්දි මම සම්බන්ධ වෙන අනෙක් නාට්‍යවලට විග් එකක් පාවිච්චි කරන්න වෙනවා.

සිතිජට මෙතෙක් ලැබුණු චරිත ගැන තෘප්තිමත්ද ?

මේ ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 3ක කාලය ඇතුළත නිර්මාණ විසි හයක පමණ රඟපාලා තියෙනවා. එයින් ප්‍රධාන චරිත කළ නිර්මාණ හතරක් විකාශය වෙන්න තියෙනවා. එකිනෙකට වෙනස් චරිත මට කරන්න ලැබුණා. මේ පුංචි කාලය ඇතුළත ඒ ලැබුණු චරිත ගැන සතුටුයි.

 

මේ තරගකාරීත්වය තුළ ක්ෂේත්‍රයේ පැවැත්ම රැකගැනීම පහසුද?

එවැනි ප්‍රශ්න තියෙනවා. නමුත් දක්ෂතා නැති අයත් අධ්‍යක්ෂකවරුන්ට නිෂ්පාදකවරුන්ට මුට්ටි අල්ලලා චරිත ගන්න හැටිත් අපි දැකලා තියෙනවා. ඒ අය නළුවෝ කියලත් හිතාගෙන ඉන්නවා. එහෙම ගන්න අවස්ථා වැඩක් නැහැ. මම කැමැතියි හැකියාවෙන් වැඩක් කරන්න. අපි අපේ උපරිම දක්ෂතාව පෙන්නුවොත් නිර්මාණකරුවන්ට අපිව නිර්මාණවලට නොගෙන ඉන්න බැරි වෙනවා.

පුංචි තිරයේ දොරගුළු හැරුණු සිතිජට සිනමාවේ තවම දොරගුළු විවර නැහැ නේද ?

දැනට එක චිත්‍රපටයකට අවස්ථාව ලැබුණා. මමත් ආසයි සිනමාවට සම්බන්ධ වෙන්න. නමුත් සිනමාකරුවෝ හොයන චරිත අතරේ මම තවම නැතුව ඇති.

නළුවෙක් විදිහට ඔබේ ඊළඟ බලාපොරොත්තුව මොකක්ද?

සම්මානනීය වීමයි මගේ ඊළඟ හීනය. මේ යන තත්ත්වය එක්ක සම්මාන ලැබෙයිද නොලැබෙයිද දන්නේ නැහැ. නමුත් ඒ වෙනුවෙන් නිර්මාණ තුළ මහන්සි වෙනවා. කවදා හරි සම්මානයකට නිර්දේශ වුණොත් ඒකත් මට වටිනවා.

සිතිජ ක්ෂේත්‍රයේ ළඟින්ම ඇසුරු කරන රංගන ශිල්පිනියෝ කවුද?

සිනෙති අකිලා සහ පියුමි ශ්‍රීනායක තමයි මට බොහොම සමීප. අපි අතරේ පුදුම බැඳීමක් තියෙන්නේ. හරියට එක කුස උපන් සහෝදරියෝ වගේ.

එතකොට පෙම්වතිය ගැන කියන්නේ නැද්ද?

මම පෙම්වතෙක්. සුදුසු කාලේදී ඒ ගැන විස්තර කියන්නම්

Comments