එන්න, මගේ ප්‍රිය මිතුරනි! ඉන්දීය විදේශ ඇමතිගේ ශ්‍රී ලංකා සංචාරය | සිළුමිණ

එන්න, මගේ ප්‍රිය මිතුරනි! ඉන්දීය විදේශ ඇමතිගේ ශ්‍රී ලංකා සංචාරය

ඉන්දීය විදේශ අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් හමුවූ අවස්ථාව

න්දියාව යනු ශ්‍රී ලංකාවේ ලොකු සහෝදරයාය. කොතරම් අමනාපකම්, හිත් නොහොඳවීම් පැවතියද සහෝදරකම් අතහැරෙන්නේ නැත. දෙරට අතර පවතින මේ දීර්ඝ කාලීන හොඳහිත තහවුරු වූ අවස්ථා රාශියකි. ශ්‍රී ලංකාවේ අලුතෙන් පත්වන ජනාධිපතිවරයකු, අගමැතිවරයකු ස්වකීය ප්‍රථම විදේශ සංචාරය බොහෝවිට යොදා ගන්නේ ඉන්දියාවටය. ඉන්දියානු රාජ්‍ය නායකයන් ද ශ්‍රී ලංකාවට ගෞරව දක්වන්නේ නිතර අපේ රටේ සංචාරයට එක්වෙමිනි.

2021 වසරේ තම ප්‍රථම විදේශ සංචාරය ලෙස ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් ශ්‍රී ලංකාවේ සංචාරයට එක් වන්නේද එවන් වූ හැඟීමකිනි. එසේ හැඟී යන්නේ ඔහුගේ සංචාරයෙන් අප රටට හිමිවන ප්‍රතිලාභ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමෙනි.

වර්ෂ 1955 ජනවාරි මස උපත ලැබූ ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් ඉන්දියාවේ සිටින විදේශ සබඳතා පිළිබඳ හසල දැනුමක් සහිත, අත්දැකීම් බහුල පුද්ගලයකු ලෙස හඳුනාගත හැකිය. ඔහු රටවල් රැසක තානාපතිවරයකු ලෙස ඉන්දියාව නියෝජනය කර ඇති අතර, ඒ අතරින් ඇතැම් රටවල් ඉන්දියාව සමඟ ඉතා අසීරු සබඳතා පවත්වා ගත් රටවල් ලෙස දැක්විය හැකිය.

පසුගිය ජනවරි 5 වැනිදා ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය ජයශංකර් ශ්‍රී ලංකාවට පැමිණියේය. ඔහු දින දෙකක් පුරා ශ්‍රී ලංකාවේ සංචාරය කළ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් සමඟ මෙන්ම අගමැති මහින්ද රාජපක්ෂ සමඟ ද සාකච්ඡා පැවැත්වූයේය. දෙරටේ විදේශ අමාත්‍යවරුන් මාධ්‍ය හමුවට එක්වූයේ පසුගිය 7වැනිදා විදේශ අමාත්‍යාංශයේදීය. මේ සෑම සාකච්ඡාවකදීම ප්‍රකාශ වූයේ දැඩිසේ තහවුරුව පවතින දෙරට අතර මිත්‍රත්වය සම්බන්ධයෙනි. ඉන්දීය විදේශ අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් සමඟ පැවති සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමු කරමින් ඉන්දියාවෙන් අප රටට ලබාදීමට යෝජිත ප්‍රතිලාභ සම්බන්ධව අදහස් පළ කර තිබේ. සමීපතම බලවත් අසල්වැසියා ලෙස ඉන්දියාව ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ ලබා දී ඇත්තේ ඉතා ඈත අතීතයේ සිටය. එකී මඟ යමින් මෙවර ද ආර්ථික, මූල්‍ය, වෙළෙඳ සහ ආයෝජන සහයෝගීතා සම්බන්ධව ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට දෙරටේම සාමාජිකයෝ කටයුතු කර තිබේ. දෙරට අතර සංස්කෘතික හුවමාරුව ඈත අතීතයේ සිට පැවත එන සම්ප්‍රදායක් වන අතර එය දිගින් දිගටම පවත්වා ගැනීමට ඉන්දීය විදේශ අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකාවේ ජනාධිපති සහ අගමැතිවරයා කැමැත්ත පළ කර තිබේ.

