කංසා වගා තහනම ඉවත් කළ යුතුද? | සිළුමිණ

කංසා වගා තහනම ඉවත් කළ යුතුද?

කංසා වගාව නීති ගත කළ යුතු බවට මෙ වනවිට නොයෙක් පාර්ශ්වයන් රජයෙන් ඉල්ලීම් කර තිබේ. පුරාතනයේ සිට ආයුර්වේද ඖෂධයක් බවට පත්වී ඇති කංසා අවභාවිතය නිසා අන්තරායකර ඖෂධ පිළිබඳ 1929 පනත අනුව සියලුම අන්තරායකර ඖෂධ මත්ද්‍රව්‍යයක් ලෙස භාවිතය සීමා කර ඇත. එහිදි මත්ද්‍රව්‍යයක් ලෙස කංසා භාවිතයද සීමා කර ඇත. එසේම 1964 අංක 13 දරන පනතේ සංශෝධන අනුවද භාවිතය තවදුරටත් සීමාකර ඇත. ‘තුන්ලෝකය ජයගත් ‘ නමින් සිංහල ආයුර්වේදයට අනුව කංසා හැඳින්වෙයි. වසර 12,000 කට ඉහත දී මිනිසා කෘෂිකාර්මික ශිෂ්ටාචාරය ආරම්භ කරන විට ගෘහස්ථකරණය කළ පළමු ශාකය කංසා බව ඉතිහාසයේ දැක්වෙයි. 

ඒ ඖෂධයන් නිෂ්පාදනය කිරීමටත් කෘෂිකර්මය සමඟ ආරම්භ වු වෙළඳාම සමඟ කංසා ආශ්‍රිත විවිධ නිෂ්පාදන ලොව පුරා ව්‍යාප්තවීමත් නිසාවෙනි. කෙසේ වෙතත් මෙය පසුකාලීනව මත්ද්‍රව්‍යයක් ලෙස භාවිතයට ගනු ලැබූ නිසා තහනමට ලක්වූ බව පැවසුව ද ඇතැමුන් සඳහන් කරන්නේ අධිරාජ්‍යවාදීන් විසින් ඔවුන්ගේ මත් ද්‍රව්‍ය සහ සිගරැට් මෙරට ජනතාවට හුරුකිරීමට කංසා තහනමට ලක් කර ඇති බවයි. කෙසේ වෙතත් කංසා භාවිතය නිසා ශරිර ශක්තිය වැඩිවීමෙන් සුදු ජාතිකයන්ට සිංහල ජනතාව සමඟ ගැටීමට නොහැකිවීම නිසා කංසා තහනම් කළ බවක්ද ජනප්‍රවාදවලින් දැනගන්නට තිබේ. කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය පාලන සමයේ කංසා තහනම් කරන ලද බවද අපට දැන ගන්නට ඇත. එහෙත් ඖෂධ මට්ටමින් හෝ වෙනත් අවශ්‍යතාවකට හෝ කංසා වගාවට ඉඩ හැරීමෙන් සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව අද සිළුමිණ ‘මත ගැටුම‘ සිදුවේ.

අපේ රටේ විධිමත් වැඩපිළිවෙළක් නැහැ

කංසා වගා කර ජනතාවගේ ඖෂධ අවශ්‍යතාවය සඳහා ලබාදෙන්නට අවශ්‍යයි. අනෙක් රටවල කංසා වගාකර රජයේ විධිමත් වැඩපිළිවෙළක් යටතේ ලබාදෙනවා. එසේ නොමැති තැන්වලදි තමන්ට අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය රෝගීන්ට කංසා වගාකර ගැනීමට අවසර පතක් ලබාදෙනවා. ලංකාවේ කිසිදු ක්‍රමවත් වැඩපිළිවෙළක් නැහැ.

