DHL මූලික වී කොවිඩ්-19 එන්නත ලොව පුරා බෙදා හැරේ | සිළුමිණ

DHL මූලික වී කොවිඩ්-19 එන්නත ලොව පුරා බෙදා හැරේ

 DHL සමාගම, ලොව පුරා කොවිඩ්-19 එන්නත් බෙදාහැරීම අරඹමින්, DHL Express හා DHL Global Forwarding හරහා පළමු එන්නත් තොගය ඊශ්‍රායලය වෙත ප්‍රවාහනය කිරීමට පසුගියදා පියවර ගත්තේය. එම එන්නත් තොගය රැගත් පළමු DHL එක්ස්ප්‍රස් ගුවන් යානය ඉකුත් දා ඊශ්‍රායලයේ ටෙල් අවිව්හි බෙන්-ගුරියන් ගුවන් තොටුපොළ වෙත ළඟා වූ අතර, එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පෞද්ගලිකව පැමිණ එම යානය පිළිගැනීම ද කැපී පෙනුණි. ඉන් අනතුරුව DHL හරහා දෙවැනි එන්නත් මාත්‍රා තොගයක් ද ටෙල් අවිව් නුවරට ළඟා වූ අතර ඉදිරි කාලයේදී තවත් එන්නත් අවශ්‍යතාව අනුව ප්‍රවාහනය කිරීමට සමාගම සූදානමින් සිටියි. වර්තමානයේදී ලොව පුරා කොවිඩ් -19 එන්නත් මාත්‍රා බිලියන 10කට වැඩි ප්‍රමාණයක් බෙදාහැරීමේ අවශ්‍යතාවක් මතුව තිබේ. ඊට දියුණු ලොජිස්ටික් යටිතල පහසුකම් නොමැති කලාප රැසක් ද අයත් වන අතර, එවැනි ප්‍රදේශවල ජීවත්වන ජනගහනය බිලියන 3කට අධික ය. ක්ෂණිකව කොවිඩ් එන්නත් බෙදාහැරීමේ කාර්යය තුළ ගෝලීය ලොජිස්ටික් සේවා සැපයුම්කරුවන් සතුව වෛද්‍ය සැපයුම් දාමයක් පවත්වාගෙන යාම ද අත්‍යවශ්‍යතාක් වී තිබේ. එමෙන්ම ඉදිරි වසර දෙක තුළ එන්නත් බෙදාහැරීම වෙනුවෙන් Pallet බහාලුම් ලක්ෂ දෙකක් සහ ශීත පෙට්ටි මිලියන 15ක් ද ගුවන් වාර 15,000ක් ද අවශ්‍ය වනු ඇතැයි ගණන් බලා තිබේ.

Comments