සිර­වෙලා නැව­තිලා නැති ­නම් සීමා­වක නිද­හසේ ඉගි­ළිලා යමු එක රෑනක | සිළුමිණ

සිර­වෙලා නැව­තිලා නැති ­නම් සීමා­වක නිද­හසේ ඉගි­ළිලා යමු එක රෑනක

 ජීවිත කාලය පුරාම විවිධ හැඩයේ විවිධ වර්ගයේ සිහින පසුපස හඹා යන අපි ඇතැම් සිහිනවලට ආසන්න වූ විට ඒ සිහිනයෙහි බර වඩ වඩාත් තදින් දැනෙන වාර බොහෝ විට අත්විඳ තිබේ. අසීමාන්තික බැමි, සීමා මැද සිහිනවලට වැට බඳින්නට සිදුවන විට ඒ සියල්ල බිඳ දමා සියලු රැහැන්වලින් මිදී ඉගිළී යන්නට නොසිතෙන කෙනෙක් සොයාගන්නට පහසු නැත. ජීවිතයේ විවිධ කාලවල, විවිධ ගීත අපේ ප්‍රියතම ගීත බවට පත් වෙයි. ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි වර්තමානයේ වඩාත්ම ප්‍රියතම ගීතය ගැන පවසන්නට ඔහු සතුව බොහෝ දේ තිබේ.

 

"ගීතයක් රස විඳීමේ දී සෑම විටෙකම පාහේ එහි පද රචනාව ප්‍රබල විය යුතුයි. සංගීතය සහ හඬ සමඟ හරවත් පද රචනාවක් මුහු වී නොතිබුණු ගීතය සෑම පැත්තකින්ම පරිපූර්ණ ගීතයක් වන්නේ නැහැ. අතීතයේ අප ඇසූ ගී පද රචනා සහ වර්තමාන ගී පද රචනා අතර තිබෙන පරතරය බොහොම විශාලයි. වර්තමානයේ ගීත රචනා බොහෝමයක භාෂා භාවිතය, අර්ථයෙන් සහ රසයෙන් හීන වී ගොස් තිබෙන බව හැඟෙනවා. ගෝලීයකරණය හේතුවෙන් වර්තමාන සමාජයේ ජීවත්වන මිනිසාගේ සාහිත්‍ය සහ භාෂාව පිළිබඳ ඇති ආකල්ප සහ උනන්දුව පටු වෙමින් පවතිනවා. එවැනි රාමුවක මිනිසුන් කොටුවන විට, ඔවුන්ගේ වින්දන පරාසය අතීතයට වඩා වෙනස් වී තිබෙන නිසා වර්තමානයේ බිහිවන ගී පද රචනා එවන් පිරිසකට නම් ගළපා ගන්නට හැකියි කියන හැඟීමත් ඇතිවෙනවා."

පුළුල් සාහිත්‍යමය දැනුමකින් හෙබි මිනිසා අතීතයේ ගීත වින්දනය කර තිබෙන්නේ එහි අඩංගු සාහිත්‍ය රසය ද මනාව උකහා ගනිමිනි. නමුත් වර්තමානයේ සාහිත්‍ය රසඥතාව පිළිබඳ ඇති යම් යම් අඩු ලුහුඬුකම් සමඟ ගීත රස විඳීමේ දී එහි ඇති සාහිත්‍යමය ගුණය වින්දනය කිරීමට බොහෝ දෙනා අපොහොසත් වෙයි.

"එදා සාහිත්‍යය සමඟ මිශ්‍ර වූ ගීත රස විඳපු සමාජය දැන් මහලු වෙමින් යනවා. එබඳු ගීත අදටත් විඳින්නට හැකි පිරිසත් ඒ තරම්ම තරුණ නැහැ. තාරුණ්‍ය පහුකර මැදි විය ද පසු කරමින් සිටින ඒ සමාජය මේ ස්ථර දෙකෙහිම ගීත වින්දනය කළ උදවිය. අද කාලයේ ගීතයක් ලිවීමේ දී මේ යුග දෙකටම විඳින්නට හැකි ආකාරයේ පදමාලාවක් බිහි කිරීම පහසු කටයුත්තක් නොවේ. එය වඩාත් පහසුවෙන් කළ හැකි වන්නේ මම පෙර සඳහන් කළ සාහිත්‍යමය යුගය පසු කරමින් වර්තමානයට පැමිණි අන්තර් යුගයේ පුද්ගලයකුට. පැරණි සාහිත්‍යයට ම නතුවෙමින් ගීත රචනා කිරීමට පෙලඹුනොත් ගීත ශ්‍රාවකයන් ඒවා වැලඳ ගනී ද යන්න ගැටලුවක්. පදවැල බර වීම නිසාම ගීතවලට පැවැත්මක් නැති වෙන්නටත් ඉඩ තිබෙනවා. තාරුණ්‍යයටත් ගැළපෙන පහුගිය පරම්පරාවටත් විඳින්නට හැකි සාහිත්‍යමය රසයෙන් ද යුතු ගීතයක් රචනා කිරීම යම්කිසි අභියෝගයක්. සේනක බටගොඩ ඒ අභියෝගය යම්තාක් දුරට ජයග්‍රහණය කර තිබෙන බව මේ ගීතය ඇතුළු ඔහුගේ ගීත ශ්‍රවණය කිරීමේදී මට හැඟෙනවා."