මිනිසුන් හොරට වගාකරන වගාවලින් අත්අඩංගුවට ගන්නා ලද කංසා තමයි අපි බෙහෙත් සඳහා යොදාගන්නේ. මෙය ලැජ්ජා සහගත දෙයක්. එසේ ලබාගැනීමට නොහැකි වුවහොත් කංසා ඖෂධයක් ලෙස යොදාගන්න අවකාශ ලැබෙන්නේ නැහැ. මේ සදහා සංවිධිත ක්‍රමවේදයන් ක්‍රියාත්මක කළ යුතුයි. එයට නිසි ක්‍රමවේදයක් සැකසිය යුතුයි. නීති විරෝධී දූෂිත අවධිමත් දෙයක් විදිහට මෙය නොකළ යුතුයි. රජය නිසි කළමනාකාරිත්වයක් යටතේ වගාකිරීමට කටයුතු කළ යුතුයි. එය විධිමත් ආකාරයෙන් සිදුකළ හොත් රජයට විශාල ආදායමක් ලැබෙනවා. කංසා අවභාවිතයට යොදා ගැනීමක් සිදුවුවහොත් එයට නීතියෙන් පියවර ගත යුතුයි. එහෙත් මෙහි ඇති ඖෂධ ගුණාත්මකභාවය සහ ඒ ආශ්‍රිත නිෂ්පාදනය තුළින් රජයට ආදායමක් මෙන්ම රටට වැඩදායි දෙයක් වෙනවා. ජනතාවටත් සෙතත් සැලසෙනවා. නිසි ක්‍රමවේදයක් යටතේ විනිවිද භාවයෙන් යුතුව ලෝකයේ අනෙක් රටවල්වල ආදර්ශයට ගෙන කටයුතු කළ යුතුයි.

ඉන්දියාවේ ඇමරිකාවේ එංගලන්තයේ ක්‍රමවේදයන් අපිට අනුගමනය කළ හැකියි. ශ්‍රී ලංකාවට සුදුසු නීති සම්පාදනය කළ යුතුයි. අනිසි භාවිතයට දැඩි දඬුවම් කරමින් සත් භාවයෙන් ජනතාවට සෙතක් කරනවා කිරීමට මේ ඖෂධය යොදාගත යුතුයි. ඉන්දියාවේ කංසා කොළ කිරිවලට මිශ්‍ර කරමින් ජනතාවට පානය කිරීම සදහා අවසර ලබාදෙනවා. ශිව රාත්‍රිය වැනි උත්සවවලදී කංසා පානය ප්‍රසිද්ධියට පත්වී තියනෙවා. අපේ යෝජනාව නීතිය අනුව යම් ක්‍රමවේදයකට මේ දේ නීතිගත විය යුතුයි.

කංසා කොළ, ඇට මන්දපෝෂණය නැතිකරනවා. කංසා කොළ ඖෂධ සඳහා ලබාගන්නවා. කංසා විවිධ භාණ්ඩ සෑදීමට භාවිත කළහැකි වෙනවා. දැනට ආයුර්වේද ඹෟෂධ සඳහා කොළ මෙන්ම ඇටත් අවශ්‍යයි. අවශ්‍යතාව අනුව වගාකිරීම සඳහා අවසර දෙන්න කියලා අපි ඉල්ලීමක් කරනවා .


කංසා වගාවට සම්පූර්ණයෙන්ම විරුද්ධයි

කංසා වගා කිරීමට අප අනිවාර්යෙන්ම විරුද්ධයි. ඒ කටයුත්ත කිරීමට අපි ඉඩ දෙන්නේ නැහැ . අපි ඒ සඳහා මොන බලවේග ආවත් විරුද්ධ වෙලා කටයුතු කරනවා. දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය කියන්නේ අපේ රටේ දුම් කොළ සහ සිගරැට් සම්බන්ධයෙන් ඇති සියලු දේවල් පිළිබඳව කටයුතු කරන ජාතික අධිකාරියයි. අපි දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳව රජයට ප්‍රතිපත්ති සකස් කිරිම සඳහා උපදෙස් ලබා දෙනවා.

2006 වසරේ අංක 26 දරන දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ පනතට අනුවයි අප කටයුතු කරන්නේ. දුම්කොළ සහ නීති ගත මත්ද්‍රව්‍ය වුවද රටේ ජනතාවගේ ආරක්ෂාව පතා, විශේෂයෙන්ම දරුවන් මේ සඳහා ඇබ්බැහි වීම අවම කරලීමට අප කටයුතු කළ යුතු වෙනවා. දුම්වැටිය මෙහි ආරම්භක අවස්ථාව ඇබ්බැහි වීම සඳහා යොදා ගන්නා දෙයක්

