අධිරාජ්‍ය තුනක් සැඟවූ ගාලු කොටුව | සිළුමිණ

අධිරාජ්‍ය තුනක් සැඟවූ ගාලු කොටුව

ගාල්ල කොටුව සජීවී ලෝක උරුමයකි. සාමාන්‍ය වැසියන් මෙන්ම සංචාරක කර්මාන්තයේ නිරත වූ ව්‍යාපාරිකයෝ ද ගාල්ල කොටුවේ ජීවත් වෙති. ප්‍රධාන පෙළේ පාසල් දෙකක් ද රජයේ කාර්යාල කිහිපයක් ද ගාල්ල අධිකරණ සංකීර්ණය ද කොටුවේ පිහිටා තිබේ. එ් නිසාම ගාල්ල කොටුව යනු අදටත් දහස් ගණන් ජනතාව දෛනිකව පැමිණෙන සක්‍රීය ස්ථානයක් බවට පත්ව තිබේ. 

1505 දී ශ්‍රී ලංකාවට පැමිණි පළමු යුරෝපීය ජාතිය වන පෘතුගීසීන් විසින් පළමුව ගොඩනගා ලන්දේසීන් විසින් දැවැන්ත ආරක්ෂිත බළකොටුවක් බවට පත්කර ඉංග්‍රීසි පාලකයන් විසින් ද විවිධ වෙනස්කම්වලට ලක්කර භාවිතයට ගත් ගාල්ල කොටුවේ අධිරාජ්‍ය තුනකට අයත් ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ හා යුද සංවිධාන ලක්ෂණ ඇති බැවින් මෙය ලෝක උරුමයක් ලෙස අතිශය වැදගත් ස්ථානයකි.

ගාල්ල කොටුවේ ඉපැරණි බව ආරක්ෂා කිරීම සඳහා විටින් විට විවිධ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කෙරිණි. මේ දිනවල ගාල්ලේ තවත් සංරක්ෂණ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. ලෝක බැංකුවෙන් ලබාදුන් රුපියල් ලක්ෂ 6400ක සහන ණයක් යටතේ උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතියෙන් මෙම සංරක්ෂණ කටයුතු සිදු කරයි.

ගාල්ල කොටු පවුර සංරක්ෂණය කිරීම, බිම් සැකසීම හා සංචාරකයන්ට ගාල්ල කොටුව පිළිබඳ නිවැරදි හා පැහැදිලි අර්ථකථනය සැපයීම අරමුණු කරගෙන මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙයි.

ව්‍යාපෘතියේ උපදේශකවරයා ලෙස කටයුතු කරන වරලත් වාස්තු විද්‍යාඥ ආචාර්ය නිලාන් කුරේගේ පූර්ණ අධීක්ෂණය හා මඟපෙන්වීම යටතේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙයි. මධ්‍යම සංස්කෘතික අරමුදලේ දකුණු පළාත් ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ ප්‍රාග් ඉතිහාසය පිළිබඳ ආචාර්ය නිමල් පෙරේරා සංරක්ෂණ කටයුතු අතරතුර සිදුකරන පුරාවිද්‍යා ගවේෂණ කටයුතු මෙහෙයවයි.

සංරක්ෂණය මෙන්ම ගවේෂණ කටයුතු ද මේ දිනවල ගාල්ල කොටුවේ සිදුවෙමින් පවතින බැවින් කොටු පවුරේ තැන තැන වළවල් හාරා කූඩාරම් ඉදිකර තිබෙන ආකාරයත් පුරාවිද්‍යාඥයන්, වාස්තු විද්‍යාඥයන් සහ සේවකයන් ලහි ලහියේ එම කටයුතු සඳහා වෙහෙසවන ආකාරයත් සුලබ දසුනක් බවට පත්ව ඇත. ඔවුන් මතුකරමින් සිටින්නේ වසර 500ක පමණ අතීතයකට අයත්වූ අධිරාජ්‍ය තුනක සැඟවුණු ඉතිහාසයයි. එමෙන්ම ශතවර්ශ කිහිපයකින් කිසිදු ප්‍රතිසංස්කරණයක් නොවූ කොටු පවුරේ බොහෝ ස්ථාන සංරක්ෂණය කිරීම ද ඒ අතරතුර සිදුවෙමින් පවතී.