මීට අමතරව ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු වී ඇති අතර, දෙරට අතර ආරක්ෂාව සම්බන්ධ තොරතුරු හුවමාරුව, යුද අභ්‍යාස සහ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශවල සාමාජිකයන්ට‌ ඉන්දියාවේ යුද පුහුණුව ලබා දීම ඇතුළු තවත් කරුණු සම්බන්ධව සාකච්ඡා පවත්වා තිබේ.

තම සංචාරයේ ප්‍රධානතම අරමුණක් ලෙස ඉන්දීය විදේශ අමාත්‍යවරයා හුවා දක්වා ඇත්තේ පවතින කොවිඩ් වසංගතය හමුවේ දෙරටේ සහයෝගීතාව මත ඇති කර ගත හැකි සාර්ථකත්ව සම්බන්ධයෙනි. එහිදී සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් දක්වා ඇත්තේ විශේෂ අවධානයකි. සංචාරක බුබුළු ක්‍රමය යටතේ ඉන්දීය සංචාරකයන් මෙරටට ගෙන ඒම සම්බන්ධව අදහස් හුවමාරු වී ඇති අතර, කලාපීය සංචාරක බුබුළක් නිර්මාණය කරමින්, නේපාලය සහ මාලදිවයිනද මේ සඳහා එක් කර ගැනීමට යෝජනා වී තිබේ. එහිදී ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය ජයශංකර් පෙන්වා දී ඇත්තේ මේ වන විට වසරක පමණ කාලයක් නිවෙස් තුළම හෝ තම රටේම පමණක් සිරවී සිටි ජනතාව සංචාරය කිරීමට දැඩි කමැත්තක් දක්වන බවත්, එවැනි ඉන්දියානුවන් විශාල පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේ කැමැත්තෙන් පසුවන බවත්ය. එබැවින් එම සංචාරකයක් විශේෂ සංචාරක බුබුළක් මගින් හැකි ඉක්මනින් මෙරටේ සංචාරය සඳහා යොමු කිරීමට දෙරටේම එකඟතාව පළ වී ඇතැයි වාර්තා වේ.

එමෙන්ම කොවිඩ් වසංගතයට පිළියමක් ලෙස දැනට ඉන්දියාවේ නිපදවන එමෙන්ම ඉදිරියේදී අපනයනය සඳහා නිපදවීමේ බලාපොරොත්තුවෙන් යුතු කොවිඩ් එන්නත ශ්‍රී ලංකාවටද ලබා දීමට විදේශ අමාත්‍යවරයා කැමැත්ත පළ කර තිබේ.

මේ වන විට බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ සම දායකත්වයේ සොයා ගැනීමක් වන ඔක්ෆර්ඩ්/ ඇස්ට්‍රාසෙනෙකා එන්නත ඉන්දියාව තුළ මහා පරිමාණව නිපදවෙමින් තිබේ. නිපදවන එන්නත් අතරින් ප්‍රථම එන්නත් මිලියන සියයක් ඉන්දීය ජනතාව වෙනුවෙන් වෙන් කිරීමට නියමිත අතර, එතැන් සිට එන්නත් මිලියන 400ක් නිපදවීම නියමිත බව ප්‍රකාශ වී තිබේ. ඉන්දීය විදේශ අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් සමඟ පවසා ඇත්තේ අපනයනය සඳහා නිපදවන එන්නත් තොග අතරින් ප්‍රථම තොගයක් ශ්‍රී ලංකාවට ලබා දීමට කටයුතු කරන බවයි. අසල්වැසියන්ට මුල්තැන දීම ඉන්දියාවේ පිළිවෙත බව පවසා ඇති විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ ඒ අතරින් ද ශ්‍රී ලංකාවට විශේෂ තැනක් ලබා දීමට ඉන්දියාව නිතර පියවර ගන්නා බවයි.