එහිදි පාසල් දරුවන්වන් මේ දුම්වැටි කර්මාන්තකරුවන් අරමුණු කරගන්නවා. දවසකට දුම්වැටි නිසා හැට දෙනෙක් මිය යනවා. ඇල්කොහොල් නිසා පනහක් මැරෙනවා. මේ රටේ මිනිසුන් දුම්කොළ මද්‍යසාර සඳහා කෝටි සියයක් දිනකට වියදම් කරනු ලබනවා. මේ මුලද අතිවිශාල මුදලක් එයින් අපට එක් දිනයකට සිදුවන ආර්ථිකය හානිය පේනවා. දුම්කොළ පාවිච්චි කරන තැනැත්තා ඉන් පසුව යොමුවෙන්නේ කංසා වැනි මත්වන දේවල්වලටයි.

ඒ නිසා කංසා තහනම ඉවත් කිරිම පිටුපස දුම්කොළ කර්මාන්ත කරුවන් ඉන්න බව පෙන්වා දිය යුතුයි. දුම්වැටිය තමයි ඇබ්බැහිවීම සඳහා ආරම්භක අවස්ථාව වන්නේ. දරුවන් අරමුණු කරගෙනයි ඔවුන් මේ ක්‍රියාවන් කරන්නේ. කංසා ඖෂධීය වටිනාකම සහ කංසා වගා කිරීමට අවකාශ ඉල්ලන්නන් පිටුපස සිටින්නේ දුම්කොළ කර්මාන්තකරුවන් දුම්වැටියට ඇබ්බැහිවන පිරිස් රැකගැනීමේ අරමුණයි අපට තියෙන්නේ.


ආයුර්වේදයට අවශ්‍ය කිලෝ 230යි

අද වන විට ගංජා හෙවත් කංසා නීතිගත කිරීම සම්බන්ධයෙන් කථිකාවක් සමාජයේ ඇතිවී තියෙනවා. මොකත්ද මේ නීතිගත කිරීම කියන්නේ අන්තරයාකර ඖෂධ පිළිබඳ පනතට අනුව සියලුම අන්තරායකාර ඖෂධ මත්ද්‍රව්‍යයක් ලෙස සලකා භාවිතය සීමා කර ඇත . ඒ අනුව මත්ද්‍රව්‍යයක් ලෙස භාවිතයට හෝ ඖෂධයක් ලෙස භාවිතයට හෝ වගා කිරීම නොව මෙහිදී ගෙන ඇති ප්‍රතිපත්තියයි.

පනතට අනුව සෞඛ්‍ය උපදෙස් සහතිකයක් තිබේ නම් ඖෂධයක් ලෙස කංසා භාවිතයට අවසර තියනවා. විශේෂයෙන් සිංහල ආයුර්වේදයේ ඖෂධ වර්ග 22ක් සඳහා කංසා භාවිත කරනවා. කංසා ඇට කොළ ඔවුන් භාවිත කරනවා. කෙසේ වෙතත් මෙය මත් වෙන දෙයක් බැවින් සාමාන්‍ය භාවිතයට එය තහනම් කර තියෙනවා ගංජාවලට අතිවිශාල සංඛ්‍යාවක් ඇබ්බැහි වී තියනවා.

නීති ගතකරනවා කියලා අවසර දුන්නොත් ඕන තැනක වගාකරන්න පුළුවන්. පාසලට යන කොටත් දරුවන් ගංජා කෑල්ලක් භාවිත කරන තත්ත්වයට පත්විය හැකියි. පාසල් අවට අදටත් දරුවන් ඒවැනි දේ භාවිතයට හුරුකරවන සමාජයක් තියෙන්නෙ. දරුවන් එවන් දේ වලට ඇබ්බැහි කරවිමට කටයුතු කරන පිරිස් සිටිනවා. නීති ගත කළොත් වැඩිකල් නොගිහින් අහිතකර ප්‍රතිඵල අත් විදියි .

එය සමාජයේ උඩුදුවන පිළිලයක් බවට පත්විය හැකියි. වසරකට මෙරටින් අත් අඩංගුවට ගන්නා ගංජා ප්‍රමාණය කිලෝ හත්දහසක් පමණ වනවා. එයින් ආයුර්වේද සංස්ථාවට කිලෝ 230ක් පමණයි අවශ්‍ය වන්නේ .