ගාල්ල කොටුව දැවැන්ත කළු ගල් සහ හිරිගල් එකතු කර සාදන ලද කොටු බැම්මක් ලෙස බොහෝ දෙනකු සිතුව ද එහි ඇත්තේ බැලූ බැල්මට පෙනෙන ස්වරූපය නොවන බව මේ විද්වත්හු කියති. කොටුවේ ස්ථාන කිහිපයක් කඩා වැටීම හා ගරා වැටීම හේතුවෙන් ඒ බැමි සංරක්ෂණය කිරීමත් කොටු පවුර පුරා ඇති ආරුක්කුමය ස්ථාන සංරක්ෂණය කිරීමත් සිදුකරන අවස්ථාවල දී මේ අපූරු වාස්තු විද්‍යාත්මක ලක්ෂණ මතුවී තිබේ.

'' ගාල්ල කොටු පවුර තනි බැම්මක් ලෙස පෙනුණත් ඒක ඇත්තටම තනි බැම්මක් නෙවෙයි. මෙවර ව්‍යාපෘතියේ දී අපි ආරුක්කු සංරක්ෂණය කිරීම සඳහා ආරුක්කුවල ඉහළ මතුපිට සැකැස්ම දක්වා ඉහළින් මතු කළා. ඒ අවස්ථාවේ දී අනාවරණය වුණා කොටුවේ පිටතින් පෙනෙන බැම්මත් ඇතු‍ළතින් පෙනෙන බැම්මත් අතර පිහිටි පොළොවේ සිට ඉහළටම දිවෙන තවත් බැම්මක් තිබෙනවා. කොටු පවුරේ එක් පැති බැම්මක් කියන්නේ කළු ගල් සහ හිරිගල්වලින් ඉතා පළලට නිර්මාණය වූ බිත්ති තුනක් හා ඒ මැදට පස් පුරවා ඒ පස් හොඳින් තලා ශක්තිමත්ව නිර්මාණය කර දැවැන්ත බැම්මක්. මෙය කිසිම සතුරකුට කඩා දැමීම පහසු නොවන ආකාරයෙන් සකස් කර තිබෙනවා." යැයි ආචාර්ය නිමල් පෙරේරා පැවසීය.

වාස්තු විද්‍යාඥ ආචාර්ය නිලාන් කුරේගේ අදහස මෙසේය.

''සංරක්ෂණය පැත්තෙන් අපිට සුවිශේෂී වැඩ කිහිපයක් ම තිබෙනවා. තාරකා අට්ටාලය අසල බැම්ම වසර ගණනාවකට පෙර කැඩී ගිහින් තියෙනවා. එය සංරක්ෂණය කරනවා. කොටුව පුරාම තිබෙන ආරුක්කුමය ව්‍යුහයන් අපි පරීක්ෂා කළා. ඒ බොහෝ ස්ථානවලින් ඇතුළට වැසි ජලය කාන්දු වෙනවා.

මේ නිසා එවැනි ආරුක්කුවලට ඉහළින් පස් ඉවත් කරලා බදාම ආස්තරණයක් යොදා ඒවා සංරක්ෂණය කිරීම් කරගෙන යනවා. දැනට ඒ ආකාරයට ආරුක්කු හයක් සංරක්ෂණය කළා. කොටුවේ ඉදිරිපස ප්‍රධාන දොරටුවේ ද ජලය කාන්දුවීමක් දක්නට ලැබෙනවා. එම දොරටුවත් සංරක්ෂණය කිරීමට ඉදිරියේ දී කටයුතු කරනවා."

ආචාර්ය කුරේ පවසන්නේ ගාල්ල කොටුවේ ස්ථාන කිහිපයකම පොළොව යට පිහිටා ඇති වෙඩි බෙහෙත් ගබඩා ද සංරක්ෂණය කරන බවයි. අධිරාජ්‍යවාදීන් විසින් ගාල්ල කොටුව ඉදිකරන කාලයේ කොන්ක්‍රීට් භාවිතයක් තිබුණේ නැත. එබැවින් ඔවුන් ඒ සඳහා යොදාගෙන තිබුණේ වෙනත් විශේෂිත ශක්තිමත් බදාම මිශ්‍රණයකි. සංරක්ෂණ කටයුතු සඳහා යොදා ගන්නේ ද මැටි, සිමෙන්ති ආදිය කලවම් කර සාදා ගන්නා එයට සමාන වූ මිශ්‍රණයකි. එමගින් කොටුව ඉදිකිරීමේ දී යොදාගත් තාක්ෂණයට ආසන්න ක්‍රමයක් භාවිත කිරීම වාස්තු විද්‍යාඥයන්ගේ අපේක්ෂාවයි.