තම සංචාරය අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසයන් මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහයන් හමුවීමටද ද්‍රවිඩ ජාතික සන්ධානයේ සාමාජිකයන් හමුවී සාකච්ඡා පැවැත්වීමටද ආචාර්ය ජයශංකර් කටයුතු කළේය.

විදේශ අමාත්‍යාංශයේ පැවති මාධය හමුවේදී දෙරටේ විදේශ අමාත්‍යවරුන් දෙදෙනා මාධ්‍ය හමුවේ ද්වීපාර්ශ්වික සාකච්ඡාවල ප්‍රගතිය සඳහන් කර සිටි අතර, එහිදී තොරතුරු තාක්ෂණ, කෘෂිකර්මාන්ත, ආහාර සංරක්ෂණ, ඉදිකිරීම්, යටිතල පහසුකම්, නාගරික සංවර්ධන සහ වෘත්තීය පුහුණු යනාදී ක්ෂේත්‍රවල දැනුම සහ ආයෝජන හුවමාරු කර ගැනීමටත් ශ්‍රී ලංකාවේදී ඖෂධ නිෂ්පාදනය සහ ඇඟලුම් කර්මාන්ත යන ක්ෂේත්‍රවල ආයෝජනය කිරීමට ඉන්දීය ආයෝජකයන් දිරිමත් කිරීමටත් අදහස් හුවමාරු වූ බව ප්‍රකාශ විය.

මේ වනවිටත් ඉන්දියාව ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල ආයෝජනයට එක්වී ඇති අතර ඒ අතරින් ඇතැම් ආයෝජන බොහෝ මතබේදයන්ටද තුඩු දී තිබේ. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සඳහා වන ඉන්දීය ආයෝජනය බොහෝ විවේචනයන්ට ලක් වී තිබේ. ශ්‍රී ලංකාවේ පිහිටීම සමඟ බැඳී විශේෂ කලාපීය දේශපාලනික වාසි හා සම්බන්ධවන මර්මස්ථානවලට හිමිකම් කීමට ලෝකයේ බොහෝ රටවල් කැසකවන බව රහසක් නොවන්නේය. කලාපයේ ප්‍රබලයා සහ සමීප අසල්වැසියා ලෙස ඉන්දියාව අතීතයේ සිට ශ්‍රී ලංකාවේ දේශපාලනයට නොයෙක් ආකාරයෙන් මැදිහත්වීම් ද සිදුකර තිබේ. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සම්බන්ධව ඉන්දියාව දක්වා ඇති උනන්දුවද සැලකිය හැකි වන්නේ එවන් වූ කලාපීය බලය ස්ථාපිත කර ගැනීමේ තවත් එක් පියවරක් වශයෙනි. ලෝකයේ බලවත් රටවල් තම න්‍යාය පත්‍රවලට සෙසු කුඩා රටවල් ණය සහ ප්‍රදාන වැනි වරප්‍රසාද ඔස්සේ මෙන්ම තර්ජනය කිරීම් සහ බියවැද්දීම් ඔස්සේ ද නම්මා ගැනීම සුලබව සිදුවෙමින් තිබේ.

කෙසේ වුවද ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතා එවැනි සුලබ වර්ගීකරණ අතරට එක් කිරීම අපහසු වන්නේ දෙරට අතර ඇති ඉතා දීර්ඝ ඓතිහාසික සබඳතා හේතුවෙනි. ඒ අතීත උදාහරණ මත ඉන්දු - ලංකා සබඳතා සැමවිටම ශ්‍රී ලංකාවට මධ්‍යස්ථ ප්‍රතිඵල අත්කර දුන් බව පැවසිය හැකිය. මෙවර ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ සංචාරයද එවැනි මධ්‍යස්ථ ප්‍රතිඵල අප රටට ගෙන දෙනු ඇති බවට අනුමාන කළ හැකි අතර සෑම විටම නොබැඳි පිළිවෙතක් අනුගමනය කරමින් විදේශ සබඳතා අප රටට වාසි ගෙන දෙන පරිදි පවත්වා ගැනීමට අප නායකයන් සූක්ෂ්ම විය යුතු බවද පැවසිය යුතුය.


Comments