පොහොර වර්ග භාවිතයක් නැති ගුණයෙන් ඉහළ කංසා ලබා ගැනීමටයි ආයුර්වේද සංස්ථාව යටතේ වගා කිරීමට අවසරයක් මේ වන විට ඉල්ලා තියෙන්නෙ. ඒ අනුව මණ්ඩලය විසින් කමිටුවක් පත් කර තියනවා මේ ගංජාවල ඖෂධිය ගුණය පිළිබඳව සහ භාවිතය පිළිබඳව සොයාබැලිමට. එසේ නැතුව සියලු තැනම කංසා වගාවට අපි ඉඩ දෙන්නේ නැහැ.


කංසා වගාව දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයෙන්ම සිදු විය යුතුයි

ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය කංසා වගා කිරීම නිසි අධීක්ෂණයක් යටතේ සිදු කෙරෙනවා. ඖෂධ නිපදවීම සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තු සතු කංසා ප්‍රමාණවත් තරම් පවතිනවා. ආයුර්වේදය ඖෂධයක් ලෙස ආයුර්වේද සංස්ථාව සතු ඔසු උයනක කංසා වගාකිරීමටයි කටයුතු කෙරෙන්නේ . එසේම ඖෂධ නිෂ්පාදන සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ පමණයි කළ හැක්කේ. එසේ නොමැතිව පෞද්ගලික මට්ටමින් කංසා වගාකිරීමට කිසිදු අවසරයක් ලබාදීමට බලාපොරොත්තු වන්නේ නැහැ. එසේ සිදුවුවහොත් යම් අවභාවිතයක් සිදුවීමට ඉඩ තියෙනවා. මත්ද්‍රව්‍යයක් ලෙස කංසා භාවිත කරන නිසාත් ඖෂධ සඳහා නිසි ගුණාත්මක භාවයෙන් යුතු කංසා ඖෂධය නිෂ්පාදනය කිරීමට ඉදිරියේදී යම් පියවරක් ගනු ලැබුවත් කිසිදු ආකාරයකින් පෞද්ගලික මට්ටමින් වගා කිරීමට අවසර ලබාදීමට පියවරක් ගන්නේ නැහැ.

දැනට පවතින තත්ත්වය යටතේ ඖෂධ සඳහා අවශ්‍ය ප්‍රමාණයන් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිසි අධීක්ෂණය යටතේ වෛද්‍යවරුන්ට ඖෂධ නිෂ්පාදනය සඳහා නිකුත් කිරීම සිදුවෙනවා. යම් ආකාරයකින් පළමු පියවරින් පසු නැවත අවශ්‍ය වුවහොත් එය නැවත අධීක්ෂණය කර යළිත් ලබාදීම සිදුවන නිසා කිසිදු හිඟයකින් තොරව කංසා සැපයෙනවා.


ඖෂධ ගුණයක් ඇති; පිළිකා කාරක නසන ගු ණැති ඖෂධයක්

අපේ රට ආක්‍රමණය කළ සුදු ජාතිකයන් විසින් කංසා වගාව තහනම් කළා. ඒ තහනම් කළේ ඒ අයගේ වෙනත් අරමුණු ඉටුකර ගැනීමට මිස මේ රටේ ජනතාවට හිතවත්කමකට නෙමෙයි. කංසා ඖෂධයක් ලෙස භාවිත කිරීමට හැකියාවක් තිබිය යුතුයි. සුදු ජාතිකයන්ගේ කාලයේ ඖෂධයක්, ශරීර ශක්තිය වර්ධනය වන්නක් ලෙස කංසා භාවිත කළා. එදා ඒ නීති පැන වුණේ ඒ නිසයි.

ඒ අයට අපේ මිනිසුන්ගේ ශරීර ශක්තිය අභියෝගයක් වුණා. ඒ වගේම ඒ අයගේ සිගරැට් එක ප්‍රචාරය කරන්න දැඩි අවශ්‍යතාවක් තිබුණා.