''පෘතුගීසීන් විසින් ඉදි කළ කළු කොටුව ඇතුළු ස්ථාන ගණනාවක පොළෙව යටත් මතුපිටත් වෙඩි බෙහෙත් ගබඩා රාශියක් තිබෙනවා. ඇතැම් ඒවා ඉංග්‍රීසි පාලකයන් විසින් වෙනස්කම් කර තිබෙන බව පැහැදිලිව දැකිය හැකියි. සිර මැදිරි ලෙස සිතා සිටි ඇතැම් ස්ථානත් පැරණි වෙඩි බෙහෙත් ගබඩා බව දැන් තහවුරු කරගෙන තිබෙනවා. මේ සියල්ල සංරක්ෂණය කර සංචාරකයන්ට නැරඹීමට විවෘත කරන්න කටයුතු යොදා තිබෙනවා. පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසීන් මේවා සඳහා භාවිත කළ තාක්ෂණික ක්‍රමවේදයන් වෙනස් බව පැහැදිලිව අපට හඳුනාගත හැකියි." ආචාර්ය කුරේ කීවේය.

සංරක්ෂණ ව්‍යාපෘතියට සමගාමීව සිදුකරන පුරාවිද්‍යාත්මක පර්යේෂණ කැණීම් හේතුවෙන් මෙතෙක් කොටුවේ අනාවරණය නොවූ කරුණු රැසක් අනාවරණය වෙමින් තිබෙන බව ආචාර්ය නිමල් පෙරේරා සඳහන් කළේය.

හෙතෙම පවසන්නේ කොටු පවුරේ පැරණි කළු කොටුව හැරුණු විට වැඩි කොටසක් ලන්දේසීන් විසින් ඉදිකර ඇතැයි මෙතෙක් විශ්වාස කළ ද ලන්දේසීන් ඉදිකළා යැයි පවසන ස්ථානයන්හි පවා තවමත් පෘතුගීසි ඉදිකිරීම් පැහැදිලිව දක්නට ඇති බවයි. එමෙන් ම ඉංග්‍රීසි ජාතිකයන් විසින් කරන ලද වෙනස් කම් ද ඒවායේ පැහැදිලිව හඳුනාගත හැකි බව ද කීවේය. ආචාර්ය නිමල් පෙරේරා තවදුරටත් මෙසේ පැවසීය.

''ගාල්ල කොටුව කියන්නේ අධිරාජ්‍ය තුනක යුද බලය, ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු, පරිපාලන ව්‍යුහය ආදී සියල්ල කියාපාන කැඩපතක් බඳු ස්ථානයක්. මෙහි පුරාවිද්‍යාත්මක කැණීම්වලින් අපූරු තොරතුරු රැසක් මතුවෙනවා. කොටු පවුර ඉදිකිරීමේ දී කළුගල්, හිරිගල් විතරක් නෙවෙයි ඔවුන්ගේ රටේ ඉදලා ගෙන ආ ගඩොල්වර්ගත් භාවිතා කරලා තිබෙනවා. පොළාව යට ඇති මුරකුටි හා වෙඩි බෙහෙත් ගබඩාවලට වාතය සැපයීමට අනුගමනය කළ තාක්ෂණය පවා අපට සොයාගත හැකි වුණා. පවුර සැකසීමේ දී පිහිටි පොළොව යෙදාගෙන ඇති අතර මේ පවුරට පිටත කොහේ හෝ තැනකින් පස් ගෙනවිත් ඇති බවටත් සාක්ෂි තිබෙනවා. ඒ පස් අතර පැරණි ජනාවාසයක නෂ්ටාවශේෂ අපට හමුවුණා. වළං කටු කැබලි පවා හමුවුණා.

ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ඉදිරියේ දී සිදුකිරීමට නියමිතයි. ඒ වගේම චීන බදුන්වල කොටස්, වීදුරු බෝතල්, දුම් පයිප්ප, බෙල්ලන්ගේ කවච කපා සාදාගත් ආභරණ ආදියත් තැන තැන තිබී හමුවෙනවා. මුහුදේ තිබී අතීතයේ ගොඩගෙන පසුව පස්වලින් වැසී ගිය කුඩා කාලතුවක්කුවක් ද අපට හමුවුණා. ඒ වගේම කොටුවේ මුර සෙබළුන් ආහාරයට ගෙන ඉවත දැමූ හරකුන්ගේ, ඌරන්ගේ අස්ථි කොටස් විශාල ප්‍රමාණයක් දක්නට ලැබෙනවා. මේ සියල්ල ඔවුන්ගේ ඉතිහාසය ප්‍රකාශ කරන අපූරු සාධක."