පරම්පරා දෙකට ම ගැළපෙන ආකාරයේ අපූරු ගීතයක් වූ "සිහින මවන්නැති අහස උසට තනියම" ගීතයට ඇලුම් කරන්නට, කමල් අද්දරආරච්චි ට හේතු කිහිපයක් තිබෙන බව ඔහු පවසයි.

"මේ ගීතය බොහොම සරලයි. එය යම්කිසි ආකාරයක සිතුවිලි ප්‍රකාශනයක් ලෙස හඳුන්වන්නත් පුළුවන්. එහි කිසිසේත්ම මහා බරක් අන්තර්ගත වී නැහැ. සංගීතමය වශයෙනුත් මධ්‍ය ස්වරවල සිට උච්ච ස්වර දක්වා ගැයෙන ගීතයක්. විනෝද චාරිකාවක්, ප්‍රිය සාදයක් වැනි අවස්ථාවක වගේම සාමූහිකව කණ්ඩායමක් එක්වන අවස්ථාවක, කණ්ඩායම් ගීතයක් ලෙස අපූරුවට ගයන්නට හැකි ගීතයක් ලෙසත් මේ ගීතය මට දැනෙනවා.

"සිහින මවන්නැති අහස උසට තනියම

ළංවෙන්න වෙන්න ඇයි සමහර දුර

ඇහෙන දකින දේවල් කොතරම් තිබුණට

හදට දැනෙන දේවල් ඇයි එතරම් බර"

ජීවිතයේ ඉතාම සුළුකොට තැකිය හැකි පෞද්ගලික කටයුතුවල සිට පොදු බැරෑරුම් කටයුතු දක්වා විවිධ පරාස ඇතුළේ විවිධ ආකාරයෙන් ශාරීරිකව හෝ මානසිකව දරාගත යුතු බරවල් අපට තිබෙනවා. "අල බහින තුරු ඉන්න පුළුවන් - තැම්බෙන තුරු ඉවසන්න බැහැ" කියන පැරැණි කියමන වගේ බොහෝ බරවල්වලින් සැහැල්ලුවක් ලබා ගන්නට.. එහෙමත් නැත්නම් බර බිම තියන්නට ආසන්න වන විට ඒ බර පෙරට වඩා තදින් සහ බරට අපට දැනෙනවා.

මේ ගීතයෙන් ඉතාම සරලව ගැඹුරු මනෝභාවයක් විවරණය කරනවා. මහා ලොකු වචන හරඹයක් නොවුණත්, බස හැසිරවීම ආදිය සමඟ සමස්තයක් වශයෙන් මේ ගීතය ඉතාමත් ආකර්ෂණීය තැනක තිබෙනවා. ගීතයේ ඇති එම ගුණය නිසාම ජීවිත කාලය පුරා වරින් වර ඇලුම් කළ ගීත කීපයක් අතරට මෑතක සිට මේ ගීතයත් එකතු වී තිබෙනවා."

ගීතයක් රසයෙන් පරිපූර්ණ විය යුතුය. එසේම හෘදයාංගම විය යුතුය. ගීයක මිහිර හදවතින්ම වැලඳ ගත හැකි වන්නේ එවිටය.

"රසය වගේම ගීතය තුළ හදවත් සුවපත් කිරීමේ ගුණය තිබිය යුතුයි. හදවතක් බිඳ දමනවාට වඩා හදවත් එකිනෙකට යා කරන්නට ගීතයකින් හැකි වෙනවා නම් එය බොහොම අපූරුයි. එදා මෙදා තුර ඇලුම් කළ ගීතවලින් මගේ සිත වැඩියෙන්ම බැඳගත්තේ හදවත් යා කරන්නට හැකි ගීත. එබඳු ගීතවලට නොමැකී හදවත තුළ ජීවත් වෙන්නට පුළුවන්. ඒ ගී ගොන්නට මේ ගීතයත් එකතු වෙන්නේ ඒ නිසයි."

Comments