අපේ රටේ ඉතිහාසයේ සිට පැවැති අංගම්පොර වැනි ක්‍රීඩා සහ නොයෙක් සටන්ක්‍රමවලින් සුදු ජාතිකයන් පරාද කිරීමට හේතුව මේ කංසාවලින් හදන ලද ඖෂධ පානයයි. එයින් අපේ සටන්කරුවන් ශක්තිය ලබා තියෙනවා. අපේ ක්‍රීඩකයන් සමඟ සුදු ජාතිකයන්ට සටන් කිරීමට නොහැකි වෙලා තියනවා. කංසා නිසා ඒ ශක්තිය ලැබී ඇති බව සුදු ජාතිකයන් වටහා ගැනීමත් සමඟ මේ දේවල් තහනමට ලක් කර තියෙනවා. ඒකයි ඒ අය පනවන ලද නීති වෙනස් කළ යුතුවන්නේ. සුදුජාතිකයන් මේ දේවල් තහනමින් පසුව ඔවුන් අරක්කු සිගරැට් වැනි ඒ අයගේ මත්ද්‍රව්‍ය සහ දුම්වැටි සඳහා ජනතාව පෙලඹුවා.

සුදු ජාතිකයන් කෝච්චිවල යන අතර ලංකාවේ මිනිසුන් දුම්වැටිවලට හුරුකිරීම සඳහා කවුළුවලින් විසි කිරීම සිදුකර තිබුණා. අපේ මිනිසුන් ඒවා අහුලාගෙන බීලා තියනවා. ඒ අයගේ දේවල් වලට හුරුකිරීමේ උපක්‍රමයන් ලෙසයි එවැනි දේ සිදු කෙළේ.

කංසාවලින් සාදාගන්නා ගංජා භාවිතය තහනම් කර තිබුණත් ලෝකයේ මේ වනවිට එම තහනම ඉවත් කර තියෙනවා. ඒ මත්ද්‍රව්‍යයක් ලෙස නොව ඖෂධයක් ලෙස භාවිත කිරීමටයි.

අපේ රටේත් ඖෂධයක් ලෙස භාවිත කිරීමට නිසි ක්‍රමවේදයක් සැකසිය යුතුයි. එසේ නොමැතිව මත්ද්‍රව්‍යයක් ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් ඇති නීති සංශෝධනය නොකළ යුතුයි. එවැනි නීති දැඩි කළත් දඬුවම් වැඩිකළත් කිසිදු ගැටලුවක් නැහැ.

ආයුර්වේදය සංස්ථාවට සහ දේශීය වෛද්‍යවරුන්ට අවශ්‍ය ඖෂධයක් ලෙස කංසා ලබා දීමට වගා කිරීමේ අවකාශය ලබා දිය යුතුයි.

ඖෂධීය වටිනාකම පිළිබඳව සලකාගෙනයි අපි ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් කරනු ලබන්නේ.

මේ රටේ වගා කරන්නේ නැතුව විදේශවලින් ගෙන්වන කංසා ඖෂධවල ඉහළ ඖෂධ ගුණයක් නැති බව වෛද්‍යවරුන් සඳහන් කරනු ලබනවා. ඒනිසා ඖෂධීය ගුණයෙන් සකසා ගත හැකි කංසා අපේ රටේ වගාකළ යුතුයි.

ඒවා රෝග සුව කිරීම සඳහා යොදා ගත යුතුයි. එක් එක් අය තමන්ගේ පෞද්ගලිකවාසි උදෙසා විරුද්ධත්වය ප්‍රකාශ කළත් ඖෂධ ගුණයක් ඇති පිළිකා කාරක නසන ගුණයක් ඇති ඖෂධයක් ලෙස කංසා හඳුන්වා දෙන්න පුළුවන්.


ඖෂධයක් ලෙස පමණක් වගා කළ යුතුයි

කංසා නීති ගත කරනවාද නැද්ද කියන කාරණාවේදි මම මධ්‍යස්ථ මතධාරියෙක් ලෙස මේ සම්බන්ධයෙන් කතාකරන්නේ. කංසා කියන්නේ පෙරදිග අපරදිග සාමාන්‍යයෙන් ඖෂධයක් ලෙස වගා කරන ලද ශාකයක් . මෙහි මත්වෙන ලක්ෂණ ඇති බව ඇතැමුන් සඳහන් කළත් ලෙඩ සුව කිරීමේ හැකියාවක් පවතිනවා. එය පෙරදිග ලෝකයේ සහ අපරදිග ලෝකයේද භාවිත වන ඖෂධයක් . ලෙඩ රෝග 60කට, විශේෂයෙන් පිළිකාව වැනි රෝග සඳහා භාවිත වන විශාල ඖෂධීය ගුණයක් මෙහි තියෙනවා. බටහිර ජාතින් අපිව ආක්‍රමණය කළ පසුව දුම්කොළ හඳුන්වාදීමත් සමඟ දුම්වැටි සහ මත්ද්‍රව්‍ය සමාජයට පැමිණීමෙන් කංසා වගාව තහනමට ලක් කළා. පසුගිය වසර 20 වන තෙක් ආයුර්වේද බලපත්‍රයක් මඟින් වගාකීරිමේ අවසර ලබාගැනීමේ හැකියාව තිබුණා.