ආචාර්ය නිලාන් කුරේ පවසන්නේ අධිරාජ්‍ය ගොඩනැගූ යුරෝපීයන්ගේ ආරක්ෂිත බළකොටු අතරින් ප්‍රධාන ස්ථානයක් ගන්නා ගාල්ල කොටුව මෙම සංරක්ෂණ ව්‍යාපෘතියෙන් පසු සංචාරකයන්ට වඩාත් ආකර්ෂණීය ස්ථානයක් වනු ඇති බවයි. 

''ගාල්ල කොටුව ලෝක උරුමයක් වුණේ එහි ඇති යුද සැලැසුම්, ඉදිකිරීමේ තාක්ෂණය, යුද්ධය සඳහා භාවිත කර ඇති ආකාරය, ඒ වගේම ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ නිසා. මෙය සජීවී ලෝක උරුමයක් ලෙස මුළු ලෝකයේ ම ප්‍රසිද්ධයි. ශ්‍රී ලංකාවට එන සංචාරකයන්ගෙන් සීගිරිය හැරුණුවිට වැඩිම පිරිසක් නරඹන ස්ථානය ගාල්ල කොටුව. ඒ නිසා මේ ව්‍යාපෘතියේ දී සංචාරකයන්ට මෙහි ඇති වැදගත්කම පෙන්වන විස්තරාත්මක පුවරු සවිකර තබන්න අපි බලාපොරොත්තු වෙනවා. සෑම මුර අට්ටාලයක ම සෑම ඉදිකිරීම් ව්‍යුහයක ම විශාල කතාවක් තිබෙනවා. එය සංචාරකයන් වෙත සිත්ගන්නා සුලු ආකාරයට ඉදිරිපත් කරනවා."

මෙම ව්‍යාපෘතිය යටතේ ගාල්ල කොටුව වටා සංචාරකයන්ට ඇවිදින මංතීරුවක් නිර්මාණ කරමින් තිබේ. එය කළු ගල් භාවිතයෙන් සකස් කරමින් ඇත. සෑම බළකොටුවකම මුර සංචාරක සෙබළුන්ට ගමන් කිරීම සඳහා එවැනි මං තීරු අතීතයේ ද පැවැති බැවින් එය ගාලු කොටුවේ ඓතිහාසිකත්වයට බාධාවක් නොවන බව විද්වතුන්ගේ මතයයි.

කොටුව සංරක්ෂණ ව්‍යාපෘතිය අවසානයේ ගාලු කොටුව රාත්‍රී කාලයේ ආලෝකවත් කිරීම ද මෙම ව්‍යාපෘතිය යටතේ සිදුකිරීමට නියමිතය. එමෙන්ම පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි ජාතිකයන් භාවිත කළ යුද තාක්ෂණය, ඔවුන්ගේ උපකරණ හා යුද ඇඳුම් සුදුසු ස්ථානයන්හි ප්‍රදර්ශනය කිරීමටත් ගාල්ල කොටුවේ සවිකර තිබූ දැවැන්ත කාලතුවක්කු ක්‍රියාත්මක වූ ආකාරය සංචාරකයන්ට දැක බලාගැනීමට සැලැස්වීමටත් සැලසුම් කර ඇත.

දැනට සාමාන්‍ය ජනතාව සඳහා විවෘත කර නොමැති පෘතුගීසීන් විසින් ඉදිකරන ලද පැරණි කළු කොටුව ද ඉදිරියේ දී දෙස් විදෙස් සංචාරකයන් සඳහා විවෘත කිරීමටත් එවැනි ස්ථාන නැරඹීමේ දී විදෙස් සංචාරකයන්ගෙන් යම් මුදලක් අයකිරීමටත් සැලසුම් කර තිබේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී අධිකාරී යන අයගේ පූර්ණ අධීක්ෂණය හා උපදෙස් මත මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වෙයි. ව්‍යාපෘතිය අවසන් වනවිට ගාල්ල කොටුව යනු සංචාරකයකුට පැමිණ විනෝදවී යා හැකි තැනැක් පමණක් නොව අධිරාජ්‍ය තුනක ක්‍රියාකාරීත්වය හා ඉතිහාසය පිළිබඳ දැනුම හා අත්දැකීම් ලබාගත හැකි ස්ථානයක් බවට පත්වනු ඇත.

Comments