කංසාවර්ග විශාල ප්‍රභේද ගණනාවක් තියෙනවා. අපේ රටේ කංසා ගිනි තැබීම නිසා එම ප්‍රභේදවල ජාන සම්පත් විනාශ වී තියනවා. විෂ අන්තරයාකර ඖෂධයක් කියලා ඇතැමුන් කියනවා. අපි අන්තර්ජාලයට ගිහින් සෙව්වොත් මේ පිළිබඳව පැහැදිලි වන කරුණක් නම් එය මත්ද්‍රව්‍යයක් ලෙස භාවිත කිරිමේන් මිය ගිය ප්‍රමාණයට වඩා දුම්කොළ හා මත්ද්‍රව්‍යවලින් වන අනතුරු දක්නට තිබෙනවා. දුම් කොළ සහ මද්‍යසාර නීති ගතකර තිබියදී මෙවැනි ඖෂධ ගුණයක් ඇති දෙයක් තහනම් කිරීම අනර්ථකාරී ක්‍රියාවක්. මෙහි ප්‍රධාන සංඝටක දෙකක් තියෙනවා.

එහි ඇතැම් කොටස් පිළිකා සහ ස්නායු රෝගවලට ඖෂධයක් ලෙස භාවිත කරනවා. ඒනිසා මේ ඖෂධීය ගුණය පිළිබඳව . යම් කිසි පාලනයකින් යුතුව වගාකිරීමට අනුමැතිය දියයුතු වන්නේ ආයුර්වේද ඖෂධයක් ලෙසත් බටහිර ඖෂධයක් ලෙසත් අද වනවිට භාවිත වන නිසා.

හොඳ ගුණාංග භාවිත කරමින් රෝග විශාල සංඛාවකට ඖෂධ සැපැයිය හැකි මේ කංසා තහනම් කරන්නේ නම් අනිවාර්යයෙන්ම මත්ද්‍රව්‍ය සහ දුම්කොළත් තහනම් කළ යුතුයි. ජනතාව ඒ දේවල් භාවිත කරන ගමන් බෙහෙත් පැළෑටියක් සම්පූර්ණයෙන් ඉවත් කිරීමට අපි විරුද්ධයි. ඖෂධයක් ලෙස භාවිතය සඳහා වගා කළ යුතුයි.


දුම්කොළ සමාගම්වල යටිකූට්ටු වැඩක්

කංසා ශාකයකින් ඖෂධයක් සාදාගැනීමේ අවශ්‍යතාවක් නැහැ.

අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලය සතුව අත්අඩංගුවට ගනු ලබන කංසා මගින් ඖෂධ සඳහා අවශ්‍ය ප්‍රමාණය නිකුත් කළ හැකි බව ඒ අය පවසනු ලබනවා.

ඒ අනුව පවතින ක්‍රමවේදයේ යම් අඩුපාඩුවක් තියනවා නම් ඒ තත්ත්වයන් නිරාකරණය කිරීමට යම් ක්‍රමවේදයක් සකස් කළ යුතුයි.

එසේ කිරීමේ ගැටලුවක් නැහැ .

මෙහි අරමුණ එය නොවෙයි දුම්කොළ සමාගම්වල අරමුණු ඉටු කිරීමේ මූලික පරමාර්ථයක් මෙතැනදී අපිට දක්නට ලැබෙන්නේ.

එයට ඉඩ දෙන්න බැහැ. ඖෂධ ලෙස භාවිත කිරිමට ප්‍රමාණවත් තරම් කංසා ලබාගැනීමේ හැකියාවක් අදාළ අංශයන්ට තිබියදී ආයුර්වේද වෛද්‍යවරුන්ට අවශ්‍ය ප්‍රමාණය ලබා ගැනීමේ හැකියා නැවත වගා කිරීමේ අවශ්‍යතාවක් නැහැ.

Comments